20 වැනි සංශෝධනය හරහා පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී දුන් එක් ප‍්‍රධාන පොරොන්දුවකි. ඒ පොරොන්දුව නොතිබුණත්, පවතින මැතිවරණ ක‍්‍රමය විසින් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් බිහි කොට ඇති නිසා, එම ක‍්‍රමය වෙනස් කිරීම ගැන යහපාලනය වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට විරුද්ධ විය නොහේ. එහෙත්, යම් ව්‍යවස්ථා සංශෝධනයක ඇති සමාජ අවශ්‍යතාව සහ එය සම්මත කර ගැනීම වෙනුවෙන් කෙරෙන පෙළගැසීම්වල ඇති අභිප‍්‍රාය අතර සාධනීය සම්බන්ධතාවක් ඇතැයි අනිවාර්යයෙන් ගැනීම නියාළු කල්පනාවකි.
20 වෙනුවෙන් පෙනී සිටින සහ එය සම්මත කර ගන්නා තෙක් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු නැතැයි කියන පිරිස් නගන ප‍්‍රධාන තර්ක කිහිපයක් මේ ලිපියේදී සැළකිල්ලට ගැනේ. එකක් වන්නේ, යහපාලන මැතිවරණ වේදිකාවේදී සහ යහපාලන ප‍්‍රතිඥාවන් තුළ, මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව රටට ප‍්‍රකාශ කොට ඇති තත්වය තුළ, එම පොරොන්දුව ඉටු නොකර පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, දුන් පොරොන්දු කඩ කිරීමක් වන බවට නැගෙන චෝදනාවයි. එම තර්කය අප පිළිගන්නේ නම්, එම පොරොන්දු අතර තිබූ මුත් ඉටු කිරීමට අසමත්ව ඇති තවත් පොරොන්දු ගණනාවක්ම තිබෙන බවත් අමතක කළ යුතු නැත. එවැනි තවත් එක් ප‍්‍රධාන පොරොන්දුවක් වන්නේ, දින 100 කින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර අළුත් මැතිවරණයකට යන බවට දුන් ප‍්‍රතිඥාවයි. සමහර විට, එම පොරොන්දුවට කොටු වීමේ සදාචාරවත් භාවය රඳා පවතින්නේ, එම දින 100 තුළ ඉටු කිරීමට දුන් සෙසු පොරොන්දු ඉටු කර තිබේද යන්නට යටත්ව බව, කෙනෙකුට ප‍්‍රතිතර්කයක් වශයෙන් මතු කළ හැක. වැදගත් වන්නේ, පොරොන්දු වූ කාර්යයන් ඉටු කිරීම මිස, දින 100 ක සීමාවේ සිරකාරයන් වීම නොවේ යැයි එම අය පෙන්වා දෙනු ඇත. එහෙත්, දෙන ලද මුත් ඉටු නොකළ තවත් අනේක පොරොන්දුත් තිබේ. ඉන් ප‍්‍රධාන වන්නේ, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පනතක් වශයෙන් සම්මත කර ගැනීමයි. දැන්, මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම පමණක් නොව, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පනතක් වශයෙන් සම්මත කර ගන්නා තෙක්, මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නැතැයි වැඩිදුරටත් යමින් කෙනෙකුට කිව හැක. මේ විදිහට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාර්යය, දින 100 ගතවීමෙන් පසු, විවිධ අවසරයන් යටතේ, විටින් විට, කල් දැමුණි. පළමුව, 19 වැනි සංශෝධනය සම්මත කර ගන්නා තෙක් ය. දෙවැනුව, ‘ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභාවන්ට’ සාමාජිකයන් පත්කරන තෙක් ය. දැන්, 20 වැනි සංශෝධනය සම්මත කර ගන්නා තෙක් ය.
එම කණ්ඩායමේ තවත් තර්කයක් වන්නේ, මේ කියන සියළු දේවල් පවා සම්මත කර ගැනීමට අවශ්‍ය තරම් වන සුජාත කාලයක් මේ පාර්ලිමේන්තුවට ඇති බවයි. ව්‍යවස්ථානුකූලව එහි ආයු කාලය ලබන වසරේ අපේ‍්‍රල් මාසය දක්වා විහිදෙයි. එය, 2010 දී මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට දුන් ජනවරමකි. එම ජනවරමට පිටුපෑම ජනතා ද්‍රෝහී ක‍්‍රියාවක්ය යන්න ඔවුන්ගේ මැසිවිල්ලයි.
පවතින පාර්ලිමේන්තුවට ඇතැයිි කියන ජන වරම ලබන වසරේ අපේ‍්‍රල් දක්වා වලංගු වෙතැයි කීම නීතිය පැත්තෙන් නිවැරදි විය හැකි වෙතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාරයට ගෝචර වන්නක් නොවේ. ඇත්ත වශයෙන්ම, 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දුන් ජනවරම, 2015 ජනාධිපතිවරණ ප‍්‍රතිඵල මගින් අනිවාර්යයෙන් අවලංගු කරනු ලබන්නේ නැත. එහෙත්, පවතින ආණ්ඩු බලයක් අභියෝගයට ලක්කරමින්, විශේෂයෙන් එම පාර්ලිමේන්තු බලයේ දෙවැනි අර්ධයට පැමිණ සිටින ආණ්ඩුවක් අභියෝගයට ලක්කරමින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු එකී ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන විට, ඉහත කී (2010) පාර්ලිමේන්තු ජනවරමේ ස්වභාවය බරපතල වෙනසකට ලක්වෙයි. මෛත‍්‍රීපාල සිරිසේන විසින් අභියෝගයට ලක්කෙරුණේ, මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිත්වය පමණක් නොව, ඔහුගේ නායකත්වය යටතේ 2010 දී ලබා ගත් පාර්ලිමේන්තු ජනවරමත් එම අභියෝගයට ලක්විය. එම ජයග‍්‍රහණයෙන් පසුව, සුළුතර පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය විසින් ආණ්ඩුවක් පිහිටුවීම පිළිගැනීමට පාර්ලිමේන්තුවට සිදුවුණේ එබැවිනි. මේ නිසා, ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වන අවස්ථාවේම, ඔහුගේ නායකත්වය යටතේ 2010 දී ලබා ගත් පාර්ලිමේන්තු ජනවරමේ සදාචාර හයියත් වෙනසකට භාජනය වූ බව වටහාගත යුතුය. ඊටත් වඩා, එසේ බලයට පත්වන පුද්ගලයා, කලින් පාර්ලිමේන්තුව හරහා තමන් ලද ජනවරම (ඇමතිවරයෙකු වශයෙන්) තවදුරටත් අභ්‍යාස කිරීම ප‍්‍රතික්ෂේප කෙළේ සහ එම ජනවරම මගින් පැවරූ ජනවරමෙන් එළියට විත් එය අභියෝගයට ලක්කෙළේ, පාර්ලිමේන්තුව නියෝජනය කළ කිසි විරුද්ධ පක්ෂයක සාමාජිකයෙකු හෝ නායකයෙකු වශයෙන් නොව, ආණ්ඩු බලය හෙබැවූ මහ පක්ෂයේම ලේකම්වරයා වශයෙනි.
මේ වැදගත් වෙනස තේරුම් ගැනීම සඳහා සරළ සන්සන්දනයකට යමු. පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ සහ ඉන් ජයගත්තේ රනිල් වික‍්‍රමසිංහ යැයි මොහොතකට සිතන්න. එසේ විණි නම්, 2010 සිට පවතින පාර්ලිමේන්තුවේ ජනවරම ඒ හරහා අහෝසි වෙතැයි එකහෙලා කිව හැකි නොවේ. මන්ද යත්, කලින් මැතිවරණයේදී (2010) රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බලයක් ජනතාව විසින් පවරා නැති බැවිනි. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට 2010 දී ජනවරම දුන් ජනතාවම, එම පක්ෂයේ සභාපති සහ ජනාධිපති මහින්දට එරෙහිව 2015 දී පත්කර ගත්තේ එම පක්ෂයේම මහ ලේකම්වරයාවයි. මේ නිසා, මෛත‍්‍රීපාල සිරිසේනට 2015 දී අළුතෙන් පැවරුණු ජනවරම විසින්, ජනාධිපති මහින්ද රාජපක්ෂව ජනාධිපති ධුරයෙන් අවලංගු කරනවාට අමතරව, ඔහුගේ නායකත්වය යටතේ 2010 දී ලද පැරණි පාර්ලිමේන්තු ජනවරමත් අවලංගු කෙරෙන බව කෙනෙකුට පැහැදිළි විය යුතුය. වර්තමාන පාර්ලිමේන්තුව සහසුද්දෙන් විකෘතියක් වන්නේ එබැවිනි. එසේ හෙයින්, ලබන වසරේ අපේ‍්‍රල් දක්වා ඇතැයි කියන ජනවරමක් ගැන විපක්ෂය අද කතා කිරීම විහිළුවකි.
එය නිකම්ම විහිළුවක් නොව, වංචනික විහිළුවකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අද එරෙහි වන ඇතැමුන්ගේ සද්භාවය පිළිබඳ ප‍්‍රශ්නය පැනනගින්නේ එහිදී ය. අවුරුදු පහක් තිස්සේ තුනෙන් දෙකේ බලයක් තිබියදීත් මෙවැනි මැතිවරණ සංශෝධනයක හදිසි අවශ්‍යතාවක් ගැන වචනයක් කතා කොට නැති පිරිසකට මෙවැනි සංශෝධනයක හදිසි අත්‍යවශ්‍යතාව දැන් දැනෙන්ට පටන්ගෙන ඇත්තේ මන්ද යන්න සිතා බැලිය යුතුව තිබේ.
ඒ සඳහා වන පූර්වාදර්ශයක්, 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ ක‍්‍රියාවලිය තුළ මේ විපක්ෂය හැසිරුණු ආකාරයෙන් සේම, දූෂණ විරෝධී ව්‍යායාමයේදී හොරුන් සහ කම්බා හොරුන් නීතිය ඉදිරියට ගෙන ඒමට ගන්නා ප‍්‍රයත්නයන්හිදී එම විපක්ෂය හැසිරුණු ආකාරයෙන්ද මනාව ඔප්පු කෙරුණි. 19 සම්මත වුණේ ‘කපන්න බැරි අත සිඹීමක්’ වශයෙනි. ඒ නිසාම, එවැනි ප‍්‍රතිසංස්කරණයකින් ජනතාව අපේක්ෂා කළ ප‍්‍රාර්ථනය වූ ‘විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කිරීම’ සිද්ධ වුණේ නැත. එපමණක් නොව, දේශපාලඥයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය සේවය දේශපාලනිකරණය කොට තිබීම අවසන් කිරීම අරමුණු කොට පත්කර ගැනෙන ‘ව්‍යවස්ථා සභාවේ’ සාමාජිකයන් 10 දෙනාගෙන් 7 දෙනෙකු කිසි දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවිය යුතුය යන්න මුළුමණින් කණපිට හරවා, එම ‘ව්‍යවස්ථා සභාවේ’ සාමාජිකයන් 7 දෙනෙකුම දේශපාලඥයන් විය යුතු බවට සම්මත කර ගැනුණි. ඒ අනුව, ස්වාධීන සිවිල් නියෝජනයට එම සභාව තුළ ඉතිරි වුණේ ආසන 3 ක් පමණි. දැන්, පක්ෂ සාමාජිකත්වයක් දරණ සහ පක්ෂයකින් පාර්ලිමේන්තුවට පත්ව සිටින බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින්, පක්ෂ දේශපාලනයෙන් රාජ්‍ය සේවය මුදා ගැනීමේ කර්තව්‍යය ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වීමට අපට සිදු වී තිබේ. එය පවා ඊයේ (3) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී තවත් කල් ගියේය. මෙයින් පෙනෙන්නේ, 19 වැනි සංශෝධනය පවා තවම ක‍්‍රියාත්මක වී නැති බවයි. 20 වැනි සංශෝධනයකුත් මේ අස්සේම අවශ්‍ය යැයි කියන්නේ එවැනි තත්වයකයි.
ඊළඟට, පුලූවන් නම් හොරුන් අල්ලන්නැයි ආණ්ඩුවට අභියෝග කළ මේ දේශපාලඥයන් එවැනි හොරුන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට යාමේදී හැසිරුණු ආකාරයත් වාර්තාගතයි. මහින්ද රාජපක්ෂගේ, ගෝඨාභය රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ සිට විමල් වීරවංශගේ ඇඹෙණිය දක්වා වන ලොකු කුඩා සකල දූෂණ සම්බන්ධයෙන් වන නීතිමය මැදිහත් වීම් ඔවුන් දුටුවේ ‘දඩයමක්’ වශයෙනි. ව්‍යාජ අනන්‍යතා පත‍්‍ර අංක යටතේ ශිරන්ති රාජපක්ෂ විසින් ‘සිරිලිය’ නමින් ගිණුමක් පවත්වාගෙන යාම ගැන පරීක්ෂණ පැවැත්වීම, නාමල් රාජපක්ෂගේ ‘මව් සෙනෙහසට’ රිදවන නිසා ඒවා විභාග කළ යුතු නැතැයි මේ පිරිස් රටට කියති. බොරු තොරතුරු ඇතුළත් රාජ්‍ය තාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් ළඟ තබාගෙන සිටීමේ වරදට විමල් වීරවංශගේ ඇඹෙනියව අත්අඩංගුවට ගැනීම, ඇගේ දරුවන් තුළ ඇති විය හැකි වේදනාව සැළකිල්ලට නොගෙන කළ කුපාඩි කමකැයි ඔවුහූ පෙන්වා දෙති.
මේ නිසා 20 වැනි සංශෝධනය, ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනයක් වශයෙනුත්, සදාචාරමය අවශ්‍යතාවක් වශයෙනුත් පනවා ගැනීමට තරම් වන සත්භාවයක් සහ අවංක භාවයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් තුළ ඇති බවට විශ්වාසයක් තවදුරටත් ඉතිරිව නැති බව කවුරුත් පිළිගත යුතුව තිබේ. කොටින්ම, මෙය ‘විශ්වාස භංගත්වයට’ පත් පාර්ලිමේන්තුවකි.
ඒ තත්වය තුළ, මෙම ආයතනය නියෝජනය කරන ඉහත කී පිරිස්, සමාජ යහපත පිළිබඳ චේතනාවකින් මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීමට කල් ඉල්ලනවා යැයි මොහොතකටවත් සිතීම අමනෝඥ ය. ඉහතින් කී සත්කාර්යයන් සම්බන්ධයෙන් ඔවුන් හැසිරී ඇති කූට විලාසය දෙස බලන විට පැහැදිළිවම පෙනී යන්නේ, දැන් ඔවුන්ට අවශ්‍ය කරන එකම දෙය වන්නේ, කල් ගන්නා දවසක් පාසා මහින්ද රාජපක්ෂගේ පුනරාගමනය සඳහා වන ප‍්‍රචාරක ව්‍යාපෘතිය සවිබල ගැන්වීම වන බවයි. පවතින යහපාලන ආණ්ඩුව ජනතාව අතරේ එම කාලය තුළ හැකි තාක් අප‍්‍රසාදයට පත්කිරීම ඔවුන්ගේ පරම අභිලාෂයයි.
මේ ප‍්‍රතිවිප්ලය පරාජය කළ යුතුව තිබේ. අප මිත‍්‍ර ලූෂන් බුලත්සිංහල වරක් ගීයකින් ලීවා සේ, ‘මඬේ ලගින තාරාවන් නෑවීම නිෂ්ඵල’ බව වටහාගෙන, මේ පාර්ලිමේන්තුව අදම විසුරුවා හරින ලෙස බල කළ යුතුව තිබේ.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda