Image credits : Nayanahari Abenayake
“ස්වර්ගයට ඇතුල් විය හැකි දොරටුව වැටී ඇත්තේ මවගේ දෙපතුල් යටිනි.” මෙහෙම කියන්නෙ මුහම්මද් නබි තුමා. හැබැයි මවකට වුණත් තමන්ට අයිති ස්වර්ගය මඟහැරෙන්න පුළුවන්. අද වගේ දවසක – මේ වගේ මොහොතක අපි ඉදිරියෙ ඉන්නෙ ‘අබ්දුල් ජමීනා අම්මා’. ඈ තමන්ට මඟහැරුණු ස්වර්ගය හොයාගෙන යනවා. මේ අම්මගෙ මිහිපිට ස්වර්ගය වැටිලා තිබුණෙ හකීම් පුතාගෙ ඇස් දෙක යට! ඒ බව මව්වත් දෑත උඩ ජීවමානව ඉන්න ‘පුත්‍ර සේයාරුවෙන්’ තහවුරු වෙනවා. කඳුළු මතකය එක්ක ඈත සිතිජෙට එබෙන අම්මා, හිරු හොරු අරන් ගිය කතාව හදවතේ සියුම් ම තැනින් පටන් ගන්නවා. බ්‍රිටෝ අන්කලුයි – මායි දෙන්නා කඳුළු – ගොළු මුහුදෙ ගල්වෙනවා.
“මගේ දෙවනි පුතා ‘මොහොමඩ් හකීම්.’ 2009 මාර්තු 21 වැනි දා තමයි මට්ටක්කුලියේ විස්වයික් මාවතේදි පුතාව පැහැරගෙන තිබුණෙ. ඒ වෙලාවෙ පුතා ඉඳලා තියෙන්නෙ එයාගෙ අංක 200-5469 දරන ත්‍රීරෝද රථයෙන් මගියෙක් ප්‍රවාහනය කරන ගමන්. පුතාව බලෙන් අරන් ගිහින් තිබුණෙ සුදු වෑන් එකකින්. එතකොට පුතාට වයස අවුරුදු 25යි. කොච්චර හොයල බැලුවත් කාලයක් යනකං අපිට පුතා ගැන කිසිම තොරතුරක් ලැබුණෙ නැහැ”
2009 කියන්නෙ ලාංකේය ඉතිහාසයේ කාලකණ්ණි ම අවුරුද්ද. වර්ග සංහාර – වධ බන්ධන – යුද අපරාධ – තදබල ලෙස අතුරුදහන් කිරීම් රාජපක්ෂලා හිතේ හැටියට කෙරුව වසරක් ඒක. ෂෙල් වැදිලා හිල් වෙච්ච දෙමළ පපු දැක දැකත් – වමනෙ වැගිරෙන රෝස මල් වගේ දරුවන්ගෙ කළු දෙතොල් දැක දැකත් – සමූහ දූෂණයට ලක්වෙච්චි නිරායුද අහිංසක දෙමළ කෙල්ලො දැක දැකත්, දකුණෙ සුධීමත් පින්වත්තු කිරියා – කිරිබත් කෑව – ලේ බඩ ගිය කාලයක් ඒක. එදා නිදහස,නිදහස කිය කිය මහ රජ්ජුරුවො ටීවී අස්සෙන් ගෙදරට ඇවිත් අත වැනුවට ‘උතුරෙ අම්මලගෙ අත්’ කපලා තිබුණෙ. උතුරෙ නොවුණත් , මේ මුතු ඇටේදිම තමන්ගෙ ‘ප්ලැටිනම් හිත’ අහිමි අබ්දුල් ජමීනා අම්මත් අයිති අන්න ඒ කුලකෙට. දරුවන් අහිමි – අත් කැපුව කුලකෙට!
” කාලයක් ගිහින් 2011 සැප්තැම්බර් මාසෙ 29 වැනිදා වීරකේසරී පුවත්පතේ තිබ්බ ප්‍රවෘත්තියක් මං දැක්කා. ඒකෙ තිබුණෙ 2011 සැප්තැම්බර් 30 (පහුවදා) LTTE සැකකරුවන් 1800ක් දෙමවුපියන්ටයි, පවුල්වලටයි බාරදෙනවා කියලා. හිතට පුංචි අස්වැසිල්ලක් ආවා මගේ පුතත් එතැන ඉඳියිද කියල. ඒ උත්සවේ තියෙනවා කියල තිබුණෙ ජනාධිපති මන්දිරේ…”
අඩමානෙකින් වුණත් සුදු බලාපොරොත්තුවක් දල්වන අම්මා, පහුවදා හීනෙ හඹාගෙන යනවා. අපි අම්මගෙ ඇස් දෙක පතුලෙන් සැබෑ සත්‍යය මතු කර ගන්නවා.
” ඒ විදිහට සැප්තැම්බර් 30 වැනිදා උදේම මායි,මගේ සොහොයුරියයි ජනාධිපති මැදුර ළඟට ගියා. ටික වෙලාවක් ඉන්නකොට ලංගම බස් රථ 20කින් වගේ රැඳවියන් අරගෙන ආවා. මන්දිරේ ඇතුළෙදි ඔවුන්ව බස් වලින් බස්සලා අත්සන් ලබාගන්න පෝළිම් කරනවා අපි දැක්කා. ඔන්න ඔතනදි තමයි මට අදහගන්න බැරිවුණේ…දෙයියො දැක්කා වගේ මං පෝළිමේ ඉන්න මගේ දරුවව දැක්කා. “මොහොමඩ් හකීම්” පුතාව මගෙ ඇස් දෙකටම දැක්කා. මගේ සහෝදරිත් කොල්ලව අඳුරගත්තා. ඒත් එතැන හිටපු ආරක්ෂක නිලධාරීන් අපට කෑ ගහන්න එපා කියල තර්ජනය කළා. පුතාව දැක්ක කැළඹීමට මාව ක්ලාන්ත වුණා…”
තමන්ගෙ කුසේ වැඩිලා – තමන්ගෙ සෙවනෙ හැදිලා – තමන්ගෙ තුරුළෙ බැඳිලා හිටිය ‘තමන්ගෙ ම පුතා’ දැක දැකත් කතා කරන්න නොලැබෙන එක මේ අම්මගෙ අවාසනාව නෙමෙයි. ඒක අන්ත ජාතිවාදී මහින්ද රාජපක්ෂලගෙ (අ)දේශපාලනය. මිනීමරු ගෝඨාභයලා ‘ඇත්ත හෙළිවෙනවට’ තියෙන අමු ම අමු බය! මිනිස් නිදහස – ආදරය – කැක්කුම – දරු දුක නොදන්නවුන්ගෙ පීඩක මානසික ත්‍රිල. මේ මොහොතෙදිත් අහිංසක අම්මලා වේදනා විඳින අඳුරුතම දරුණු ශෝකාන්තය.
සිද්ධ වෙච්ච දේ ගැන මතකය දිගේ කඳුළු ඇහිදින අම්මා අපේ චකිතය සමනය කරනවා. ඉතාම ඉවසීමකින් සුසුමකින් අපේ හෘද සාක්ෂි ප්‍රශ්න කරනවා.
“මට සිහිය ආවට පස්සෙ එතැන හිටපු ආරක්ෂක නිලධාරීන් අපිව බලහත්කාරෙන් පොදු ප්‍රවාහන බස් රථයක නංවලා, එතැනින් පිටමං කළා. කොච්චර උත්සාහ දැරුවත් මගේ දරුවට ළං වෙන්න ඔවුන් ඉඩදුන් නැහැ.”
චේතනාවක තියෙන උපරිම වේදනාව ජමීනා අම්මා මේ දැනුත් මිරිකගත් දැඟිලි අග්ගිස්සෙන් දරා ගන්නවා. නමුත් හකීම් පුත්‍රයා ‘සූරා පාරායනය’ කරන හඬ අම්මට තාම ඇහෙනවා. ආදරේ ඉල්ලගෙන හැමදාම හවසට ගෙදරට ඇදෙන හෙවනැල්ල මේ අම්මා දකිනවා. පිටිපස්සෙන් හොරෙන් ඇවිත් දෙකම්මුල් මිරිකලා හැංගිච්ච පොඩි එකා අම්මට මැවි මැවී පේනවා. ‘හිනාවක කෙළවර කඳුළක් නම් – කඳුළක කෙළවර හිනාවක් තියෙනවා කියලා’ අම්මා දන්නවා. අපායක වුණත් ජීවත් වෙන්න ඒ හැඟීම ම ඇති!
” 2011 ඔක්තෝබර් 01 වැනිදා වීරකේසරී පුවත්පතේ තිබුණා රැඳවියන් 1800ම දෙමවුපියන්ට,නෑයන්ට බාර දුන්නා කියලා. ඒත් ඒක නෙමෙයි ඇත්ත. මං වගේම පුත්තු එනකල් තව කොච්චර අම්මලා මඟ බලනවා ඇත්ද…? මං තාමත් මගේ දරුවා එක්ක කතා කරන්නෙ ඇස් දෙක පියාගත්තම විතරයි.”
අම්මා ඉතාම සියුම්ව හදේ ගැඹුරට තට්ටු කරලා අපිව නිරුත්තර කරනවා. නමුත් ‘මොහොමඩ් හකීම් දැනුත් නිරුත්තර නැහැ’ කියන දේ විතරක් අපි විශ්වාසෙන් අම්මට කියමු. මොකද උඹට දෙන්න තියෙන එකම සහ ලොකුම උත්තරේ ඒක විතරයි මගෙ අම්මෙ.
‘ජමීනා’ අම්මා එක්තරා විදිහක ‘ජමීලා’වරියක්. හේතුව මෑ බලන් ඉන්නෙ ම තමන්ගෙ ආදරේ ගෙදර එනකල්. ගැලවුම්කාර ‘දනියාර්’ කෙනෙක් මේ කතාවෙ නොහිටියත් මේ මානුෂීය සිත්තම සම්පූර්ණ කරන්න ‘හකීම් පුත්‍රයා’ අන්තිම මොහොතෙ හරි ගෙදර එනවා කියල අම්මට හැඟෙනවා. අම්මා අතීතය සහ වර්තමානය සමෝධානය කරනවා.
” ඉතින් මේ පත්වෙච්ච අලුත් පාලනයෙන් වගේ ම අදාළ බලධාරීන්ගෙන් මං ඉල්ලන්නෙ එක දෙයයි. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වලා මගේ දරුවා ගැන සත්‍යය හෙළිදරව් කරන්න කියලයි. අයුක්තිය විතරක් ලැබුණ අපිට යුක්තිය ඉෂ්ට කරන්න කියලයි.”
අනික ‘අබ්දුල් ජමීනා’ අම්මා හොඳාකාරව ම ‘බද්ර් යුද්ධය’ සහ ‘උහද් යුද්ධය’ ගැන දන්නවැති. ඒත් ‘ජීවිත යුද්ධෙට’ පැටලිලා තාමත් හරි උත්තර හොයනවැති. පුත්‍රයා ඉන්න තැන පිනෙන් නොවුනත් ඉවෙන් තාමත් දැනෙනවැති. කඳුළු අහුරක කිමිදිලා හිනාවක කෙළවරක් දකිනවැති. ඒ තමයි ආදරේ හැටි!
කසුන් මහේන්ද්‍ර හීනටිගල | Kasun Mahendra Heenatigala