පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර දේශපාලනය නැවත දිනවීම වෙනුවෙනි. මොවුන්ගෙන් වැඩි දෙනෙකු, විශේෂයෙන්ම එහි නායකයන්, මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම යහපාලනය යන වචනයටද වෛර කරති. ඔවුන් කිසිවෙකු හදවතින් තම නායකයා ලෙස මෛත්‍රීව පිලි නොගනිති. තමන් නායකත්වය දරණ පක්ෂය මෙවැන්නක් බව මෛත්‍රීට වැටහෙනු ඇතැයි මගේ හැගීමයි. එසේ නොවැටහෙනවානම් ඔහුගේ හතලිස් පස් වසර දේශපාලනයෙන් ඔහු ඉගෙන ගත් යමක් නැති තරම්ය. මෛත්‍රීට පකත්ෂ ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ගේ සැබෑ ස්වභාවය එලිදරව් වන්නේ කතා කරන විට මතුවන වචන තුලිනි. එයත් හරියට සුනඛයන් මුත්‍රා කිරීමට නොදැනුවත්වම කකුල ඔසවන්නා මෙනි. බොහෝ දෙනෙකු කරන සම්මුඛ සාකච්ඡාවකදී හෝ කතාවකදී තාමත් ඔවුන් ‘අපේ ජනාධිපති මහින්… කියා ඉබේම කියවෙතත් නැවත මෛත්‍රීපාල සිරිසේන’ කියා හරවති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය මහින්ද රාජපක්ෂලාගේ ප්රවේණීදාසයින්ය යන දාස මානසිකයට පත්ව ඇති සැටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පසුගිය සන්ධාන මැති ඇමතිවරුනට පමණක් නොව ඔවුන්ගේ සහචරයන්ගෙන් බොහෝ දෙනෙකුට පැහැදිලිවම දරුණු රෝගයක් වැලදී ඇති බව පෙන්නුම් කරයි. ජලභීතිකාව රෝගය වැලදුනු විට බල්ලන් ජලයට බිය වන්නාක් මෙන් මොවුන් නීතිය දුටු විට නීතියට බිය වන්නේ ‘නීති භීතිකාවක්’ වැලදී ඇති සෙයකිනි. පිස්සු බල්ලන් ජලභීතිකාවෙන් පෙලෙන විට දස අතේ බුරමින් හපා කමින් වියරුවෙන් හැසිරෙති. මහින්ද කල්ලියේ චෞර රෑනට දැන් වැලදී ඇති මෙම රෝගය නීතිය ක්‍රියාත්මක වනු දුටු විට උත්සන්න වන අතර ඔවුනට නීතිය නයාට අඳුකොල බවට පත්වී ඇත. නීතිය පමණක් නොව යහපාලනයද මොවුන්ට රිස්සිය නොහැක. මොවුන් බනිමින්, කුණු හරුප කියමින්, තර්ජනය තරමින්, ලතෝනි දෙමින් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරති. තම අත බලය තිබූ අවධියේ ලංකාව යනු තමන්ගේ පාරම්පරික භුක්තියට සවිකළ නින්දගමක් ලෙස සැලකූ රාජපක්ෂ කල්ලිය තම හිතමිතුරු නෑදෑයින් සහ සහචරයින් තම ප්‍රවේණියට නතු මිනිසුන් ලෙස සලකා ඔවුනට සිතැගි ලෙස මේ නින්ද ගම පරිහරණයට ඉඩ සලස්වා තිබුනි. එනිසා මෙම රාජපක්ෂ කල්ලියට නීතිය කියා දෙයක් නොදනී. නීතිය, උසාවි, පොලීසි සහ නිලධර ආයතන ඔවුනට නාම මාත්‍රයන් මිස හරයක් ඇති රාජ්‍ය ආයතන නොවීය. තම සිතැගි අනුව වැඩ කිරීම සහ රටතුල ඇති දේපළ තම තමනට රුචි අයුරින් භාවිතය ඔවුනට වැටහෙන නීතියයි. එමෙන්ම ඔවුනගේ අත්තනෝමතිකත්වයට එරෙහි වූ අය උල තබනවාද, දියේ ගිල්වනවාද, වදක ගාල්වල ගාල් කරනවාද, අතුරුදහන් කරනවාද යන්න තීරණය වූයේ ඒ ඒ මොහොතේ මොවුන්ගේ කල්ලියේ මානසික තෘප්තිය සඳහා ඇති වූ මානසික වාතාවරණය අනුවය. මේ භූමි භාගය තුල අතුරු අන්තරාවක් නොවී සිටීමට නම් රාජපක්ෂ ගැත්තෙකුව සුවච කීකරුව නගුට වනන තත්වයකට පත්ව සිටිය යුතුව තිබුනි.
ජනවාරි 08 වෙනිදා බිද දැමුයේ මේ නින්දගම් අධිපති කල්ලියයි. එදා ඔවුනගේ ලෝකය උඩු යටිකුරු කරනු ලැබීය. ඔවුනට අනුව එතරම් පාප කර්මයක් නොමැති බව ඔවුනට වැටහෙන අට ලෝ දහමයි. එය මෙම අධිපති කල්ලියේ මනසට පමණක් නොව ඔවුනගේ සහචරයන් තුලද ඒ හා සමානව බද්ධ කර තිබූ බව අද ඔවුනගේ හැසිරීම් වලින් පෙන්නුම් කරයි. එය ඔවුනගේ මනසට කොතරම් බද්ධ කර තිබුනාද යන්න වීරවංශලා වැනි බත්බැල වාචාලයන් තුලින් පමණක් නොව වමේ පතාකයන්ව සිටි වාසුලා කාලෝලාගේ හැසිරීම්වලින්ද පෙන්නුම් කරයි.
තමන් ලබාගත් වරප්‍රසාද, තමන්ගේ සිතැගි අනුව රටක සම්පත් අව භාවිතා කිරීමට තිබූ ඉඩකඩ අහුරා දැමීම ඔවුනට අනුව විශාල අසාධාරණයකි. රටේ ජනතා දේපළ පුද්ගලිකව තමන්ගේ කුටුම්භ තරකර ගැනීමට කළ බෙදාහදා ගැනීම් එලිදරව් කර ඒවා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම මොවුනට පෙනෙන්නේ ලෝකය නුහුල්ලන අපරාධයක් ලෙසිනි. මිනිස් ජීවිත බිලි ගනිමින් රටක සම්පත් කඩා වඩා ගැනීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඔවුනට ගැරඩියාට බූමිතෙල් මෙනි. අද වන විට මහින්ද සහචරයන් විවිධ පෙරමුණුවලින් සටන් අරඹා ඇත්තේ දූෂිතයන් නීතිය ඉදිරියට ගෙන ඒමට එරෙහිවත් රට තුල නීතිය ක්‍රියාත්මක වීමට එරෙහිවත්වය.
වරක පාර්ලිමේන්තුව තුලදී එකෙකු පරුෂ වචනයෙන් බැන වදිති. තව එකෙකු තවත් තැනක මේ වැරදි කරුවන් ගැන පර්යේෂණ කරන නිලධරයන් ඔවුනගේ රජයක් යටතේ ගල්ගසා මරා දමන බවට තර්ජනය කරති. තවත් තැනක ජනවර්ග අතර ජාතිවාදය කුලප්පු කිරීමට ක්‍රියාත්මක වෙමින් එතුලින් රට තුල අස්ථාවරත්වයක් ඇති කිරීමට මාන බලති.
මේ සියල්ල අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය තම පක්ෂ නායකයා වන මෛත්‍රී නොසලකා තම සිතැගි අනුව ප්‍රකාශයන් නිකුත් කරති. මාධ්‍ය සංදර්ශන තුලින් මෛත්‍රීගේ අදහසට එකකට එකක් පරස්පර අදහස් ප්‍රකාශ කරමින් රටේ ජනතාව තුල දෙගිඩියාවක් ඇති කිරීමට මාන බලති. මේ සියල්ලෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ යහ පාලනයකට ඔවුන්ගේ ඇති විරෝධතාවයයි. නිමල් සිරිපාලලා, සුසිල් ප්‍රේමජයන්තලා. අනුර යාපලා දිගින් දිගටම හැසිරෙන්නේ හොරගල් අහුලමිනි. වරක ඔවුන් රාජපක්ෂගේ සබ්මැරීන් ලෙස හැසිරෙන අතර තවත් වරෙක මෛත්‍රී සමග සිටිනවා යැයි රඟපාති. ඇත්තෙන්ම මොවුන්ගෙන් කොටසකට මෛත්‍රී සමග ඇත්තේ තද ඊර්ෂ්‍යාවකි. ඒ තමන් වැනිම තත්වයක සිට ජනාධිපති වූ මෛත්‍රී ගැන ‘මූට ගිය කල’ වැනි සිතුවිල්ලකින් මොවුන් පෙලෙන බැවිනි. මෙවැනි වැඩවසම් පසුගාමී මනස්වලට හිමිකම් කියන මොවුන් ප්රජාතන්ත්රවාදී සමාජයක් ගොඩ නැගීමට කෙසේ නම් නායකත්වයක් දෙන්නද?
ඩලස්ලා, වික්රමනායකයලා, ප්‍රසන්න රණතුංගලා වැනි අය තම ප්‍රකාශ තුලින් මෛත්‍රී රනිල්ගේ හිරකරුවෙකු වී ඇති බව පවසයි. නමුත් ඔවුනට අමතක වී යන්නේ තමන් රාජපක්ෂලාගේ බැලමෙහෙකරන ප්රවේණිදාසයන්ව සිටි බවත් එම දාසභාවයෙන් එම වන්දිභට්ට කමින් ජීවිතයටම මිදිය නොහැකි බව තම ක්‍රියාවෙන් සහ කෙරුම්වලින් පෙන්නමු කරමින් සිටින බවත්ය.
අද වන විට පාර්ලිමේන්තුමේනතුව කෝලම් මඩුවක තත්වයට ඇද වැටී ඇත. ඒ මෙම උත්තරීතර ආයතනයේ ඇති පරහක් නිසා නොව පසුගිය දශක දෙකක් පමණ හෝ ඊටත් වැඩි කාලයක සිට මෙම උත්තරීතර ආයතනයට හොරුන්, මිනීමරුවන්, කුඩු වෙළදුන්, ලිංගික අපරාධකරුවන් ආදී මැරයින් රොත්තක් පත්කර යැවීම හේතුවෙනි. පාර්ලිමේන්තුව තුල ඔවුන් හැසිරෙන්නේද ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි මෙන් තමන් හන්දි ගානේ හැසිරී පුරුදු හැසිරීමෙන්මය. තමන්ගේ බඩ වඩා ගැනීම සහ වන්දිභට්ට බව හැරුණු විට ජනතාවට සේවය කිරීමක් ගැන ඔවුන් නොදනිති. ඒ ඔවුන් බලය අපයෝජනය කරමින් ජනතාවට ඉහලින් වැජබෙන සමාජ පිලිලයන් බවට පත්ව සිටි හෙයිනි. බොහෝ පක්ෂ තම පක්ෂ නියෝජිතයන් ලෙස නාම යෝජනා දී පාර්ලිමේන්තුවට යවා ඇත්තේ පාර්ලිමේන්තුව වැනි උසස් ආයතනයකට තබා වැස්සකටවත් ගෙදරකට ගොඩවීමට ඉඩ නොදිය යුතු මට්ටමේ අපරාධකරුවන් පිරිසකටය.
දැන් ඔවුනගේ බලය පීලී පැනීම තුල මෙම පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත්කර ගෙන ඇත. එනිසා මෙම කෝලමුන් මෙම උසස් ආයතනයෙන් ඉවත් කිරීමට දැන් කාලයයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු අතර වැරදි කාරී දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා නොදෙන ලෙස පක්ෂවලට බලකළ යුතු අතර එසේ නොකිරීමට පක්ෂ වගබලා ගත යුතුව ඇත. එසේ නොකර දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට තව දුරටත් නාම යෝජනා දෙන පක්ෂ පරාද කිරීමේ වගකීම ඇත්තේ ජනතාවටයි. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වගකීම සිවිල් සමාජ බලවේගයන් සතු යුතුකමයි.
දූෂිතයන් සහ අපරාධකරුවන් පාර්ලිමේන්තුවට නොයවමු! වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙනඑමු! යන්න ඊළඟ ඡන්දයේ ප්‍රධාන සටන් පාඨයක් විය යුතුයි.
රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayaka Archchi