ඔහු වේය පාවේල්
ගෝර්කිගේ අම්මාගෙන් උපන්
පුරුදු කරගත්
අරතිසිත
මුවහත් කය දරා
–
ඔහුවේය පාවේල්
තිසරණෙන් ජාතක පොත දරා
අරතිගත
වෙළෙඳ පොළ දෙස
ද්විඝඨනයක
සංසර්ග ගත
කුටුම්භය තුල
හැංගි හැංගී මානයි අවි
–
ඔහු වේය පාවෙල්
අපිස්බව ද
මදිය ජීවිතයට
යන්තමින්වත් එතෙර වන්නට
එක පිට එක නැගී
වලිකන ජීවිතයට
–
ඇල්මට ගැල්මට
වෙඩි තියන්නට
ඉලක්කය හොයයි
ලිබරල් මරුවා
නසාලන්නට
අසා බණ
අපිස් බවෙහිම වෙළී
පඥ්චස්කන්ධය අත්හළ යුතු අන්තයක පොර බදයි
හුදී ජනයා
–
පිස්සෙකු යැයි කියද්දී
–
ඔහු වේ පාවේල්
ගෝර්කිගේ අම්මාත්
විරාගයේ අරවින්දත්
අතර සැරි සරනා
–
කිහිළි කරු කුටුම්භය
පැටලුණු සොපින් බෑගය
මඳ පමණින් හෝ සනසන්න
අත්හළ අන්ත දෙක
මදි වී
අත්හල මැදුම් පිළිවෙත
ද්වීඝඨණ චෛතසික
අනන්තයක පැටලී
විමුක්තිය සොයයි සිහිනෙන්
–
උදෑසන දුවයි
කාලය මදියි
දවසම දුවයි
හොඳටම හතියි
–
ඒ බණ
මේ බණ
අසයි
ඇති වී නැතිව යන
අලුතින් හැව අරින
වටා පතිකින් වසාගත්
ගල් පිළිමයකින්
–
සමාධිගත ජීවිතය
අරගලයට රති සිත
සාල ටෙලිවිෂනය
මනස සුන්බුන් කරයි
–
ඉඳහිට වහින වැසිවල
රතු කුඩයක් යට
නොතෙමෙන්නට දරන තැත
සුළං පහරින් වියවුල් කරයි
–
අභිමුක ජල කඩිත්තට
බුලත් කෙළ පහරක් හෙළ
රතු පැහැය
තනුක වෙන හැටි බලයි
–
ඔහු වේය පාවෙල්
සිහිනයකම කෙසඟ වූ
දහවල රැයම නිදි වූ
දෑස් මත සුද බැඳි
අරති සිත කය ඔසුවකි
වේදිකාවේ මර හඬ තළන
වටා පතෙන් වසා ගත්
නායක හිමිට
–
ඔහු වේ පාවේල්
අරති රතී මග වළකී
ඔහු වේ අරවින්ද
රති අරතී දුක සැපකී
–
උදය ආර්. තෙන්නකෝන්