සමස්ථ ප්‍රජාවේම, නැතහොත් ඉන් බහුතරයක, සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක වන පොදු පාලන තන්ත්රය යන අදහස ‘ප්රජාතන්ත්රවාදය‘ යන්නෙන් ගම්‍ය වේ. රාජ්‍ය පාලනය තුළ ප්‍රායෝගිකව දැකිය හැක්කේ පාලකයන් හා පාලිතයන් අතර ධූරාවලීගත බෙදීමක් වුවද, සංකල්පීය වශයෙන් හෝ තමන්ද රාජ්‍ය පාලනයට ඍජු හෝ වක්‍ර ආකාරවලින් දායක වන්නේය යන හැඟීම පුරවැසියන් අතර ඉස්මතු වීමට එය හේතු වෙයි. ප්රජාතන්ත්රවාදයේ පැවැත්මට අනිවාර්ය සාධකයක් වන මැතිවරණ පැවැත්වීමෙහි සරලතම අරමුණ ගත්තද ඉන් ගම්‍ය වන්නේ තමන් ජීවත් වන රට පාලනය කළ යුත්තේ කවුරුන් විසින්ද යන්න තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය පුරවැසියන් වෙතම පැවරීමයි. සිය පාලන ක්‍රමය හා එහි නියෝජිතයන් තෝරා ගැනීමේ පරම ආධිපත්‍යය ලෙස අප ‘ජනතා පරමාධිපත්‍යය‘ යන්න අර්ථකථනය කරගත යුත්තේ මෙවැනි පසුබිමක් තුළය.
අප අත්විඳින ප්රජාතන්ත්රවාදයේ තරම, ස්වභාවය හා එහි සීමා තීරණය කරන වැදගත්ම සාධකය ලෙස මා දකින්නේ සමාජය පුරා ව්‍යාප්ත වී ඇති, එනම් වැඩි පිරිසක් අතර ජනප්‍රිය, පොදු මතවාදය හෙවත් ‘සමාජ දෘෂ්ටිවාදයයි‘. ඉන් අදහස් වන්නේ අප අවට ඇති ලෝකය දෙස බලන්නේත්, එහි සිදුවන දේවලට අර්ථාරෝපණය කරන්නේත්, එම සිදුවීම් සංජානනය කරන්නේත්, ඒවාට ඍජුව හෝ වක්‍රව ප්‍රතිචාර දක්වන්නේත් කෙසේද යන්න තීරණය කරන, එනම් අප මෙහෙයවන චින්තන රටාවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කරන ලද නිශ්චිත කාලයකට වරක් පැවැත්වෙන මැතිවරණයකදී තමන් කැමති නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යැවීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම යනු ජනතා පරමාධිපත්‍යයේ වැදගත්ම ප්රකාශනය නම්, එය උල්ලංඝනය කරන කවර හෝ සිදුවීමක් හෝ කියාමාර්ගයක් තරයේ ප්‍රතික්ෂේප කළ යුතු බවට අමුතුවෙන් තර්ක මතුකළ යුතු නොවේ. මගේ කියවීම තුළ, මැතිවරණ සමයේදී විවිධ ජනමාධ්‍ය හරහා ‘මැතිවරණ අනාවැකි’ පළ කරන ජ්යෝතිශකරුවන් ජනතා පරමාධිපත්‍යයේ සතුරන් ලෙස හැඳින්විය යුතු වන්නේ මේ නිසාය. ඡන්දයක් පවත්වන්නේ ජනතාවට අවශ්‍ය අය පාර්ලිමේන්තුවට තෝරාපත් කිරීම සඳහා නම්, එය පැවැත්වීමටද ප්‍රථම ඒ පිළිබඳ සකලාර්ථයෙන්ම අවිද්‍යාත්මක මත පළ කිරීම තුළින් මෙකී මිථ්යාවාදීන් ජනතා පරමාධිපත්‍යයටත්, සමාජ දෘෂ්ටිවාදයටත් ඇති කරන සූක්ෂ්ම බලපෑම සුළුපටු නොවේ. ඡන්දයට පෙර දින ඡන්දදායකයන්ගේ නිවෙස්වලට කඩා වැදී තර්ජනය කර ජනතා මනාප කොල්ල කෑ යුගයක්ද මේ රටේ තිබිණ. තුවක්කුවක් පෙන්වා බලහත්කාරයෙන් ඡන්ද මංකොල්ල කෑම හා සමානම දෘෂ්ටිවාදීමය ඡන්ද මංකොල්ලයක් ජ්යෝතිශකරුවන් අතින්ද තරමක් දුරට හෝ සිදු වන්නේය යන කාරණය බුද්ධිමත්ව පිළිගත යුත්තකි.
මේ දිනවල මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය විශාල ගණනාවකම ඉදිරි මැතිවරණය පිළිබඳ විවිධ ජ්යෝතිශකරුවන්ගේ ‘තීන්දු’ පළ වී ඇති අතර බැලූ බැල්මටම පෙනී යන කරුණ වන්නේ ඒ හැම එකක්ම පාහේ විහිළුසහගත විකාර බවයි. ප්රජාතන්ත්රවාදය යටතේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම අයත් වන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් යටතටයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන තිබෙන්නකි. මේ නිසා, එම අයිතිය භුක්ති විඳිමින් ඉදිරි මැතිවරණය පිළිබඳ තමාගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතියක් ජ්යෝතිශකරුවන්ටද ඇත යන තර්කය මත පිහිටා ඔවුන්ගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කිරීමට කිසිදු ඉඩක් ඇතැයි මට නොසිතේ. ඔබට ඔබේ තනි මතය ප්‍රකාශ කළ හැකිය. එහෙත්, අන් අයව හිතාමතාම මානසිකව ග්‍රහණය කරගැනීම තුළින් ඔවුන් ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ ඇති ආකාරය වෙත වක්රාකාරයෙන්වත් අනිසි බලපෑම් එල්ල කිරීම කිරීමට බලපත්‍රයක් ඔබට ඉන් නොලැබේ.
ඇත්තෙන්ම, ජ්‍යෝතිශ මිථ්යාවාදීන් දැන් සිදුකරමින් සිටින්නේ එයයි. මෙතැනදී කෙනෙකුට මට විරුද්ධව නැගිය හැකි තර්කයක් තිබේ: ඔවුන් සිදු කරන්නේ මැතිවරණය ගැන තම මතය ප්‍රකාශ කිරීම නම් එය ප්රජාතන්ත්ර විරෝධී යැයි ඔබ කියන්නේ මන්ද? මා ඉහතද කී පරිදි, ජ්යෝතිශවාදීන් සිදු කරන්නේ සිය පෞද්ගලික මතය ප්‍රකාශ කිරීම නොව මැතිවරණය ඉල්ලමක් කරගනිමින් ප්‍රසිද්ධිය ලබා ගැනීම සහ ඒ ඇසුරින් ස්වකීය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීම බව සිතන්නට අප මැළි විය යුතු නැත. මේ නිසා, එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භුක්ති විඳීමක් නොව තමාට වාසිදායක ලෙස සමාජ මනස විකෘති කර තබා ගැනීමේ නින්දිත උත්සාහයක් බවයි මගේ හැඟීම. පැහැදිලි වශයෙන්ම සඳහන් කරන්නේ නම්, ජ්‍යෝතිශය වැනි ගර්හිත ශාස්ත්රයන්ට පැවැත්මක් ඇත්තේ විකෘති මානසිකත්වයක් ඇති, යථාර්ථය පිළිබඳ විද්‍යාත්මක කියවීමකට අකැමති, අවිද්‍යාව මත පදනම් වූ දෘෂ්ටිවාදයක් තුළ පමණි.
මැතිවරණ ක්‍රියාවලිය සඳහා ජ්‍යෝතිශයට කළ හැකි බලපෑම ගැන ඇති හොඳම නිදසුන පසුගිය ජනපතිවරණයයි. රටක් පාලනය කළ ජනාධිපතිවරයාම පවා ගොනාට අන්දවා නියමිත කාලයටත් පෙර ජනාධිපතිවරණයකට යාමට ඔහුව තල්ලු කරනු ලැබුවේ දෙවියන් නොව ඔහුගේ චින්තන පරාසයේ තරම දන්නා සුමනදාස අබේගුණවර්ධන නම් ජ්යෝතිශකරුවා බවට එකල එළිදරවු විය. කොහොමත් ගුප්ත දේවල් හිස් මුදුනින් පිළිගන්නා අයෙකු වූ මහින්ද රාජපක්ෂගේ දූෂිත රෙජීමය යථාර්ථයෙන් හා විද්‍යාත්මකභාවයෙන් බොහෝ ඈතට ගිය එකක් වූ අතර එහි පැවැත්ම සඳහාම එම අවිද්‍යාව සමාජය පුරාම පුතුරුවා හැර තිබුණි. අනෙක් අතට, සමස්ථ ජාතියක්ම වශයෙන් ගත්තද බහුතර සිංහලයා කොහොමත් ඇහැට නොපෙනෙන බලවේගවලට බිය වීමට සංස්කෘතික වශයෙන්ම පුරුදු පුහුණු කර ඇත්තෙකි. අදටත් සිය පෞද්ගලික ජීවිතවලට අදාළ වැදගත් සෑම සිදුවීමකදීම ජ්‍යෝතිශයට ඉඩ දීමේ පුරුද්දක්, නැතහොත් ඇත්ත ඇති සැටියෙන් භාරගෙන ඊට මුහුණ දීමට භීතිකාවක් ඔවුන් අතර පතුරුවා හැර තිබේ. මෙවැනි පසුබිමක් තුළ මොනම සිදුවීමක් සම්බන්ධයෙන් වුවද ජ්යෝතිශවාදීන් කියන දේවලට ගෞරව සම්ප්රයුක්තව ඇහුම්කන් දීමටත්, ඒවා ඇත්ත සේ ගැනීමටත් නැඹුරුවක් අපේ සමාජයේ පවතී. සුමනදාස අබේගුණවර්ධන නමැති නිසි අධ්‍යාපනයක් නොමැති නැකැත්කරුවා අප රටේ ප්‍රධානතම බැංකුවලින් එකක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්යක්ෂ තනතුරක් දක්වා ඔසවා තබනු ලැබුවේත්, ‘රාජකීය දෛවඥයා’ යන වැඩවසම් තනතුරු නාමය තුළ අනවශ්‍ය වැදගත්කමක් ඔහු වෙත ආරෝපණය කරනු ලැබුවේත් අප තුළම පවත්නා ජ්‍යෝතිශ නැඹුරුව බව පිළිගැනීමට තරම් අප නිහතමානීද?
නූතන ප්රජාතන්ත්රවාදය යටතේ විද්‍යාත්මක ක්‍රමවේද හා නවතම තාක්ෂණයන් අනුගමනය කරමින් පැවැත්වෙන ජනතා මත විමසුමක ප්‍රතිඵල කල්තබා පුරෝකථනය කිරීමට ජ්‍යෝතිශවේදීන් දරනු ලබන සෑම උත්සාහයක්ම විහිළුසහගත බව මම යළිදු අවධාරණය කරමි. ජ්‍යෝතිශය යනුම පුස්සකි. හිතළුවකි. සමාජයේ ප්රගමනය පැත්තෙන් බලන කල ගෝත්රවාදී විසබීජයකි. සෞරග්‍රහ මණ්ඩලයේ සිටින ග්‍රහයන් ප්‍රමාණය, ඒවායෙහි ඝනත්වය, චුම්භක බලප්‍රදේශය ආදිය පිළිබඳ විද්යාත්ම කරුණු මගින් ඔප්පු කළ හැකි දැනුම් සම්භාරයක් අප ඉදිරියේ ඇත. ඒ අනුව, ඒ ඒ ග්‍රහයා අතර ඇති විය හැකි භෞතික මට්ටමේ බලපෑම් කවරේද යන්න පුරෝකථනය කිරීමට විද්‍යාඥයින්ට හැකිය. නිදසුනක් වශයෙන්, සූර්යයා මතුපිට සිදුවන කිසියම් අසාමාන්‍ය පිපිරීමක් නිසා පෘතුවියේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතවලට, ශරීර සෞඛ්‍යයට හා අනාගත පැවැත්මට “මෙබන්දක් සිදු වීමේ අවදානමක් ඇත යන” අනාවැකිය නිවැරදි හේතු සාධක සහිතව ප්‍රකාශ කළ හැක. එහෙත්, ජ්‍යෝතිශ විකාර මතවලට එවැනි හැකියාවක් තිබේද? ජ්‍යෝතිශය පිහිටන්නේ ‘අභ්‍යවකාශ වස්තූන්ගේ චලනයන් හා විවිධාකාර හැසිරීම් රටා මගින් මිනිසුන්ගේ ජීවිත හා ස්වභාවික ලෝකය වෙත බලපෑම් එල්ල වේ’ යන පදනම මතයි. එහෙත් විද්‍යාඥයින්ට පරස්පරව ඔවුන් මේ සඳහා යොදා ගන්නේ කිසිදා හේතු සාධක මගින් අඩුම තරමින් පරීක්ෂා කිරීමටවත් නොහැකි මිථ්‍යා මත රැසකි. තාවකාලිකව සත්‍ය සේ ගත්තද ඉතාම සරල තර්කයකින් වුවද මෙය බිඳ දැමිය හැක. සෞරග්‍රහ මණ්ඩලයේ ඈතින්ම ඇති ග්‍රහයා වන ප්ලූටෝ සොයාගනු ලැබුවේ 1930 වසරේදීය. ඒ, ක්ලයිඩ් විලියම් ටැම්බෝ නමැති තාරකා විද්‍යාඥයා විසිනි. ජ්‍යෝතිශයේ මූලික සිද්ධාන්තය වන ‘අභ්‍යවකාශ වස්තූන්ගේ චලිතය විසින් මානව ජීවිතවල ඉරණම තීරණය කරනු ලැබේ’ යන්න සත්‍ය නම්, ප්ලූටෝ නමැති ග්‍රහයෙකුද අපගේ සෞරග්රහයේ සිටින බව සොයාගැනීමට කලින්, එනම් 1930 ට කලින්, පළ වූ සියලුම ජ්‍යෝතිශ අනාවැකි හා මත සම්පූර්ණයෙන්ම අසත්‍ය හා වැරදි සේ සලකා බැහැර දැමිය යුතු වේ. අනෙක් අතට, ප්ලූටෝ සොයාගැනීමෙන් අනතුරුව තවත් ග්රහයෙකු ඇතුළත් සෞරග්‍රහ මණ්ඩලයක් වෙනුවෙන් තාරකා විද්‍යාව තුළ අවශ්‍ය න්‍යායික වෙනස්කම් සිදු කෙරිණ. නව ගණනය කිරීම් ආදිය බිහි විය. එහෙත්, ජ්‍යෝතිශය ආශ්රිත එකදු මිථ්‍යා මතයක්වත් අබමල් රේණුවකින් වෙනස් වීද? විද්‍යාත්මකව පිළිගත හැකි ඕනෑම මතයක මූලික ලක්ෂණය වන්නේ පරීක්ෂා කිරීම්වලට ලක් වීමේ හැකියාව හා කරුණු සලකා බලමින් වඩා තාර්කික පදනමක පිහිටා ඕනෑම අවස්ථාවක වෙනස් වීමට විවෘත වීමයි.
ජනතාව තමන්ගේ ගොදුරු බවට පත්කර ගැනීම සඳහා ජ්යෝතිශකරුවන් විසින් යොදාගනු ලැබෙන සුලභම අවිය ආගමයි. සාම්ප්‍රදායික වශයෙන් ශ්‍රී ලාංකික සමාජය බුදු දහම ගරු කරන්නකි. එය සිය ජීවන දහම බවට පත්කරගත් එකකි. සිංහලයාගේ මේ ‘අහිංසක ආගමික නැඹුරුව‘ (වසර දහස් ගණනාවක් පුරාවට දේශපාලනීකරණය වූ ආයතනගත බුද්ධාගමේ ආභාසය ලද මෙම අහිංසක ආගමික නැඹුරුව අවභාවිත වීම නිසා අහිතර ප්‍රතිඵල රැසක්ම ඉස්මතු වී ඇති බව වෙනම කරුණකි) උපායමාර්ගිකව භාවිත කිරීම තුළින් සිය මිථ්‍යා මත සාධාරණීකරණය කර සමාජගත කිරීමේ වෑයමක ජ්‍යෝතිශවේදීන් නිරතව සිටින ආකාරය සෑම අතින්ම නින්දිතය. බුදුදහමේ න්‍යායික පසුබිම තුළ මිථ්‍යා මතවලට කිසිදු ඉඩක් නොමැත. ‘ඒහි පස්සිකෝ‘ හෙවත් ‘පැමිණ විමසා දැනගන්න‘ යනුවෙන් අවට ලෝකය පිළිබඳ කරුණුමය අවබෝධයකට එළැඹීමට මිනිසාට ඇරයුම් කරන විචාරශීලී ආගමික දර්ශනයක් වන බුදුදහම තුළ ජ්යෝතිශවාදීන්ට හිමි තැන වටහා ගැනීමට පහත ගාථාවම ප්රමාණවත්ය:
“බහුං වේ සරණං යන්ති –
පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛචේත්‍යානි –
මනුස්සා භය තජ්ජිතා”
(රෝගභයාදි) බියෙන් තැති ගත් බොහෝ මිනිසුන් පර්වතයන් ද වනයන් ද ආරාමයන් ද ගස් ද (දෙවියන් සම්බන්ධ) චෛත්‍යයන් ද සරණ කොට ගනිත්)
බුදු දහමට අනුව ජ්‍යෝතිශය යනු සමාජයෙන් තුරන් කර දැමිය යුතු අවිද්‍යාවක් බව සනාථ කිරීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නොවේ. පරස්පරය වන්නේ, වත්මන් ජ්යෝතිශකරුවන් (ඇතැම් ව්‍යාජ චීවරධාරී හූනියම්කරුවන්ද ඇතුළත්ව) තමන්ව එක හෙළාම ප්‍රතික්ෂේප කරන ලද බුදු දහමම ‘මාර්කටිං උපක්‍රමයක්’ ලෙස යොදා ගනිමින් මිනිස් සිත් විකෘති කරමින් අවිද්‍යාව පතුරුවා හැරීමෙහි නිරතව සිටීමත්, බෞද්ධ යැයි කියා ගන්නා සමාජයක් එකී අබෞද්ධකමම ඇස් කන් නැති සේ ඉවසා සිටීම පමණක් නොව එයම අනුගමනය කිරීමත්ය.
මෙවැනි පසුබිමක් තුළ මට අසන්නට ඇති වැදගත්ම ප්රශ්නය මෙයයි: ඇතැම් මාධ්‍යද මේ වන විට ‘ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ කවුද යන්න නිවැරදිව කී ජ්‍යෝතිශවේදියා” වැනි විකාර පුවත් පළ කිරීම තුළින් තමාව අලෙවි කරවා ගැනීමට තැත් කරමින් සිටිනු පෙනේ. ඇත්තෙන්ම මැතිවරණයකදී දිනන්නේ කවුද යන මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමේ විද්‍යාත්මක හැකියාව ඔවුන් කියන පරිදි ජ්යෝතිශකරුවාට තිබේ නම්, රටේ සංවර්ධනය පිණිස යෙදවිය හැකි කෝටි ගණනක මුදලක් වියදම් කර මැතිවරණ පැවැත්වීමේත්, ඒ වෙනුවෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවක් පිහිටුවා නිලධාරීන් හා මැතිවරණ කොමසාරිස්වරයෙකු නඩත්තු කිරීමේත් තේරුම කුමක්ද?
දේශපාලන විද්‍යාඥයෙකුට පමණක් නොව පවත්නා දේශපාලනික ගතිකයන් පිළිබඳ සවිඥානිකව පසු වන ඕනෑම අයෙකුට පවතින තත්ත්ව හා සිදුවීම් නිරීක්ෂණය කිරීමෙන් කිසියම් අනුමානයකට එළඹීම අපහසු නොවේ. නිදසුනක් වශයෙන් අපි පසුගිය ජනාධිපතිවරණය වෙත නැවත හැරෙමු. ජනාධිපතිවරණය ආසන්න සමයේ රට තුළ පැවතියේ දැඩි මහින්ද විරෝධයකි. බහුතර ජනතා විරෝධයක් මහින්දට එරෙහිව ගොඩනැගී තිබුණි. මෙහිදී විපක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය පැවතියේද ප්‍රබල මට්ටමක නොවේ. ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය තත්ත්වයක ජනතා විමුක්ති පෙරමුණ සිටියේද නැත. මෙම පසුබිම තුළ මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසිබලය වැනි ක්‍රියාකාරී සංවිධාන, කලාකරුවන්, විද්වතුන් ආදී සමාජ දෘෂ්ටිවාදයට බලපෑම් කළ හැකි පාර්ශ්ව එක්ව පොදු අපේක්ෂකයෙකු නිර්මාණය කිරීමේ සටනක නිරතව සිටියහ. මැතිවරණය කට ළඟට එන තුරුම මේ පොදු අපේක්ෂකයා යනු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව නොදැන සිටියද ජනතාවට හැඟීගොස් තිබූ එක දෙයක් විය. එනම්, නිසැක වශයෙන්ම පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ මහින්ද දෘෂ්ටිවාදය පරාජය කිරීමට අවශ්‍ය සෑම ආකාරයකම මතවාදීමය හා ක්‍රියාකාරී සහයෝගයෙන් පොහොසත් හා දූෂිත රාජපක්ෂ රෙජීමය පළවා හැර සමාජ ප්රතිසංස්කරණයක් ඇති කිරීම සඳහා නන්විධ සමාජ බලවේගයන්හි සහාය ලබන පුද්ගලයෙකි යන්නයි. මේ තත්ත්වය උදා වන තුරුම බලා සිටි ජ්‍යෝතිශ කෙප්පකරුවන් එහිදී කළේ මහින්දගේ පරාජය ‘ජ්‍යෝතිශ විද්‍යාත්මකව’ අනිවාර්ය බවට විවිධ අනාවැකි පල කිරීමයි. ඇත්තෙන්ම එය අනාවැකියකටත් වඩා හෙට අනිද්දාම සිදු වනු ඇතැයි ඇස් පනාපිටම පෙනෙන්නට තිබුණු අමුම අමු සත්‍යය මිස අන් දෙයක් නොවීය.
මහින්දගේ රෙජීමය තුළ වැඩ දමමින් සිටි ජ්‍යෝතිශ කරුවන් ඔහුගේ පරාජයෙන් පසුව බලු වීමෙන් අනතුරුව වත්මන් ආණ්ඩුව පත් වූ පසුව දැන් තවත් බොරුකාරයින් පිරිසක් මාධ්‍ය හරහා සමාජය ඉදිරියට පැමිණ අපගේ ඇස් ඉදිරියේ ඇති සත්‍යය වෙත කිසියම් ගුප්ත බවක් ආරූඩ කිරීම තුළින් බඩ වඩා ගන්නට උත්සාහ කරමින් සිටිති. නාත්තන්ඩියේ පී. ඩී. පෙරේරා, ඉන්දික තොටවත්ත ආදීන් මීට නිදසුන්ය. දැන් මොවුන් සිදු කරමින් සිටින්නේ කුමක්ද? ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ අනිවාර්යෙන්ම පරාජයට පත්වන බවත්, එක්සත් ජාතික පක්ෂය ජය ගැනීමට වැඩි ඉඩක් ඇති බවත් ජ්‍යෝතිශ සෛද්ධාන්තිකව පුරෝකථනය කළ හැකි යන මානසික විකාරය මොවුන්ගේ නවතම කෙප්පයයි. ඇත්තෙන්ම මෙය ජනතා පරමාධිපත්‍යයට කළ හැකි උපරිම නින්දාව බව මම පුන පුනා ප්‍රකාශ කරමි. මන්ද, මැතිවරණයේදී මහින්ද පරදින බව කීමට අපට ජ්යෝතිශකරුවන් අවශ්‍ය නැත. අපි එය දනිමු. දැනට තිබෙන තත්ත්වය දෙස විමසීමෙන් බලන අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ මහින්දට ජය ලබා අගමැති වීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. එසේම, ඔහු දිනුවද අගැමැතිකම නොදෙන බවට ජනාධිපතිවරයා ශපථ කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ වෙත සැලකියයුතු ජන බලයක් ඒකරාශී වෙමින් පැවතුණද ආණ්ඩුවක් පිහිටුවීමට හැකි තත්ත්වයකට ඔවුන් තවම ළඟා වී නොමැත. මේ තත්ත්වය තුළ එජාපය ජයග්‍රහණය කිරීමට ඇති ඉඩ වැඩිය. මේ සරල කරුණු ටික තේරුම් ගන්නට අපට ඇහැට නොපෙනෙන ග්‍රහයන් හා ඔවුන්ගේ උච්චවීම් හා නීචවීම් අවශ්‍යද? ග්‍රහයා නීච වීම කෙසේ වෙතත්, මෙවැනි මිථ්‍යා දෘෂ්ටික මානසික ලෙඩ්ඩුන්ගේ අදහස්වලට ඉඩක් සමාජය තුළ වෙන් කිරීම තුළින් ‘කිච’ වන්නේ ජනතා පරමාධිපත්‍යය බව අමතක නොකළ යුතුය.
ඔවුන් ආකාරයට ඉදිරි මහමැතිවරණයේදී ජය ලබා මහින්දට අගමැති වීමට නොහැක්කේ ඔහුගේ ඒරාෂ්ඨකයේ අවුලක් හෝ අභ්‍යවකාශයේ ග්රහවස්තුවල බලපෑමක් හෝ නිසා නොවේ. මහින්දගේ පිරිහීමේ හේතුව අන් කවරක් නොව මහින්දමය. ඔහුට අති භක්තියෙන් වන්දනා කරමින් සිටි පිරිස් පවා දැන් ඔහුව නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටින තත්ත්වයට ඇද දැමුවේද මහින්දගේ දූෂිත පාලනයමය.
මෙම යථාර්ථය ඇස්වලට පෙනි පෙනීම අපගේ වටිනා ප්රජාතන්ත්රවාදී අයිතියක් වන ජනතා පරමාධිපත්‍යය හෑල්ලු කිරීමට අවිද්‍යාව වැළඳගත් නැකැත්කරුවන්ට තවදුරටත් ඉඩ දිය යුතුද? අප වැඩි දෙනා දරන සමාජ දෘෂ්ටිවාදය තුළ ඉඩක් ඒ සඳහා වෙන් කළ යුතුද? මහින්ද දෘෂ්ටිවාදය පරාජය කළ අප, සමාජය අඳුරෙන් වැසීමට හේතු වන එහි නෛසර්ගික ලක්ෂණද පිළිකෙව් කළ යුතු නොවේද? විශ්වය පිළිබඳවවත් වාස්තවික අවබෝධයක් නොමැති අඳුරේ අතපත ගාන ජ්‍යොතිශ මිත්‍යා දෘෂ්ටිකයාට මැතිවරණ කොමසාරිස්වරයාගේ තත්ත්වය ලබා දීමට තරම් අපගේ මනස විකෘති විය යුතු නොවේ. නුදුරු අනාගතය සඳහා අපට අවශ්‍ය වන්නේ මා සෑම විටම අවධාරණය කරන දෘෂ්ටිවාදීමය පරිවර්තනයකි. මැතිවරණවලින් ආණ්ඩු මාරු කළ පමණින් ප්රජාතන්ත්රවාදය, යහපාලනය, සමාජ ප්රගමනය ආදී ක්‍රියාවලීන් අහසින් කඩා පාත් නොවේ. සැබෑ ප්රජාතන්ත්රවාදය තීරණය වන්නේ අප ඊට වැඩෙන්නට ඉඩ දෙන දෘෂ්ටිවාදීමය අවකාශය තුළම වන බව වටහා ගැනීමට අපි ප්‍රමාද නොවිය යුත්තෙමු!
අශාන් වීරසිංහ | Ashan Weerasinghe