පසුගිය ජනාධිපතිවරණය, ඊට පෙර පැවති සෑම ජනාධිපතිවරණයකින්ම වෙනස් වන ප‍්‍රධාන ලක්ෂණය වන්නේ, එක පැත්තකින්, ජනාධිපතිවරයා නැමැති රාජ්‍ය නායකයා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් නිර්-පාක්ෂිකව සිටීමට බල කෙරෙන පූර්ව කොන්දේසි මැතිවරණයට කල්තියාම නිර්මාණය වී තිබීමයි. අනිත් පැත්තෙන්, එම කොන්දේසිවලට පිටුපෑමට නොහැකි වාස්තවික (බිම් මට්ටමේ) තත්වයක්, එම ජනාධිපතිවරයාව බලයට පත්කිරීමට පෙරමුණ ගත් බලවේග විසින් සේම ඔහුව පරාජය කිරීමට පෙරමුණ ගත් බලවේග විසිනුත් කල්තියා නිර්මාණය කොට තිබීමයි. ඔහුව බලයට පත්කළ බලවේග, ජයග‍්‍රහණයෙන් පසු ඔහු නිර්පාක්ෂික වෙතැයි අපේක්ෂා කළ බව කවුරුත් දනිති. ඒ බව ඔහුමත්, ජනාධිපතිවරණයට කලින් නොයෙක් වර රටට කියා තිබුණි. රටේ සහ සමස්ත ජනතාවගේ නායකයා වනවා මිස, කිසි පක්ෂයක නායකයෙකු නොවන බව එදා ඔහුගේ ස්ථාවරය විය. අනිත් අතට, ඔහුව පරාජය කිරීමට පෙරමුණ ගත් බලවේගවල දේශපාලනය විසිනුත් එම කොන්දේසියම නිර්මාණය කෙරුණි. ඒ කෙසේද?
මෛත‍්‍රීපාල සිරිසේනගේ දශක හතරකට වැඩි දේශපාලනය තුළ පොදුවේ ගත් කළ, ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකි. විශේෂයෙන්, අවසාන දශකය තුළ මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටි ඉතා ප‍්‍රතිගාමී සෑම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවරක් පසුපසම ඔහුත් සිටියේය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පෙනී සිටීම සහ ශිරානී බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය වෙනුවෙන් පෙනී සිටීම ඒ අතර කැපී පෙනුණි. දැන්, එකී අශෝභන ඉතිහාසයෙන් කැඞී වෙන් වීමට නම්, එක්කෝ මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ) ප‍්‍රතිගාමී බලවේග නැවත හිස එසවීම, තමා ජයග‍්‍රහණය කිරීමෙන් පසු ඔහු විසින් වැළැක්විය යුතුව තිබුණි. නැත්නම්, ඔහුට කළ හැකිව තිබූ ඊළඟ දෙය වුණේ, එම පක්ෂ දේශපාලනයට ඇඟිලි නොගසා, එම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සමස්ත පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව, රටේ නායකයා වශයෙන් සමස්ත ජනතාවට පිළිගත හැකි මැදිහත් රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු බවට පත්වීමයි.
මේ අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ මොනවා ලියැවී තිබුණත්, තම පක්ෂයට අත්වූ පරාජයෙන් පසු එම පක්ෂයේ නායකත්වය සඳහා තමන්ව එසේ පරාජය කළ පුද්ගලයාව පත්කර නොගැනීමේ සදාචාරමය වගකීමක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටද තිබුණි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, එම පක්ෂයෙන් යමෙකු ජනාධිපති ධුරයට පත්වන්නේ නම්, ඔහු හෝ ඇය එම පක්ෂයේද සභාපතිවරයා විය යුතු බවයි. එහි අදහස වන්නේ, තම පක්ෂයේ අනුමැතියෙන් ජනාධිපති බවට පත්වන්නෙකු මිස, තම පක්ෂයට හතුරු පක්ෂයකින් ජනාධිපති පදවියට පත්වන්නෙකු තම පක්ෂයේ සභාපති කරගත යුතු බව නොවේ. මේ නිසා, තමන්ව පරාජය කිරීමට හැම ප‍්‍රයත්නයක්ම ගත් සහ තමන් විසින් ප‍්‍රතික්ෂේප කළ ප‍්‍රතිපත්ති ඇතුළත් පක්ෂයක සභාපතිවරයා වශයෙන් පත්වීම ජයග‍්‍රාහී මෛත‍්‍රීපාල සිරිසේන විසින් ප‍්‍රතික්ෂේප කළ යුතුව තිබූ තරමටම, තම පක්ෂයට ‘ද්‍රෝහී’ වූ එවැනි පුද්ගලයෙකු තම පක්ෂ නායකයා වශයෙන් පත්කර ගැනීම, තමන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ 58 ලක්ෂයක් ඡන්දදායකයාව පාවාදීමක් වන බව එම පක්ෂය විසින්ද වටහාගත යුතුව තිබුණි. මේ තත්වය තුළ, රාජ්‍ය නායකයා වශයෙන් අවසාන වරට පරාජය කරනු ලැබීමෙන් පසු ගෞරවනීය රාජ්‍ය නායකයෙකු වශයෙන් මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගත යුතුව තිබුණා සේම, අවසානයේදී රටේ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු මෛත‍්‍රිපාල සිරිසේනත් පක්ෂ දේශපාලනයෙන් සමුගෙන රටේ ජනාධිපතිවරයා විය යුතුව තිබුණි. තවද, තමා බැඳී සිටින්නේ රටේ ව්‍යවස්ථාවෙන් මිස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක ව්‍යවස්ථාවෙන් නොවන බවත් ඔහු තේරුම් ගත යුතුව තිබුණි.
එහෙත්, මහින්ද රාජපක්ෂ එහිදී ඉතා ශූර දේශපාලඥයෙකු වීමට ඉටා ගත්තේය. ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය අළුත් රාජ්‍ය නායකයාට කැමැත්තෙන්ම පවරන්නේ, මෛත‍්‍රීපාල සිරිසේනව දේශපාලනිකව කොටු කර ගැනීම ඉලක්ක කරගෙනයි. හෙවත්, එක්සත් ජාතික පක්ෂය වැනි කඳවුරු දෙසට ඔහු නැමීමට ඇති ඉඩකඩ වහා අවුරාලීමටයි. තමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිත්වය ගන්නේ, මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්්වීම කල් තියා වළක්වා ලීම අරමුණු කරගෙන බව එදා සිට අද දක්වාමත් මෛත‍්‍රීපාල සිරිසේන කියන තර්කය පුස්සක් වුණේ, මහින්ද රාජපක්ෂගේ ඉහත කී උගුලට ඔහු ඉතා පහසුවෙන්ම හසු වූ තත්වයක් තුළ ය. අද 2015 ජුලි 9 වැනි දා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිටියදීම, එම යාන්ත‍්‍රණ දෙක තුළම අද වන විට ජයගෙන ඇත්තේ, මහින්ද රාජපක්ෂගේ න්‍යාය පත‍්‍රය වීම තුළින් එය මොනවට ඔප්පු වෙයි. මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ ප‍්‍රධාන ගෝල බාලයන් ඉදිරි මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. එළියේ සිටිනු ඇත්තේ, මර්වින් සිල්වා හෝ දුමින්ද සිල්වා වැනි හාල්මැස්සන් දෙතුන් දෙනෙකු පමණි. කෙසේ වෙතත්, ජනවාරි 8 වැනි දා මේ රටේ ජනතාව පලවා හැරියේ මහින්ද රාජපක්ෂව මිස, මර්වින් සිල්වා හෝ දුමින්ද සිල්වා වැනි දේශපාලඥයන් කිහිප දෙනෙකු නොවන බව අප තරයේ සිත් තබා ගත යුතුය. ඇත්ත වශයෙන්ම, මෛත‍්‍රිපාල සිරිසේන නායකත්වය දරණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයකින් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයකින් මහින්ද රාජපක්ෂ කෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණීම යනු, මර්වින් සිල්වලා සහ දුමින්ද සිල්වලා දහසක් දෙනා පාර්ලිමේන්තුවට පැමිණීමට වඩා නරුම දේශපාලනයක ජයග‍්‍රහණයක් බව අප වටහා ගත යුතුව තිබේ.
දැන් ආපසු හැරී බලන විට, මෛත‍්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂව ජයගෙන තිබෙනවා නොව, මහින්ද රාජපක්ෂ විසින් මෛත‍්‍රීපාල සිරිසේනව ජයගෙන තිබෙනවා ය යන්න අතැඹුලක් සේ ප‍්‍රත්‍යක්ෂ ය. එසේ වීම සඳහා මහින්ද රාජපක්ෂ නැමැති ශූර දේශපාලඥයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේනට ස්වේච්ඡාවෙන් ප‍්‍රදානය කිරීම සමාන වන්නේ, තමා (මහින්ද) වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට සපථ කොට සිටින බහුතරයක් ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක නායකත්වය භාර ගෙන, පුළුවන් නම් තමාගේ (මහින්දගේ) සිතැඟියාවට පටහැනි ආකාරයකින් තරගය ජයගෙන පෙන්වන්නැයි මෛත‍්‍රීපාල සිරිසේනට කරන ලද අභියෝගයකටයි. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ක‍්‍රීඩා කරන සුසිල් පේ‍්‍රමජයන්ත සහ අනුර ප‍්‍රියදර්ශන යාපා වැනි ක‍්‍රීඩකයන් තරග කොන්දේසි තීන්දු කරද්දී, කණ්ඩායම් නායක මෛත‍්‍රීපාල සිරිසේන අවසානයේදි මෙයාකාරයෙන් තරගයෙන් අසමත් වීම පුදුමයක් නොවේ. මේ අනුව, මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කිරීම වෙනුවෙන් ජනවාරි 8 වැනි දා ජනවරමක් ලත් මෛත‍්‍රීපාල සිරිසේන එම ජනවරමම පාවිච්චි කරමින් මහින්ද රාජපක්ෂට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා වන පාර කපා දීම, නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය නායකයෙකු කළ විශාලතම පාවා දීම බව, අද වැසැංගිය නොහැකි සත්‍යයක් බවට පත්ව තිබේ.
දැන් ඇති වෙමින් තිබෙන බල වර්ධනයන් දෙස බලන විට, යුද්ධයක් හමුදාමය වශයෙන් ජයගත් පසු එම අවස්ථාව ජාතික සාමය සහ සංහිඳියාව සඳහා පාවිච්චි නොකොට නාස්ති කරගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාධිපති ප‍්‍රවණතාවකට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන අසහාය සටනක් රටේ බහුතරයක සහායෙන් ජයග‍්‍රහණය කර ගැනීමෙන් පසු එම අවස්ථාව, සකල දූෂණ විරෝධී සංස්කෘතියක් සඳහාද, ජාතීන් අතර සහයෝගීතාවක් සඳහා සහ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහාද පාවිච්චි නොකොට නාස්ති කර ගැනීමට ඉරණම් කෙටී ඇති වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර කිසි වෙනසක් තිබේද?
මහින්දගේ ගෙදරින් ? කෑමට ගත් ආප්පයට පිටුපෑ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන සහ පසුගිය මාස හයක් තිස්සේ මහින්ද රාජපක්ෂගේ ආගමනය නතර නොකළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර විශාල වෙනසක් තිබේ. මහින්දගේ ආප්පයේ වටිනාකම සහ හැට දෙලක්ෂයක් ජනතාවකගේ අපේක්ෂාවේ වටිනාකම අතර ඇති වෙනසට එය සමානයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි මෛත‍්‍රීපාල සිරිසේන, අනාගතේ දිග හැරීමට නියමිත වෙනත් දේශපාලනික ව්‍යාපෘතියක දැනුවත් ගොදුරක් බවට පත්වීම අප කාගේත් ඛේදවාචකයකි.
මේ සඳහා වන පූර්වාදර්ශ පසුගිය මාස හයක කාලය තුළ විටින් විට මෛත‍්‍රීපාල සිරිසේන වෙතින් සැපයුණි. කුඩු ජාවාරම් ගැන ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට මීගමුවේ සංවිධායක කම පැවරීම, රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි වන බද්ධ වෛරය නිසාම දේශපාලනික ‘චරිතයක්’ බවට පත්වූ පුද්ගලයෙකු තම සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් පත්කර ගැනීම, ‘ව්‍යවස්ථා සභාවට’ තම නියෝජිතයා වශයෙන් චම්පික රණවක වැන්නෙකු පත්කිරීම සහ අවසානයේ මුළු රටටම හොරෙන් මහින්ද රාජපක්ෂ සමග සතරකන් මන්ත‍්‍රණයකට සහභාගී වීම, මෛත‍්‍රීපාල සිරිසේනගේ ඉදිරි ගමන් මග සළකුණු කළ අපූරු පූර්වාදර්ශයන්ගෙන් කිහිපයක් බව දැනට ලියා තැබීම ප‍්‍රමාණවත් ය. දීර්ඝ කතාවක් ඉදිරියේදී දිග හැරීමට නියමිතව ඇත. එම කතාව තුළ මෛත‍්‍රිපාල සිරිසේන වීරයෙකු වෙනවා වෙනුවට ද්‍රෝහියෙකුගේ චරිත නිරූපණයට පණදීමට ඇති ශක්‍යතාව, බැහැර කළ නොහැකි යථාර්ථයක් බවට දැන් පත්වෙමින් තිබේ.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda