Image Credit: sarigama

‘කලාකාරයන්ගෙ හිත් සංවේදීතාවයෙන් වැඩියි.’ මේ අපි අතරෙ හුවමාරු වෙන කියමනක්. වර්තමානය වෙද්දි ‘සංවේදීතාවය’ තියා තමන්ගෙ කාර්යභාරයවත් අකුරට ඉෂ්ට කරන කලාකාරයො ඉන්නෙ ඉතාම අතලොස්සයි. ‘සංවේදීතාවයයි – කලාත්මක හැකියාවයි ‘ පපු කුහරෙ ඇතුළෙ හැම මොහොතකම දෝංකාර දුන්න, මිනිසුන් වෙනුවෙන් කැපවුණ කලාකරුවෙක් – මිනිසෙක් ‘ගුණදාස කපුගේ.’

1945 අගෝස්තු 07 වැනි දා ගාලු පළාතෙ මිරිස්වත්ත කියන ගමේදි ‘ගුණදාස’ නම් කුඩා දරුවා ජීවිතය ලබනවා. දරුවගෙ පියා, ‘ඇල්ලමුල්ල කපුගේ ප්‍රැන්සිස්.’ මව, ‘ දෝන සිරිබද්දන ඇලිස් නෝනා.’ දුප්පත්කමේ දුක පොඩි අවධියෙ ඉඳන් අත්විඳින කොල්ලව රකින්න අම්මයි – තාත්තයි නොවිඳිනා දුක් විඳිනවා. ගෙදර එදා වේල පිරිමැහුණෙ අම්මයි තාත්තයි පින්ෂන් වත්තෙ වැඩට ගිය හින්දා.

මුදලින් දුප්පත් – සිතුවිල්ලෙන් පොහොසත් කපුගේ මුලින්ම ඉගෙන ගන්නෙ ‘ඒරමුල්ල රජයේ පාසලෙන්.’ පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා පුංචි ගුණදාස ‘කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට’ ඇතුල් වෙනවා. උසස් අධ්‍යාපනය ගාල්ලෙ ‘නාගොඩ විද්‍යාලයෙන් වගේම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනුත්’ ලබා ගන්නවා.

වේදනාව දෝතින්ම දරාගත්ත කපුගේ නොසෑහෙන්න ඇඬුව දවසක් කොල්ලට අවුරුදු 10දි උදාවෙනවා. පොඩි එකාගෙ හයිය වුණ පියා හදිසියේ මිය යනවා. එතැන ඉඳන් පුතාව රකින වගකීම සපුරාම පැටවෙන්නෙ අහිංසක අම්මගෙ කර මතට. පුංචි කපුගේ කරදඬු උස් මහත් වුණාට පස්සෙ ගැඹුරු ස්වර පිරිමැද්ද දවසක මේ ගීතය ගයනවා. මව්වත් කඳුළු කැට දහසක් වැගිරෙන හෝරාවක පුත්‍රයා ළයාන්විත ස්වර බැඳුමකින් ඒ කඳුළු පිසලනවා.

” දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා
අම්මේ…
පායන තුරු හිටි පියවර සිටියා ඔබ අම්මේ…”

කපුගේව රකින්න මේ අම්මා හෙළුව හැම දහදිය බිඳුවක් ම අර්ථවත්. අප්‍රමාණ මහන්සිය පුපුරලා අන්තිමේ අම්මා ලෙඩ ඇඳට වැටෙනවා. ඒ මොහොතෙදි පොඩි එකා ඉදිරියෙ ප්‍රාදූර්භූත වෙන දෙයියා ‘කපුගේ ගෙ ලොකු මාමා.’ ගුරුවරයෙක් – විදුහල්පතිවරයෙක් වුණ මාමගෙ නම ‘එඩ්මන්ඩ් සිරිවර්ධන.’ තමන්ගෙ දරුවෙක් බලාගන්නවා වගේ සෙනෙහස් පහසින් මාමා කොල්ලව රැකබලා ගන්නවා.

පොඩ්ඩා ටික ටික උස් මහත් වෙනකොට අධ්‍යාපනය,සංගීතය කියන ක්ෂේත්‍ර ආදරෙන් පිරිමදින්නෙ මාමගෙ පිටිවහල ඇතුළෙ. සංගීතය දිහාට වැඩි වැඩියෙන් බැලුම් හෙළන කපුගේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සංගීතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්නවා. 1962දි ‘හේවුඩ් කලායතනයට’ ඇතුළත් වෙලා ‘වාද්‍ය සංගීතය’ හදාරනවා. මොන තරම් මුදල් අඩුපාඩු තිබුණත් මාමගෙ මැදිහත්වීමත් එක්ක කපුගේ ඉන්දියාවෙ භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයට අඩිය තියනවා. ඒ සංගීතය වැඩි දුර හැදෑරීමේ ඒකායන අදහසින්!

සප්ත ස්වර සාගරේ තරණය කරලා, අවුරුදු 7කට විතර පස්සෙ තරුණ කපුගේ මව්බිමට එන්නෙ, ‘විශාරද උපාධියක්’ උරුම කරගෙන. පස්සෙ ‘දේවාර් සූරියසේනගේ’ හමුවීමත් එක්ක කපුගේ ‘ශබ්ද පරිපාලකයෙක්’ හැටියට ගුවන් විදුලියට බැඳෙනවා. සැපේදි විතරක් එකතු වෙලා කාලා බීලා විනෝද වෙන මිතුරන් අතරෙ දුකේදි ළඟම දැවටෙන කුළුණුබර මිතුරෙක් කපුගේට සමාජෙදි මුණ ගැහෙනවා. ඒ තමයි ‘ප්‍රභාත් මානවසිංහ.’ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ පුත්‍ර රත්නය. කපුගේගෙ මුල්ම සරල ගී වැඩසටහනෙ ගීත රචනා වෙන්නෙත් ප්‍රභාත් අතින්. කපුගේගෙ ආදරණීය බිරිඳ,’ප්‍රේමා විතානගේ’ හමුවෙන්නෙත් ප්‍රභාත්ගෙ ගෙදර තිබුණ සාදයකදි.’

කාලයක් ගතවෙද්දි ගුවන් විදුලි නාට්‍ය ගණනාවක ‘ශබ්ද පරිපාලක’ වෙන්න කපුගේට හැකි වෙනවා. ‘සුගතපාල ද සිල්වා’ මහත්තයගෙ ‘තුරඟ සන්නිය’ නාට්‍යයෙ සංගීත අධ්‍යක්ෂණය කරන්නෙත් අපේ සුන්දර කපුගේ!

1973දි මුල්ම ගීතය තැටිගත කරන කපුගේ දස දහස් රසික හිත් ඇතුළෙ රැව් පිළිරැව් දෙන ගීතමය මිහිරක් නිදන්ගත කරනවා. ගීතය ලියවෙන්නෙ ‘ මට අනුව මෙරට සියුම් ම ප්‍රේම පද රචකයා වෙච්චි ‘ප්‍රියානන්ද විජේසුන්දර’ අතින්. තනුවෙ හිමිකරු කපුගේ.

” දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල් මාලියේ….”

තව කල්ප කාලයක් ගතවුණත් දෙසවන් අස්සෙ නිම්නාද දෙන මේ ගීතයෙ වේදනාව – බලාපොරොත්තුව මෙතකැයි කියලා මනින්න පුළුවන්ද ???

” පබළු මිණි මුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ
තුෂර පිනි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ….”

එතැන ඉඳන් අර්ථවත් – රසවත් ගීත කැටියක උරුමක්කාරයා වෙන කපුගේ ‘සදාතනික ගී ලෝකය’ වර්ණවත් කරනවා.

” සුමනෝ – උලලේනෝ – අයියන්ඩියේ – සීතල සඳ එළියේ – දෙතොල නොකී දේ – බිම්බරක් සෙනඟ ගැවසුණු – උන්මාද සිතුවම් – මං මුලා වී – පිහිටක් නැති – දම් පාටින් ලා – සුබ ප්‍රාර්ථනා…..වගේම….තරුමල් යායම – සබඳ අපි කඳු නොවෙමු – බිරිඳ මගේ ඔබ – සොඳුර නුඹ ලිහිණියක – නින්ද නැති රැයේ – බිංදු බිංදු තාරකා – දුක හාදු දෙන රැයේ – නාඹර ගොයමට ” ඇතුළු බොහෝ ජනප්‍රිය හරවත් ගී රස ගන්වන්නේ මේ අසිරිමත් කටහඬයි!

1982දි ‘ස්ටැන්ලි පෙරේරා’ගෙ ‘සඳා’ සිනමාපටයෙන් කපුගේ සිනමා සංගීත අධ්‍යක්ෂණයේ ගමන් අරඹනවා. “චුට්ටේ – රතු මකරා – මාල ගිරව් ” වගේ සිනමාපට වලත් ‘පුතුනි මට සමාවෙන්න’ සිනමාපටයෙත් සංගීත මිහිර මේ කොවුලගෙ…

හැම මොහොතකදීම හිතට එකඟව වැඩ කෙරුව කලාකරුවෙක් වුණ කපුගේ රට අඳුරෙ ගිලුණ අවකාශෙක මිනිසුන් වෙනුවෙන් කැපවෙනවා. අදේශපාලනික තත්ත්වයන් නහුතයක් ඇතුළෙ දේශපාලනික වෙනවා. හිත් කෝටියක් කම්පනය කෙරුව ” කම්පන ” ඒකපුද්ගල ප්‍රසංගය පවත්වනවා. සොමියට ආමන්ත්‍රණය නොකර හෘද සාක්ෂියට තට්ටු කෙරුව කපුගේ ගෙ කටහඬ අදත් ඒ පපු ඇතුළෙ දෝංකාර නැඟෙනවා.

එක අවස්ථාවකදි විශාල උපකාරයක් බලාපොරොත්තුවෙන් කපුගේ එවකට රජයේ ප්‍රබල ඇමතියෙක් මුණගැහෙනවා. කපුගේ දැකපු ගමන් ආදරෙන් – ගර්වයෙන් කතාබහ කරන ඇමති අදාළ තැනට කතා කරලා ‘ වැඩේ හරි ‘ කියනවා. ටික දවසක් ගියත් කිසිම ප්‍රතිපලයක් නැති නිසා කපුගේ ආයෙත් ඇමති කරා යනවා. ඇමති එතකොටත් අදාළ ඉහළම තැනට කතා කරලා හොඳටම බනිනවා. ” කපුගේ ගෙ වැඩේ කරලා දෙන්න බැරි නම් තමන් ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙනවා කියනවා.” කාලයක් ගතවෙද්දි කපුගේට දැනගන්න ලැබෙන්නෙ පුදුම ආරංචියක්. බලද්දි ඒ ඇමති ගෙදර ඉඳන් කතා කරන්නෙ විසන්ධි කෙරුව දුරකතනයකින්ලු.

ඔන්න ඔය වගේ බාල වැඩ කෙරුව මිනිස්සු හිටිය රටක, ඉතිරි අහිංසක හිත් ආදර ස්වරයෙන් මුසපත් කෙරුව කපුගේ, ඇත්ත හිත් පතුලෙ කවදාවත් විසන්ධි නොවන චරිතයක්!

අහසෙ මාළිඟා තැනුවත් පොළොවෙ ඉන්න උන්ට – කුරා කුහුඹු මිනිසුන්ට ශක්තියක් වුණ මේ මිනිසා 2003 අප්‍රියෙල් 3 වැනිදා වාතලයට අවසන් හුස්ම පොද එක් කරනවා. ඒ වේදනාබර සමුගැනීම උහුලගන්න බැරි ඇස් ‘හීන්දෑරි මිත්‍ර රුවක් ඇදෙනතුරු’ අදටත් මඟ බලනවා.

අයාලෙ ගිය ජීවිත පණ ගැන්වුව ආදරණීය ‘ගුණදාස කපුගේ’ මෙන්න මේකයි ඇත්ත! ‘දර්ශන මේදිස්’ කවියා කිව්ව විදිහටම ” අපි කඳු නෙමෙයි, එකම ගඟකට වැටෙන සුනිල දිය දහරක්’ විතරමයි!

10526161_625099914284290_1351076398723688294_n කසුන් මහේන්ද්‍ර හීනටිගල | Kasun Mahendra Heenatigala