දුමින්ද සිල්වාට, සජින් වාස් ගුණවර්ධනට, මර්වින් සිල්වාට සහ සරණ ගුණවර්ධනට නාම යෝජනා නොදීම හුදු ඇන්දිල්ලකට වැඩි දෙයක් නොවේ. ඔවුන් හැරුණු විට අනිත් සියලූ තක්කඩින්ට නාම යෝජනා දීමෙන් පෙනී යන්නේ, ආපසු පාර්ලිමේන්තුවට පැමිණීමට තතනන මහින්ද රාජපක්ෂ යනු අළුත් පුද්ගලයෙකු නොවන බවයි. අපකීර්තිමත් අතීත සහචරයන් සමග පරණ දූෂිත ක‍්‍රමයම ඉදිරියටත් ගෙන යාමට සිතාගෙන සිටින කෙනෙකු බවයි.
මර්වින් සිල්වා-
මොහු රාජපක්ෂලාට සහයෝගය දීමෙන් වැළැකී සිටියේ පසුගිය ජනාධිපතිවරණයේ සිටමයි. එපමණක් නොව, ඔවුන් සම්බන්ධ වූ මිනිමැරුම් ඇතුළු නොයෙක් අපරාධ ගැනත් ඔහු ප‍්‍රසිද්ධියේ කතා කෙළේය. ඔහු දූෂිත දේශපාලඥයෙකු වූ නිසා ඔහුට නාම යෝජනා නොදුන්නේ යැයි සිතීම පිස්සුවකි. ඇත්තෙන්ම, ඔහුට නාම යෝජනා නොලැබුණේ, එකී රාජපක්ෂ-විරෝධී විවේචනයන් නිසා ය.
සරණ ගුණවර්ධන-
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉවත් කරනු ලැබ ඇත්තේ සරණ ගුණවර්ධනව පමණි. එහෙත් ඒ වෙනුවට ඔහුගේ බිරිඳට නාම යෝජනා දී තිබේ. මොන තරම් විගඩමක්ද/ මේ අනුව බලන විට, හතර දෙනෙකුට නාම යෝජනා නොලැබුණේ යැයි කීවත් ඇත්තෙන්ම නොලැබී ඇත්තේ දෙන්නෙකුට පමණි.
දුමින්ද සිල්වා-
නීතිය ඉදිරියේ ඔප්පු වුවත් නැතත්, දුමින්ද සිල්වා මහ දවල් සිදුවූ මිනීමැරුමකට සම්බන්ධ ය. මේ සිද්ධියේදී තමාගේ මොළය කුඩුපට්ටම් විණැයි කී නිසා ඔහුගේ මොළේ කළඳක්වත් ඉතිරි වී නැතිවා ඇති. කෙසේ වෙතත්, ඔහුගේ බලවත් විරෝධය මධ්‍යයේ පවා ඔහුට නාම යෝජනා ලැබුණේ නැත. ඒ ගැන දැන් ඔහු නිහඬයි. මහින්ද රාජපක්ෂගේ චෞර පාලනය ගැන දන්නා ඕනෑම කෙනෙකු, ඉදිරි දවසක මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් හැදුණොත්, දුමින්ද සිල්වා යම් රටක තානාපතිවරයෙකුවත් වනු ඇතැයි දනී.
සජින් වාස් ගුණවර්ධන-
ලංකාවේ මහ කොමසාරිස්වරයෙකුට ප‍්‍රසිද්ධියේ පහර දීමේ සිද්ධියකින් පසුව පවා, රාජපක්ෂලාගේ යහපාලනයට පින්සිදුවන්ට, සජින් වාස් යහතින් වැජඹුණි. මෙවර නාම යෝජනා නොලැබී ගියත්, රාජපක්ෂ ආණ්ඩුවක් ආවොත් උසස් තනතුරුවලින් ඔහුට කිසි අඩුවක් නොවනු ඇත.
මේ සියල්ල සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, විවිධ දූෂණ සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණවලට ලක්වූ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන, නිමල් ලන්සා, ලක්ෂමන් වසන්ත පෙරේරා, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, බැසිල් රාජපක්ෂ, රෝහිත බෝගොල්ලාගම සහ විමල් වීරවංශ වැනි දූෂිතයන්ගේ දීර්ඝ රැළකින් නාම යෝජනා නොලැබී ගොස් ඇත්තේ දෙන්නෙකුට පමණක් වන බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී, මෛත‍්‍රිපාල සිරිසේනගේ ආධාරකරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ සිටින පේ‍්‍රමලාල් ජයරත්නට පවා එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් නාම යෝජනා ලැබුණි. හොර අත්සන්කරුවෙකු වශයෙන් චෝදනා ලැබ සිටින තිස්ස අත්තනායක සහ ඉතා අපකීර්තිමත් නාමයක් ඇති ටිරාන් අලස්ටත් එම සන්ධානයේ ජාතික ලැයිස්තුවේ තැනක් ලැබී ඇත. ඒ අර්ථයෙන් ගත් විට, දුමින්දට සහ සජින්ට පමණක් නාම යෝජනා නොදීම ඡුන්දදායකයාගේ ඇසට වැලි ගැසීමක් පමණි.
නාම යෝජනා ලැයිස්තුව තීන්දු කෙළේ කවුද?
මෛත‍්‍රීද, පේ‍්‍රමජයන්තද, යාපාද, මහින්දද? එය කෙළේ මහ එකා බවට සැකයක් නැත. දූෂිත ගනුදෙනුවල නිරතව සිටියවුන් ගැන තමන් දැන සිටි බවත්, ඒ අයට එරෙහිව තමා නීතිය ක‍්‍රියාත්මක නොකළ බවත් මහින්ද රාජපක්ෂ ප‍්‍රසිද්ධියේ කියා තිබේ. ඒ වනාහී, දුප්පත් ජනතාවගේ සම්පත් සහ ජීවිත කොල්ලකෑමටත්, ඔවුන්ගේ ජීවිත අසරණ කිරීමටත් තමන් ආධාර කළ බව ඔහු විසින්ම පිළිගැනීමකි. මේ රටට සාධාරණ පාලන ක‍්‍රමයක් ඇති කර දීමේ මොනම අදහසක්වත් තමා තුළ නැති බව, මෙසේ තමන්ගේ පරිවාර සකල තක්කඩින්ට නාම යෝජනා දීමෙන් ඔහු ඔප්පු කොට තිබේ. එකම වරද නොකිරීමට තමා උගෙන ඇතැයි දැන් කීවද, එයත් ඔහුගේ අනේක රැවටීම් සහ ව්‍යාජයන්ගෙන් එකක් පමණි. අලූත් ආණ්ඩුවත් පරණ හෙංචයියන්ගෙන්ම පිරැුවීමට ඔහු තීරණය කර තිබීමෙන් පෙනී යන්නේ එයයි. මේ මාස හයේදී ප‍්‍රාතිහාර්යයකින් සේ තමන් පුනරුත්ථාපනය වී ඇතැයි කියන මෙවැනි කුප‍්‍රකට නායකයෙකු සහ ඔහුගේ අපරාධ කල්ලියක් විසින් මෙරට ජනතාවට සාධාරණයක් සහ සෙතක් සලසතියි කෙසේ නම් බලාපොරොත්තු වන්නද?
සාක්ෂි නැත
දූෂණ ගනුදෙනු ගැන විමර්ශනය කිරීම සහ අදාළ පුද්ගලයන්ට නීති මගින් කි‍්‍රයා කිරීම සඳහා කාලය අවශ්‍ය කෙරේ. ශ‍්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නඩු විභාග ක‍්‍රියාවලියේ ඉබි ගමන සහ රාජ්‍ය යාන්ත‍්‍රණයේ සෑම අංශයක්ම මහින්ද රාජපක්ෂවාදීන් විසින් අරක්ගෙන සිටීම නිසා මේ තත්වය තවත් දුෂ්කර වෙයි. දශකයකට වැඩි කාලයක් තිස්සේ කෙරුණු අකටයුතුකම් දින 100 කින් ආපසු හැරවීම උගහට ය.
ඇරත්, ඇස්පනාපිට පෙනෙන්ට ඇති සිදුවීම් සඳහාත් සාක්ෂි අවශ්‍ය කරන්නේද? උදාහරණයක් වශයෙන්, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ රන්ජන් රාමනායක අතර පැවති රූපවාහිනී සංවාදය ගන්න. ජොන්ස්ටන් යනු, ලක්ෂ ගණන් මිනිසුන් නරඹන එවැනි වැඩ සටහනකදී හැසිරිය යුත්තේ කෙසේද යන්න ගැන අබමල් රේණුවක හැඟීමක් නැති අසංස්කෘතික මැරයෙක් බව කාටත් ඔප්පු විය. ඔහුගේ පුතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඔහු වැය කළ මුදල් කන්දරාව ගැන අටුවා ටීකා අවශ්‍ය නොකරන්නේ, එයින් විශාල ප‍්‍රමාණයක් මිනිසුන් අතටත් පත්වූ බැවිනි. එහෙත් ඒ සියලූ ජනයා ඔහුට ඡුන්දය දුන්නේ නැත. ඒ සා ධනස්කන්ධයක් සාධාරණ ක‍්‍රමයකින් උපයාගත හැකි නොවන බව නොරහසකි. ඒ සඳහා විශේෂ සාක්ෂි අවශ්‍ය නොකෙරේ.
විමල් වීරවංශගේ ඇතැම් දූෂිත ගනුදෙනු ගැන ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත පසුගිය දා වාර්තා කෙළේය. මිලියන 70 ක වියදමින් මහා මන්දිරයක් තැනීමට තරම් ජන්ම උරුමයෙන් ආ ධනයක් ඔහුට නොතිබුණු බව මුළු රටම දනී. එනිසා එවැනි ධනයක් කළු සල්ලියක් මිස වෙන කිසිවක් නොවන බව තීරණය කිරීමට විශේෂ සාක්ෂි අවශ්‍ය නොකෙරේ.
නිමල් ලංසා කුඩු ජාවාරම්කාරයෙකු බව අති ප‍්‍රකට ය. වරක් ඔහුව පොලිස් අත්අඩංගුවට පත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුව බේරා ගැනීමට තකහනියක්ම ඔහුගේ නිවසට ගියේ වෙන කවුරුවත් නොව, එදා ජනාධිපති මහින්ද රාජපක්ෂමයි. ඉතිං, තවත් සාක්ෂි අවශ්‍ය ද?
තවත් කුප‍්‍රකට දේශපාලඥයෙකු වන රෝහිත බෝගොල්ලාගම විදේශ ඇමතිවරයා වශයෙන් සිටියදී රටේ ධනය නාස්ති කරමින් සිය පවුලේ සියල්ලන් ලෝකය වටේ ගෙන ගිය බව මුළු රටම දනී. අවසානයේ පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනතාව ඔහුව පරාජය කළහ.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී දුප්පතා හොඳටම විඳෙව්වේය. මන්ද යත්, රාජ්‍ය භාණ්ඩාගාරය දේශපාලඥයන් විසින් ගසා කමින් සිටි බැවිනි. මහන්සි නොවී වැඩියෙන්ම හම්බ කරගත හැකි එකම ක්ෂේත‍්‍රය බවට එදා දේශපාලනය පත්ව තිබිණි. දේශපාලන බලය තමා අතේ තබා ගනු වස්, රටේ සම්පත්වලින් විශාල ප‍්‍රමාණයක් තම හෙංචයියන්ට කොල්ලකෑම සඳහා මහින්ද රාජපක්ෂ හැම පහසුකමක්ම සපයා තිබුණි. තවමත් එම පාලන ශෛලියෙන් ඔහු කැඞී ඇති බවක් පෙන්නුම් නොකෙරේ.
රටේ මිනිසුන්ට පක්ෂ දේශපාලනයක් අවශ්‍ය නැත. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමටත්, නීතිය හා සාමය පවත්වා ගැනීමටත්, දූෂණය පිටුදැකීමටත් පසුගිය මාස හයක කාලයක් තිස්සේ ගත් වෑයම ආරක්ෂා කරගත යුතුව තිබේ. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කල්ලිය මෙවරත් පරාජය කළ යුත්තේ එබැවිනි.
හෙලසිංහ බණ්ඩාර
*2015 ජුලි 14 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ Duminda, Sajin, Mervin, Sarana: A False Token Gesture නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි