“අතුරුදහන් කිරීම්” යනු මනුෂ්‍ය වර්ගයාට, මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන දරුණු ඝණයේ සාපරාධයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ප්‍රශ්නය තිබෙන්නේ එම අපරාධයට එරෙහිව මෙරට වැසියනට “නෛතික රැකවරණයක් සහ සමාජ රැකවරණයක්” නොතිබීමය. පළමුව අප එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉල්ලා අරගල කළ යුතු ය.
එදා දකුණේදී අතුරුදහන් කරන ලද තම දරුවන්, ස්වාමි පුරුෂයන් සොයා ගිය මව්වරුන්, බිරින්දෑවරුන් ඇඹිලිපිටියේ වුවත්, කුරුණෑගලදී වුවත් කියා ඇත්තේ එක ම එක කඳුළු කතාවය.
“හැම තැනම පිච්චුණේ මළකඳන්…කොහේ මිනියක් පිච්චෙනවා කියල ආරංචි වුණත් අපි එතෙන්ට ටක්ගාල දුවන් යනවා. ඒත් ඒ කිසිම තැනක මගෙ පුතාවත්, සැමියවත් හිටියෙ නැහැ…”
එකල මැටි බිත්ති කෙළවර සේයාරුවක පමණක් සිනහ වී හුන් ඒ තරුණයන් වෙනුවෙන් දකුණේ මව්වරුන් තවමත් ශෝකී සුසුම් හෙළන්නේය.
දකුණද, නිරිතද, බටහිරද, වයඹ ද වෙනසක් නැත. “අතුරුදහන් කිරීම් යනු, අතුරුදහන් කිරීම් ම ය… සුරතල් කිරීම පිණිස අපේ පුතුන්ව පාලකයන් හොරකම් කර ගෙන ගොස් තිබීම නොවේ ය.” ඉදින් “උතුර” තුළ සිදු කරන ලද දැඩි අතුරුදහන් කිරීම් මේ මොහොතේ පවා ළයාදර සිත් වේදනාවෙන් කළඹන්නේ ය. වරෙක ‘අජිත් සී.හේරත්’ කවියා කීවාක් මෙන් “මේ මහා සංහාරයෙන් පසු ගොදුරු සහ අපරාධකරුවන් මිසක සාක්ෂිකරුවන් හෝ විනිසුරන් නැත.”
උඩු යටිකුරු වීමට ආ වඩනා සමාජෙක සිට නොසෙල්ලී “උතුරට” වමැස් සහ දකුනැස් හෙළමු…මේ මඟ හැර යා නොහැකි ඇත්ත ය!
‘ඇන්ටන් සුගන්දන් අම්පුදශීලී’ තමන්ගෙ අතුරුදන්, එහෙත් ජීවත් වන ස්වාමිපුරුෂයා ගැන කියන්නෙ මෙහෙම.
“2008 ජුනි 4 වැනි දා මගෙ ස්වාමි පුරුෂයා ; ‘ඇන්ටන් සුගන්දන්’ව මන්නාරම, එරුක්කුලම්පිටිය මුහුදෙදි ‘සති විලේජ්’ කියන නාවික හමුදාවෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. එයා වෙරළට ඇවිත් බයට දුවනකොට නාවික හමුදාවෙන් වෙඩි තියලා ඔවුන්ගෙ ඇම්බියුලන්ස් රථයෙන්ම ‘කීරි’ කෑම්ප්පෙකට අරන් ගිහින් තියෙනවා. ඒ වෙලාවෙ එරුක්කුලම්පිටිය මුහුදු වෙරළෙ හිටපු අය තමයි මේ විස්තර කිව්වෙ. ඒ වෙලාවෙ මුහුදෙ තිබුණ අනික් බෝට්ටු වල හිටපු අය කිව්වෙ, හොඳටම දැක්කා නේවි එකෙන් වෙඩි තිබ්බා කියල…වෙඩි තියපු දවස, බ්‍රහස්පතින්දා දවසක්. ඒත් බලන්න, මන්නාරම ඉස්පිරිතාලෙට අරන් ගිහින් තියෙන්නෙ සඳුදා. ඉස්පිරිතාලෙදි හිතවත් අය දැකල අපිට කිව්වා.
මම කෑම්ප්පෙකට ගිහින් ඇහුවා කෝ මගෙ ස්වාමි පුරුෂයා, ඇන්ටන් කියලා. ඒත් එහෙම කිසිම කෙනෙක් නැහැ කියල ඔවුන් කිව්වා.
කාලයක් ගතවුණාට පස්සෙ මන්නාරම පොලීසියෙන් විමර්ශනය කරන්න පිරිස රැගෙන ඇවිත් තියෙනවා. මගේ ස්වාමි පුරුෂයව පෙන්නලා වෙනත් අයෙක්ගෙන් අහල තියෙනවා දන්නවද කියල. ඔහු නොදන්නා බව කියා තියෙනවා. ටික වෙලාවකින් දෙන්නම වැසිකිලියට ගිය මොහොතෙදි මගෙ ස්වාමියා ඒ තැනැත්තට කියල තියෙනවා, ගෙදරට තමන් ඉන්නවා කියල දැනුම් දෙන්න කියලා. පණිවිඩේ දුන්න මේ පුද්ගලයගෙ නම, විනෝද්.
සතියකට විතර පස්සෙ මේ සිද්ධිය ආරංචි වුණාම මම ඔහුව හොයාගෙන ගෙදරටම ගියා. ඔහු මාව CID නිලධාරියෙක් ළඟට රැගෙන ගියා. ඒත් ස්වාමි පුරුෂයා ගැන කිසිම හෝඩුවාවක් මට ලැබුණෙ නැහැ.ඒත් වසර කිහිපයක් ගතවෙලා හරි මට හිත නිවෙන ආරංචියක් ලැබුණා. දැන් මං සාක්ෂි එක්කම මගෙ ස්වාමි පුරුෂයා ජීවතුන් අතර ඉන්නවා කියල දන්නවා. මොකද 2015 ජනවාරි 15 වැනිදා JVP news net එකේ පලවෙච්ච පින්තූරෙක පැහැදිලිව මගෙ ස්වාමිපුරුෂයා ඉන්නවා..මං දැන් ජීවත්වෙන්නෙ ඒ ඇස්දෙක දැකීමෙ එකම එක බලාපොරොත්තුව වෙනුවෙන්!”
ඉදින් සියල්ල ම සාක්ෂි සහගතව පැහැදිලි ය. දැන් අප අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඇසිය යුත්තේ, “මෙරට සැඟවුම් කඳවුරු කිසිවක් නොමැති නම් මේ ඇන්ටන්ලා ඇතුළු අපගේම සහෝදරයන් වෙසෙන්නේ පිටසක්වලකද ?” කියා ය. මේ සියලු සාපරාධයන්ට සහතිකවම වගකිවයුතු ජාතිවාදී – මිනීමරු ‘මහින්ද රාජපක්ෂලා, ගෝටාභය රාජපක්ෂලා’ නැවතත් ජාතිවාදයම උපුයුක්ත කොටගෙන බලයට ඒමට අර ඇදීමට ඉඩ දෙනවාද, මේ දරුණු ඝනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට විරුද්ධ වනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබයි….
උතුරේත්, දකුණේත් කියා වෙනසක් නැත….හෙට අතුරුදහන් විය හැක්කේ අද නිවසේ සිටිනා ඔබගේ ආදරණීය පුත්‍ර රත්නයයි, ස්වාමි පුරුෂයායි, දියණියයි…
මේ අතුරුදහන් කිරීම් සපුරාම අතුරුදහන් කරමු.
| මැයි 30 උදේ 9.30 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවනාගාරෙදි අපි – අපි හමුවෙමු!
“ අතුරුදහන් කිරීම් ගැන කතා කරමු, මිනිසාට එරෙහි මේ සාපරාධයන්ට විරුද්ධ වෙමු. හුස්ම ගන්න ජීවිත වලට ආදරේ කරමු….”
මේ හා සබැඳි මඟ හැර යා නොහැකි “ ජාතික ගැටලුවට” දේශපාලනික විසඳුමක් කතිකා කරමු…යුක්තිය සොයා යමු! |