2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි හිටපු ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ සියලු කොටස් මනාප පොරයක නිමග්නව සිටියහ. මෙම මනාප පොරයේදී දැකගත හැකි වූ සුවිශේෂී හා සුලබ ලක්‍ෂණය වූයේ එකම පක්‍ෂයේ දේශයට සෙනේහේ දක්වන පුද්ගලයින් අතර අඬ දබරකම් හා ඇනකොටා ගැනීම් නිතර ඇතිවිමයි. තම දිස්ත්‍රික්කය තුළ මනාප ලබා ගැනීමේදී පළමු තැන හිමිකර ගැනීම සඳහා මෙම කුළල්කා ගැනීම ඇති විය. මෙම පක්‍ෂ අභ්‍යන්තර මනාප යුද්ධය නීතීයේ බාධාවකින් තොරව සෑම ප්‍රදේශයකම පාහේ සිදු විය.
මෙම මනාප පොරයේදී දක්නට ලැබුණු සුවිශේෂි අංගය වූයේ තම තමන්ගේ මනාප අංකය හා රුව දැක්වෙන පෝස්ටර්/බැනර්/කටවුට් වැඩි වැඩියෙන් ප්‍රදර්ශනය කිරීමයි. මෙම අංගය සඳහා රුපියල් ලක්‍ෂ, කෝටි ගනන් වියදම් කිරීමට මැතිවරණ අපේක්‍ෂකයෝ ලෝබ නොවුහ. ඔවුහු තමන්ගේ එකම පෝස්ටරය එකම තැන තිහ හතලිහ එක දිගට ඇලවූහ. ජනතාවට අප්පිරියා වන තෙක් සහ එළුවන්ගේ බඩ පිරෙන තෙක් පෝස්ටර් ඇලවූහ. දැන් ඔවුන් ජයග්‍රහනය කර අවසන්ය.
ජයග්‍රහනය සඳහා තමන්ට මනාප ලබාදුන් ආදරණීය ජනතාව අමතක කිරීමට, පත් වූ ඇතැම් මන්ත්‍රීන්ට සිත් දී නොමැත. ඔවුන් තමන්ට මනාපය දුන් ජනතාවට ස්තූතිය පුදා දිවයිනේ තැන් තැන් වල නැවතත් පෝස්ටර් ගසන්නට පටන් ගෙන ඇත. නමුත් එය පෙර පරිදි නම් නොවේ. සීමිත ගනනකටය. එක තාප්පයක එකක් දෙකක් බැගින් ය. ඒ තමන්ට පාඩුවක් සිදුවන නිසා නොව තාප්ප හා පරිසරය අවලස්සන වන නිසා බව අප හොඳාකාරවම දනී.
අද මා කාර්යාලයට පැමිණෙන විට ද එවැනි හුදකලා ‛‛ස්තූතියි’’ පෝස්ටර් එකක් දෙකක් දැක ගත හැකි විය. එකම වර්ගයේ පෝස්ටර් තිහ හතලිහක් එකම ස්ථානයේ ප්‍රදර්ශනය කිරීම මෝඩ හා තකතීරු වැඩකි. මැතිවරණයට පෙර අවබෝධ නොවූ මෙය දැන් මන්ත්‍රීන්ට අවබෝධ වී ඇතුවාක් සේය. එනිසාවෙන් ජනතාවට ප්‍රණාමය පළ කිරීම සඳහා පෝස්ටර් එකක් දෙකක් තැන් තැන් වල ඇලවීමට මන්ත්‍රීවරුන් කටයුතු කර ඇති බව පෙනේ. මේවා දැක පන පලයන් ලබන සුමානේ යනුවෙන් පමණක් පැවසීමට අපට සිදුව තිබේ.
එච්. ජේ. සම්පත්