Image Credit: ft.lk

රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත‍්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ සේවාවන් සාපේක්ෂ පහසුවකින් අවශ්‍ය තන්හිදී ලබාගත හැකි වන ලෙසින් රාජ්‍ය ව්‍යුහය සකසා ගැනීම අවශ්‍ය කෙරේ. ස්වෛරී රටකට එවැනි ශක්තියක් සාමාන්‍යයෙන් අවශ්‍ය කරන්නේ, වෙනත් රටකින් හෙවත් බාහිර සතුරෙකුගෙන් ආරක්ෂා වීමටයි. නිදහස් ලංකාව කිසි දවසක එවැනි සතුරෙකුට එරෙහිව එකී ශක්තිය අභ්‍යාස කොට නැත. ඒ වෙනුවට, තුන් වතාවක්ම ඒ මර්දනීය ශක්තිය අප පාවිච්චි කොට ඇත්තේ, ලංකාවේම ජනතාවගෙන් ‘ලංකාව’ ආරක්ෂා කර ගැනීමටයි. ඒ අනුව, 1971, 1987-89 සහ 30 අවුරුදු යුද්ධය අපට අභිමුඛ විය.

රටක් ශක්තිමත් කෙරෙන දෙවැනි ආකාරය වන්නේ, සමාජය බලගැන්වීමයි. ඒ සඳහා, සමාජ විෂමතාව හැකි තාක් අවම කොට පුරවැසියන් බලගැන්විය යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් යම් සමාජයක් සාර්ථක වන තරමට, පළමුවැන්න සඳහා වන අවශ්‍යතාව අඩු වෙයි. එසේම, එය අසාර්ථක වන තරමට, පළමුවැන්න අත්‍යාවශ්‍ය කෙරේ. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් අපේක්ෂා කෙරෙන්නේ, වෙනත් කරුණුවලට අමතරව, මේ කියන බලගැන්වීම් දෙක අතරේ තුලනයක් ඇති කර ගැනීමයි.

ඉහත කී සමාජ විෂමතාව පශ්චාත් නිදහස් ලංකාව සම්බන්ධයෙන් ගත් විට ප‍්‍රධාන වශයෙන් තීරු දෙකක් ඔස්සේ ගමන් කොට ඇති බව පෙනේ. එක පැත්තකින්, ඇති-නැති පරතරය, භෞතික තලයේ ඔඩුදුවා තිබේ. කුඩා දැරියක් පාසල් ගාස්තු ගෙවා ගත නොහැකිව පොල් ගෙඩි දෙකක් සොරකම් කොට හිරේට නියම කෙරෙන රටක, රුපියල් දෙසීයකට ආප්පයක් කන හයියක් තවත් සමාජ කොටසකට දායාද කොට තිබේ. දෙවැනුව, ජාතික තලයේ කැකෑරෙන වාර්ගික විෂමතාවක් නිදහසේ පටන් පෝෂණය කරමින් ඉදිරියට ගෙනැවිත් තිබේ. එහි ප‍්‍රතිවිපාකයක් වශයෙන් අපි අවුරුදු තිහකට වැඩි කාලයක් ඇනකොටා ගත්තෙමු. මරා ගත්තෙමු. එනම්, වක‍්‍රාකාරයකින් රාජ්‍ය යන්ත‍්‍රය ජවසම්පන්න කර ගත්තෙමු. ඊටම ඔබින පාලන ව්‍යුහයක් හෙවත් විධායක ජනාධිපති ක‍්‍රමයක් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කෙරුවෙමු. මේ සන්නද්ධ රාජ්‍ය යන්ත‍්‍රය සහ විධායක ජනාධිපති ක‍්‍රමය දැන් අප සන්තකයේ තිබේ. එනිසා, 71 සහ 87-89 වන් කැරැල්ලකට හෝ නැගිටීමකටවත්, එල්.ටී.ටී.ඊ. පන්නයේ බෙදුම්වාදී යුද්ධයකටවත් දැන් අප බය විය යුතු නැතැ යි ඇතැම්හු සිතති.

සමාජ කැරැල්ලක් හෝ බෙදුම්වාදී යුද්ධයක් හමුදාමය වශයෙන් පරාජය කිරීම සහ එවැනි කැරැල්ලක් හෝ යුද්ධයක් ඇති වීමේ සමාජ අවකාශය නැති කිරීම අතර විශාල වෙනසක් තිබේ. එම වෙනස තේරුම් ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නා ප‍්‍රතිගාමියෙකි. ෆැසිස්ට්වාදියෙකි.

19 ට එරෙහිව නැගෙන විරෝධයේ එක පැත්තක් අප තේරුම්ගත යුත්තේ එම අතීතාවලෝකනය ඔස්සේ ය. ඒ විරෝධය සඳහා ඉදිරියට දැමෙන ඇස් බන්ධන සරළ සන්සන්දනයන් පසුපස මේ කතාවේ එක පාර්ශ්වයක් ගැබ්ව තිබේ. ජාතික හෙළ උරුමය දැන් කියන පරිදි, විධායක ජනාධිපතිවරයෙකුගෙන් බලය අරගෙන, විධායක අගමැතිවරයෙකුට දිය යුතු නැතිලූ. එකෙකු පඹයෙකු කොට අනිකා ජගතෙකු කළ යුතු නැතිලූ.

සමහර විට නොදැනුවත්වම ජාතික හෙළ උරුමය මෙහිදී පැටලෙන්නේ කුහක ප‍්‍රතිවිරෝධයකයි. මෙසේ කියන විට එක පැත්තකින් ඔවුන් කරන්නේ, බලයට නිරපේක්ෂ අගයක් පැවරීමකි. එනම් බලය යනු, ඕනෑම පසුබිමක් තුළ එකම ආකාරයකින් සේවයේ යෙදවෙන සංසිද්ධියක් වශයෙන් ගැනීමකි. 19 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ ඇතැම් බලතල අගමැතිවරයා ප‍්‍රමුඛ පාර්ලිමේන්තුවට පැවරීමෙන් ජනාධිපතිවරයා ‘පඹයෙකු’ වන විටම, ඊට සමගාමීව අගමැතිවරයා ජගතෙකු වන බවක් ඔවුන් කියන්නේ එබැවිනි. එය සදොස් හැඟීමකි. උදාහරණයක් ගතහොත්, පිහිය කැපෙනසුලූ ය. එහෙත් හුස්ම ගත හැකි නිදහස් අවකාශයක එම පිහිය පාවිච්චි කළ හැකි ආකාරයෙන්, බාධකවලින් වටවූ තැනකදී, උදාහරණයක් වශයෙන් වතුරක් යටකදී එය පාවිච්චි කළ නොහේ. එනම්, බලය එය අභ්‍යාස කෙරෙන අවශේෂ පරිසරය තුළ සාපේක්ෂ වන බවයි. ජාතික හෙළ උරුමය මේ කියන පඹයා-ජගතා ද්විවිධය ගෙනහැර පාන්නේ, ප‍්‍රශ්නය දෙස පුද්ගලබද්ධව බැලීම නිසාවෙනි. එසේ වන විට, ජනාධිපති තනතුර සහ අගමැති තනතුර නැමැති ‘ස්ථාන’ දෙක වෙනුවට පුද්ගලයන් දෙන්නෙකු අධිනිශ්චය වෙයි. ඒ, මෛත‍්‍රිපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහයි. මෛත‍්‍රීපාල සිරිසේන පඹයෙකු වීමට වඩා ඔවුන් නුහුලන්නේ රනිල් වික‍්‍රමසිංහ ජගතෙකු වීමයි.

අනිත් පැත්තෙන්, ඔවුහු මෙවැන්නක්ද කියති. එනම්, අගමැති ප‍්‍රමුඛ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළ, අවශ්‍ය තන්හිදී, අවශ්‍ය ආකාරයෙන් බලය පාවිච්චි කිරීම, ජනාධිපති ක‍්‍රමයකදී තරම් සාර්ථකව කළ නොහැකි බවයි. ඉහත කී වතුරක් යට පිහියක් පාවිච්චි කිරීමට ඇති අපහසුවට එය සමාන ය. බෙදුම්වාදයට එරෙහි සාර්ථක ආරක්ෂණයක් වශයෙන් ජනාධිපති ක‍්‍රමය පවත්වා ගත යුතු බවට නැගෙන තර්කයේ හරය එයයි. තර්කයේ මේ අදියරට එන විට, ඔවුන් කලින් කී තර්කය, එනම්, රනිල් ජගතෙකු වීම පිළිබඳ ආස්ථානය නිෂේධ කෙරෙන බව ඔවුන්ට නොවැටහෙයි. බෙදුම්වාදී සතුරෙකු ඉදිරියේ දුර්වල මෙවලමකැ යි කියන අගමැති තනතුර හොබවන රනිල් වික‍්‍රමසිංහ ජගතෙකු විය හැක්කේ කෙසේදැ යි ප‍්‍රශ්නයක් මතුවන බැවිනි.

ඒ සියල්ල මොහොතකට පසෙකින් තබමු. ආණ්ඩුවේ නායකයා මෛත‍්‍රීපාල සිරිසේන වීම සහ ආණ්ඩුවේ නායකයා රනිල් වික‍්‍රමසිංහ වීම අතර පැවතිය හැකි බලයේ අගය/වටිනාකම සමාන විය හැකිද? පවතින ජනාධිපති ක‍්‍රමය තුළ මෛත‍්‍රිපාල සිරිසේන ආණ්ඩුවේ නායකයා වන්නේ, රාජ්‍යයේ හෙවත් රටේද නායකයා වීමට අමතරව ය. එහෙත් 19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ නායකයා වන විට ඔහු රාජ්‍යයේ හෙවත් රටේ නායකයා වන්නේ නැත. එතැනම, එකම බලය දෙන්නා අත තිබෙන විට ගුණාත්මක වෙනසකට භාජනය වෙයි. දෙවැනුව, ජනාධිපති ක‍්‍රමය යටතේ මෛත‍්‍රිපාල සිරිසේන බලය ගන්නේ සෘජු ඡන්දයකිනි. ඊටත් වඩා එය, ඒක-පුද්ගල කේවල බලයකි. 19 වැනි සංශෝධනය යටතේ රනිල් වික‍්‍රමසිංහ අගමැති වන්නේ එවැනි සෘජු ඡන්දයකින් නොව, පාර්ලිමේන්තුවක බහු-පුද්ගල තේරීමක් හරහා ය. එසේ හෙයින් ඔහුට බලය අභ්‍යාස කළ හැක්කේ, අර බහු-පුද්ගල අනුමැතිය ඇති තාක් පමණි. එහෙත්, ජනාධිපතිවරයාගේ බලය තව අවුරුදු හයකින් ජනතා අනුමැතිය උරගා බලන තෙක් නොවෙනස් වන්නේය. මේ අනුව, එකම බලය තුළ පවා, ආණ්ඩුවේ නායකයා වන රනිල් වික‍්‍රමසිංහ, ආණ්ඩුවේ සහ රටේ ද නායකයා වන ජනාධිපතිවරයෙකු තරම් කිසි විටෙකත් ජගතෙකු වන්නේ නැත.

දැන් මේ බොළඳ නාමකරණය පැත්තකින් තියන්න. රනිල් වික‍්‍රමසිංහ යනු අවුරුදු සිය ගණන් වෙසෙතැ යි කියන ඉබ්බෙකු හෝ කැස්බෑවෙකු හෝ නොවේ. එබැවින් හුදෙක් ඔහු පිළිබඳ ද්වේෂයක් හෝ නොකැමැත්තක් පෙරදැරිව, අගමැති තනතුර සාධාරණ මට්ටමකින් බලගැන්වීමට කෙනෙකු හතුරු වීම මුග්ධ ය.

මේවා, ජාතික හෙළ උරුමයේ වාගාලංකාර හරහා උපදින නන්දෙඩවිලි බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ පසුපස ඇති, මේ මොහොතේ ඔවුන් රටට නොකියන සැබෑ දේශපාලනය ඊට වෙනස් ය. එය, ඉහත කී ඊනියා රනිල්-විරෝධයට වඩා භයානක ය. මේ ලිපියේ මුල් භාගයේ අප කී කතාව, එනම්, මර්දන යන්ත‍්‍රයක් සේ රාජ්‍යය මුවහත් කිරීමක් නිරතුරුව අවශ්‍ය කරන්නේ, ඒ අවිය භාවිත කිරීමේ සමාජ කොන්දේසි නොවෙනස්ව පවතින්නේ නම් ය. ඇති-නැති පරතරය තව තවත් වර්ධනය වෙයි නම්, අර රාජ්‍ය යන්ත‍්‍රයේ මර්දක බලය අනාගතය සඳහා අවශ්‍ය කරන්නේය. බෙදුම්වාදය යනුවෙන් හැඳින්වෙන ජාතික විෂමතාව පිළිබඳ ප‍්‍රශ්නය ඉදිරියටත් නොවිසඳෙයි නම්, ‘පඹයෙකු’ නොවන ජනාධිපතිවරයෙකු එක දිගටම අවශ්‍ය කරන්නේය. (බෙදුම්වාදය පරාජය කිරීමට දායක වුණේ ජනාධිපති ක‍්‍රමයද, නැතහොත් වෙනත් සාධකද යන්න වෙනම ප‍්‍රශ්නයකි).

දැන් මේ ප‍්‍රශ්නය අපි දෙපයින් සිටවමු. ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ප‍්‍රතික්ෂේප කරන ඕනෑම චින්තනයක් තුළ, මර්දනීය රාජ්‍ය යන්ත‍්‍රයක සහ රාජ්‍ය ව්‍යුහයක (ජනාධිපති ක‍්‍රමයක) අවශ්‍යතාව අසාමාන්‍ය ආකාරයකින් අධිනිශ්චය වන්නේය. අනාගතේ ඇති විය හැකි දේශපාලන විසඳුමකට එරෙහි වීමට දැන් සිටම තීරණය කොට ඇති පිරිස්, ජාතීන්ට නිදහස සැපයෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට, අවශ්‍ය මොහොතකදී අධිකාරීවාදයකට පරිවර්තනය කරගත හැකි සහ මර්දන අවියක් බවට පහසුවෙන් හරවා ගත හැකි ආකාරයේ බල ව්‍යුහයක්ම අපේක්ෂා කරන්නාහ. ජාතික හෙළ උරුමය 19 වැනි සංශෝධනයට එරෙහිව තල්ලූ කරවන දෘෂ්ටිවාදය සිංහල-කේන්ද්‍රීය වන්නේ නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක සාධකයක් වශයෙන් ඔවුන්ගේ භූමිකාවද අළුතෙන් ප‍්‍රශ්න කළ යුතුව තිබේ. අධිකාරීවාදී ජනාධිපති ව්‍යුහය යම් තාක් හෝ මැඩලීම සඳහා ගෙනා 17 වැනි ව්‍යස්ථා සංශෝධනයට මුළු පාර්ලිමේන්තුවම එක හඬින් අත් එසැවූ එක් ඓතිහාසික මොහොතක ඊට එරෙහි වූ එකම මන්ත‍්‍රීවරයා චම්පික රණවක වූ බව රටට අමතක නැත. 18 වැනි ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනය සඳහා පෙනී සිටි ප‍්‍රතිගාමිත්වය තුළත් ඔවුහූ පෙරමුණේම සිටියහ. යටගියාව එයාකාරයෙන්ම ප‍්‍රතිනිර්මාණය වන විට, විටෙක එය විගඩමක් වෙයි. විටෙක, ඛේදවාචකයක් වෙයි.

Gamini Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda