දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි ලෙස පරාජයට කළ බව ලංකා ආණ්ඩුව ප්‍රකාශ කලේ 2009 මැයි 19වනදාය. ඉන් වසර 6ක් පිරීමට ඇත්තේ තවත් එක් දිනක් පමණි. වන්නියේ මිනිස් ජීවිත දුහුවිල්ලක් තරම්වත් ගණනකට නොගෙන සුනුවිසුනු කර දමා දකුණේ බොහෝ මිනිසුන් ජයපැන් පානය කළේය. මිනී කදු මත සිට ප්‍රීතිවූ ජන සමූහයන් සිංහකොඩි පිටලා ගෙන දකුණේ වීදි පුරා සැරිසැරුවෝය.
දැන් යුද්ධයෙන් වසර 6ක් ගතවෙමින් තිබේ. උතුරේ සහ නැගෙණහිර යුද්ධයෙන් පසු ඉතිරි වූ මිනිසුන්ද, ගැහැණුන්ද තවමත් ජීවත්වන්නේ වේදනාවෙන් බව කාපට් පාරෙන් ඔබ්බට නොයන කෙනෙකුට පෙනෙන්නේ නැත. දැනෙන්නේ ද නැත. එපමණක් ද නොවේ පසුගිය කාලය පුරාම මියගිය තම සමීපතමයින් සිහිකර පහණක් දල්වන්නටද ඉඩක් ලැබුනේ නැත. මැයි 18 සහ 19 උතුරේ සහ නැගෙණහිර හමුදාවෝ සෑම නිවසකටම ගොස් නිවැසියන්ට තර්ජනය කලේය. ඔවුන්ට අවම තරමින් අඩන්නටවත් නිදහසක් තිබුණේ නැත.
එපමණක් ද නොවේ. මානුෂික මෙහෙයුමක් යැයි කියමින් යුද්ධයක් කළ ලංකා හමුදාවෝ විසින් යුද්ධයෙන් මියගිය දෙමළ තරුණයින් සිහිකිරීමට සකසා තිබූ සියලු සොහොන් භූමි බුල්ඩෝසර් දමා විනාශ කළේ ගෝත්‍රිකත්වය ලොව හමුවේ දිගහරිමිනි. ඇතැම් සොහොන් භූමි විනාශ කරමින් ඒ මත විවිද ඊනියා සැමරුම් ස්මාරකයන් තැනුවෝය.
එසේ තැනූ ස්මාරකයන්වලින් සමන්විත, හමුදාව කෞතුගාරයක් ලෙසින් හදුන්වන විශාල භුමි ප්‍රදේශයක විහිදුනු ස්ථානයක් මඩකලපුවේ, කුඩුම්බිමලේ පර්වතයට ආසන්නව(මෙය හමුදාව විසින් හදුන්වන්නේ තොප්පිගල යනුවෙනි) තාරාවිකුලම් හි ඉදිකර තිබේ. ත්‍රිවිද හමුදාව, පොළීසිය සහ යුද්ධය , යුද්ධය ක්‍රියාත්මක කළ ආකාරය උත්කර්ශයට නැංවීම සදහා ඉදිකර ඇති මෙය ඉදිකර තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වනාන්තරයකය.
එපමණක් ද නොවේ. මෙය ඉදිකිරීමට පෙර එම ස්ථානයට මදක් දුරින් තනා තිබූ සොහොන් භූමියක් සම්පූර්ණයෙන්ම විනාශ කරමිනි. හමුදාව විසින් එම සොහොන් භූමිය විනාශ කරන විට එහි සොහොන් 3000කට වඩා තිබුණු බව ගමිවැසියන් පවසයි. ‘‘මට මතකයි අතන සොහොන් 3000කට වඩා හදලා තිබුණා. ඒවා ඔක්කොම ආමි එකෙන් බුල්ඩෝසර් කරා. දැන් එතන මුකුත් නෑ. එතන ඔක්කොම වළලා තිබුණේ අපේ දරුවො.‘‘
ගම්වැසියන් එසේ කීවේ උහුලාගත නොහැකි ශෝකයෙන් බව ඔවුන්ගේ දෑස්වල රැදී තිබිණි. මළවුන් සිහිකිරීමට තැනූ සොහොන් විනාශ කරමින් ඊනියා යුද ජයග්‍රහණයේ උන්මාදය තවමත් සමරන්නේ දෙමළ මිනිසා තවතවත් ආත්මීය ලෙස තලා දමමින්ය. එසේම කිසිවෙකුටත් හමුදාවේ අවසරයක් නොමැතිව එම ස්ථානයෙන් ඉදිරියට යාමට නොහැකිය. කසිවෙකු හෝ කුඩුම්බිගල බැලීමට යන්නේ නම් යායුත්තේ හමුදා සෙබලෙකු සමගය.
කොහෙද යන්නේ?
කුඩුම්බිමලේ.
මොකද්ද?
කුඩුම්බිමලේ
ආ..තොප්පිගල?
ඔව්
මහත්තයා, තනියම යන්න දෙන්නෙ නෑ. අපේ එක්කෙනෙක් දෙනවා.
ඔයාලා, ෆොරස්ට් එකෙන්ද?
නෑ. අපි ආමි.
‘‘යනවා නම් මෙතනතත් බලලා යන්න. මෙතන තියෙන්නේ කෞතුකාගාරක්, තොප්පිගල ඔපරේෂන් එක ගැන හදපු කෞතුකාගාරක්.‘‘ මේ එම ස්ථානයෙන් යාමට අප පිරිසක් ගත් උත්සහයක් එහි සිටි හමුදා සාමාජිකයින් ප්‍රකාශ කළේ එසේය.
එම ස්ථානය පිළිබදව හදුන්වාදෙන හමුදාව ප්‍රකාශ කළ අදහස්වල විශේෂ අදහසක් ගැබ් විය.‘දේශපාලකයන්ට ඒක මානුෂික මෙහෙයුමක් උනාට අපිට ඒක යුද්ධයක්‘ ඔහු කී කතාව තවමත් ‘අපි කලේ මානුෂික මෙහෙයුමක්‘ යැයි තවමත් දෙඩවන දකුණේ නරුමයින්ට කදිම පිළිතුරකි.
අනෙක නම් ලක්ෂ ගණන් වැයකර මෙවැනි ඊනියා සැමරුම් ස්ථානයන් තැනූවත් ඒ අවට තිබෙන ගම්මානවල ජීවිතවල තවමත් ඇත්තේ දුකම පමණය. ඇතැම් නිවෙස්වල වර්ෂා කාලයට ඉන්නටවත් නොහැකිය. ඇතැම් කාලවල බීමට වතුර ගෙන ඒමට හැතැප්ම ගනන් යායුතු බව ගම්වැසියන් පවසයි.
පාකිං කඩන හමුදාව
එතනට පැමිණෙන වාහන ගාල් කර තැබීම සදහා හමුදාව විසින් වෙනම ම රථ ගාලක් ඉදි කර තිබේ. ඔවුන් විසින් එම රථ ගාලෙහි නවතා තබන වාහන වලින් රු. 30.00ක මුදලක් අය කරයි.
ඔයාලා කොහොමද ඔයාලට අයිති නැති භූමියක වාහන නතර කළාම සල්ලි ගන්නේ? අපි ඇසීමු.
අපි ඉතින් මේක පවත්වාගෙන යන්න තමයි ගන්නේ
ඔයාලා පලාත්පාලන ආයතනයක් නෙවෙයි නේ ටිකට් කඩන්න..?
ඔව් ඉතින්….ඔවුන්ගේ පිළිතුරු විය.
යුද්ධයෙන් වසර 6ක් ගෙවෙන මොහොතේ නැගෙණහිර සංහිදියාව ක්‍රියාත්මක වන්නේ මේ අයුරින්ය. වනජීවී, වනසංරක්ෂන, පළාත්පාලන අායතවල කාර්යයන් අනියමින් හමුදාව විසින් සිදු කරනු ලබයි. එසේ වන විට සංහිදියාවක් පිළිබදව යමෙකුට සිතා ගත හැකිද? තවමත් යුද උන්මාදය, මීනි කදු ගොඩගසා සමරණ ඊනියා ජයග්‍රහණයන් සමරන විට සංහිදායවක්, සාමයක් ගැන හිතා ගත හැකිද? සෙහොන් භූමි සමතලා කර ලක්ෂ ගණන් වැය කරමින් ඊනියා යුද කෟතුකාගාර ගොඩනගන රටක සංහිදියාවක් ගැන හිතා ගත හැකිද?
සමතලා කරන ලද එම සොහොන් භූමිය ගැන එහි දෙමළ තරුණයෙක් අප සමග මෙසේ කීවේය.
‘2001, 2002 වගේ අපි ඉස්කෝලෙ යන කාලේ මෙතන තිබුණ සොහොනට ආවා මට මතකයි. අපි එන හැමදාකම වගේ අම්මලා, තාත්තලා ගොඩක් ඇවිල්ලා හිටියා. එයාලා ඒ සොහොන් ලග බිම වාඩිවෙලා අඩඅඩ ඉන්නවා අපිට මතකයි. දැන් ඒ එක සොහොනක් වත් නෑ. ඒවා හොද නැති නරක වැඩ‘
මේ එම ස්ථානයේ ඡායාරෑප සටහනයි
එහි ඇති පුවරුව