මා UNP කාරයෙකු නොවුණද, මෙවර මැතිවරණයේදී මගේ ඡන්දය එජාපයට නොදීමට දැනටමත් තීරණය කර සිටියද, මෙය ලියන්නට සිතුණේ කවර දේශපාලනික මතවාදයක් දරන්නෙකුට වුවද එකඟ විය හැකි පොදු කරුණුවලදී කතා කිරීමේ පුරවැසි යුතුකමක් අපට තිබෙන හෙයිනි.
මහින්දවාදී දේසපාලුවන්ගේ මිනීමරු මානසිකත්වය හා ප්රජණ්ඩකාමීත්වය, එනම් භීෂණයෙන්, ලේ පිපාසාවෙන් හා තක්කඩි මැරකමින් තොර පැවැත්මක් ඔවුන්ට නොමැති බව පුන පුන කියවුණ සිදුවීම් මාලාවක්ම මෑත කාලයේ දක්නට ලැබුණු අතර රවී කරුණානායකගේ ආධාරකරුවන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කොට එක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු සමාජයට අහිමි කිරීමේ සිදුවීමද එහිම තවත් එක් දිගුවක් පමණි. මෙය සිදු කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුද යන්න තවමත් පරීක්ෂණ මගින් සනාථ වී නොමැති වුවද ටක්කෙටම අනුමාන කිරීමේ දේශපාලනික සිහිබුද්ධිය මෙරට පුරවැසියන් බහුතරය සතුව තිබෙන බවට සැකයක් නොමැත!
සාමාන්‍යයෙන් මීට පෙර මැතිවරණ ආශ්‍රිතව අප දුටු යතාර්ථය වූයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් විසින් විපක්ෂ දේශපාලන රැළිවලට හා ආධාරකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමයි. එහෙත්, දේශපාලනික හරයකින් තොර අසංස්කෘතික මැර රෙජීමය ජනවාරි 08 දින ජනතා ඡන්දයෙන් පන්නා දැමීමෙන් අනතුරුව රටේ ජනතාවට නිදහසේ දේශපාලනය ගැන සිය පෞද්ගලික මතවාද මරබියෙන් තොරව ප්‍රසිද්ධියේ කීමට හැකි වාතාවරණයක් ගොඩනැගිණ. පවතින ආණ්ඩුව විවේචනය කිරීමේ වරදට ජීවිතයෙන් හා ප්රතිපත්තිවලින් වන්දි ගෙවීමට තවදුරටත් අවශ්‍ය නොවන බව මෙරට පුරවැසියන් වෙත සන්නිවේදනය කිරීමට එමගින් මග සකස් විය.
එහෙත්, ඒ අතරම වුවද, හැකි සෑම අවස්ථාවකදීම ස්වකීය අන්තවාදීත්වයත්, මැර මානසිකත්වයත්, ම්ලේච්ඡ දේශපාලන චර්යාවත්, අශිෂ්ටාචාරවත්භාවයත් ප්‍රකට කරන්නට පරාජිත මහින්දවාදීන් කිසි ලෙසකින් පසුබට වූයේ නැත. ඕනෑම රටක ස්වෛරීභාවයේ සංකේතය බඳු ජාතික ධජය පවා සිය ජාතිවාදී හා ත්රස්තකාමී අරමුණු වෙනුවෙන් ප්‍රසිද්ධියේම විකෘති කර දැමීමට පමණක් නොව, එය ඡායාරූපගත කරන්නට උත්සාහ ගත් ලංකාදීප ඡායාරූප ශිල්පියාට දැඩි බලපෑම් එල්ල කිරීමටද ඔවුන් නොපසුබට වූ බව මෑතකදී අපට අසන්නට ලැබුණි. තමන්ගේම රැළියට සහභාගී වූ තමන්ගේම ආධාරකරුවන්ට පවා අතමිට මොලවා පහර දෙන තැනට, ඒ පහත් තත්ත්වයට, ඒ ගෝත්‍රික මානසිකත්වයට, ඇද වැටීමට තරම් පිරිහුණු ”මහින්ද දෘෂ්ටිවාදය” අන් දේශපාලනික මතධාරීන්ව මරා දැමීමට තරම් සාහසික වීමෙහි අමුත්තක්ද නැත.
ජනතා පරමාධිපත්‍යයෙන් පරාජය වීමෙන් පසුව පවා සිය මැර දේශපාලනය අමතක කර දැමීමට කිසිම අදහසක් නැති බවක් ප්‍රකට කරන මොවුන්ට නැවත වරක් දේශපාලන කරළිය තුළ රඟන්නට ඉඩ දුන් සිරිසේන ජනපතිවරයා ජනතා මතයට කළ නින්දාවේ බරපතලම කලඑළිබැසීමක් ලෙසයි මා මෙය දකින්නේ. ‘මහින්ද එපා යන තීරණයට පැමිණ ඔහුව බලයෙන් පහ කරනු ලැබුවේ මේ රටේ ජනතාවය’ යන සරල සත්‍යය පවා ජනපතිවරයා තුට්ටුවකට මායිම් නොකිරීමේ ප්‍රතිඵල අපට ඉදිරියේදීද අත්දකින්නට සිදුවනු ඇත. මෛත්‍රීගේ ‘දේශපාලනික කොඳුනාරටිය’ ගැන නිර්දය ලෙස ප්‍රශ්න කරමින් මීට ඉහත දිනක ලිපියක්ද පළ කරමින් මා මගේ ධාරිතාවේ හැටියට පුරෝකථනය කළේද මහින්දට නාමයෝජනා දීමට තීරණය කිරීමෙන් ඉදිරියේදී ඇති විය හැකි අනවශ්‍ය දේශපාලනික හානි ගැනයි (එම ලිපියේ සබැඳිය: http://www.vikalpa.org/?p=24447). ඇත්තටම මහින්දවාදය යළි සමාජගත වන්නේ නම්, එය රටක් ජාතියක් වශයෙන් සමස්ථ ශ්‍රී ලංකාවේම යහපැවැත්මට හා අනාගත පරම්පාරවල අභිවර්ධනයට අති මහත් කරච්චලයක් වනු ඇති බව කිව යුතුය!
ජනවාරි 08 අප මහින්දට එරෙහිව ඡන්දය පාවිච්චි කළේ එකී තනි පුද්ගලයා කෙරෙහි ඇති වූ වෛරයකින් හෝ ද්වේශයකින් නොව ඔහු නියෝජනය සමස්ථ චින්තන ප්‍රවාහයම, එනම්, මගේ මතයට අනුව “මහින්ද දෘෂ්ටිවාදය”, මුළු සමාජ ක්රමයේම හා රටේ අනාගතයේම බරපතල සතුරා බවට වර්ධනය වී තිබූ හෙයිනි. ගමේ ගොඩේ ඕනෑතරම් අසික්කිත කසිප්පුකාරයින් හමුවිය හැකි වුවද ඔවුන්ව මරා දමමින් කාලය කා දැමීමට මිනිසුන් පෙළඹෙන්නේ නැත. එහෙත්, ඔවුන්ගේ කසිප්පුවාදය මුළු ගමටම විණයක් වේගෙන එයි නම්, එහිදී එය පරාජය කිරීම සඳහා ගම්වැසියන් පෙරට පැමිණීම වැළැක්වීමටද නොහැක. මේ නිසා “අපට එය තවදුරටත් එපා” යන ආස්ථානයට රටේ ජනතාව පැමිණ සිටියහ. එහෙත්, නාමයෝජනා පාවාදීමෙන් අනතුරුව සිදු වූයේ කුමක්ද? (ඉතාම නිවැරදි වචනවලින් ගාමිණී වියන්ගොඩ මෙය හඳුන්වන්නේ “48න් පසුව සිදු වූ දරුණුතම පාවාදීම” ලෙසයි).
උළුවහුවල එල්ලීගෙන expired ජෝකර් භූමිකාවට පණ දෙමින් සිටි මහින්දට නැවතත් ජනතාව අතර අන්තවාදය වපුරමින් සමස්ථ පොදුජන විඥානය දූෂණය කරමින් අගෝස්තු 17 වැනිදායින් පසුව උදාවෙතැයි තමන් විසින්ම දකින ස්වයං-හීනයේ අගමැති තනතුර ගැන දවල් හීන බලමින් (මේ කපේදී සැබෑ වෙන හීනයක් නොවන බව කීමට අවශ්‍ය නොවේ) නැවත වරක් ප්රජාතන්ත්රවාදය කෙළෙසන්නට ලැබුණු නිල බලපත්‍රය වූයේ ඔහුට නාමයෝජනා ලබා දීමයි. මෛත්‍රීට අවශ්‍ය වූයේ දෙකඩ වෙන්නට ඔන්න මෙන්න කියා තිබුණු ශ්රීලනිපය රැක ගැනීම වුවද අපට අවශ්‍ය වූයේ නරකාදියක් වන්නට ඔන්න මෙන්න කියා තිබුණු අපේ රට මේ මකරාක්ෂයාගෙන් ආරක්ෂා කර ගැනීමයි. අනික, නාමයෝජනා දුන්නා කියා ශ්රීලනිපය දෙකඩ වීම නැවතුණේද නැත. මෛත්‍රී කල්පනා කරන්නට ඇත්තේ ‘රට’ යනු ‘පක්ෂය’ යන සිතියම ඇතුළත ඇති කුඩා භූගොලීය ඒකකයක් ලෙස වුවද ඔහුට ඡන්දය දුන් පුරවැසියන්ට අනුව ‘පක්ෂ’ යනු ‘රට’ තුළ ඇති බහුවිධ නියෝජන යාන්ත්‍රණ අතරින් එකක් පමණි. මෛත්‍රී තව දෙයක් කීවේය. එනම්, මහින්ද මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද ඔහුට අගමැතිකම නොදෙන බවයි. මා නම් මේ ප්‍රකාශය (සහ ඔහුගේ සමස්ථ ජාතිය ඇමතීමේ ආඛ්‍යානය) දකින්නේ තමා කළ දෑ ගැන තමා තුළම ඇති වන ස්වයං-සාපරාධීභාවයෙන් ගැලවීම සඳහා කළ එකක් ලෙසයි. මොහුව නැවතත් උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුළට වද්දා ගැනීම රසමසවුළක් මැද්දට අසූචි ගොඩක් අතෑරීමක් බඳු දෙයක් බව මෛත්‍රීට නොසිතුණේ මන්ද? ඔහුට නොසිතුණාම යැයි මම නොකියමි. එහෙත්, ඒ අනුව කටයුතු කිරීමට කොන්ද පණ තබා ගෙන ජනපති සටනේදී මෙන් සිය ස්වාධීන, නිර්පාක්ෂික ”පොදු” බව තවදුරටත් පවත්වා ගැනීමට ඔහු අපොහොසත් වුණේ මන්ද? මෛත්‍රීගෙන් අපට අවශ්‍ය වූයේ එයයි. ඇතැම් විට මහින්ද විසින් හුරු කරන ලද දූෂත ක්‍රමයට මෛත්‍රී “සංස්කෘතිකවත්” සහ “හොඳ” වැඩි වන්නටද ඇත. මහින්දට හුරු පළිගැනීමේ මැර දේශපාලනය ම්රෛතීගේ භාවිතය නොවූ නිසා වන්නටද පිළිවන.
මහින්ද රෙජීමයේ දූෂණ වංචාවලට එරෙහිව ක්‍රියා නොකරන්නැයි ලතෝනි දෙමින් රැය පහන් කරමින්, විස්කි බිබී, මරාවාදීන් අතින් වරක් කෙළෙසුණේද මේ පාර්ලිමේන්තුවම බව මතක තබාගෙනම ජනතා පරමාධිපත්‍යයේ දෙවොල වෙත ඔහුට නැවත පා තබන්නට උඩගෙඩි දීමේ විපාක මෙයින් අවසන් නොවනු ඇත. තවත් මෙවැනි මිනීමරු ප්‍රතිචාර අපට ඉදිරියේදීද බලාපොරොත්තු වීමට සිදු වනු ඇත.
මා නිතරම පුනරුච්ඡාරණය කරන “මහින්ද දෘෂ්ටිවාදය පරාජය කිරීම කාලීන අවශ්‍යතාවයක්” බව ඔබ පිළිගන්නවාද? මීට හොඳම විසඳුම වන්නේ නීති මගින් දඬුවම් දීමටත් වඩා මෙම භීෂණය නිර්මාණය වීමට තුඩු දෙන දෘෂ්ටිවාදීමය පසුබිම මර්ධනය කිරීමයි. අපට ඩෙංගු මදුරුවන් අතින් තළා දැමීමට හෝ මදුරු දඟර වැනි වෙනත් උපක්‍රම මගින් ඔවුන්ව පළවා හැරීමට හෝ බැරිකමක් නැත. එහෙත්, ඩෙංගු ව්‍යසනය මුලිනුපුටා දැමීම පිළිබඳ සහතිකයක් එයින් නොලැබේ. ඩෙංගු මදුරුවන් බෝ වීමට හිතකර ‘පාරිසරික සාධක’ විනාශ කර දැමීම ඊට වඩා ප්‍රායෝගික විකල්පයක් නොවනු ඇතිද? දැන් අප ඉදිරියේ ඇති බරපතලම අවශ්‍යතාවය වන්නේ එක පක්ෂයක් පරාජය කර තවත් එවැනිම පක්ෂයක් වෙත ආණ්ඩු බලය පූජා කිරීම උදෙසා එකිනෙකා හා කුලල් කා ගැනීම නොව, කවර පක්ෂයක් නියෝජනය කළද දේශපාලනික ඩෙංගුවන් බිහි වීමට රැකුල් දෙන පසුබිම විනාශ කිරීම බව මා කියන්නේ එහෙයිනි!
අශාන් වීරසිංහ | Ashan Weerasinghe