ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අල්පේච්ඡතාවයෙන් යුත් සරළ ජීවන මාදිලියක් සහිත සේවක නායකයාගේ අපූරු ආදර්ශය විදහාපාන යුගයක, බොහෝ විට දියුණු රටවල්වල ආදර්ශ ගැන වැඩියෙන් සැළකිලිමත් වන ශ‍්‍රී ලාංකිකයන්, පසුගිය පස් වසරක කාලයක් තුළ දකුණු ඇමරිකාවේ කුඩා රාජ්‍යයක අත්දැකීමක් දෙස බැලීම වටනේය.
79 වියැති හෝසේ මුහිකා 2010 සිට මේ වසර දක්වා උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා විය. ‘තුපමරෝස්’ නැමැති නාගරික ගරිල්ලා සංවිධානයේ සටන්කරුවෙකු වූද, ‘සමාජවාදී පුළුල් පෙරමුණේ’ සාමාජිකයෙකු වූද ඔහු, 2005 සිට 2008 දක්වා එරට සත්ව පාලන, කෘෂිකර්ම සහ ධීවර ඇමතිවරයා වශයෙන්ද, අනතුරුව සෙනේට් සභිකයෙකු වශයෙන්ද කටයුතු කර තිබුණි. ‘පුළුල් සමාජවාදී පෙරමුණේ’ අපේක්ෂකයා වශයෙන් 2009 ජනාධිපතිවරණයට තරග කොට ජයගත් ඔහු, 2010 මාර්තු 1 වැනි දා එරට ජනාධිපතිවරයා බවට පත්විය. එවක් පටන් ඔහුව හැඳින්වුණේ ලෝකයේ සිටි ඉතාම නිහතමානී සහ වඩාත්ම දුප්පත් ජනාධිපතිවරයා වශයෙනි. එක පැත්තකින් ඔහු ගත කළ ඉතා සරළ දිවි පෙවෙතත්, අනිත් පැත්තෙන් දිළිඳු ජනතාව සහ කුඩා පරිමාණ ව්‍යවසාකයන් සඳහා ඩොලර් 12.000ක් වන තම වැටුපෙන් සියයට 90 ක් පමණ ඔහු විසින් පරිත්‍යාග කරනු ලැබීමත් එම හැඳින්වීමට හේතු පාදක විය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ සේම, ජනාධිපති මුහිකාගේ පියා ද කුඩා පරිමාණ ගොවියෙකි. 1940 දී මරණයට පත්වීමට පෙර ඔහු ගොවිතැනින් බංකොලොත් වී සිටි ගොවියෙකි. එකල මුහිකාගේ වයස අවුරුදු 5 කි. ඔහුගේ මවගේ දෙමාපියන් ඉතාලියෙන් උරුගුවේ රටට පැමිණ සිටි දුප්පත් සංක‍්‍රමණිකයන් ය. බී.බී.සී. සේවය වාර්තා කරන පරිදි මුහිකා වනාහී තවත් බොහෝ රටවල් තමන්ගේ රටවල්වල නායකයා වශයෙන් පත්කර ගැනීමට එම රටවල පොදු ජනතාව ආශා කරන මාදිලියේ චරිතයකි. කෙනෙකුගේ දේශපාලන නැමියාවන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ මතිමතාන්තර දැරිය හැකි වෙතත්, මුහිකාගේ චරිත ස්වභාවය කෙරෙහි ආකර්ශනය නොවන කෙනෙකු නැති තරමි. කුඩා පිරිසක් වුවත්, ලෝකය පුරාම පරමාදර්ශී, කාර්යශූර සහ අවංක දේශපාලඥයන් නැතිවා නොවේ. එහෙත් ඒ කිසිවෙකු, වචනයෙන් කියන ආකාරයටම අනුරූපව ජීවත් වීම සම්බන්ධයෙන් මුහිකාට කිට්ටු වීමටවත් තරම් නොවෙති. ඔහු හැම විටකම රටට දේශනා කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාරව ජීවත් වන්නෙකි.
එය, හුදෙක් කැපී පෙනීම සහ ලෝකයාට ශෝභනයක් වීම සඳහා නොවේ. සමහරවිට ඔහු පාවිච්චි කළ පරණ බීට්ල් මොඩලයේ වොල්ක්ස්වාගන් රථය ලෝකයේ ප‍්‍රකටම රථවලින් එකක් විය හැකිය. එසේම ජනාධිපති මන්දිරයේ සුඛ විහරණ අත්හැරීමට ඔහු ගත් තීරණයත් අද්විතීය නැත. ඔහුගෙන් පසු අද බලයට පත්ව සිටින තබාරේ වස්කුවේස් ද, තමාගේ පෞද්ගලික නිවසේ ජීවත් වීමට තීරණය කළ හැකි බව බී.බී.සී. සේවය වාර්තා කරයි. එහෙත් මොන්ටිවීඩියෝ නගරයෙන් පිටත පිහිටි මුහිකාගේ තනි තට්ටුවේ පුංචි නිවෙස දකින ඕනෑම කෙනෙකු ඔහු කියන වචනය ක‍්‍රියාවෙන්ද ආදර්ශය කොට පෙන්වන්නෙකු බව ඉබේම වටහා ගනු ඇත. උරුගුවේ අවට පිහිටි විශාල රටවල්වලට වඩා යහපත් තත්වයකින් උරුගුවේ ආර්ථිකය ඔහු නගා සිටුවීය. කිසි දවසක කරපටියක් පැළඳ සිටිනු දැක නැති ඔහු, සරළ සාමාන්‍ය ඇඳුමින් සැරසී, අබලන් පොත් රාක්කයක් ළඟ ලෑලි බංකුවක වාඩි වී සිටී. ඒ පොත් රාක්කයේ බොහෝ කොට තිබෙන්නේ, ඔහුගේ දේශපාලනික මිතුරන්ගේ සහ සතුරන්ගේ චරිතාපදානයන් ය.
ජීවිතයෙන් අවුරුදු 13 ක් හිරේ ගත කොට තිබෙන මේ හිටපු ගරිල්ලා සටන්කරුවාගේ ජීවිතේ වැදගත් තැනක් පොත්පත්වලට හිමිවෙයි. හිරේ දී ලැබු අත්දැකීමෙන් ඔහු මානසිකව කඩා නොවැටුණේ අනූනවයෙනි. සටන්කරුවෙකුගේ සිට දේශපාලඥයෙකු දක්වා ඔහු වර්ධනය වන්නේ ඒ අත්දැකීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ‘‘හුදකලා සිරකුටියක දීර්ඝ කාලයක් හිටියට පස්සේ පළමු වතාවට සෝපාවක වාඩි වෙච්ච වෙලාවේ ඒක මට දැනුණේ මහා සැපතක් වගේ.’’ යි වරක් ඔහු කීය. ඔහුගේ අතීතය දෙස බලන විට, තමාගේ වැටුපෙන් ඔහු සියයට 90 ක්ම සමාජ සුභසාධනය සඳහා කැප කෙළේ මන්ද යන්න තේරුම් ගැනීම අපහසු නැත. ඇත්ත වශයෙන්ම, ඔහු ගත කරන සරළ දිවි පෙවෙත දෙස බලන විට එතරම් මුදලක් සත්තකින්ම ඔහුට අවශ්‍ය නොකරන බව පැහැදිළි වෙයි. ‘‘මේක පිස්සු ලෝකයක්. සාමාන්‍ය දේවල් ගැන මිනිස්සු පිස්සු වැටෙනවා. ඒ දේවල් ගැන මිනිස්සු පෙළෙන ආශාව මට තේරුම්ගන්න බැහැ.’’ තවත් වරක් බී.බී.සී. සේවයට ඔහු කීය.
තමාගේ නායක මට්ටමේ වෙනත් සගයන් සැහැල්ලූ විවේචනයකට ලක්කිරීමටත් ඔහු බය නැත. ‘‘මං කරන එකම දේ තමයි, මගේ රටේ බහුතරයක් මිනිස්සු ජීවත් වෙන විදිහට ජීවත් වීම. සුළු පිරිසක් ජීවත් වෙන විදිහට නෙවෙයි. මං ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක්. මං හිතන්නේ, ඉතාලි සහ ස්පාඤ්ඤ නායකයොත් ජීවත් වෙන්න ඕනේ ඒ රටවල්වල සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහටයි. ධනපති සුළු පිරිසක් ජීවත් වෙන විදිහ අනුකරණය කිරීම නෙවෙයි ඔවුන් කළ යුත්තේ.’’
ලංකාවේ දේශපාලඥයන් දැන් සේවක නායකයන් වීමට ප‍්‍රතිඥා දෙන තත්වයක් තුළ සහ යහපාලනයත් සමාජ සාධාරණත්වයත් ගෙන ඒමට සපථ කෙරෙන තත්වයක් තුළ, උරුගුවේ රටේ මෑතක් වන තෙක් හිටපු ජනාධිපති හෝසේ මුහිකා ඔවුන්ට ගත හැකි අගනා ආදර්ශයකි. අපේ දේශපාලඥයන් ඔහුගේ ජීවිත කතාව නැවත නැවතත් කියැවිය යුතුව තිබේ. ඒ අනුව කටයුතු කළ යුතුව තිබේ.
[*2015 මාර්තු 6 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Walk the Talk Like the World’s Poorest President නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි]