Image Credit: asiantribune/Sudath Silva
පාලක කණ්ඩායමට සිය අදහස් සමාජගත කිරීම තුළින් ස්වකීය පාලන තන්ත්‍රයේ චිර පැවැත්ම තහවුරු කිරීම සඳහා භාවිතයට ගත හැකි උපක්‍රම දෙකක් තිබේ: (1) නෛතික සීමා, පොලීසිය, අධිකරණ වැනි ආයතන හරහා බලපෑම් එල්ල කිරීම තුළින් ජනතා කැමැත්ත බලහත්කාරයෙන් ලබා ගැනීම සහ (2) තම පාලනය කොතරම් දූෂිත හා මර්දනකාරී එකක් වුවද දෘෂ්ටිවාදීමය උපායමාර්ග හරහා එය අතිශය ජනතාවාදී එකක්ය යන හැඟීම පුරවැසි සිත් තුළ ඇති වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි. අන්තෝනියෝ ග්‍රම්ෂි නම් වූ අති විශිෂ්ට පශ්චාත්-මාක්ස්වාදී දේශපාලනික චින්තකයා මේ දෙවනුව කී උපක්‍රමය වඩා ප්‍රබල හා සාර්ථක එකක් බව පෙන්වා දුන් අයෙකි. මේ නිසා, පාලක පන්තියේ/කණ්ඩායමේ පාලනය පවත්වා ගැනීමේදී ‘හෙජමනිය’ සතු භූමිකාව ගැන ගැඹුරු විශ්ලේෂණක ඔහු නිරත විය. ඔහු හෙජමනිය අර්ථ දැක්වූයේ ‘බුද්ධිමය හා ආචාරධාර්මික නායකත්වය’ ලෙසයි. ආණ්ඩු බලය අල්ලා ගැනීමට ඕනෑම කණ්ඩායමක් විසින් මුලින්ම සිදු කළ යුතු දෙය වන්නේ එකී ‘නායකත්වය‘ පතුරුවා හැරීම බව ග්‍රම්ෂි අවධාරණය කළේය. ග්‍රම්ෂිගේ මේ අදහස දේශපාලනය පැත්තෙන් සර්වකාලීන ධර්මතාවකි.
වඩා සරලව කියනවා නම්, ‘හෙජමනිය’ යනු ඉතාම සූක්ෂ්ම ක්‍රම හරහා පාලක පන්තියේ දෘෂ්ටිවාදය එහි පාලනයට ලක් වන පුරවැසියන්ගේද ‘පොදු දෘෂ්ටිවාදය’ බවට පත් කිරීමයි. මන්ද, සිය පාලනය ස්ථිර ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වැදගත්ම කොන්දේසිය වන්නේ තමන් විසින් සිදු කරනු ලබන ඕනෑම ක්‍රියාවක් ජනතාව සැදැහැ සිතින් හා උපේක්ෂාවෙන් භාර ගන්නා තැනට, පාලකයන් ජනතාව සූරාගෙන කන්නේ නැති බව සිතා ගන්නා තැනට, හැකිතාක් දේශීයකරණයට ලක් කරනවා නම්, ‘මොන දේ කරත් යුද්දෙ ඉවර කරානෙ ඔන්න ඔහෙ කමක් නෑ’ කියන තැනට ජනතා මනස හැඩගැස්වීමයි. මෙය කළ හැක්කේ පාලක පැළැන්තියේ ලෝක දැක්ම බවට පත් වූ දෘෂ්ටිවාදය පාලිතයන් මතද ආරෝපණය කිරීමෙන් පමණි. මෙය, තුවක්කු පෙන්වා ජනතාව බය කිරීමෙන්ද බලහත්කාරයෙන් ලබාගත හැකි වුවද වඩාත් සාර්ථක වන්නේ ජනතාවටත් නොදැනෙන්නට ඔවුන්ගේ ඔළු සේදීම තුළින් තමා සඳහා අවශ්‍ය ජනතා (බහුතර) අවනතභාවය මානසික වශයෙන් කොල්ලකෑම බව සෑම රටකම පාලකයෝ දනිති. මේ ග්‍රම්ෂිගේ ‘හෙජමනිය’ යන සංකීර්ණ සංකල්පය/ක්‍රියාවලිය තේරුම් ගත හැකි සරලම ආකාරයයි.
මේ ලිපියේ මූලික තේමාව වෙත යොමු වීමට කලින් අවධානය යොමු කළ යුතු තවත් කරුණක් තිබේ. පාලක පන්තිය මෙලෙස සිය හෙජමනිය පවත්වාගනු ලබන්නේ කෙසේද? මෙය ඉතාම සූක්ෂ්ම, උපක්‍රමික ක්‍රියාවලියකි. ග්‍රම්ෂි මෙහිදී ‘බුද්ධිවෘත්තිකයින්ගේ’ කාර්යභාරය ගැන සඳහන් කරයි. සාමාන්‍යයෙන් ‘intellectuals’ යන ඉංග්‍රීසි වචනය සිංහලට පෙරළෙන්නේ ‘බුද්ධිමතුන්’ ලෙස වුවද ග්‍රම්ෂි එය භාවිත කරන සුවිශේෂී අර්ථය නිසාම ‘බුද්ධිවෘත්තිකයින්’ යන්න ඒ වෙනුවට යෙදීම වඩා උචිත බවයි මගේ හැඟීම. ග්‍රම්ෂි බුද්ධිවෘත්තිකයින් හඳුන්වන්නේ පාලක පන්තියේ හෙජමනිය සඳහා අවශ්‍ය සමාජ අවනතභාවය සංවිධානය කරන හා පුරවැසියන් පාලක හෙජමනිය වෙත ආශත්කව තබන බලවේගය ලෙසයි. ඔහු මෙහිදී බුද්ධිවෘත්තිකයන් දෙවර්ගයක් ගැන සඳහන් කළේය. එනම්, ‘සාම්ප්‍රදායික බුද්ධිවෘත්තිකයින්’ (traditional intellectuals) හා ‘ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයින්’ (organic intellectuals) වශයෙනි. සාම්ප්‍රදායික බුද්ධිවෘත්තිකයින් යනු පවතින සමාජ තත්ත්වයන්ගෙන් ස්වාධීන පැවැත්මක් ඇති, සම්මතයක් ලෙසම ‘බුද්ධිමතුන්’ වශයෙන් සමාජ පිළිගැනීමක් ඇති පිරිසකි. ඔවුන්ගේ ඓතිහාසික කාර්යභාරය නිසාම ඇතැම් කටයුතු ඉටු කිරීම සම්බන්ධයෙන් (ශාස්ත්‍රීය කටයුතු මින් එකක් විය හැක) ඔවුන් වෙත පැවරුණු සුවිශේෂි කාර්යබාරයක් ඇත. ඇත්තෙන්ම, සාමාන්‍ය අර්ථයෙන් ‘බුද්ධිමතුන්’ යන්නෙන් අප අදහස් කරන්නේ මෙයයි.
එහෙත්, ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයන් යනු කිසිම ඓතිහාසික භූමිකාවක් පැවරී ඇති පිරිසක් නොව ඒ ඒ යුගවලදී පාලක පන්තියේ දේශපාලනික පැවැත්මට අදාළ අවශ්‍යතා නිසා පාලක පන්තියටම යා වෙමින් නිර්මාණය කරනු ලැබෙන පිරිසකි. “සෑම සමාජ කණ්ඩායමක්ම ඉස්මතු වීමේදී එය විසින් ඓන්ද්‍රීය වශයෙන් ඊට බැඳී සිටින බුද්ධිවෘත්තිකයන් පිරිසක්ද නිර්මාණය කරයි” යනුවෙන් ග්‍රම්ෂි මේ බව පැහැදිලි කරයි. කලින් කලට බිහි වන පාලන තන්ත්‍ර සඳහා අවශ්‍ය ‘පුරවැසි සාධාරණීකරණය’ එක්රැස් කරනු ලබන්නේ මෙලෙස නිර්මාණය කරනු ලැබෙන ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයින් විසිනි. ග්‍රම්ෂිගේ ‘intellectuals’ යන පදය ‘බුද්ධිවෘත්තිකයන්’ ලෙස මෙහිදී භාවිත වන්නේ මේ වෙනස අවධාරණය කරනු පිණිසය.
මීට ඉහතද මගේ ලිපියකින් පෙන්වා දුන් පරිදි, මහින්ද රාජපක්ෂ රෙජීමය යටතේ ජැක්සන් ඇන්තනි, ගලගොඩඅත්තේ ඥානසාර, නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැන්නවුන් නිරූපණය කළේද, යහපාලන ආණ්ඩුව යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වැනි අය විසින් නිරූපණය කරනු ලැබෙන්නේද ඉහත කී ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයාගේ භූමිකාවයි. ඔවුන්ගේ ඕනෑම ජනප්‍රිය කියමනක් හෝ රචනයක් හෝ ගත් කල ඒවාට පොදු අරමුණ ලෙස ‘තමා ඓන්ද්‍රීය වශයෙන් බැඳී සිටින, ‘පවතින’ පාලන තන්ත්‍රය අති සාධාරණ ලෙස සමජගත කිරීම සඳහා ඊට අවශ්‍ය ජනතා අවනතභාවය සංවිධානය කිරීම බව පෙනී යයි (සන්නස්ගලගේ සත්‍යාගාරය වැඩසටහනේ එකම අරමුණ වූයේ එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ සුද්ද කිරීමයි). මේ නිසා, ග්‍රම්ෂියානු අර්ථයෙන් ගත් විට, ‘බුද්ධිවෘත්තිකයා’ යන්න වෙන් කොට දක්වන මූලික ලක්ෂණය වන්නේ කිසියම් බුද්ධිමය ධාරිතාවක් පැවතීමටත් වඩා ආසන්නතම ‘සමාජ කාර්යභාරය’ බව කිව හැක. එනම්, පවතින හෙජමනිය සඳහා අවශ්‍ය සමාජ අවනතභාවය විවිධ ක්‍රමවිලින් සංවිධානය කිරීමේ සමාජ කාර්යභාරය ඉටු කිරීමට මොවුනට හැකිය. ඓන්ද්‍රීය බුදධිවෘත්තිකයින් හෙජමනිය වෙනුවෙන් ඉටු කරන මෙකී සමාජ කාර්යභාරය සම්බන්ධයෙන් රොජර් සයිමන්ගේ පහත අදහස සමග අප එකඟ විය යුත්තේ එහෙයිනි:
“චින්තකයන්, ලේඛකයන් හා කලාකරුවන් පමණක් නොව, සිවිල් සේවකයන් දේශපාලනික නායකයන් වැනි සමාජ සංවිධායකයන්ද ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයන් ගණයට වැටේ.”
ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ ‘බෞද්ධ භික්ෂුව’ නමැති සාධකය වෙත අප පිවිසිය යුත්තේ අධිපති හෙජමනිය වෙනුවෙන් ජනතා අවනතිය සංවිධානය කරන ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයින් පිළිබඳ ග්‍රම්ෂිගේ ඉහත අදහස් සිහිපත් කරමිනි.
ක්‍රි. පූ. තුන්වන සියවසේදී දේවානම්පියතිස්ස රජු මුව දඩයමේ යෙදී සිටියදී ලංකාවට බුදුදහම ගෙන ආවේය යන දේශපාලනික ප්‍රවාදය සමග සම්බන්ධ වී සිටින මිහිඳු මහරතුන් ‘අහම්බෙන්’ මුණ ගැසුණ්ය යන අදහස එදා සිටිම කලින් කල බිහි වූ ඓන්ද්‍රිය බුද්ධිවෘත්තිකයින් විසින්ම සමාජගත කරන ලද්දකි. ශ්‍රී ලංකාවට බුදුසමය ගෙන ඒම අප තේරුම් ගත යුත්තේ ‘අහම්බයක්’ ලෙස නොව, ඉන්දියාවේ එවක රජකම් කළ කලාපීය බලවතාගේ භූමිකාව රඟ පෑ අශෝක රජු සහ ශ්‍රී ලංකාවේ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු අතර ඇති වූ උපායමාර්ගික දේශපාලනික ගිවිසුමක් ප්‍රකාරව සිදු වූවක් ලෙසයි. මේ වකවානුවේ අශෝක ඉන්දියාවේ පමණක් නොව සමස්ථ දකුණු ආසියානු කලාපය තුළම ප්‍රබල දේශපාලනික චරිතයක්ව සිටියේය. එසේම, හේතු දෙකක් මත මේ වන විට බුදුසමයද ප්‍රබල තත්ත්වයක පැවතුණි. බුදුන්වහන්සේ ජීවතුන් අතර සිටියදීම මෙන්ම පිරිනිවන් පෑමෙන් පසුව පවා බුදුසමය හා රාජ්‍යත්වය අතර පැවති දැඩි බැඳීම නිසා ඊට හිමි වූ දේශපාලනික වැරගැන්නුම සහ බුද්ධිමත් දාර්ශනික ප්‍රවාහයක් වශයෙන් ඉන්දීය සමාජය තුළ ඊට හිමිව පැවති ශක්තිමත් පදනම මෙම හේතු දෙකයි.
විශේෂයෙන්ම, බුදුන්වහන්සේගේ පරිනිර්වානයෙන් පසු එළැඹි කාලය තුළ බුදු දහම බලය කේන්ද්‍රීය ආයතනයක් වශයෙන් අසීමිත දේශපාලනීකරණකට ලක් ව තිබෙන්නට ඇති බවට සැකයක් නැත. ‘සැබෑ බුදුදහමේ නිල නියෝජිතයින්’ කවුද යන කාරණය අරබයා විවිධ පාර්ශ්ව අතර සීතල බල අරගලයක් නොවී යැයි අනුමානය කිරීම විහිළුවකි. මන්ද, ඒ කාලය වන විට ඉන්දියාවේ ස්ථාපිතව තිබුණු ප්‍රබලතම ආගමික ව්‍යුහය බුදුදහම වූ පසුබිමක් තුළ අද මෙන්ම එය උපක්‍රමික වශයෙන් භාවිත කරමින් තමා වටා බලය ඒකරාශී කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ‘බල තරගයක්’ තිබෙන්නට ඇත යන්න අපට සිතාගත හැක. මේ අතරම, අධිපති දේශපාලනික දෘෂ්ටිවාද සාධාරණීකරණය කිරීමේ ආසන්නතම හා පහසුම උපක්‍රමය ලෙස ආගම භාවිත කිරීමද ඉතිහාසයේ සිටිම දැකිය හැකි තත්ත්වයකි. පුද්ගල සිතුම් පැතුම් වෙත වැඩිම බලපෑමක් එල්ල කළ හැකි වැදගත්ම සිවිල් ආයතනය ආගමයි. මේ නිසාම, ‘ආගම’ සහ ‘දේශපාලනය’ යන සාධක දෙක අතර ඇත්තේ අන්තර්-රඳාපැවැත්මකි. සමකාලීන බුදුසමය සමග අශෝකගේ ගනුදෙනුවේ සැබෑ අරමුණු හැඟීම්බර නොවී වටහා ගැනීමට නම්, මේ තත්ත්වය විවෘතව විමසා බැලීම වැදගත්ය.
ලංකාවේ ‘නිල ඉතිහාසය’ දැක්වෙන ‘නිවැරදි’ වාර්තාව මහාවංසය බව අදටත් මුඛ්‍යධාරාව (mainstream) තුළ භක්තිමත්ව පිළිගනු ලැබන කාරණයකි (මෑතකාලීන පුරෝවිද්‍යාත්මක සොයාගැනීම් හමුවේ මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසයක්ද මෙරට තිබෙන්නට ඇත යන අනුමානයට හෝ එළැඹීමට ඉඩක් අපට ලැබීම හොඳ පවණතාවකි). මහාවංසය යනුම අතිශය දේශපාලනීකරණය වූ ආගමික සංස්ථාවක් නියෝජනය කරන, සුවිශේෂී දේශපාලනික දෘෂ්ටිවාදයක් සමාජගත කිරීම සඳහා, පාලක පන්තියේ හෙජමනිය සමාජගත කිරීමේ අරමුණින් ප්‍රභූ භික්ෂුවක විසින් රචනා කරන ලද ප්‍රබන්ධාත්මක ආඛ්‍යානයකි. මහාවංසය රචනා වී ඇත්තේම දුටුගැමුණුගේ නමට සුදුහුණු ගෑමටදැයි සිතෙන තැන් අනන්තය.
යම් හෙයකින් ජනවාරි 08 දින දූෂිත මහින්ද රෙජීමය පළවා හැරීමට මෙරට ජනයා අපොහොසත් වූයේ නම්, ජැක්සන්, නලින්, අමරසේකර වැනි මහින්ද හෙජමනියේ ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයන්ගේ ප්‍රවාදද තවත් වසර දහස් ගණනකින් ‘ඉතිහාසය’ බවට පත් වනු නොඅනුමානය! මීටම සමාන තවත් උදාහරණයක් වන්නේ අභයගිරි ප්‍රතිසංස්කරණයෙන් පසුව මෑතකදී ජනාධිපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ මල් වට්ටි ගෙන අභයගිරි වන්දනාවේ යන අයුරු දැක්වෙන චිත්‍රයක් එහි බිතු සිතුවමක් ලෙස ජනාධිපතිවරයා අතින්ම ”විවෘත” වීමයි. “සංරක්ෂණයෙන් පසු (ක්‍රි. ව. 2015)” යන්න එහි යටින් ලියා ඇත. අප ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්නේ පවතින සාක්ෂි පදනම් කරගෙන හෙයින් වසර තුන්දහස් ගණන්වල මෙය දකින ජනයා තවදුරටත් මේ ප්‍රභූවාදී ඉතිහාසකරණයේ ගොදුරු බවට පත් වීම වැළැක්විය හැකිද? (වාසනාවකට මෙන් නූතන තාක්ෂණය තවදුරටත් දියුණු වනු ඇති හෙයින් ජනතාවට විකල්ප කියවීම්වලට යොමු වීමට ඉඩක් ලැබෙනු ඇත). ප්‍රශ්නය පවතින්නේ සෑම විටම පාලකයා ඉස්මතු කර දක්වමින් එය ‘අපේ ඉතිහාසය’ ලෙස අවධාරණය කිරීම තුළය. දාගැබ් තැනූ රජවරුන් ගැන ඕනෑ තරම් විස්තර වර්ණනා ඇති නමුදු ඒවා පිණිස රාජ්‍ය බලකිරීම මත නොමිලේම සිය ශ්‍රමය වහල්කමේ යෙදවූ සාමාන්‍ය ජනයාගේ ජීවන රටා ගැන අබමල් රේණුවක සඳහනක් ඉතිහාස ග්‍රන්ථවල නොමැත. මෙය, පවතින හෙජමනිය සඳහා ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයා ඉටු කරන සමාජ කාර්යභාරයේ තරම වටහා ගැනීමට කදිම නිදසුනකි. මේ නිසා, අපේ ඉතිහාසය සම්බන්ධ ”ප්‍රති-මහාවංසීය” විකල්ප කියවීමක් වෙත යොමු වීමට අපට සිදු වේ.
මහාවංසය වාර්තා කරන්නේත්, ඉන් අනතුරුව පාරම්පරික උරුමයක් ලෙස අප සමාජයේ බහුතරය පිළිගනු ලබන්නේත් මුව දඩයමේ ගොස් සිටි දේවානම්පියතිස්ස රජුට අහසින් වැඩි මිහිඳු හිමි අහම්බෙන් හමු වූ බවත්, එම හමුවේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ප්‍රන විසඳුම් පරීක්ෂණයක ප්‍රතිඵල මත රජුගේ තියුණු බුද්ධිය ගැන පැහැදුණු මිහිඳු හිමි විසින් බුදුදහම තිළිණ කළ බවත්ය. එහෙත්, යතාර්ථය ඇත්තේ මීට බොහෝ ඈතින් බව සිතීමට අපට වැඩිදුර කරුණු අවශ්‍ය නැත. මේ කාලයේ, එනම් ක්‍රි. පූ. තුන්වන සියවසේදී, වැඩි දේශපාලනික ආනුභාවයකින් හෙබි දකුණු ආසියානු කලාපීය බලවතා වූයේ ඉන්දියාවේ අශෝක රජුය. ඒ සඳහා අවශ්‍ය යුධ-දේශපාලනික පසුබිම ඔහු නිරත වූ යුද්ධ හරහා ඒ වන විටත් ඔහු විසින් අත්පත් කරගෙන තිබුණු අතර, ඔහුගේ අධිපතිවාදයට අවශ්‍ය න්‍යායික-සදාචාරාත්මක-සංස්කෘතික සාධාරණීකරණය සැපයූ මූලික න්‍යායධර්මය ලෙස ඔහු යොදා ගත්තේ බුදුදහමයි. දැන්, ඔහුගේ දේශපාලනික බලාධිකාරිය එක්කෝ තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමට, නැතහොත් තවදුරටත් ශක්තිමත්කර ගැනීමට නම්, ඒ සඳහා ඔහු විසින් කළ යුතු වූයේ ඔහුගේ දෘෂ්ටිවාදය හැකිතාක් ව්‍යාප්ත කිරීමයි. සාපේක්ෂ වශයෙන් ලංකාවේ දේවානම්පියතිස්සගේ අවශ්‍යතාවයද හැකිතාක් දුරට ප්‍රතිපක්ෂ දේශපාලනික බලවේගවලින් ආරක්ෂා වීම හා තම පාලන තන්ත්‍රය ශක්තිමක් කර ගැනීම වන්නට ඇති බවට අනුමාන කිරීමට ඉඩ දෙන හොඳම හේතුව ‘ඔහු දේශපාලඥයෙකු’ වීමයි. දේශපාලනයට අදාළ ඇතැම් නියතීන් සර්වකාලීන ඒවා වේ! රටේ පාලකයා දක්වා ඉහළට යාමට අවශ්‍ය දේශපාලනික සටකපටකමින් පොහොසත් ඔහුට, මේ යුගයේ ප්‍රබලම හා වැඩිම ජනතා ආකර්ශනයට ලක් වූ චින්තන ප්‍රවාහය ලංකාවටද හඳුන්වා දී එය මෙරට ස්ථාපිත කිරීමෙන් අත්විය හැකි දේශපාලනික වාසි පුරෝකථනය කිරීමට හැකියාවක් නොතිබුණු බව කිසිසේත්ම කිව හැකිද?
මෙම පසුබිම තුළ ‘භික්ෂුව’ නමැති සාධකය වර්ධනය වන්නේ පූජනීයත්වය මෙන්ම දේශපාලනික බලය යන පැති දෙකම ඇසුරිනි. ආරම්භයේ පටන්ම රාජ්‍යයේ තීරණාත්මක බලවේගය බවට බුදුසමය පත් වීම තුළ භික්ෂුව වෙනුවෙන්ද සුවිශේෂී ‘කතිකාවක්’ වෙන්ව පැවතිණ. සාම්ප්‍රදායික වශයෙන් අධ්‍යාපනය, ලේඛන කටයුතු ආදියෙහි නිල හිමිකරුවන් ලෙස ග්‍රම්ෂියානු සාම්ප්‍රදායික බුද්ධිවෘත්තිකයාගේ තත්ත්වය ළඟා කරගත් භික්ෂුව, මේ අතරම, වරින් වර බිහි වූ අධිපති හෙජමනියෙහි ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයන් අතළොස්සෙන් කෙනෙකු ලෙසද සිය සමාජ කාර්යභාරය ඉටු කරනු ඉතිහාසය පුරාවටම අපි දැක් ඇත්තෙමු. මගේ මතයට අනුව නම්, වත්මන් සිංහලයාගේ ජාතිවාදී නැඹුරුවේ මූල බීජ පැතිරී පවතින්නේද මේ ඓතිහාසික දෘෂ්ටිවාදය තුළමය.
මෙහි බලපෑම ගැන හොඳම නිදසුනක් අපේ සාහිත්‍ය ඉතිහාසය ඇසුරින් හමු වේ. ඇත්තෙන්ම, අතීතයේ සිටියවුන් විසින් ලියනු ලදුව අද අප වෙත ඉතිරිව ඇති පොත් සම්භාරය යනු අපේම ඉතිහාසය මේ යැයි ඉඟි සපයන කැඩපතක් වැන්න. ‘සම්භාව්‍ය’ යන කුලකයට වැටෙන සියලුම පොත් එක්කෝ ප්‍රභූන් විසින් ලියන ලද ඒවාය. නැතහොත් පවතින පාලක හෙජමනිය වෙනුවෙන් අඩු වැඩි වශයෙන් දායක වූ ඒවාය. ‘සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය’ ලෙස සාමාන්‍යයෙන් පිළිගැනෙන කෝට්ටේ යුගයේ ”හොඳම කාව්‍යය” වන සැළලිහිණි සංදේශය ලියවෙන්නේ සයවැනි පරාක්‍රමබාහු රජු සමග ඉතාම සමීප හා ඍජු සබඳතා තිබූ ප්‍රබල භික්ෂුවක වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසිනි. එය ලිවීමෙහි අරමුණ වන්නේද බලයේ සිටින පාලකයා වූ පරාක්‍රමබාහු රජුගේ දියණියට පුත් රුවනක් ලබාගැනීම උදෙසා විභීෂණ දෙවියන්ගෙන් කාව්‍යමය ඉල්ලීමක් කිරීමයි. රටේ පාලකයාගේ දුවට දරුවන් නොමැති වීම බරපතල ජාතික ප්‍රශ්නයක් ලෙස සමාජගත වීම හා එසේ කිරීම සඳහා තොටගමුවේ රාහුල නමැති ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයා ඉටු කරන තීරණාත්මක කාර්යභාරය අපගේ සියුම් නිරීක්ෂණයට හසු විය යුතුය. සැළලිහිණිය හොඳ කාව්‍යයක් වනවා මෙන්ම එය ලියන තොටගමුවේ හිමිද දක්ෂ කවියෙකු වූ බව පිළිගත හැක. එහෙත්, ඉන් අදහස් වන්නේ මේ යුගයේ වෙනත් ‘හොඳ’ ලේඛකයන් නොසිටි බවද?
සෑම කල්හිම ඉතිහාසය නමැති මහා ආඛ්‍යානය සකස් වී ඇත්තේ මෙසේය. පවතින රජය සමග සම්බන්ධකම් ඇති, දේශපාලනික වරප්‍රසාද සහිත ලේඛකයන්ගේ කෘති මිස, ප්‍රභූ පන්තිය නියෝජනය නොකරන සාමාන්‍ය ලේඛකයෙකුගේ කෘතියක් අපේ ප්‍රකාශිත සාහිත්‍ය ඉතිහාසය තුළ දැකිය නොහැක්කේ එවක සාමාන්‍ය ජනතාව අඩු අධ්‍යාපනයක් හා දැක්මක් සහිත වූ නිසාද? එසේත් නැතහොත්, යුගයේ අධිපති හෙජමනියේ කොටස්කරුවන් වූ තෝරාගත් ප්‍රභූවාදී ලේඛකයන් පිරිසකගේ බූදලයක් බවට එවක බුද්ධි නිෂ්පාදනය පත්ව තිබූ නිසාද? මෙය වෙනමම සලකා බැලිය යුතු කරුණකි.
ක්‍රි. පූ. තුන්වන සියවසේ සිට ආගම හා රාජ්‍යය අතර ගොඩනැගී ඇති මෙම අන්තර්-රඳාපැවැත්ම තුළ බෞද්ධ භික්ෂුව වෙනුවෙන් වෙනම බලව්‍යුහයක් ගොඩනැගී ඇති අතර මෙයද ආගම හා රාජ්‍යය යන පාර්ශ්ව දෙකෙහිම වාසියට හේතු වන කරුණකි. එක් අතකින්, රාජ්‍යගැති ප්‍රභූ භික්ෂුවගේ බලය හා තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය භෞතික වටපිටාව රාජ්‍යය විසින් තනා දෙනු ලැබ එය ආරක්ෂා කෙරෙන අතර, අනිත් අතින්, පවතින පාලක හෙජමනියේ යහපත සඳහා අවශ්‍ය සමාජ අවනතිය, ‘සිවුර’ නමැති තීරණාත්මක සංකේතය හරහා උපයා දීම භික්ෂුව විසින් සිදු කරනු ලැබේ. දේශපාලනීකරණයට ලක් වූ ආගමික සංස්ථාවක් තුළ අපේක්ෂා කළ හැකිම තත්ත්වයද මෙයයි.
බොදු බල සේනාව, රාවණා බලය වැනි ‘බෞද්ධ නොවන’ මූලධර්මවාදී ත්‍රස්ත කල්ලිවලට යෙහෙන් කල්හැරීමට අවශ්‍ය පසුබිම සකසා දී ඇත්තේද මෙම පසුබිමයි. අපි එය පසුගිය මහින්ද රෙජීමය යටතේ හොඳින්ම දුටුවෙමු. මහින්ද නමැති දූෂිත, ආත්මාර්ථකාමී, මිථ්‍යාදෘෂ්ටික පාලකයාට ස්වකීය රෙජීමය පවත්වාගෙන යාමට නම්, රටේ පුරවැසියන් අතරින් බහුතරයේ අවනතභාවය දිනා ගැනීම අනිවාර්ය කොන්දේසියක් විය. රටේ පුරවැසියන් අති බහුතරය ජාතීවාදීන් බවට පෙරළීමත්, දමිළ වැසියන් කොටි ලෙස පොදු ජන විඥානයට හඳුන්වා දීමත්, මුස්ලිම් භීතිකාවක් වැපිරීමත්, ජ්‍යොතිශය වැනි මිථ්‍යා දෘෂ්ටීන් වෙත ජනතාව හුරු කිරීමත් මේ සඳහා අවශ්‍ය විය. මෙම අවශ්‍යතාව සපුරා ගනු වස් ඔහු ඉහත විස්තර කෙරුණු ඓතිහාසික සන්දර්භය ඉතාම සූක්ෂ්ම ලෙස යොදා ගත්තේය. විශේෂයෙන්ම, ඔහු ස්වකීය හෙජමනියට බැඳී සිටි ඓන්ද්‍රීය බුද්ධිවෘත්තිකයින් හරහා ඉතිහාසය පිළිබඳ නව ‘මහින්දවාදී’ කියවීමක් සමාජය ඉදිරියට ගෙන ආවේය. මෙහි නෛසර්ගික ලක්ෂණයක් වූ ‘පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන සිංහලයා අද අනතුරේ’ යන ලෙහෙසිම හා ආවේගශීලී එහෙත් හරසුන් සටන් පාඨය පුරවැසි සිත් තුළට කාවැද්දීම සඳහා ආගමික නායකයින්, මාධ්‍ය, විද්වත් මත, දේශපාලනික සාකච්ඡා, පුවත් ආදී සිවිල් සමාජයට දෘෂ්ටිවාදීමය බලපෑම් කළ හැකි ආයතන කදිමට හැසිරවීමේ පරිචයක් ඔහු සතු විය.
බොදු බල සේනාව නම් න්‍යාය විරෝධී, පදනම් විරහිත හා රස්තියාදුකාර ත්‍රස්ත කල්ලිය සමාජයට බහින්නේ වසර දහස් ගණනක් ඈතට දිවෙන මේ සංස්කෘතික හෙජමනිය අවභාවිත කරමිනි. ඔවුන්ගේ පරම සතුරා වන මුසල්මානුවා අමු අමුවේම ප්‍රසිද්ධියේ මරා දැම්මද බහුතර සිංහලයා එය විජයග්‍රාහීව අනුමත කරන තැනට, එකී ම්ලේච්ඡ මානසිකත්වයට, ඇද දැමීමේ ගෝත්‍රික ආශාව ඥානසාරගේ ක්‍රියාකලාපයෙන් මැනවින් පැහිදිලි විය. දර්ගා සංහාරය මීට හොඳම නිදසුනයි. ඉතාම ‘රහසිගත’ ලෙස භික්ෂුව නමැති උපක්‍රමය හරහා ‘මහින්ද දෘෂ්ටිවාදය’ ආරක්ෂා කිරීම සඳහා යොදා ගැනුණු ප්‍රබලතම බළල් අත වූයේද මෙයයි. ජනවාරි 08 දින මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමග බොදු බල සේනාවේ හා රාවණා බලයේ ව්‍යාජ උඩුබිරීම් එක් සැණින් නෑසී යාමෙන්ම පෙනී යන්නේ මොවුන් මහින්දගේ න්‍යායපත්‍රයට අනුව නැටූ ජාතිවාදී රූකඩ මිස අවංක ‘බුද්ධ-වාදීන්’ නොවන බවයි.
දැන් මොවුන් දේශපාලනික පක්ෂයක් ලෙස සංවිධානය වී ඍජුවම සමාජය ඉදිරියට පැමිණ තිබේ. ඉදිරි මහමැතිවරණයේදී තරග කිරීමේ වෑයමක්ද ඔවුන්ට ඇත. තමන්ගේ සටන සමස්ථ මුස්ලිම් වර්ගයාටම එරෙහි එකක් නොවන බව කියන මොවුන් දැන් කියන්නේ තමන් විරුද්ධ ‘මුස්ලිම් අන්තවාදයට’ බවයි. අන්තවාදය යන වචනය පිළිබඳ හරිහමන් පැහැදිලිකිරීමක් අවශ්‍ය තැනක මොවුන් සිටින බව පෙනේ. ලොවම පිළිගත් ගරුකටයුතු ගැඹුරු දර්ශනයක් වන බුදුසමය නින්දිත ලෙස හෑල්ලු කිරීමෙහි නිතරව සිටි මොවුන් දැන් උත්සාහ කරන්නේ ජනතා පරමාධිපත්‍යයද ‘නෝන්ඩි’ කිරීමටය. මෙවැනි පසුබිමක් තුළ පුරවැසියන් වශයෙන් අප සතු වගකීම හුදෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඔබ්බට ගිය දෘෂ්ටිවාදීමය විප්ලවයක් බව අපි වටහාගත යුත්තෙමු!
අශාන් වීරසිංහ | Ashan Weerasinghe