අප විද්‍යුත් මාධ්‍ය වශයෙන් හඳුන්වන ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍ර‍ය නියාමනය කිරීමේදී මුද්‍රිත මාධ්‍ය වලට වඩා දැඩි නියාමන විධිවිධාන අනුගමනය කිරීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවල ලක්ෂණයකි. මුද්‍රිත මාධ්‍ය මෙන් නොව විද්‍යුත් මාධ්‍ය ප්‍ර‍චාරය කරන්නේ සීමිත මහජන දේපළක් වන ගුවන්විදුලි තරංග සංඛ්‍යාත උපයෝගි කර ගැනීමෙනි. ඒ අනුව කිසියම් භූගෝලීය කලාපයක පැවැතිය හැකි ගුවන් විදුලි හා රූපවාහිනී සේවා සංඛ්‍යාව සීමා කිරීමට සිදුවේ. ඒ නිසා සුදුසු ස්වාධීන නියාමන කොමිසමක මැදිහත් වීමකින් තොරව විද්‍යුත් මාධ්‍ය සඳහා හිතුමතයේ තරංග සංඛ්‍යාත ලබාදීම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍ර‍ය අවුල්ජාලයක් බවට පත්වීමට හේතු විය හැක. විද්‍යුත් මාධ්‍ය සඳහා යොදාගත හැකි තරංග සංඛ්‍යාත ප්‍ර‍මාණය සීමිත වීම නිසා පැවැතිය හැකි විද්‍යුත් මාධ්‍ය සේවා සංඛ්‍යාවද සීමිතය. ඒ නිසාම සමස්ත විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍ර‍ය මගින් මහජනතාවට ලබාගතහැකි අන්තර්ගතයේ විවිධත්වය සහතික කොට බහුවිධ විද්‍යුත් මාධ්‍ය වාතාවරණයක් ඇති කිරීමට ස්වාධීන නියාමන කොමිසමක මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ කේබල්, චන්ද්‍රිකා හා අන්තර්ජාල තාක්ෂණය නිසා තරංග සංඛ්‍යාත වල සීමිත ප්‍ර‍මාණයෙන් උද්ගත වූ තත්වය තරමක් දුරට මගහැරී ගොස් ඇති නමුදු විද්‍යුත් මාධ්‍ය නියාමනයට එකම හේතුව යොදාගතහැකි තරංග සංඛ්‍යාත ප්‍ර‍මාණය සීමිතවීම නිසාම නොවේ. විද්‍යුත් මාධ්‍යයේ, විශේෂයෙන්ම දෘෂ්‍ය මාධ්‍යක් වන රූපවාහිනී මාධ්‍ය ප්‍ර‍චාරවලින් සිත්කැළඹවීමට ඇති හැකියාවත් ළමයින් ද ඇතුළුව සියල්ලන්ම විසින් නරඹනු ලැබීමට ඇති හැකියාවත් නිසා විද්‍යුත් මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ නිසි පොදු මාර්ගොපදේශ පැනවීමද නියාමන ආයතනයේ කටයුත්තකි.

වරප්‍ර‍සාදලත් ඉල්ලුම් කරුවන්ට හෝ වැඩිම ලංසුව තබන ඉල්ලුම් කරුවන්ට විකාශන බලපත් නිකුත් කරනවා වෙනුවට හුදෙක් සැපයෙන වැඩසටහන් වලින් ආවරණය වන විෂය පරාසය හෙවත් විවිධාංගීකරණය මුල්කොට මහජන අභිලාෂය ඉටුවන පරිදි විකාශන තරංග සංඛ්‍යාත සැලැසුම්කොට වෙන් කිරීම නියාමන කොමිසමේ එක් වගකීමකි. ඒ අනුව වාණිජසේවා, මහජනසේවා සහ ප්‍ර‍ජා මාධ්‍යසේවා යන බහුවිධ විද්‍යුත් මාධ්‍ය වර්ග වල සේවාව උචිත පරිදි මහජනතාවට ලබා ගැනීමට හැකිවන අයුරු විකාශන තරංග වෙන් කළ යුතුවේ. විකාශන තරංග සැලැසුම් කිරිම විද්‍යුත් මාධ්‍ය සේවා සපයන්නන්, විදුලි සංදේශසේවා සපයන්නන්, ආරක්ෂකසේවා ආදිය සමග නිසි සම්බන්ධීකරණයක් අවශ්‍ය වන කටයුත්තකි. බොහෝ රටවල විද්‍යුත් මාධ්‍ය සේවා සහ විදුලිසංදේශ සේවා සඳහා තරංග වෙන්කරන්නේ එකම නියාමන ආයතනයකිනි. විදුලි සංදේශන හා විද්‍යුත් මාධ්‍ය අතර තාක්ෂණික අභිසාරිතාව හෙවත් සමාන තාක්ෂණය යොදා ගැනීම ඉහළයෑම නිසා මෙය වඩා සුදුසු ක්‍ර‍මයවෙතැයි සැලකේ. ඒ අනුව විකාශන බලපත්‍ර‍නිකුත් කිරීම හා අන්තර්ගතය පිළිබඳ නියාමන මාර්ගෝපදේශ නිකුත් කිරීම විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක ප්‍ර‍ධාන කාර්යයෝය.

විකාශන බලපත්‍ර‍ පිරිනැමීම

ප්‍රජාතන්ත්‍ර‍වාදී රටක විද්‍යුත් මාධ්‍ය පවත්වාගෙන යාම සඳහා විකාශණ බල පත්‍ර‍නිකුත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුත්තේ හා නිකුත් කළ විකාශන බලපත්‍රයේ අඩංගු කොන්දේසි අනුව විද්‍යුත් මාධ්‍ය කටයුතු කරන්නේද යන්න අධීක්ෂණය කළ යුත්තේත් ස්වාධීන නියාමන කොමාසමක් මගිනි. මේ නියාමන කොමිසම ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික කොටස් වල හෝ බලපෑමට ලක් නොවන අන්දමට ස්වාධීන විය යුතුය. මෙහිදී විද්‍යුත් මාධ්‍ය සඳහා බලපත්‍ර‍ නිකුත් කළ යුත්තේ මහජන යහපත තකා මිස කිසියම් රාජ්‍ය හෝ පෞද්ගලික ඉල්ලුම් කරුවෙකුගේ ඕනෑ එපාකම් අනුව නොවේ. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධත්වය ඇති වන පරිදි විකාශන තරංග බෙදාදීම පිණිස නියාමන කොමිසමේ ස්වාධීනත්වය අතිශයින්ම වැදගත්ය. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ප්‍ර‍වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද නියාමන කොමිසමේ ස්වාධීනත්වය වැදගත් වන්නේ විකාශන බලපත්‍ර‍ නිකුත් කිරීම යෝග්‍යතාවය අනුව මිස දේශපාලන සම්බන්ධකම් මත සිදුනොවන බවට ආයෝජකයන්ටද සහතිකයක් ලැබෙන බැවිනි. ස්වාධීන විද්‍යුත්මාධ්‍ය නියාමන කොමිසමකට සුදුසු සාමජිකයන් සොයා නම් කිරීම පාර්ලිමෙන්තු ව්‍යස්ථා කමිටුවකින් කල හැකිවන අතර වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම මගින් නියාමන කොමිසමට සිය කටයුතු සම්බන්ධයෙන් මහජනතාවට වග විය හැකිය.

විද්‍යුත් මාධ්‍ය පවත්වාගෙනයාම පිණිස විකාශන බලපත්‍ර‍නිකුත් කිරීම සාධාරණව හා විනිවිදබාවය තහවුරුවන පරිදි සිදුකළ යුතු විවෘත ප්‍ර‍ජාතන්ත්‍රවාදී ක්‍රියාවකි. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 34වැනි පොදු නිරීක්ෂණයේ මෙසේ සඳහන් වෙයි.

“වාණිජ හා ප්‍ර‍ජාසේවාද ඇතුළුව සියළු විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් අවහිරකාරී කොන්දේසි හා දරාගත නොහැකි බලපත්‍ර ගාස්තු අයකිරීමේන් සාමාජික රාජ්‍ය වැළැකිය යුතුය. බලපත්‍ර‍ගාස්තු මෙන්ම බලපත්‍ර‍කොන්දේසිද පැහැදිලි පාරදෘෂ්‍ය, සාධාරණ, අඩුසැලකිලි නොදක්වන හා විෂය මූලික ඒවා විය යුතුය. සීමිත තරංග සම්පත් භාවිත කරන භෞමික හා චන්ද්‍රිකා තාක්ෂණ උපයෝගි කරගන්නා විද්‍යුත් මාධ්‍ය සංඛ්‍යාත මහජනසේවා, වාණිජ සේවා හා ප්‍ර‍ජාසේවාවන් මාධ්‍යසේවා වර්ග තුනේම සේවාවන් මහජනතාවට ලබාගත හැකිවන පරිදි උචිත ලෙස වෙන් කළ යුතුය.”

මෙයින් අදහස් වන්නේ විද්‍යුත්මාධ්‍ය විකාශනයක් පවත්වාගෙන යාමට හැකි සැමදෙනෙකුටම බලපත්‍ර‍කට ඉල්ලුම් කිරීමට සමාන අවස්ථාවන් සැලැසීමයි. වර්තමානයේ එය සිදුවන්නේ ඉල්ලුම් කරුවන්ගේ දේශපාලන සම්බන්ධකම් හා බලපුලුවන්කාරකම් අනුවයි. බලපත්‍ර‍ ඉල්ලුම් කිරීමේ ක්‍රියාපටිපාටිය විද්‍යුත් මාධ්‍ය නියාමන නීතිවල පැහැදිලිව හා නිශ්චිතව සඳහන් කළ යුතුය. මූලික නීති රාමුව තුළ එසේ සඳහන්වන බලපත්‍ර‍ ක්‍ර‍මවේදය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවශ්‍ය සවිස්තර රෙගුලාසි ඒ අනුව පැනවිය හැකිය. කෙසේ වෙතත් මේ නිතිමය රාමුව අඩුම වශයෙන් පහත දැක්වෙන ලක්ෂණ වලින් යුක්ත විය යුතුය.

• බලපත්‍ර‍ ඉල්ලුම් කිරීමේ නිකුත් කිරිමේ ක්‍ර‍මවේදය පිළිබඳ නියමිත කාලසීමා (බලපත්‍ර‍ඉල්ලුම් කිරීම කළයුත්තේ වර්ෂයේ කිනම් දිනකට පෙරද බලපත්‍ර‍නිකුත් කිරිමේ තීරණ ලබාදෙන්නේ කිනම් කාලවකවානුවක් තුළද යන්න.)
• බලපත්‍ර‍නිකුත් කිරීමේ ක්‍ර‍මය පිළිබඳ සවිස්තරව දැකිවීම සහ බලපත්‍ර‍ ඉල්ලුම් ප්‍ර‍තික්ෂේප කිරීමේ හේතු නියමිත කාලයක් තුළ ලිඛිතව දැනුම් දීම.
• බලපත්‍ර‍ නිකුත්කිරීම ප්‍ර‍තික්ෂේපකිරීම සම්බන්ධව නිසි අධිකරණයකට අභියාචනා ඉදිරිපත් කිරීමට ඉල්ලුම් කරුට ඇති අයිතිය.
• ගෙවිය යුතු බලපත්‍ර‍ ගාස්තු සහ ගාස්තුව අදාල වන කාල වකවානු පිළිබඳ පැහැදිලි විස්තර
• අයදුම්පත ඇගයීමට ලක්කරන්නේ කුමන හේතු මතද යන වග ( උදාහරණයක් වශයෙන් අයදුම්කරු සතු තාක්ෂණික හැකියාව, අවශ්‍ය මූල්‍ය හා මානව සම්පත් සහ විවිධ වැඩසටහන් ඉදිරිපත්කිරීමේ හැකියාව.)

මතභේදයට තුඩුදෙන කරුණු ඉදිරිපත් කිරීමේදී සාධාරණ ලෙස හා අපක්ෂපාතව කරුනු ඉදිරිපත් කිරීම විද්‍යුත් මාධ්‍යයේ මූලික වගකීමක්වන බැවින් දේශපාලන පක්ෂ සඳහා විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර‍ නිකුත් නොකිරීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සම්ප්‍ර‍දායකි. එවැනි පාර්ශව සම්බන්ධයෙන් බලපත්‍ර‍නිකුත් නොකිරීම සාධාරණ විය හැකි වුවද භාෂණයේ නිදහස පිළිබඳ අයිතියට හානිවන ආකාරයේ කොන්දේසි මත අයදුම්කරුවන් බැහැර කිරීම නොකළ යුත්තකි.

විදයුත් මාධ්‍ය බලපත්‍ර‍නිකුත් කරන්නේ බලපත්‍ර‍ලාභීන් විසින් බලපත්‍රයේ සදහන් නියමයන් සහ කොන්දේසි ඉටුකළ යුතුය යන පදනම මතය. එකී කොන්දේසි ව්‍යවස්ථාපිත නීතිය අනුව භාෂණයේ නිදහස සහතික වන පරිදි සැකසිය යුතුය. (භාෂණයේ නිදහස පිළිබද සීමාවන් ගැන සාකච්ඡා කෙරෙන කෙටි සටහනක් මගින් මේ පිළිබද වැඩිවිස්තර ඉදිරිපත් කරනු ඇත) ඒ හැර අනිකුත් කොන්දේසි අතරට බලපත්‍ර‍ වරගයට අන්ව විද්‍යුත් මාධ්‍ය විසින් යොදාගත යුතු තාක්ෂණික ප්‍ර‍මිතීන්, විකාශන ධාරිතාව හා බල ප්‍රදේශය, ප්‍රකාශන හිමිකම්, බලපත්‍ර‍ වලංගු කාලසීමාව වැනි දෑ ඇතුලත්විය හැකිය. විකාශනය කල යුතු අවම දේශීය හා ප්‍රාදේශිය වැඩසටහන් ප්‍ර‍තිශතය මෙන්ම ප්‍ර‍වෘතිමය සහ ළමා වැඩසටහන් වල අවම ප්‍ර‍තිශතය වැනිදෑද මෙවැනි කොන්දේසි වලට අයත් විය හැකිය.

විද්‍යුත් මාධ්‍ය අන්තර්ගතය නියාමනය කිරීම

මුද්‍රිත මාධ්‍ය මෙන්නොව විද්‍යුත් මාධ්‍යයේ අන්තර්ගතය හුදෙක් ස්වයං නියාමන ක්‍ර‍ම මත පමණක් පවත්වා ගැනීමට ඉඩ හැරීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයකි. ඒ සඳහා බොහෝවිට උපයොගිකරගන්නේ විදයුත් මාධ්‍ය නියාමන ආයතනයේ ව්‍යස්තාපිත මාර්ගොපදේශ හෝ නියාමන ආයතන හා විදයුත්මාධ්‍ය ආයතන එක්ව පවත්වාගෙන යන නියාමන ක්‍ර‍මවේදයකි. ඇතැම් රටවල සියලු විදයුත්මාධ්‍ය එකතුව අන්තර්ගතය සම්බන්ධයෙන් පොදු ස්වයං නියාමන ක්‍ර‍මවේදයක් අනුගමනය කරන අතර එවැනි අවස්තාවලදී බලපත්‍ර‍හිමි විද්‍යුත් මාධ්‍ය ආයතනය එම පොදු ස්වයං නියාමන ක්‍ර‍මයේ බලයට නතුවන සාමාජිකයෙක් වීම අත්‍යවශ්‍යයවේ. කුමන ආකාරයක අන්තර්ගත නියාමන ක්‍ර‍මවේදයක් අනුගමනය කළද දේශපාලනික බලපැම් වලට ගොදුරුවිමේ අනතුර අතිශයින් ඉහල බැවින් අන්තර්ගතය නියාමනය කරන ආයතනය මුළුමනින්ම ස්වාධීන වීම අත්‍යවශයය.

මහජනතාවට විවිධාකාර වැඩසටහන් වලට කන්දීමට හා නැරඹීමට හැකිවන පරිදි විවිධාකාර විස්තීර්ණ පරාසයක වැඩසටහන් ප්‍ර‍චාරයවිම සහතික කරනු වස් විද්‍යුත් මාධ්‍ය සඳහා සාධනීය කොන්දේසි පැනිවීමද නියාමන ආයතනයේ එක් වගකීමකි. මෙයට එක් උදාහරණයක් නම් දේශීය වැඩසටහන් දිරි ගැනිවීම සඳහා අවම දේශීය නිශ්පාදන ප්‍ර‍තිශතයක් නියම කිරීමයි. මෙය සහේතුක වන්නේ බොහෝ වානිජ විද්‍යුත් මාධ්‍ය නිෂපාදන පිරිවැය මගහැර අඩුමිලකට ලබාගත හැකි ලාබ විදේශීය වැඩසටහන් යොදා තම ගුවන් කාලය පුරවා දැමීමට ඇති හැකියාව එමගින් අධෛර්ය කරන බැවිනි. එවැනි සාධනීය කොන්දේසි නොමැති වු විට මේ සා වැදගත් විදයුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ දේශිය කුසලතාවයන්ට හා දේශීය හඬට ඇති අවකාශ අඩුවිය හැකිය. දේශිය අන්තර්ගතය පිළිබඳ එවැනි සාධනීය අවශ්‍යතාවය දේශීය සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමටද හේතුවන්නකි. බොහෝ රටවල දේශීය අන්තර්ගතය පිළිබඳ මේ අවශ්‍යතාවය මහජන විද්‍යුත් මාධ්‍ය සේවාවන්ට සුවිශේෂ වශයෙන් අදාල වේ. දේශිය වැඩසටහන් නිශ්පාදනයට වැඩිපිරිවැයක් දැරීමට සිදුවන බැවින් මහජන සේවා විදයුත් මාධ්‍ය විවිධ දේශීය වැඩසටහන් නිෂ්පාදනය සඳහා වැඩිබරක් යෙදීමෙන් වාණිජ විද්‍යුත්මාධ්‍ය අන්තර්ගතයද ඌනපූරණය කළ හැකිය. ජාතික මට්ට්මේ පුවත් වලට අතිරේකව ප්‍රාදේශිය පුවත් සැලකිය යුතු පමණින් ආවරණය කිරීමද සැබැවින්ම මහජන අභිලාෂයන් සහතික කිරීමකි.

අන්තර්ගතය පිලිබද තවත් නියාමන අවශ්‍යතාවයක් වන්නේ නිදහස් නිෂ්පාදකයන් (අදාල විද්‍යුත් මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයට අයත් නොවන බාහිර නිෂ්පාදකයන්) විසින් නිපදවන දේශීය වැඩ සටහන් වලටද අවස්ථාව සලසා දීමයි. නිදහස් නිෂ්පාදකයින විසින් නිපදවන් ලබන වැඩ සටහ්න් ප්‍ර‍චාරය කිරීම නියාමන අවශ්‍යතාවයක් වශයෙන් සැලකීමෙන් වැඩසටහන් නිෂ්පාදන පදනම තරඟකාරී ලෙස විස්තීර්ණ කළ හැකි අතර වඩා නිර්මාණශීලීව වැඩසටහන් විවිධත්වයද ඇති කළ හැකිය. මෙ අනුව දේශිය අන්තර්ගතය නිෂ්පාදනය කිරීම කර්මාන්තයක් වශයෙන් දිරිගැනිවිය හැකි වේ. සුවිශේෂ වශයෙන් මහජනසේවා විද්‍යුත් මාධ්‍යවල අන්තර්ගතයෙන් සැලකිය යුතු කොටසක් නිදහස් නිශ්පාදකයන්ගෙන් සපයා ගැනීම බොහෝ රටවල් වැදගත් නියාමන කොන්දේසියක් වශයෙන් සලකන්නේ එබැවිනි.
බොහෝ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී රටවල විද්‍යුත් මාධ්‍ය නියමිත වෘත්තීය ප්‍රමිති අනුව කටයුතු කිරීම‍ නියාමන කොමිසම විසින් අධීක්ෂණය කරනු ලබන තවත් කටයුත්තකි. මුද්‍රිත මාධ්‍යයේදී මෙන්ම මෙහිදීද අදහස් කෙරෙන්නේ සහ-නියාමන ක්‍ර‍වේදයෙන් හෝ ව්‍යස්ථාපිත නියාමන ආයතනය විසින් එකඟ වන පරිදි නිසි ප්‍ර‍මිති සංග්‍ර‍හයකට (code of conduct) අනුව මාධ්‍ය නිෂ්පාදන හා ප්‍ර‍චාර කටයුතු ඉටු කරීමයි. අන්තර්ගත්යෙ නිරවද්‍යතාවය, පෞද්ගලික නිදහස, බාලවයස් කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විදිවිධාන, ප්‍ර‍චණ්ඩත්වය සහ ලිංගික හැසිරීම සම්බන්ධ සංවේදී කරුණු මේ ප්‍ර‍මිති සංග්‍ර‍හය මගින් නියාමනය කරනු ලබයි. මුද්‍රිත මාධ්‍යයේදී මෙන්ම විදයුතු මාධ්‍යයේදීත් මෙවැනි ප්‍ර‍මිති මානයන් උල්ලංඝනය කිරීම අදාල මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් මහජන පැමිණිලිවලට පාදක වේ. එහෙත් මුද්‍රිත මාධ්‍යයේදී මෙන්නොව මෙවැනි ප්‍ර‍මිති නිසිලෙස ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලිමේ කාර්ය විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසම විසින් කරනු ලැබේ. ප්‍ර‍මිති උල්ලංඝනය කිරීමේදී ඒ සම්බන්ධයෙන් විභාග කොට අවවාද කිරීම හා නිවැරදි කිරීම් ප්‍රචාරය කිරීමට නියම කිරීම වැනි ලිහිල් දඬුවම් වල සිට දඩගැසීම් සහ බලපත්‍ර‍ය අහිමි කිරීම ද්කවා වු දැඩි දඬුවම් පැමිණ වීමද ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමේ කාර්යභාරයකි.

*මහජන සේවාව පෙරදැරිකරගත් ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා..(01) කොටස

අතිරේක කියැවීම්

Toby Mendel, Restricting Freedom of Expression: Standards and Principles, March 2010:
http://www.law-democracy.org/wp-content/uploads/2010/07/10.03.Paper-on-Restrictions-on-
FOE.pdf

UN Human Rights Committee, General Comment No. 34, 12 September 2011, CCPR/C/GC/34:
http://tbinternet.ohchr.org/_layouts/treatybodyexternal/Download.aspx?symbolno=CCPR%2fC
%2fGC%2f34&Lang=en