2015 ජනවාරි 8 වෙනිදා ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයකි. එදින ජයග්‍රහණය කළේ සැබෑ නිදහස හා ප්රජාතන්ත්රවාදය පිළිබද ජනතා අපේක්ෂාවයි. ශ්‍රී.ල.නි.පයෙන් කැඞී ආ මෛත්‍රී රාජිත ඇතුළු කණ්ඩායමද යූ.ඇන්.පීයද හෙළ උරුමයද එකී ජනතා අපේක්ෂාවේ පිහිටෙන් ගොඩ ආ බව ඇත්තකි. හැමදාම සිදු වූයේ ජනතාව තමන් ලද ජයග්‍රහණය මැතිවරණයෙන් ගොඩ ආ අය වෙත පවරා බකන්නිලා සිටීමය. මේ නිසාම ජනතා ජයග්‍රහණ ආපසු හරවන්නට ජයග්‍රහණය කළේ තමන් යැයි සිතා ඉන්න මැතිවරණයෙන් ගොඩ ආ පිරිසට හැමදාම හැකි වී ඇත. ඉන් පසු සිදුවනුයේ උලා කෑමට තම වාරය එන තෙක් විපක්ෂය ජනතාවගේ පැත්තේ හිට ගැනීමය. එහෙත් ශ්‍රී ලංකාවේ වත්මන් මොහොත ජනතාවගේ පැත්තෙන් ගත් කළ වඩාත් ඛේදනීය මොහොතකි. මන්ද යත් ජනතාවගේ පැත්තේ සිටින්නා වූ ආණ්ඩු පක්ෂයක්වත් විපක්ෂයක්වත් හොයන්න බැරි කාලකණ්නි මොහොතක් බවට මෙය පත්ව ඇත. මේ නිසාම ”අනේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්න එපා” යැයි කියමින් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත් උදවියට පිංසෙණ්ඩුවන්නට ”සාධාරණ සමාජයක් ස`දහා ජනතා ව්‍යාපාරයේ ”සෝභිත හිමියන්ට සිදු විය.
මෛත්‍රී පාලනය යටතේ නව ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ හා පෞද්ගලික සේවකයන්ගේ වැටුප් වැඩි කරමින් හා ඒ සදහා නිර්දේශ කරමින් ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කරමින් ජනතාවට සහන දෙන්නට කටයුතු කිරීම අගය කළ යුතුය. එහෙත් ඉදිරි මහ මැතිවරණයකදී වාසි විය හැකි සහන වැලකින් පමණක් ජනතා අපේක්ෂාවන් මෙල්ල කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. ජන 8 දා සිට මේ දක්වා අල්ලස් හා දූෂණ කොමිසම වෙත ගලා ආ පැමිණිලි කන්දරාවම මීට නිදසුනකි. එහෙත් තෝරු මෝරු තවම නිදැල්ලේ බව ජනතාව දනිති. රාජපක්ෂ පාලනයේ ඇමතිවරු කන්දරාවත් ඔවුන් වෙනුවෙන් ජනතාවට දරන්නට සිදු වූ වියදම් කන්දරාවන් මැතිවරණ වේදිකාවල තලූ මැරූ අයම දැන් ඇමති සංඛ්‍යාව 70 ද ඉක්මවන තැනට ගෙන එමින් නොබෝ දිනකින් 100 වන බවටද විලිලැජ්ජාවක් නැතිව පුරසාරම් දොඩති. විලි ලැජ්ජාව ටිකක් තියෙන උදවිය කියන්නේ පාර්ලිමේන්තුවේ බලය තවමත් ශ්‍රී.ල.නි.පයේ බැවින් ඔවුන්ගේ සහය ගැනීමට ඒවා කළ යුතු බවය.
ලැජ්ජා නැති කම
”ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලූ” ඒ කියමනේ මහ මුදලි වෙනුවට ජනාධිපති යනුවෙන් දැමීමේ මහා වෙනසක් නැත. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වීම හේතුකොට ගෙන ශ්‍රී.ල.නි.පයෙන් නෙරපා හරින ලද හා විවිධ අපහාස උපහාසයන්ට ලක් වූ මෛත්‍රීපාල ශ්‍රී.ල.නි.පයේ සභාපති ධුරය භාර ගැනීම එවැන්නකි. එතුමා එම ධුරය භාර ගත්තේ ඔවුන්ගේ සහයෝගයද ගෙන ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරන්නට බව කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් තම පටු අරමුණු දිනවීම විනා ජනතා අපේක්ෂාවන් දිනවීම කිසිදා අරමුණු කර නොගත් බහුතරයක් සිටින සොරමුළකට නායකත්වය දීමට කැමැත්ත පළ කිරීම එක්කෝ අනුවණ කමකි. නැතහොත් කපටිකමකි.
මේ තීරණය නිසා එතෙක් බිය වී සිටි සොරුන්ගේ බිය නැති විය. මන්ද රාජපක්ෂගෙන් පසුව යළිත් තමන්ට ආරක්ෂකයෙකු ලැබී ඇති බැවිනි. සොරුන් රකිමින් සොරුන් ලවා ජනතා අපේක්ෂාවන් ඉටු කරවා ගැනීමට සිතීම අනුවණ කමක් බව දැන් දැන් සිදුවන දේවලින් පැහැදිළිය. ආණ්ඩුව ජනතා සහන තව දුරටත් දීම පිණිස යැයි කියමින් ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් පණත ආණ්ඩුව අපේක්ෂා නොකළ ආකාරයෙන් පරාජය වීම මෙහි පෙර නිමිත්තකි. එපමණක් නොව මේ වන විට මෛත්‍රීම පවසන අන්දමට තමන්ව අඩි 8ක් පොළොව යටට යවන්නට පිඹුරුපත් සැකසූ උදවිය ජනතාව ඇති කළ ප්රජාතන්ත්රවාදී අවකාශය ප්‍රයෝජනයට ගෙන ජනතාවට එරෙහිව සංවිධානය වෙමින් පවතී. කෝප් වාර්තාව ඇතුළු වැරදිකරුවන් දඩයම් කරන්නට හැකි සියළු උපකරණ තිබියදී විපක්ෂයේ සහයෝගය ගැනීම දඩමීමා කරගෙන ”යුක්තිය පමා කිරීමේ විපාකය’’ ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත යළිත් වියරුවෙන් දත් විළිස්සාගෙන දිව එනු පෙනේ.
රාජපක්ෂ දැක්කීම
ලක්ෂ පනස් අටක් රාජපක්ෂට ඡන්දය දුන් බව කියමින් සිය ස්වෝත්තමවාදී අපේක්ෂාවන් ජනතා අපේක්ෂාවන් බව ඒත්තු ගන්නමින් ඒවා පාවා නොදිය යුතු බව කියමින් පිරිසක් නගරයෙන් නගරය රැස්වීම් පවත්වමින් යති. ඔවුහු මහින්ද රාජපක්ෂ විධායක අගමැති කළ යුතු බව පවසති. රාජපක්ෂයෝද මේ සියලූ රැස්වීම්වලට සුහද පණිවිඩ එවති. සහභාගිවීමෙන් වළකිති.
මහින්දව යළි බලයට ගෙන ආ යුතු යැයි පවසන මේ නඩයේ සිටින්නෝ කවුරුද? විමල් වීරවංශ දිනේෂ් ගුණවර්ධන වාසුදේව බන්දුල ගුණවර්ධන ආදී හැම කෙනෙක්ම ශ්‍රී.ල.නි.පයේ අරටු විනාශ කර පක්ෂයේ දෙවැන්නෙකු මතු නොවීම සදහා මහින්දට ළං වූ අයමය. ”ළිදට වැටුණු එකා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය” මෙය ඔවුන්ගේ දැක්මය. මේ අයට තවත් අය එකතු වී ඇත. අල්ලස් දූෂණ වංචා පිළිබද චෝදනා ලැබූවන් මැරකම් පිළිබද චෝදනා ලැබූවන් කොමිස් කාක්කන් කප්පම් කාරයන් ලෙස හංවඩු ගසනු ලැබූ අය එතනෝල් මෙන්ම කුඩු ජාවාරම් පිළිබද චෝදනා ලැබූ අය මේ අය අතරය. මේ අය රාජපක්ෂ දක්කමින් ඡන්දය සිගමින් රට වටේ යති.
රාජපක්ෂට ඡන්දය දුන් බොහෝ දෙනා හොර මැරකම් දූෂණ වංචා මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී දෑ අනුමත කළේ නැත. ඔවුන්ට ඔවුන් දැන සිටි පමණින් තිබුණේ සරළ කාරණාවකි. එනම් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ බෝම්බ පිපිරීම් ආදී දෑ පිළිබදව බියකින් තොරව පාර තොටේ යා හැකි වාතාවරණයක් ඇති වීමයි. ඊට අමතරව රට බේරා ගැනීම රට එක්සේසත් කිරීම ත්‍රස්තවාදය නැතිකිරීම වැනි සංකල්පද එතරම් ගැඹුරු දේශපාලනික විග්‍රයන්ගෙන් තොරව ඊට දායක වී යැයි කිව හැකිය. ඒවා තුළ යුද්ධයක් වළක්වා ගැනීමට ගත යුතුව තිබූ පියවර හෝ යුද්ධයෙන් වූ විනාශය හෝ යුද්ධයෙන් පසු සංහිදියාව පිණිස කළ යුතුව තිබූ පියවර හෝ පිළිබදව හැගීමක් හෝ දේශපාලනික අවබෝධයක් හෝ හැදෑරීමක් නොවීය. ”යුද්ධය අවසන් කිරීම” ලයිසන් එක කරාගන සිය බඩ වියත සොරකම් කරද්දීත් ඔවුන් රාජපක්ෂට කතිරය ගැසුවේ තමන් දන්නා පරිද්දෙන් කෘතගුණ දැක්වීමටය. එහෙත් ඒ අහිංසක අහිංසකාවියන්ගේ දේශපාලන නොගැඹුරු බව ඉදිරියේ මහින්ද චරිතය දක්කමින් ගොඩ එන්නට ද`ගලන්නේ කපටි කෛරාටික අවස්ථාවාදීන් බව පැවසිය යුතුමය.
වීරයෙක්ද නැතිනම්..?
80 දශකයේදී අප සිතා සිටියේ මහින්ද වීරයෙක් බවය. ඔහු දකුණේ යූ.ඇන්.පී.භීෂණයෙන් මියැදෙන හා වද විදින අයගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් ඒ පිටුපස මානව හිමිකම් සංවිධාන ගණනාවක් සිටියේය. 17 වසරක අඛණ්ඩ යූ.ඇන්.පී. පාලනය අවසන් කිරීමේ අවශ්‍යතාව ඒ වන විට බොහෝ අය තුළ තිබිණි. මානව හිමිකම් හා සිවිල් සංවිධාන රැසක් මේ පිළිබදව පෙනී සිටියේය. එකී අරමුණු වෙනුවෙන් ඔවුනට දායක කරගත හැකි වූ ප්‍රබල දේශපාලන චරිතය වූයේ මහින්ද රාජපක්ෂය. පාද යාත්‍රා ජන ඝෝෂා වැනි කටයුතුවලට ඔහුගේ දායකත්වය හා දෘෂ්‍ය නායකත්වය ප්‍රබල විය. එහෙත් ඒ පිටුපසද සිටියෝ වූහ.
මහින්ද රාජපක්ෂ යුද්ධයට අකමැතිව සිටි බවද ඔහුව යුද්ධය සදහා යොමු කළේ තමන් බවද ජාතික හෙළ උරුමයේ රතන හිමි, චම්පික ඇතුළු නායකයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. එය එසේ විය යුතුය. 90 දශකය අවසාන වන විටත් රටේ ඉල්ලූම තිබුණේ යුද්ධයට නොව සාමයටය. රනිල්ගේ සාම ගිවිසුම දෙදරවා හළ මාවිල්ආරු භූමියට හෙළ උරුමයේ හිමිවරු වැඩම කරමින් අවසන් යුද්ධයේ මුල් වෙඩිමුරය නිකුත් කිරීමට අධර්මිෂ්ඨ ආශිර්වාදයක් වූ ඛේදනීය ඉතිහාසය අපට අමතක නැත. කපටි ව්‍යාපාරිකයෝද කුප්‍රකට මැරයෝද ජාත්‍යෝන්මාදයෙන් පෙළෙන්නෝද කොමිස් ගැහිලි වංචා දූෂණ අල්ලස් කප්පම් එතනෝල් මත්කුඩු ආදී බොහෝ දෑ ගැන චෝදනා ලැබුවෝද ඔහු වටා පෙළ ගැසුණෝය. යූ.ඇන්.පී.යේ ගාමිණී දිසානායක සමග සිටි බැසිල් රාජපක්ෂද ඇමරිකාවේ හිටපු ගෝඨාභයද නාමල් ඇතුළු රාජ පුත්‍රයෝද කොහේ කොහේ හිටපු ඥාතියෝද ඔහුට කිට්ටු වුණෝය. මැතිවරණයෙන් පසු රටින් පළා ගිය බැසිල් රාජපක්ෂ ”මහින්දගේ දේශපාලන ගමන් මග” විනාශ කළ බව දැනුදු ප්‍රසිද්ධියේම විමල් වීරවංශ පවසා සිටී.
අවස්ථාවාදී දෛවඥයෝ ඔහුට කිට්ටු වී ඔහු නොමග හැරියෝය. දැනුදු ඔහු මලයාලි ගුරුවරුන්ගේ උපදෙස් නිසාවෙන් පිහිනුම් තඩාගයක් ගොඩ කරන බැව් රාවය වාර්තා කරයි.
මහින්දට කවදත් ඔහුගේම වූ චින්තනයක් තිබුණේ නැත. ඒත් ඔහු පොරපිටියට කැමතිය. අවස්ථාවාදී බලවේග ඔවුන්ගේ චින්තනය ඔහුට අන්දවා පොර පිටියට ඔහු දක්කති. ඔවුන්ගේ උපදෙස් පරිදි වීරයෙකු මෙන් පොරපිටියට ගොස් මී හරකකු මෙන් අනින්නට යෑමේ ප්‍රතිවිපාක ඔහුට භුක්ති විදින්නට සිදු විය.
මේ අමන රැළ ඔහුට විශ්‍රාමික සුවයෙන් ඉන්න දෙන්නේ නැත. තමන්ගේ හා හිතවතුන්ගේ ජඩකම් රැුක ගනු පිණිස දේශපාලන තලයේ රැදීම පිණිස ඔහු දැනුදු මහින්දව පොරපිටියට දක්කති. මේ අපයෝජනය පැරදවීමට මහින්දට ඡන්දය දුන් නොදුන් සියල්ලෝම පෙරට ආ යුතුය.
ජනතාව සිටිය යුතු තැන
රූප වන්දනාව හෝ නමස්කාරය ශු. බයිබලයට අනුව බරපතල වරදකි. බුද්ධ ධර්මය අනුව එය අයිති ආමිස පූජාවටය. එහෙත් විමුක්තිය ලැබෙන්නේ ප්‍රතිපත්ති පූජාවෙන්ය. මහින්ද හෝ මෛත්‍රී අපට ප්රතිරූප නොවිය යුතුය. ජනතාව සිටිය යුත්තේ දේශපාලකයාට ඉදිරියෙනි. ඇත්තෙන්ම ජනතාව ඇත්තේ දේශපාලකයාට ඉදිරියෙනි. මන්ද යත් දේශපාලකයන්ට වඩා උගතුන් ප්‍රාඥයන් දාර්ශනිකයන් ඇත්තේ ජනතාව අතරය. එහෙත් ජනතාව ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නවාට වඩා දේශපාලන ප්රතිරූප වලට වන්දනා මාන කරති.
අපගේ ආර්ථික අධ්‍යාපනික සාමාජීය නෛතික දේශපාලනික හා විදේශික ප්‍රතිපත්ති සෑදිය යුත්තේ ඒ විෂය ක්ෂේත්රයන්හි දාර්ශනික ප්‍රබුද්ධයන්ගේ උපදෙස් පරිදි රටේ සෑම ජන කොටසකටම විශේෂයෙන් පීඩිතයින්ට සාධාරණය ඉටුවන පරිදිය. එහෙත් අදාළ විශේෂඥයින් ඒවා සාදන්නේ දේශපාලකයන්ගේ උපදෙස් අනුවය. (ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සිය භූමිකාව ගැන සඳහන් කරමින් එය සනාථ කර තිබිණි.) ප්රතිරූප වන්දනාව කෙබදුද යත් ජනතාව දේශපාලකයාට වඩා ඉදිරියෙන් බව ජනතාව නොසළකා හරිති. ජනතාව තමන්ගේ ශක්තිය පිළිබදව විශ්වාස කළ යුතුය. ජනතාවනි. දේශපාලකයාට ඉදිරියෙන් සිට ගනිව්.
අජිත් හැඞ්ලි ඇ. පෙරේරා