Colombo, Featured Articles, Politics and Governance

ක්යා කරූන්? මම කුමක් කරම් ද?

මහින්ද රාජපක්ෂගේ දේශපාලනික වෘත්තිය යළි ගොඩනගා දීමට හිටපු ආණ්ඩුවේ ඇතැම් කොටස් දරණ වියරු ප‍්‍රයත්නය තුළ එක්තරා ඛේදයක ලක්ෂණයක් දක්නට තිබේ. මහින්ද රාජපක්ෂගේ නියමිත පාලන කාලය අවසන් වීමටත් කලින් සෑහෙන වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනතාව විසින් ඔහුව පරාජය කොට තවම මාස තුනක් පමණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් තුළ මෙවැනි පරාජයක් අරුමයක් වන්නේ නැත. ජනතා අවශ්‍යතා, ආකල්ප සහ අදහස් උදහස් වෙනස් වන සුළු ය. ඒ සමග, නායකත්වයේ වෙනසක් අත්‍යාවශ්‍යම නැතත්, අපේක්ෂා කෙරේ. ඊයේ දෙන ලද පිළිතුර, බොහෝ විට අද දවසේ ප‍්‍රශ්නය බවට පත්වෙයි.

කතාවට කියන්නා සේ, දේශපාලනය යනු සේවාවක් මිස, හරිහම්බ කර ගැනීමට, උසස් පංතියකට පැන ගැනීමට, ජනතා මුදලින් සෙල්ලම් කිරීමට, පවුල් නංවාලීමට හෝ මමංකාරය පුම්බා ගැනීමට පාවිච්චි කළ හැකි ව්‍යාපාරයක් නොවේ. දේශපාලනයට කෙනෙකු පැමිණිය යුත්තේ, තමාව පැත්තකින් තබා සමාජයට සේවය කිරීමටයි. එහෙත් එම සේවාව තවදුරටත් කළ නොහැකි බව කෙනෙකු තීරණය කරන්නේ කවදාද?

මහින්ද රාජපක්ෂ කලක් ඇමතිවරයෙකි. විපක්ෂ නායකයෙකි. අගමැතිවරයෙකි. අවසානයේ, දෙවරක්ම ජනාධිපතිවරයෙකි. ජනවාරි 8 වැනි දා ඔහුව ප‍්‍රතික්ෂේප වුණේ මන්දැයි සිතා බලන එක පුද්ගලයෙකුවත්, ඔහු යළි බලයට පැමිණිය යුතු යැයි අද කෑගහන ඒ අනාථ කල්ලියේ නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ, ප‍්‍රතික්ෂේප කළ දෙය යළි ස්ථාපිත කළ යුතු බවයි.

නිදහසින් පසු ලංකාවේ පවත්වන ලද මැතිවරණ ඉතිහාසය තුළ, ජනවාරි 8 වැනි දා මැතිවරණයට සත්තකින්ම විශේෂ ස්ථානයක් හිමි වනු නියති. වෙන කිසිවක් නැතත්, එය වූ කලී, කෙනෙකු අහම්බෙන්වත් මැතිවරණයකදී අපේක්ෂා කළ දෙයක් නොවේ.

මැතිවරණයට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මොන තරම් ශක්තිමත්ව සිය ධුරයේ වැඩ සිටියේද යත්, තමාට එරෙහිව ශක්තිමත් විපක්ෂයක් නැති කම ගැනත් ප‍්‍රසිද්ධියේ මැසිවිලි නැගුවේය. ඒ අධිකතර විශ්වාසය, හුදෙක් රාජ්‍ය අවශ්‍යතා සමග තමාගේ අවශ්‍යතා අනන්‍ය කර ගැනීමට බලයේ සිටින නායකයෙකු දක්වන කැමැත්තට අමතරව, ජනාධිපතිවරයාගේ අතිභූෂිත ක‍්‍රියාකාරකම් තුළ අතීත රජවරුන්ගේ නෑකමක් දකින පිරිසකගේ අවශ්‍යතාවන් සමගත් අනන්‍ය වීමට දැක්වූ නැමියාවක් පෙන්නුම් කරයි. පැසුණු අත්දැකීම් සහිත මේරු මනසකට, අසාමාන්‍ය සේ පුම්බන ලද භයානක මනෝන්මාදයක් සේ පෙනී යා යුතු මේ තත්වය, ආණ්ඩුකරණයේ ස්වාභාවික චාරිත‍්‍රයක් සේ ගත් ඒ පිරිස රාජපක්ෂ උරුමය පරම්පරාගතව යා යුතු දෙයක් සේ සැළකූහ.

වෑරී ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය

අවසානයේදී අභියෝගකරුවා ආවේ ජනාධිපතිවරයාගේම පිළෙනි. මහින්ද රාජපක්ෂ අතේ ගොනුකරගෙන සිටි බලය මොන තරම් විශාල වීද යත්, විපක්ෂ ක‍්‍රියාකාරකම් ඒ මගින් මුළුමණින් අකර්මණ්‍ය කරවන සුළු විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන සහ විධික‍්‍රම හුදෙක් සරුවපිත්තල වතාවත් බවට පිරිහීම, ඔහුගේ අවසාන වසර කිහිපය තුළ දැකිය හැකි විය.

රාජ්‍ය යන්ත‍්‍රය කෙනෙකුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා හිතුමතේ යොදා ගැනීම මජර පාලනයක ලක්ෂණයකි. ආර්ථික සාධක සැලකිල්ලට නොගෙන රාජ්‍ය අංශය තුළ රැකියා සපයා දීම, පක්ෂපාතීත්වය ලබා ගැනීම සඳහා සෑම ආකාරයකම කප්පම් ගෙවීම, තමන් වෙත හරවා ගැනීමට අපේක්ෂා කරන අයවළුන්ගේ නමින් පාසල් සහ මාර්ග නම් කිරීම, මේ දේවල් ගැන වැඩි වැටහීමක් නැති ඡන්දදායකයාට ජනාධිපති මන්දිරයේ දාන ශාලා පැවැත්වීම ආදී අපහරණයන් සහ සදාචාරාත්මක තක්කඩිකම් අනන්තවත් ය.

මේ රටේ ඇති අති ප‍්‍රබල මාධ්‍ය ආයතන ආණ්ඩුව සන්තකයේ පවතින දේශපාලනික චර්යාව කණගාටුවට කාරණයකි. ඒවාට නායකත්වය සැපයීමට පත්කරන අයවළුන් දෙස බැලීමේදී, දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ගැසීමට සහ අපහාස කිරීමට එම ආයතන පාවිච්චි කිරීම පාලකයන්ගේ අභිප‍්‍රාය වූ බවට සැකයක් නැත. අනිත් අතට, පෞද්ගලික මාධ්‍ය වශයෙන් හැඳින්වෙන ආයතන ද, ඉතා පහසුවෙන් මිළදී ගැනීමට හෝ හීලෑ කර ගැනීමට හැකි ආයතනයි.

මේ අතර, නීතිය බලගැන්වීමේ සමස්ත යාන්ත‍්‍රණය හසුරුවන ලද්දේ, එක්තරා විදිහක රුදුරු චරිතයක් වන ගෝඨාභය රාජපක්ෂ ය. තමා කැමති ඕනෑම දෙයක් කිරීමේ අවසරය ඔහුට තිබුණි. ඒ කිසිවක් සඳහා කිසිවෙකුවට වගවීමක් ඔහුගෙන් අපේක්ෂා නොකෙරුණි. වෙනත් පරිපාලකයන්ගෙන් අපේක්ෂා කරන රාජ්‍ය සේවා ආයතන සංග‍්‍රහයට අනුගත වීමක්, ඒ පිළිබඳ දැනුමක් හෝ පුහුණුවක් ඔහුගෙන් අපේක්ෂා නොකෙරුණි. රාජ්‍ය සේවකයෙකු තමාගේ රාජකාරිය සම්බන්ධයෙන් හැම විටකම වගවිය යුතුව තිබේ. යම් අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වුවහොත්, එයින් ඔහුගේ වෘත්තීය ජීවිතය පවා විනාශ විය හැකිය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ වැන්නන්ට ඒවා අදාළ නොවුණි. වසර කිහිපයක් හිතුමතේ වැඩ කොට කිසි නීතියකට යටත් නැතිව නිදහසේ ගැලවී යාමට ඔහුට හැකිව තිබේ. ඊට අමතරව, මානව හිමිකම් සුරැකීමේ අවසාන රක්ෂස්ථානය වන අධිකරණය අරා එදා වැජඹුණේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග පයුරුපාසනයේ යෙදෙන අගවිනිසුරුවරයෙකි.

මෛත‍්‍රීපාල සිරිසේන එම ආණ්ඩුවෙන් කැඞී විපක්ෂයට නායකත්වය සැපයීමට ආවේ, ඒ මුඩුම සහ අපුල දනවන පසුබිම යටතේ ය. වැඩෙමින් පැවති පවුල් ආඥාදායකත්වය ආපසු හැරවීම සඳහා යොදාගත හැකිව තිබූ අවසාන අවස්ථාව එය විය. රාජපක්ෂගේ යකඩ රෝලට අභියෝග කිරීමෙන් ඔහු උරදුන්නේ බරපතල ඔට්ටුවකට බවට සැකයක් නැත. එදා රට තිබුණේ, මොන තරම් අගාධයක මුවවිටක ද යන්න ගැන හරි වැටහීමක් තවමත් සමහරුන්ට නැත.

බැසිල්: පවුලේ කැඩපතක් වන රූපකයක්

අසීමිත පවුල්වාදයට බර සංස්කෘතියක් තුළ පවා රාජපක්ෂලා අසීමාන්තික විකෘතියකි. රාජපක්ෂලා වෙනුවෙන් නොදුන් කිසිවක් නැත. ඔවුන්ට කළ නොහැකි වූ කිසිවක් නැත. රිස්සක් කිරීමේ පූර්ණ අයිතිය භුක්ති විඳි රාජපක්ෂලා මොන දේ කළත් එය එදා නිවැරදි යැයි සැළකුණි.

මේ පවුල සඳහා අගනා රූපකයක් වන්නේ, ඇමරිකානු පුරවැසියෙකු වන, ජනාධිපතිවරණ තුනේම ප‍්‍රධාන සංවිධායක වූ බැසිල් රාජපක්ෂයි. 2005 දී ප‍්‍රථම වරට මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත්වන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකුවත් නොවු බැසිල් එක රැයකින් රටේ වඩාත් බලගතු පුද්ගලයෙකු බවට පත්විය. ඊළඟ වසර දහය තුළ, ‘උපදේශකවරයකු’ වශයෙන්ද, අනතුරුව මන්ත‍්‍රීවරයෙකු වශයෙන්ද, අවසානයේ විශාල අයවැයක් සහිත ඉතා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වශයෙන්ද ඔහු පත්විය.

ඒ වූ කලී, රාජපක්ෂ පවුලේ සුරංගනා අවදියයි. බැසිල් එය උපරිමයෙන් භුක්ති වින්දේය. ආණ්ඩුවේ ආර්ථික සහ ව්‍යාපාරික ප‍්‍රතිපත්ති තීන්දු සම්බන්ධයෙන් ඔහු තීරක සාධකයක් විය. ඒ අතරේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා වශයෙන්ද ඔහුව පත්කර ගැනුණි. ඒ අතරේ, ඔහුගේ සහෝදර ජනාධිපති රාජපක්ෂගේ අනපේක්ෂිත පරාජය පැමිණියේය. රටේ තිබෙන වටිනාම රථ සමූහයක් පිරිවරාගෙන පසු දා පාන්දරම සිය බිරිඳත් සමග කටුනායක ගුවන් තොටුපොළට ගිය ඔහු, එහි ප‍්‍රභූ අංශය හරහා, තම නිත්‍ය පදිංචි රට වන ඇමරිකාව බලා පලා ගියේය. ඔහු සහ ඔහුගේ බිරිඳ එදා පාවිච්චි කළ ප‍්‍රථම පංතියේ ගුවන් ටිකට් පත් දෙක, මේ රටේ ජනතාව ඔහු වෙනුවෙන් වැය කළ අවසාන මුදල වේවා ය යන්න රටේ ජනතාවගේ අපේක්ෂාවයි.

ගාල කඩාගෙන ගිය ඥාති සංග‍්‍රහය

මහින්ද රාජපක්ෂ සිය බෑනලා දෙන්නෙකු ඇමරිකාවේ සහ රුසියාවේ තානාපතිවරුන් වශයෙන් පත්කෙළේය. අප කවුරුත් දන්නා පරිදි දැන් ලෝකයේ සිටින එකම සුපිරි බලවතා ඇමරිකාවයි. එසේම, සම්පත්වලින් පොහොසත් රුසියාව ලෝක බලවතෙකි. ඒ රටවල් දෙකටම කළ පත්කිරීම්, වෘත්තීය විදේශ සේවාවට හෝ රාජ්‍ය සේවයට පිටස්තරව, දේශපාලනිකව සිදු කෙරුණි.

මේ පත්කිරීම්වලට කලින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පැහැදිළි නැත. එහෙත් ඔවුන් දෙන්නාම ජීවත්ව තිබෙන්නේ එකී රටවල ය. මෙවැනි උසස් තනතුරු හෙබැවීමට ඔවුන්ට ඇති සුදුසුකම් කවරේද යන්න අපි නොදනිමු. එහෙත් එක දෙයක් අපි දනිමු. එනම්, ඊට වඩා සුදුසු සහ රටට ගෞරවයක් ගෙන ආ හැකි බොහෝ ශ‍්‍රී ලාංකිකයන් අනන්තවත් සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මුදාහල සංස්කෘතිය තුළ, ඔහුගේ පුතා නාමල් රාජපක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ අංශයේ නායකයා වීම පුදුමයක් නොවේ. එපමණක් නොව, ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පුංචි පුද්ගලික ‘අධිකරණයක්’ ද ඔහු මෙහෙයෙව්වේය. මේ ‘කුමාරයා’ ඉදිරියේ ඊනියා බුද්ධිමතුන්, ආණ්ඩුකාරවරුන් සහ ව්‍යාපාරික ලොක්කන් සොක්කන් සේ හැසිරෙනු අපි දුටුවෙමු.

අද ශ‍්‍රී ලාංකීය ඡන්දදායකයාගේ දුර්දසාව

අද ඔවුන් ඉල්ලා සිටින්නේ එවැනි නායකයෙකු සහ එවැනි දේශපාලන සංස්කෘතියක් නැවත ගෙන එන ලෙස ය. එම ඉල්ලීම තුළ ඇති චින්තනයේ දරිද්‍රතාව බෙහෙවින් කණගාටුදායක තත්වයක් වෙතත්, අනිත් පැත්තෙන්, දින 100 ක් තුළ යහපාලනයක් ස්ථාපිත කරන බවට ප‍්‍රතිඥා දුන් වර්තමාන ආණ්ඩුව තුළ පවතින ව්‍යාකූලත්වය කුමක්ද? මධ්‍යස්ථ මතධාරියෙකුට මේ තත්වය පෙනෙනු ඇත්තේ, ගෙදර ගියොත් තෝ නසී මග සිටියොත් අඹු නසී වැනි තත්වයක් ලෙසිනි. කුරිරු පාලනයක් දුම්මල ගසා පලවා හැරීමෙන් පසු පත්කර ගත් ආණ්ඩුව, ඊට වඩා යහපත් එකක් වේද, නොඑසේ නම් තවත් ඛේද-ප‍්‍රහසනයක ආරම්භයක්ද යන්න ගැන තවම අපට සහතිකයක් නැත. සමහර විට, රාජපක්ෂලා යනු, වඩාත් ඔඩුදිවූ ව්‍යාධියක බාහිර ලක්ෂණයක් පමණක් විය හැකිය: හිතනපතන විදිහ, දේවල් දකින විදිහ සහ විශේෂයෙන් මිනිස් පැවැත්ම ගැන පවතින ආකල්ප අරභයා වන ව්‍යාධියක් ඒ පසුපස තිබෙනවා විය හැකිය.

අවුරුදු 60 කට පමණ පෙර මහත්මා ගාන්ධි ‘‘ක්යා කරූන්? මං කුමක් කරම්ද?’ යනුවෙන් පසුතැවුණු තත්වයට සමාන අවදියකට ශ‍්‍රී ලාංකීය ඡුන්දදායකයා අද පත්ව තිබෙනවා විය හැකිය. ආපසු රාජපක්ෂලාගේ යුගයට යාම මොන විදිහකින්වත් විසඳුමක් නොවන අතර අනාගත ගැන ඇති කරගත හැක්කේ බලා සිටීම පමණි.

රවි පෙරේරා


*2015 අපේ‍්‍රල් 02 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Kya Karun? What Shall I Do? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි