අඩ නින්ද
සුව නින්ද
වෙනු පිණිස
දුටිමි මහ රැය
සොඳුරු හීනයක්
හෙළි පෙහෙළි කළ
නැවදැළි හේනක
අස්වැද්දුවෙමි
රතු රෝස වගාවක්
ඒ වන ලැහැබ මැද
දඬු වැට බැඳ
මායිම ලකුණු කර
ගසක් උඩ තැනුවෙමි
අටිටාලයක්
රෝස පැළ දළු ලා
කැකුලු පීදී
අමුතුම තාලයක හේනක්
වැඩක් නැති
පලක් නැති
බව කියන හේනක්
එහෙත් ලස්සන
විවිධ දෑ තරට
හිරු එලිය මුසු කර
ආදරය බෙදා දෙන
බව නොතේරෙන
කුතුහලය උතුරන
පෙර නොදුටු හේනක්
වඳුරන් රිලවුන්
දඬු වැටට නගිමින්
කරන විපරම්
අට්ටාලයේ මම
උදෑසන දුටිමි
ඌරන් මීයන්
ඉත්තෑ කබල්ලෑවන් අතර
හූ කියන නරියන්
නිදන රෝස සුවඳට
ඉව කරති සඳ එළියට
සතුට ඉහවහ ගිය
සමනල මී මැසි
ඉගිල එන කුරුල්ලන්
ලැගුම් ගෙන නිදහසින්
අලියෙකුට පාගා තලන්නට
වඳුරෙකුට බරු ගසා කන්නට
ලං උනොත් කළ නොහැකි
කටු අතු මත පිපුණු
සුවඳට වසඟ වුණු
කැලෑවේ හේනක්
කඩා ගෙන මලක්
පඹයාට දුනිමි මම
කඩාගෙන මල්
ඒ දෙස බලා උන්
වඳුරන්ට දුනිමි මම
කන්නට නොවුනත්
සුවඳට හැඟුම්විත්
වඳුරන් ද පෙරළා
දිගු කළාහුය එ මල
සිය අසල් වැසියාට
දැනුන බව ඔවුනොවුනට
දැනුනෙමි බලා උන් මට
බැස අට්ටාලයෙන් පහළට
මුදා හැර මම ගියෙමි දඬු වැට
උදය ආර්. තෙන්නකෝන්