Image courtesy: Transparency International
ජනවාරි 8 දින පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් හැගෙන්නේ එවක බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිපාලනයත් ඒ අනුව ඔහු මත් අල්ලසෙන් හා දූෂණයෙන් කෙලෙසී ඇති බවටත් ඔහුට තෙවන ධුර කාලයක් ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමට තරම් බරපතළ වරදක් බවටත් එවක පොදු අපේක්ෂකයා තරයේ කළ ප‍්‍රකාශයට අපගේ ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු කොටසක් එකඟ වූ බව යි. තමන් තෝරා පත් කර ගත හොත් දූෂණය මුලිනුපුටා දමා යහපාලනය තහවුරු කරන බවට අපේක්ෂක සිරිසේන ශ‍්‍රී ලාංකික ඡන්ද දායකයාට පොරොන්දු විය. කෙසේ වුව ද මෑත වසරවල දී දූෂණය හා නීතියේ පාලනයට ගරු නොකිරීම ගැඹුරින් මුල් බැස ගත් සමාජයක් තුළ මෙය කියන තරම් ලෙහෙසියෙන් කළ නොහැකි දෙයක් බව අමුතුවෙන් කිව යුතු නො වේ.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International – TI) ආයතනය විසින් ගණනය කෙරෙන දූෂණය දක්නට ලැබීම පිළිබඳ දර්ශකය (Corruption Perception Index – CPI) ශ‍්‍රී ලංකාව තුළ පවත්නා අල්ලස හා දූෂණය පිළිබඳ පැහැදිලි අදහසක් සම්පාදනය කරයි. මෙම දර්ශකය තුළ යම් රටක් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ එම රට තුළ දූෂණය දක්නට ලැබෙන්නේ අඩුවෙන් බව යි. 2014 වර්ෂයට අදාළව මෙම දර්ශකයෙන් සැපයෙන දත්ත අනුව ශ‍්‍රී ලංකාව ලබා ගෙන ඇත්තේ ලකුණු 100කින් 38කි. ලකුණු 92ක් ලබා ගෙන ඩෙන්මාර්කය ලොව අඩු ම දූෂණයක් ඇති රට ලෙස ඉහළින් ම සිටි අතර ලකුණු 8ක් ලබා ගෙන පහළින් ම සිටියේ සෝමාලියාව යි. ඉන්දියාව ඇතුළු රටවල් නවයක් ම ලකුණු 38ක් ලැබ ශ්‍රේණිගත කිරීමේ 85 වන ස්ථානයෙහි පසු විය. අනෙක් දකුණු ආසියානු රටවල් සියල්ල ම සිටියේ ශ‍්‍රී ලංකාවට හා ඉන්දියාවට පහළිනි.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිදු කර ඇති ශ්‍රේණිගත කිරීම පෙන්වා දෙන්නේ සමීක්ෂණයට ලක් කළ රටවලින් අඩක පමණ ශ‍්‍රී ලංකාවට හෝ ඉන්දියාවට වැඩියෙන් ද අඩක පමණ ඊට වඩා අඩුවෙන් ද දූෂණය දක්නට තිබූ බව යි.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ශ‍්‍රී ලංකාව සිය වාර්ෂික සමීක්ෂණයට ඇතුළත් කළ 2002 වර්ෂයේ අනෙක් රටවලට සාපේක්ෂව එය ලබා සිටි තත්වය ඉන් මෙපිට දී එතරම් වෙනසකට ලක්ව නැත. එම වර්ෂයේ අප සිටියේ රටවල් 102ක් අතර 52 වන ස්ථානයෙහි ය. 2007 දී අපි 179ක් අතර 94 වන ස්ථානයෙහි ද 2010 දී 178ක් අතර 91 වන ස්ථානයෙහි ද 2013 දී 177ක් අතර 91 වන ස්ථානයෙහි ද සිටියෙමු. ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් මිනුම් දණ්ඩෙන් හැඟවෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික‍්‍රමසිංහ බලයේ සිටි 2002-2005 කාල පරිච්ෙඡ්දය සමග සසඳන විට රාජපක්ෂ පරිපාලනය සමයේ දී (2006-2014) දූෂණය වැඩි වූයේ සුළු වශයෙන් බව යි. කෙසේ වුව ද ජනවාරි 8 දිනෙන් පසුව රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල කර ඇති දූෂණ චෝදනාවන්ගෙන් සත්‍ය බව සොයා ගෙන ඇත්තේ කිහිපයක් වුවත් 2009න් පසු කාල පරිච්ෙඡ්දය සම්බන්ධ ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් තක්සේරුව සැබෑ තත්වය පිළිබඳ බරපතළ අවතක්සේරුවක් ලෙස සැලකීමට සිදු වනු ඇත. එකරුණෙන් ඇඟවෙන්නේ ජනාධිපති සිරිසේන දූෂණය අවම කිරීම පිළිබඳ ඉතා බලගතු අභියෝගයකට මුහුණ දී සිටින බව යි. අප රට තුළ දූෂණය මුල් බැස ගෙන ඇත්තේ රාජපක්ෂ ජනාධිපති තනතුර භාර ගැනීමට බොහෝ කලකට පෙර බව පෙනේ.
තොරතුරු දැන ගැනීමේ නිදහස
දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා නව ආණ්ඩුවේ දින සියයේ වැඩ සටහනට ඇතුළත් කර ඇති ප‍්‍රධාන මෙවලම්වලින් එකක් වන්නේ පෙබරවාරි 20 වන සිකුරාදා තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පණතක් (Freedom of Information Act – FIA) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දුවක් දීම යි. පාර්ලිමේන්තුව මාර්තු 20 වන සිකුරාදා එය නීතියක් බවට පත් කිරීමට නියමිත ය.
එම පණත රාජ්‍ය අංශයට පමණක් නො ව රට තුළ ක‍්‍රියාත්මක පෞද්ගලික අංශයට හා රාජ්‍ය නොවන සංවිධාන (NGO) අංශයට ද අදාළ වනු ඇතැයි අපි සිතමු. රාජ්‍ය අංශය තුළ යහපාලනය තරමට ම සමායතන තුළ යහපාලනය හා රාජ්‍ය නොවන අංශය තුළ යහපාලනය ද වැදගත් ය.
සිරිසේන පරිපාලනය යෝජිත තොරතුරු පණත පිළිබඳ විස්තර මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැත. සාමාන්‍යයෙන් එවැනි පණතක් යටතේ යම් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට රජයේ ආයතනයකින් හෝ නීතියෙන් අවසර ලැබෙන්නේ නම් පෞද්ගලික ආයතනයකින් පවා තොරතුරු ඉල්ලා සිටීම සඳහා එම නීතිය යොදා ගත හැකි ය. එසේ ලබා ගන්නා තොරතුරු යොදා ගන්නා ආකාරය පිළිබඳ වගකීම එම තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයා හෝ සංවිධානය විසින් දැරිය යුතු ය. එසේ ලබා ගත් තොරතුරු යොදා ගන්නේ පුද්ගලයෙකුට සිදුව ඇති අසාධාරණයක් නිවැරදි කිරීමට හෝ පෞද්ගලික දුක් ගැනවිල්ලකට පිළියම් යෙදීමට නම් කාරණය එතැනින් අවසන් විය හැකි ය. එහෙත් යම් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් කණ්ඩායමකට හෝ ආයතනයකට පොදු යහපත උදෙසා අයථා ක‍්‍රියා දැනුම් දෙන්නා කරන ක‍්‍රියාව හඹා යාම සඳහා තොරතුරු ලබා ගැනීමට තොරතුරු පණත යොදා ගත හැකි ය. අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ගේ රැකවරණය සඳහා අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණතක් (Whistleblower Protection Act – WBPA) අවශ්‍ය වන්නේ එබැවිනි. එසේ නොවුව හොත් තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පණතක් දූෂණයට එරෙහිව සටන් කිරීමේ ඉතා සාර්ථක මෙවලමක් බවට පත් නොවනු ඇත.
අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීම
අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණතට තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පණතකට ප‍්‍රයෝජනවත් ඌනපූරකයක් ලෙස පමණක් නො ව දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වාධීන මෙවලමක් ලෙස ද සේවය කළ හැකි ය. අල්ලස් හා දූෂණ, නීතියේ පාලනය උල්ලංඝනය කිරීම්, වංචා පිළිබඳව සහ පොදු අවශ්‍යතා ආරක්ෂා කරන රෙගුලාසි බලාත්මක කිරීම හිතමතා මග හැරීම පිළිබඳව දැනුවත් වන පුද්ගලයන්ට රැකවරණ පණත යොදා ගෙන එවැනි ඕනෑ ම විෂමාචාර ක‍්‍රියාවක් මහජනතාවගේ හෝ ඉහළ බලධාරියෙකුගේ අවධානයට ලක් කළ හැකි ය.
සිරිසේනගේ වැඩ සටහන
ජනාධිපති සිරිසේනගේ දින සියයේ වැඩ සටහන අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණතක් පිළිබඳව කතා නො කරයි. එහෙත් සිය මැතිවරණ ප‍්‍රකාශනයේ දී ඔහු තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පණතක් ඉදිරිපත් කිරීමට පමණක් නො ව ”මහා දූෂණ” නතර කිරීම (20 පි.) සහ ”ආර්ථික, සාමාජික හා මානව හිමිකම් ක‍්‍රියාකාරකම් තුළ පුරවැසි සහභාගිත්වය දිරි ගැන්වීම මගින් පුරවැසි සංවිධානවල ක‍්‍රියාකාරකම්වලට පවත්නා බාධාවන් ඉවත් කිරීම” (17 පි.) සඳහා ද පොරොන්දු වෙයි. ”දැනට මත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ගැබ් වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර පුරවැසියන්ගේ අයිතිවාසිකම් තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනේ” (17 පි.) යැයි ද ඔහු පවසයි. සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රකාශනය තවත් ඉදිරියට යමින් ”ජනමාධ්‍යවල උපරිම නිදහස සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය ශක්තිමත් කරන අතර රාජ්‍ය සේවයේ සන්නිවේදන සේවාවන් දිරි ගැන්වීම සඳහා කාර්යක්ෂම නියාමන යන්ත‍්‍රණයක්” (54 පි.) ඇති කිරීමට ද පොරොන්දු වෙයි. මේ නිසා බොහෝ මැතිවරණ පොරොන්දු සමස්තයක් ලෙස ගෙන සාවධානව සලකා බලා අර්ථ නිරූපණය කර ගත හොත් මෙම පොරොන්දු තුළ අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණතක් ඉදිරිපත් කිරීම සඳහා නව පරිපාලනයේ පාර්ශ්වයෙන් කැප වීමක් නොමැති බව පෙනී යාම පුදුමයට කරුණක් නො වේ. එවැනි පණතක් ඉදිරිපත් කිරීමෙන් සිරිසේන ඇති කිරීමට පොරොන්දු වී ඇති ”ස්වාධීන කොමිෂන් සභා” කිහිපය (16 පි.) විශේෂයෙන් ම නිරීක්ෂණ කාර්යයන් පැවරෙන කොමිෂන් සභා තවත් ශක්තිමත් වන බව නිසැක ය.
ජාත්‍යන්තර අත්දැකීම
සිය නීති පොත්වල අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසෙන යම් යම් නීති ඇතුළත් රටවල් පනහක් වත් ලෝකයේ ඇත. මෙවැනි නීති සම්බන්ධ දීර්ඝතම ඉතිහාසය තිබෙන්නේ 1860 ගණන්වල සිට එවැනි නීති පවතින එක්සත් ජනපදයට ය. එක්සත් ජනපදය සිය පළමු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ගේ අයිතිවාසිකම් නිදහස් කථනයේ කොටසක් ලෙස සලකයි. අනෙක් රටවලින් බොහොමයක මෙම නීති පනවා ඇත්තේ සාපේක්ෂ වශයෙන් මෑත කාලවල දී ය. එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ඝානාව, උගන්ඩාව හා ජැමෙයිකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් කිහිපයක ද අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන් සම්බන්ධ නීති ඇත. ඉන්දියාව මේ රටවල් අතරට එක් වූයේ ඉන්දියානු ජනාධිපතිවරයා 2011 අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණත නීතියක් බවට පත් කරමින් ඊට අත්සන් තැබූ 2014 මැයි මාසයේ දී ය. යහපාලන ක‍්‍රියාවලිය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් බැරෑරුම් අදහසක් ඇත් නම් ශ‍්‍රී ලංකාව ද මෙම කන්ඩායමට එක් විය යුතු ය. මූලෝපායාත්මක දෘෂ්ටි කෝණයකින් සලකා බැලූ විට අද දවසේ සියලූ දෙනා ම පාහේ යහපාලනය සම්බන්ධ මානසිකත්වයකින් සිටින බැවින් එවැනි පණතක් ඉදිරිපත් කිරීමට රට තුළ හොඳ ම අවස්ථාව පිරිනැමෙන්නේ වර්තමානයේ දී ය.
අත්‍යවශ්‍ය ම අංග
තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පණත හා අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණත ආශ‍්‍රිත ජාත්‍යන්තර අත්දැකීම් එවැනි නීති බලාත්මක කිරීමට අදාළව අපට පහත දැක්වෙන පාඩම් ද උගන්වයි:
– අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන් සියලූ ආකාරයේ පළි ගැනීම්වලින් ආරක්ෂා කිරීම සඳහා සියලූ පැතිකඩවල් ආවරණය වන පැහැදිලි නීති පද්ධතියක් පැනවිය යුතු ය.
– යම් විෂමාචාර ක‍්‍රියාවක් තමන් සේවය කරන ආයතනයේ ම ප‍්‍රධානීන්ට වාර්තා කරන ලෙස අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ගෙන් ඉල්ලා සිටීම සාමාන්‍යයෙන් සුදුසු නො වේ.
– වැරදි හා දූෂණ වාර්තා කිරීම සඳහා වඩාත් ම සාර්ථක විධික‍්‍රමය වන්නේ අයථා ක‍්‍රියා දැනුම් දෙන්නාගේ අනන්‍යතාව ආරක්ෂා කරන ස්වාධීන ආයතනික යන්ත‍්‍රණයක් ඇති කිරීම යි. එහෙත් තමන් කැමති නම් මහජනයා හමුවට යාමට අයථා ක‍්‍රියා දැනුම් දෙන්නාට අයිතිය තිබිය යුතු ය.
– පළි ගැනීම සඳහා කිරීමට ඉඩ ඇති සියලූ ක‍්‍රියාවන් නීතිය තුළ පැහැදිලිව අර්ථ නිරූපණය කළ යුතු අතර අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන් ආරක්ෂා කිරීම සඳහා එම නීති ශක්තිමත් කළ යුතු ය.
– පළි ගැනීම සම්බන්ධ පිළියම් සහ දඬුවම් නීතිය තුළ නිශ්චිතව නියම කර තිබිය යුතු ය.
– නිතිපතා ක‍්‍රියාත්මක කෙරෙන දැනුවත් කිරීමේ වැඩ සටහන් හරහා දූෂණ හා විෂමාචාර ක‍්‍රියාවන් වාර්තා කිරීම සඳහා මහජනයා දිරි ගැන්විය යුතු ය.
– අයථා ක‍්‍රියා දැනුම් දීම පිළිබඳ නීතිය නිතිපතා ඇගයීමට ලක් කොට වෙනස් වන තත්වයන්ට ගැළපෙන පරිදි නීතිය සංශෝධනය කිරීම ක‍්‍රියාවලියේ ශක්තිමත් බව සහ සාර්ථකත්වය වැඩි දියුණු කරයි.
රැකවරණය
තොරතුරු දැන ගැනීමේ නිදහස සහ අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැුකවරණය සැලසීමේ නීති පනවා ඇති රටවල් කිහිපයක් පළි ගැනීමේ ක‍්‍රියාවන්ගෙන් අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන් ආරක්ෂා කිරීම සඳහා නොකඩවා බරපතළ සැලකිල්ලක් දක්වා ඇත. ජනාධිපති සිරිසේන තේරී පත් වීමෙන් පසු දැන් සිදු වෙමින් පවතින හෙළිදරව් වීම්වලින් ඇඟවෙන්නේ දැවැන්ත රාජ්‍ය අරමුදල් ප‍්‍රමාණයකට අදාළව රාජ්‍ය විෂමාචාර ක‍්‍රියාවන් සිදු වී ඇති බව යි. මෙවැනි තත්වයක දී අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන් විසින් සත්‍යය අනාවරණය කෙරෙන විට ඉතා ඉහළ පරදුවට තැබීමක් අවශ්‍ය වේ. බ්ලූම්බර්ග් නිව්ස් (2011 ඔක්තෝබර් 19) වාර්තා කළේ 2010 ජනවාරි හා 2011 ඔක්තෝබර් අතර කාලයේ ඉන්දියාව තුළ වංචා හෝ දඬුවම් කළ හැකි සාමාන්‍ය රාජ්‍ය විෂමාචාර පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම නිසා අඩු ගණනේ පුද්ගලයන් 12 දෙනෙකු වත් ඝාතනයට ලක්ව ඇති බව යි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (2014 සැප්තැම්බර් 16) වාර්තා කළේ අයථා ක‍්‍රියා දැනුම් දීම නිසා 2002 සිට මේ දක්වා කාලය තුළ 40කට වැඩි සංඛ්‍යාවක් ඝාතනයට හා ”දහස් ගණනක්” ප‍්‍රහාරයට ලක්ව ඇති බව යි. එම නිසා මෙම නීතිය යටතේ අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ විධිවිධානයක් සම්පාදනය විය යුතු වේ.
බොහෝ රටවල් තුළ අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සම්පාදනය කිරීම සඳහා ආයතන හා වැඩසටහන් පවතී. උදාහරණයක් ලෙස එක්සත් ජනපදය තුළ ෆෙඩරල් ආණ්ඩුවේ සේවකයන් එක්සත් ජනපද පාර්ලිමේන්තුවට තොරතුරු සපයන්නේ නම් ඔවුන්ට නීතිමය රැකවරණය සැලසේ. තවත් විකල්පයක් වන්නේ නීතිය උල්ලංඝනය කරන ආයතනය හෝ පුද්ගලයා සහ අයථා ක‍්‍රියා දැනුම් දෙන්නා අතර අතරමැදියෙකු ලෙස ක‍්‍රියා කරන ස්වාධීන තෙවන පාර්ශ්වීය ආයතනයක් ඇති කිරීම යි. පැමිණිල්ල ඉදිරිපත් කෙරෙන්නේ තෙවන පාර්ශ්වයට වන අතර එම පාර්ශ්වය අයථා ක‍්‍රියා දැනුම් දෙන්නාගේ රහස්‍ය භාවය පූර්ණ ලෙස සහතික කරයි. මෙමගින් පැමිණිල්ලේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අතරමැදි ආයතනයට කාලය ලැබීමක් ද සිදු වන අතර එය නිර්දෝෂී පාර්ශ්වයන් අපහසුතාවට පත් වීම වැළැක්වීමට උපකාර වේ. කැනඩාව තුළ රාජ්‍ය අංශයේ ඒකාබද්ධ කොමසාරිස්වරයෙකු යටතේ එවැනි නිල ආයතනයක් පිහිටුවා ඇත. නෙදර්ලන්තය තුළ අයථා ක‍්‍රියා දැනුම් දීමට කැමති අයට උපදෙස් සපයන කාර්යාලයක් ඇත. ඉන්දියාව තුළ අයථා ක‍්‍රියා දැනුම් දීම තහවුරු කිරීමේ නීතිය පසු ගිය වසරේ මැයි මාසයේ දී බලාත්මක කෙරුණ ද අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමට හැකියාව ලබා දෙන අතිරේක නීති කාලීනව කෙටුම්පත් කර නැත.
නීතිය යටතේ අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන් විසින් බොරු පැමිණිලි ඉදිරිපත් කිරීම නිසා ගොදුරු බවට පත් වන අයට රැකවරණය සම්පාදනය කිරීම හා අවශ්‍ය අවස්ථාවල දී ඔවුන්ට වන්දි ගෙවීම ද කළ යුතු ය.
සිරිසේනගේ ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුව තව දුරටත් ශක්තිමත් කිරීමට කැප වූවකි. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) හා ජාතික හෙළ උරුමය (ජාහෙඋ) වැනි දේශපාලන පක්ෂ ද එම අරමුණ සපුරා ගැනීම සඳහා දැඩිව කැප වී සිටී. එම නිසා පාර්ලිමේන්තුව තව දුරටත් ශක්තිමත් කිරීමට සහාය දෙන්නන් අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණතක් උදෙසා ද කටයුතු කළ යුතු ය.
සුරැකිතා
අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන් පිළිබඳ නීතිවල දී ”ජාතික ආරක්ෂාව” පිළිබඳ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා වන සුරැකිතාවන් ද සැලකිල්ලට ගත යුතු ය. අයථා ක‍්‍රියා දැනුම් දීමේ ක‍්‍රියාවෙන් බැහැර වන පරිදි මැනවින් කෙටුම්පත් කළ නීතියක් යටතේ නිශ්චිතව දක්වා සහ පැහැදිලිව අර්ථ නිරූපණය කළ යුතු ජාතික ආරක්ෂාවට අදාළ ඉතා සුවිශේෂ අංශ කිහිපයක් පවතී. අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණතක් යටතට ගෙන ආ හැකි සහ ජාතික ආරක්ෂාවට කවර හෝ සම්බන්ධයක් නැති නානාවිධ ආණ්ඩුමය ක‍්‍රියාකාරකම් ඇත. එහෙත් අයථා ක‍්‍රියා දැනුම් දෙන්නනට රැුකවරණය සැලසීමේ පණතක් බලාත්මක කරන විට පරිස්සමින් සලකා බැලිය යුතු නොපැහැදිලි ක්ෂේත‍්‍ර සමහරක් පැවතිය හැකි ය. මෑත කාලීන මනා උදාහරණයක් වන්නේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සියට (National Security Agency – NSA) අයත් තොරතුරු අනාවරණය කළ එඞ්වඞ් ස්නෝඩන්ට සම්බන්ධ සිද්ධිය යි. නීතිමය පියවරවලින් ගැලවීම සඳහා රුසියාවේ රැකවරණ පැතීමට ස්නෝඩන්ට සිදු විය. මේ සම්බන්ධයෙන් මග හැරිය යුතු දෙය වන්නේ ක‍්‍රියාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ තමන්ට ලබා ගැනීමට අයිතියක් ඇති තොරතුරු අත්පත් කර ගැනීමෙන් මහජනයා වැළැක්වීමට රාජ්‍යය විසින් ව්‍යාජ ලෙස ”ජාතික ආරක්ෂාව” වැනි නිදහසට කරුණු යොදා ගැනීම යි.
නිගමන
තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පණත හා අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන්ට රැකවරණය සැලසීමේ පණත ඒකාබද්ධ කිරීමට ආණ්ඩුවට පිළිවන්කම ඇත. මානව හිමිකම් සම්බන්ධ මනා ඉතිහාසයක් ඇති නිසි සුදුසුකම් සහිත ගරු කටයුතු නීතිඥයෙකු ද වන නව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට මෙම කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි විය යුතු ය.
පෙර පැවති ආණ්ඩුව පිළිබඳව වේවා නව ආණ්ඩුව පිළිබඳව පවා වේවා යම් දෙයක් හෙළිදරව් කිරීමට ඇති අයට මෙම අතරමැදි කාලයේ දී නවසීලන්තයේ සිට ක‍්‍රියාත්මක වන ඉන්ටර්නැෂනල් විස්ල්බ්ලෝවර්ස් (International Whistleblowers) ආයතනයේ සහාය පැතිය හැකි ය. දූෂණ ක‍්‍රියා පිළිබඳව තමන් වෙත වාර්තා කිරීමට වුවමනා කරන ලොව ඕනෑ ම රටක ඕනෑ ම කෙනෙකුගේ රහස්‍ය භාවය පූර්ණ වශයෙන් ආරක්ෂා කරන බවට ඔවුහු සහතික වෙති. ඔබට www.internationalwhistleblowers.com වෙබ් අඩවියෙන් ඔවුන් වෙත ළඟා විය හැකි ය. මෙතරම් කතාබහට ලක්ව ඇති අප සමාජය තුළ දූෂණය මුලිනුපුටා දැමීමේ හෝ සැලකිය යුතු ලෙස අඩු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණ මග හැරීමට සිරිසේන/වික‍්‍රමසිංහ පරිපාලනය උත්සාහ කරන්නේ නම් අයථා ක‍්‍රියා දැනුම් දෙන්නන් ඕස්ටේ‍්‍රලියාව හෝ නවසීලන්තය වෙත යොමු වීම විසඳුමක් විය හැකි ය.
එස්.ඩබ්ලිව්.ආර්. ද ඒ. සමරසිංහ සහ තිස්ස ජයතිලක
@groundviews පළවු ලිපියේ සිංහල පරිවර්තනයකි.