පසුගිය ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මුලික දේශපාලන වෙනස්කම දෙස අවඥාවෙන් සහ උපේක්ෂාවෙන් බලන රැඩිකල් විචාරකයාට එක් මුලික කතාවක් මිමිනිය හැකිය. එනම්, මහින්ද යළිත් ප්‍රධාන ප්‍රතිකරුවා බවට පත්වී ඇත. මෛත්‍රී සිදු කිරීමට පොරොන්දු වූ යහපාලනය සඳහා මහින්ද චින්තනය මුලික දර්ශනය ලෙස යොදා ගනිමින් සිටින්නේය. මෛත්‍රීගේ නායකත්වය දෙස බලා, “ අනේ මෙහෙමත් නිහතමානී නායකයෙක්….” යැයි කියූ පිරිසේ මුලික විනෝදය අහෝසී වෙමින් තිබේ. ඒ වෙනුවට, පැරණි උපහැරණය යහපාලනය තක්සේරු කිරීම සඳහාද පොදු මිනිස් මනස අරක්ගනිමින් සිටින්නේය. තාවකාලික වින්දනය වෙනුවට සදාකාලික අවිනිශ්චිතබාවය සහ බිඳවැටීම යළිත් තම දූවිලි පිසදමමින් නැගිටමින් තිබේ.
තම අඥාන තීන්දුව අර්ථනිරූපණය කිරීම සඳහා, බරපතල සොයා ගැනීමක් සිදු කොටඇත. ඒ වසර දහයක් මෙරට විධායක ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දීමට තමන් ගත් තීන්දුව ගැන පළමුව නිහඬව සිට පසුව වහෙන්හොරා කතා කරමින්, තමන් වටා මෝදු වෙමින් පවතින අපකීර්තිය වසා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අලංකාර තර්ක ඉදිරිපත් කරමින් සිටින ආකාරයකි.
ඒ අනුව ඔහු මහින්ද රාජපක්ෂ මහතාට තම පක්ෂයෙන් නාම යෝජනා ලබා දී ඇත්තේ “ බුද්ධි අංශ” වාර්තාවක් අනුව යමිනි. එම වාර්තාවට අනුව තමන් මහින්දට උම්මා දුන්නේ නැති නම්, එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පුදුමාකාර ජයග්‍රහණයක් ලබා ගනු ඇත. එය 1977 දී හයෙන් පහක බලය ලබා ගැනීම හා සමාන වී මෙරට තත්වය තම පක්ෂයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී බල තුලනයට තර්ජනයක් වනු ඇත. මෛත්‍රීගේ අලුත්ම තියරිය මෙයයි.
ජනාධිපතිවරයා මෙවැනි කාරණයක් නිල වශයෙන් නිවේදනය කොට නැති බව සැබෑවකි. නමුත් ඔහු සමඟ යහපාලන ආණ්ඩුව තැනීමට මූලික වූ අයෙකු මෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා මේබව සඳහන් කොට ඇත. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, අදාළ අමාත්‍යවරයා සඳහන් කළ බොහොමයක් දෑ අමූලික අසත්‍යය ප්‍රකාශ වේ. ඒ අනුව මෙම කාරණයද, අසත්‍යයක් ලෙස සිතා බැහැර කළ හැකිය. නමුත් මෙම කාරණයේදී මතු කිරීමට වෙරදරණ කාරණය අනුව ජනාධිපතිවරයා එවැනි අදහසක් ප්‍රකාශ කිරීමේ බොහෝ සම්භාවිතාවක් තිබේ. මන්ද ඔහු ගත් තීන්දුව සාදාරනීකරණය කිරීම සඳහා පසුතලයක් නිර්මාණය කළ යුතුය. එවැනි අදහස් දැක්වීමක් බොහෝ දුරට සාර්ථක උපක්‍රමයක් විය හැකි යැයි ඔහු සිතනවා විය හැකිය. බොහොමයක් සාර්ථක පාලකයින් තම දේශපාලනය අභාහ කරගනු ලැබුවේ වැරදි තීන්දු නිසා පමණක් නොව, එම තීන්දු මෝඩ ලෙස සාදාරනීකරණය කිරීමට යෑම මඟිනි.
නමුත් දශක ගණනාවක දේශපාලන අත්දැකීම් ඇතැයිද තමන් කිසිඳු මොහොතක වැරදි තීන්දුවක් නොගන්නා බව කීමද කරණ කොට ගෙන, මෛත්‍රී වැනි නායකයෙකු, 77 දී සිදු වූ දේශපාලන තත්වයක් යළි නිර්මාණය වේ යැයි කීම හාස්‍යජනකය. රටේ බලය බෙදී ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේදී සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්කොට ඇති ජාතික ආණ්ඩු සංකල්පය මෙන්ම මෛත්‍රී මුල සිටම කියා සිටි මැතිවරණයේදී නිර්දේශපාලනික වීම ආදී කාරණා හමුවේ එවැනි තත්වයක් ඇතිවීමට කිසිඳු ඉඩක් නැත. නමුත් මෛත්‍රීගේ තීන්දුව මඟින් මුලික ව්‍යුහය දෙදරා ගොස් එකිනෙකා අතර අවිශ්වාසය ගොඩනැගී ඇත. මෙය රටට මෙන්ම ජනාධිපතිවරයාට හානිකරය. ඔහු විශ්වාස කිරීමට නොහැකි නායකයෙක් බවට පත් වී ඇත. මහින්ද රාජපක්ෂට, මෛත්‍රී සම්බන්ධයෙන් ගොඩනැගීමට අවශ්‍යය වූ ප්‍රතිරූපය මෙයයි. කපන්න බැරි ඇත ඉඹිමේ රාජපක්‍ෂ කලාව මෙයයි.
තමන් විසින්ම, අහිංසාවාදී දේශපාලන විපලවයකින් බලයට පැමිණියේ යැයි කියමින් මහජනයා හමුවේ පෙනී සිටින ජනාධිපතිවරයා “බුද්ධි අංශ” වාර්තා උපුටා දක්වමින් මෙවැනි පදනම් රහිත තර්ක ඉදිරිපත් කිරීම මඟින් යහපාලනය ක්‍රමිකව මහින්ද චින්තනයට ගිල ගැනීමට අවැසි වටපිටාව සකස් කරමින් ඇත.
සිදු වූයේ විප්ලවයක්ද? යන ගැටලුව බොහෝ දෙනෙකුට තිබේ. මාගේ අර්ථ නිරුපණයට අනුව ලංකාවේ විප්ලවයක් සිදු වූයේ නැත. සැබවින්ම රාජපක්ෂ ආසියාවේ ආශ්චර්ය විකුණනු ලැබුවේ යම් සේද, මෛමෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විපල්වය නමැති වාග් මාලාව විකිණීමට උත්සහ දරන්නේද යන ගැටලුව පමණක් සමාජය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ.
ඊට සාපේක්ෂව, මහින්ද නමැති ගැඹුරු සමාජ වියෝජනය අවදි වී සිටින්නේය. ඔහු යළිත් තම ගමන් මඟ සකස් කරමින් සිටින්නේය. ඔහුගේ එකම සිහිනය මීළඟ පාර්ලිමේන්තුවේ අගමැතිධූරයයි. ඒ සඳහා ඔහු තමන්ගේ අදහස් වඩාත් නිරවුල්ව, තමන්ට නාම යෝජනා හිමි වීමෙන් පසු එක්තරා ඉන්දීය මාධ්‍යවේදියෙකු හමුවේ සඳහන් කොට ඇත. ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී තම ස්ථාවරය කුමක්ද? ඊට ලඟා විය හැකි ආකාරය කෙසේද? යන්න වඩාත් නිවැරදිව සහ නිරවුල්ව සඳහන් කොට ඇත.
මේ හමුවේ යහපාලකයින්ට, ආසියාවේ අශ්චර්යෙන් බරපතල ටොක්කක් ඇන ඇත. එම ටෝක්කෙන් ඔවුහු සිහි මුර්ජා වී ඇත්තේද? නො එසේනම්, තම අසමත්බාවය සැඟවීමට නොයෙක් බොරු කියමින් සිටින්නේද යන්න, එකිනෙකාට වෙනම සිතාබලා පිළිතුරු ලබාගත හැකි ගැටලුවකි. යහපාලකයින් තම මුලාව තේරුම් නොගැනීමෙන් සිදු වීමට නියමිත ව්‍යාකූලත්වය හමුවේ ඔවුහු පෞද්ගලිකව මෙන්ම රටත් යළිත් අතරමං කරනු ඇත.
මෙය සැබවින්ම අවසනාවන්ත කාරණයකි. තම හෘද්‍යසාක්ෂිය පවා නොදෙන උදාර නායකත්වයක් හෝ කණඩායමක් යටතේ රටේ අභිනවය වෙනුවෙන් නැගී සිටීමට මිනිසුන්ට ඇති වුවමනාව හෙවත් සිහිනය කලින් කලට මතුවන සමාජ කල්ලි විසින් පැහැරගැනීම එකම කාරණය බවට පත් වී තිබේ. මේ හමුවේ සිදුවන්නේ රට තව දුරටත් හුදෙකලා වීම සහ සමාජ ව්‍යුහය කුණුවීමය. ඊට සාපේක්ෂව යළිත්, රට තුළ බරපතල රික්තයක් නිර්මාණය වෙමින් තිබේ.
සිහිනෙන්වත් නොසිතූ පරාජයක් ලබාගත් මහින්ද රාජපක්ෂ පෑළ දොරින් පැනගොස් බලා සිටියේ එම මොහොත එන තෙක්ය. රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වන බවට සිදුකළ තර්ජනය, එහි නායකත්වය නිවැරදිව කියවීමට සමත් වූයේනම්, ඔහුට නාම යෝජනා නොදෙනවා පමණක් නොව රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යන්නේද නැත. මන්ද රාජපක්ෂට එවැන්නක් කිරීමට පෞද්ගලික හැකියාවක් සහ වටපිටාවක් නොමැති හෙයිනි. එය කළ හැකිව තිබුණේනම් ඔහු එය සිදු කරනු ලබන්නේ නායකත්වය ලබා ගැනීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමග ගැටුන අවදියේදීය.
එවැන්නක් සිදුකරණ බවට කළ තර්ජනය සහ එය ඔප්පු කිරීම සඳහා සේනාවක් තනා ගැනීම මඟින්, තම අභියෝගය ජයගත හැකිබව රාජපක්ෂ දන්නේය. බොහොමයක් නොවටිනා දෑ අතිශය වැදගත් දෑ යැයි නිගමනයකට එළඹ, ඒවාට මුල් තැන දෙමින්, තම දේශපාලනය නන්නාත්තාර කරගත් සිදුවීම් මෙරට ඉතිහාසයේ සුලබය. අවාසනාවට මෛත්‍රීට එවැනි මූලික දෑ අමතකවීම කණගාටුවට කාරණයකි.
තමන්ට වසර 50ක තබා දහස්ගණනක දේශපාලන අත්දැකීම් ඇතැයි කියමින් අතිශය තීරණාත්මක කාරනා හමුවේ පූර්ව නිගමනවලට එළඹ තම මුල් සතුරා සමඟ අත්වල් බැඳ ගැනීම විහිලුවකට වඩා ඛේදජනකය. එමඟින් තම මුලික අභිප්‍රායන් ව්‍යාකූල වන අතර තම නායකත්වය අවතක්සේරුවට ලක්වේ.
සෑම හැකියාවකටම වඩා ඉතාමත් වටිනා දේ වූ කලී, එක් ස්ථීර කාරණයක් සාර්ථක වන තැන කාරණා දෙකක් පාවිච්චි නොකිරීමට වගබලා ගැනීමය. උදහාරණයක් ලෙස, දූෂණයෙන් සහ වංචාවෙන් තොර නීතිගරුක රාජ්‍ය ව්‍යුහයක් තැනීම පාලකයාගේ ප්‍රසාදය තහවුරුකරන මුලික කාරණය වූ විට, තම පක්ෂය කැඩීමට අර අදින කපටි ආරක්ෂකයා ගැන සිතා තම මුලික අරමුණු වෙනස් කොට රටහමුවේ තමන්ගේ චපලකම පෙන්වීම මඟින් සිදුවන්නේ අල්ලපු අත්ත මෙන්ම පයගැසූ අත්ත යන දෙකම අහිමි වීමය.
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැටලී සිටින උභතෝකෝටිකය පැහැදිලි කර ගැනීම සඳහා උක්ත කියවීම ඉතා මහෝපාකාරී වේ. ඔහුට අනුව, රාජපක්ෂට නාමයෝජනා දීම සාර්ථක තීන්දුවකි. එය අවිද්‍යාවෙන් මෙන්ම අවිනිශ්චිතතාවයෙන් පිරිණු තීන්දුවක්ද නො එසේනම් සාර්ථක එකක්ද යන්න ඉදිරිදින කිහිපය තුළ මුළු ලෝකයටම ඔප්පු වනු ඇත. ශ්‍රී ලංකාව අස්ථාවර සහ දූෂිත රාජ්‍යයක් බවට පත් වී රටේ අහිංසක මිනිසුන්ට වන්දි ගෙවීමට සිදුවූයේ මෙවැනි තීන්දු හේතුවෙනි.
අවසාන විග්‍රහයේදී, මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අතිශය අප්‍රසන්න ලෙස අසමත් වී සිටින බව මූලික වශයෙන් මතුවෙමින් පවතින අදහසක් තිබේ. මහින්ද මෛත්‍රීගේ ෆයිල් එකිනෙක අවුස්සමින් සිටින සැටියෙකි.
තමන් විසින් තරයේ ප්‍රතික්ෂේප කළයුතු බරපතල තීන්දුවක් වෙනුවෙන් තම කැමැත්ත පළකිරීම පාලකයෙකු තම පාලිතයින්ට සිදුකරණ බරපතළ වරදකි. බොහොමයක් පාලකයින් තමන් පාලනය කළ රාජ්‍යයන් අතිශය දුෂ්කර අවස්ථාවලට ඇද දැමුයේ මෙවැනි තීන්දු මඟිනි.
ලෝකයේ සිදු වූ බොහෝ දේශපාලන වෙනස්කම් සාර්ථකත්වය කරා ගමන් කරනු ලැබුවේ, එම වෙනස්කම් ඔස්සේ බලයට පැමිණි අයවලුන් සිදු කළ අව්‍යාජ දේශපාලන කැපකිරීම හේතුවෙනි. ජනවාරි 08 වැනිදා සහ ජනවාරි 09 වැනිදින අලුයම මෙරට සිදු වූ දේශපාලන කටයුතු යළි යළිත් සිහියට නැගීමෙන්, මෙරට සිදු වූ දේශපාලන වෙනස ගැන තම මතකය අලුත් කර ගත හැකිය.
ප්‍රමාද වී පසුතැවිලි වීමට පෙර, සාර්ථක තීන්දු ලබා ගැනීමට මෛත්‍රී සමත් වන්නේද යන්න, සැක සංකා අතරින් ඉදිරියට පැමිණෙන මුලික ගැටලුවක් බවට පත් වී තිබේ. මෙය තවත්, අත්හල සහ මඟහැරුණු අවස්ථා ගොන්නට එකතුවීමට යන එක් අවාසනාවන්ත දේශපාලන වෙනසක් පමණක් වන්නේද? එය එසේ නොවේ යැයි වචන වලින් කියා මධ්‍යයේ හිඩැස් පිරවීමෙන් පලක් නැත. වැදගත්වන්නේ ක්‍රියාවෙන් ඒ බව ඔප්පු කිරීමය.
නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa