මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය මා දකින්නේ ඔහුගේ ජයග‍්‍රහණයකට වඩා මහින්ද රාජපක්ෂව ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙසට ය. රාජපක්ෂ පිළිබඳ විශාල චෝදනා, සහ කළකිරීම් තිබුණි. දූෂණය, නීතියේ ආධිපත්‍ය බිඳවැටීම, අනවශ්‍ය ලෙස සුළු ජාතීන් මත බලය පාවිච්චි කිරීම, මැරවරකම්, කුඩු ජාවාරම්, රජයේ දේපොළ මංකොල්ල කෑම වැනි බොහෝ දේ ඒ චෝදනාවලට ඇතුලත් ය. රාජපක්ෂගේ රජය යන්නෙන් අදහස් වන්නේ රාජපක්ෂ පමණක් හෝ ඔහුගේ සමස්ථ පවුල පමණක් ම නොවේ. ඒ සාධක යුගල ඉතාම වැදගත් වන අතර ම ඒවාට අමතරව රජයේ යාන්ත‍්‍රණය, මැති ඇමතිවරු, පළාත් සභාවල හා ප‍්‍රාදේශිය
සභාවල පිරිස ද මෙයට අයත් ය. මේ සමස්ථ යාන්ත‍්‍රණය පිළිබඳවම විශාල අප‍්‍රසාදයක් රටේ තිබුණි. මගේ පෞද්ගලික මතයට අනුව ලංකාවේ කිසිම රජයක් ගැන මෙවැනි අප‍්‍රසාදයක් තිබී නැත. ලැබෙන තොරතුරු වලට අනුව මේ රටේ තිබී ඇත්තේ ආර්ථික මාෆියාවකි. රාජපක්ෂව පරාජය කරන්නට හැකිවූයේ ද මේ කරුණු නිසාම ය.
දෙවනුව මම දකින්නේ ජනවාරි 8 ජයග‍්‍රහණයේ උපක‍්‍රමය ඉතා ශූක්ෂම, සංවේදී සහ බුද්ධිමත් උපක‍්‍රමයකි. චන්ද්‍රිකා සහ රනිල්ගේ එම උපාය දැනගෙන සිටියේ 4-5 දෙනෙක්ගේ පිරිසක් බවයි මට පෙනෙන්නේ. තුන්වැනි ව ඒ ජයග‍්‍රහණය තුළින් ව්‍යවස්ථාව වෙනස් කරගැනීමේ බලාපොරොත්තුවක් තිබුණි. හොරුන්ට එරෙහි ව නීතිමය පියවරක් ගැනීම, නීතියේ ආධිපත්‍ය පිහිටුවීම වැනි ධනාත්මක පැත්ත ගැන බොහෝ දෙනෙක් සිතූ හ. ව්‍යවස්ථාව වෙනස් කරගැනීම සම්බන්ධයෙන් නම් අනිවාර්ය විශ්වාසයක් තිබුණි. ඒ බලාපොරොත්තු 50%ක් පමණ ඉටුවූවා යැයි කිව හැක. 19 වැනි සංශෝධනයේ තිබෙන්නේ ඇත්තටම පළවෙනි මට්ටමෙන් බලාපොරොත්තු වූ ඒවා නොවේ. ඒ අනුව මෙය දෙවන පංතියේ ජනතා ජයග‍්‍රහණයකි. බලතල අඩු කළා මිස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළේ නැත. පාර්ලිමේන්තු ක‍්‍රමයට යන්නට කිසියම් යාන්ත‍්‍රණයක් ගෙනෙන්න උත්සාහයක් දැරී ය. එය කිසියම් දුරකට සාර්ථක විය. ව්‍යවස්ථාදායක සභාව අසාර්ථක වුණි. ප‍්‍රධාන වශයෙන් මා දකින ජයග‍්‍රහණ සහ පරාජයන් එසේ ය.
පොදුවේ පවසන්නේ නම් මෛත‍්‍රීපාල ජනාධිපතිගේ ජයග‍්‍රහණය වාමාංශික නැත්නම් සමාජවාදී ඇසකින් මා බලන්නේ නැත.සම්පූර්ණයෙන් මෙය ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබූ ජයග‍්‍රහණය ක් ලෙසයි මා මෙය දකින්නේ. මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණයේ වැදගත්කම වන්නේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ වී යන අවස්ථාවකදී ඒ ටිකවත් ආරක්ෂා කර ගැනීමට හැකිවීම ය.
ජනවාරි 8 ජයග‍්‍රහණයේ මේ මැතිවරණයට බලපාන්නේ විශාල වශයෙන් එක්සත් ජාතික පක්ෂයට වාසියක් ලෙසට ය. මෛත‍්‍රිපාල සිරිසේන ගත්ත ඡන්ද ඇත්තට ම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම බවට මිනිසුන්ට අවබෝධයක් ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ඡන්ද ද ලැබුණි. සුළු ජාතික ඡන්ද විශාල ඡන්ද ප‍්‍රතිශතයක් මෙයට දායක විය. නමුත් මෛත‍්‍රිපාලට ලැබුණු ඡන්දයේ පදනම එක්සත් ජාතික පක්ෂයේ ය.
කෙසේ නමුත් අලියා සළකුණ අතහැර එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද හංසයා ට ලබා ගන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නයක් තිබුණි. නමුත් පළමුවැනි පියවර ලෙස අලියා සළකුණ අතහැරීමට රනිල් තම පක්ෂය එකගකර ගත්තේ ය. ඒ ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම එතැනට ගෙනෙන්නට රනිල් සමත් විය. එතනින් පසු තව පක්ෂ හා සංවිධාන රාශියක් එක්කර ගැනින. මේ සියල්ල එක්වූ පසු එජාපය යනු විශාල බලයකි. එය මේ මැතිවරණයට බලපාන ආකාරය පැහැදිළි කරගැනීමට ප‍්‍රථම විරුද්ධ පක්ෂයේ පෙළ ගැසීම ද නිරීක්ෂණය කළ යුතු ය.
මෛත‍්‍රිපාල සිරිසේනගේ ජයග‍්‍රහණය විපක්ෂයට බලපෑවේ තවත් විධියකට ය. වාසුදේව, ගම්මන්පිල, විමල් වීරවංශ සහ සහ දිනේෂ් ගුණවර්ධන මෙහි දි විශාල මෝඩකමක් කළ හ. ඒ මෝඩකම වන්නේ අගමැති කරවන බව පවසා මහින්ද රාජපක්ෂ වටා රටේ විශාල රැල්ලක් ඇති කිරීම ය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විශාල කොටසක් එයින් උණුසුම් විය. එහි ප‍්‍රතිඵලය ලෙස මහින්ද රාජපක්ෂ ප‍්‍රතික්ෂේප කරන සියල්ලෝ ම එකට එක්කෙරින. අවසානයේ රනිල්ට එය දැන් විශාල වාසියක් වී තිබේ. මහින්ද රාජපක්ෂ නොපැමිණියේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවැනි අර්බුදයකට යන්නේ නැත.
විය හැකිව තිබුනේ කොටසක් කැඞීගොස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශාල කෝලහලයක් ඇති වීම ය. කළ නොහැකි දෙයක් වූවත් තමා අගමැතිකම මහින්දට නොදෙන බව කීමෙන් පැහැදිළි වන්නේ ජනාධිපතිවරයා මහින්දට ඉඩදීමට සූදානම් නැති බව ය.
ඔහු එවැනි දේ කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ව කළකිරවන අදහසිනි. මෙයින් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආගමනය වාසියකට වඩා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට අවාසියක් ඇතිකර තිබේ.
රනිල්-මෛත‍්‍රි ආණ්ඩුවේ දින 100 යේ පොරොන්දු බොහෝ දුරට ඉටු වූ බවක් මා සිතන්නේ නැත. ජනතාව හිතනවාට වඩා හුගක් අඩුවෙන් සාර්ථක වු බවයි මගේ අදහස. ප‍්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් එය 30% නැත්නම් 40% සාර්ථක වන්නට ඇත. සාමාන්‍ය මිනිස්සුන් හිතන්නේ එය 50%-60% පමණ සාර්ථක වු බව ය. ඇත්තට සමහරක් මිනිස්සු සිරිසේන-රනිල් ආණ්ඩුව ගැන කළකිරීමෙන් සිටිති. කුඩුකාරයින්ට, දූෂිකයින්ට එරෙහිවගත් පියවරයන් ප‍්‍රමාණවත් නැති බවයි ඔවුන් පවසන්නේ. මේ සියලු සාධක කිරා මැන බලන්නේ නම් පොරොන්දු ඉටු කිරීමට යම් උත්සාහයක් ගත් බවට පිළිගැනීමක් ඇත. රනිල්ට අවස්ථාවක් ලබාදුනහොත් ඔහු ආරම්භ කළ ගමන සම්පූර්ණ කරනු ඇතැයි විශ්වාසයක් ඇත. මා හිතන්නේ එය එක්සත් ජාතික පක්ෂයට වාසියක් වන බව ය.
පසුගිය ජනාධිපතිවරණයේ දී මා ඇතුලුව වමෙන් සිතන කිසිවෙක් කිසිම විදියකට ජාතික ප‍්‍රශ්ණය පිළිබඳ ප‍්‍රශ්ණය මතු කළේ නැත. පළමු වැනි පියවර ලෙස අප කල්පනා කළේ මහින්ද රාජපක්ෂව පරාජය කිරීම ය. ඔහුව පරාජය නොකර මොන ප‍්‍රශ්නයවත් විසඳන්නට හැකියාවක් තිබුණේ නැත. ජාතික ප‍්‍රශ්නය අපි මතු කළේ නම් රට බෙදන්නට යන බව පවසමින් ජාතිවාදින් එය ප‍්‍රයෝජන ගැනීමට ඉඩ තිබුණි. එවැනි වාසියක් ඔවුනට ලබාදෙන්නට අපිට අවශ්‍ය නොවී ය.
මා දන්නා ආකාරයට දෙමළ ජාතික සන්ධානය ද ජාතික ප‍්‍රශ්ණය ගැන කිසිවක් ම ප‍්‍රකාශ කළේ නැත. ජාතික ප‍්‍රශ්ණය ලෙස ඔවුන් කීවේ සුළු ජාතීන්ට මහින්ද රාජපක්ෂ කළ අඩන්තෙට්ටම් පිළිබඳව පමණි.
අපි ද ෆෙඩරල්වාදය, බලය බෙදීම වැනි දේ ගැන කථා කරන්නට ගියේ නැත. යුද්ධයට අදාල ජිනීවා ගැන ද මෛත‍්‍රිපාල සිරිසේනගෙන් කිසිම දෙයක් ඇසුවේ නැත. එසේ ඇසුවේ නම් මෛත‍්‍රිපාල-රනිල් දෙමළු සමග එක් වී රට බෙදන්නට යනවා යන ඝෝෂාව මතුවෙනවා නියත ය. ඒකට අප ඉඩ දුන්නෙ නැත. එසේ සිතුවේ නම් සිතිය හැකිව තිබුණේ මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණියත් ප‍්‍රශ්නයක් නැත යැයි සිතන අයෙකුට පමණි. මෙයින් මා උත්සාහ දරන්නේ මෛත‍්‍රිපාල-රනිල් ආණ්ඩුව බලයට පැමිණියේ ජාතික ප‍්‍රශ්ණය ගැන කිසිදු පොරොන්දුවක් නොදී බව පෙන්නා දීමට ය.
මාගේ කල්පනාවේ හැටියට දෙමළ ජාතික සන්ධානයට ද ඔවුන් එවන් පොරොන්දුවක් නොදෙන්නට ඇත.පොරොන්දුවක් දුන්නා නම් පොරොන්දු වී ඇත්තේ උතුරේ මිලිටරිය අඩු කරනවා වැනි දේවලට පමණි. බලය බෙදන ව්‍යවස්ථාමය කරුණු ගැන කිසිම පොරොන්දු දුන්නේ නැත. ඒ නිසා ම බලයට පැමිණි පසු එසේ කරන්නට අවශ්‍යතාවක් පැනනගින්නේ ද නැත. ජාතික ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් රටේ දැන් සෑම පැත්තෙන්ම ඇත්තේ අඩු උනන්දුවකි.
එන මැතිවරණයටත් ජාතික ප‍්‍රශ්නය වෙනුවෙන් කුමක් හෝ කරනවා යනුවෙන් පැවසීමට රනිල්ගේ පැත්තෙන් ද විශාල අවශ්‍යතාවක් මතුවේ යැයි කිව නොහැක. නමුත් මහින්ද රාජපක්ෂලා ට කියන්නට තිබෙන්නේ ජාතික ප‍්‍රශ්නයට අදාළ නිශේධනාත්මක චෝදනා පමණි. රාජපක්ෂලාට අනුව මෙතන කුමක් හෝ හොර වැඩක් තිබේ. මේ රට බෙදන්න මෛත‍්‍රි-රනිල් එක් වී දෙමළ සන්ධානය සමග විශාල කුමන්ත‍්‍රණයක් කරන බව ඒත්තු ගැන්වීමට රාජපක්ෂ කඳවුර දැඩි වෙහෙසක් දරති. සිංහල ජීවිත දහස් ගණන් පූජා කර ලබාගත්ත ජයග‍්‍රහණය පාවා දෙන්නට සූදානම් වන්නේ යැයි කියන පණිවිඩය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ තේමාව වී තිබේ.
මේ අනුව මහින්ද රාජපක්ෂලා ගේ එම මැතිවරණ ව්‍යාපාරයට ජාතිවාදයට අමතරව මහ බැංකුවේ අධිපති මහේන්ද්‍රන්ගේ ප‍්‍රශ්නය මතු කිරීම හැර වෙනත් ප‍්‍රශ්නයක් නැත. මා නම් හිතන්නේ මිනිස්සු ඒ ගැන එතරම් විශ්වාස කරන්නේ නැත. කොටි සංවිධානය අතන සිටිනවා මෙතන සිටිනවා කීවාට ඒ ගැන බියක් ද නැත. මහේන්ද්‍රන්ගේ ප‍්‍රශ්නය ගැන තරමක් කළකිරීමක් තිබේ. ජාතික ප‍්‍රශ්නය පැත්තෙන් ආණ්ඩුවේ සැලකිල්ල අඩු වී ඇති බවයි පෙනෙන්නට තිබේ.
කෙසේ නමුත් මෛත‍්‍රීපාල සිරිසේන හා රනිල් බලයට පැමිණියාට, අපේ ප‍්‍රශ්නය ගැන කිසිදෙයක් කළේ නැත යන ප‍්‍රශ්නය දැන් උතුරේ මතු වී ඇත. කවුරු බලයට ආවත් අපිට වැඩක් නැත යැයි ඔවුහු පවසති. ඒ නිසා ම දැන් දෙමළ ජාතික සන්ධානය
තුළ බෙදීමක් ඇති වී තිබේ. විග්නේෂ්වරන් ජාතිවාදී මාවතේ ගමන්කරනු පෙනේ.වර්ගවාදී සමූල ඝාතනයක්, එසේ නැති නම් දෙමළ ජනඝාතනයක් කර තිබෙන බවට උතුරු පලාත් සභාවේ යෝජනාවක් ද සම්මතකරගෙන තිබේ.
25%ක පමණ තද පිරිසක් ඩයස්පෝරාවේ සිටිති. විග්නේෂ්වරන් ඒ අය සමග තදින් සම්බන්ධ වී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. දෙමළ සන්ධානයේ බෙදීම හේතුකොටගෙන ජාතික ප‍්‍රශ්ණයට අදාල ප‍්‍රශ්නය ඉතා සංකීර්ණ බවක් පෙනෙන්නට තිබේ. මෙයට ප‍්‍රතික‍්‍රියාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයට තමන්ව ආරක්ෂා කරගන්නට උවමනාවක් තිබේ. කුමක් ද අපිට කළේ යනුවෙන් දෙමළ ජනයා නගන ප‍්‍රශ්නයට ඔවුන්ට ද පිළිතුරක් තිබිය යුතු ය. තමන්ගේ මැතිවරණ ප‍්‍රකාශනයට ප‍්‍රමාණයට වඩා ෆෙඩරල්වාදය ඔවුන්ගේ අවම ඉල්ලීම ලෙස ඉදිරිපත් කරන්නේ ඒ නිසා ය. උතුරේ සමාජ ප‍්‍රශ්න ඉතා බරපතල ය. එහි සංස්කෘතිය කඩා වැටී ඇත. තරුණ අය පවසන්නේ එල්ටීටී එක බලයට පැමිණියා නම් අපේ සංස්කෘතිය හා අපේ සමාජය ආරක්ෂා වෙන බව ය.
මේ මැතිවරණයෙන් පසු රනිල් බලයට පැමිණියත්, ජාතික ප‍්‍රශ්ණය ගැන වැඩි ප‍්‍රගතියක් වේ යැයි අප විශ්වාස කරන්නේ නැත. රනිල් ජාතිවාදියෙක් යැයි මා කියන්නේ නැති අතර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා දෙමළ ජනතාවට ස්වයංපාලන තත්ත්වයක් ඇති කර දෙන අරගලයට ඔහු යන්නේ නැත. එසේ බැලූ කළ ජාතික ප‍්‍රශ්ණය පැත්තෙන් අවාසිදායක තත්ත්වයක් තිබේ.
මෙවැනි සන්දර්භයක් තුළ උතුරේ ජනතාව අලුත් ආණ්ඩුවට විරුද්ධව තල්ලු වීම වැළැක්විය නොහැක. ඉතිං උවමනාවක් ඇත්නම් අපට මේ ප‍්‍රශ්ණය ගැන මතු කරන්නට සහ ඒ වෙනුවෙන් වැඩ කරන්නට පුළුවන. කෙසේ නමුත් මෙය පහසු කටයුත්තක් නම් නොවේ. අවශ්‍ය ප‍්‍රමාණයට වඩා මේ ගැන කෑකෝ ගසන්නට ගියහොත් මහින්ද රාජපක්ෂලා ගෙනයන රට පාවා දෙනවා කියන අදහස ජය ගන්නට ඉඩකඩ විවරවේ. මම හිතන්නේ ලංකාවේ ජාතික ප‍්‍රශ්ණය විසඳන්න ඉතාමත් අමාරු ය. මක්නිසා ද යත් සිංහල බෞද්ධ රටක් යන ජනතාවගේ ආකල්පය එයට හේතු වී තිබේ. එහෙත් කළ යුතු දේ අප කළ යුතු ය. ජාතික ප‍්‍රශ්ණය ගැන මහින්ද රාජපක්ෂට ප‍්‍රයෝජනය ගන්නට අවස්ථාවක් නොදීම විශේෂයකි. මෙහි දී රනිල් ප‍්‍රමුඛ එජාපයට ප‍්‍රශ්ණය ඉදිරිපත් කළ යුතු ය. රටට හොඳක් වන්නේ නම් ෆෙඩරල් නොදිය හැක්කේ ඇයි ද යන්න අසා ඔහුව ප‍්‍රශ්න කළ යුතු ය.
සමාජ ආර්ථිකය
විශේෂයෙන්ම ලංකාවේ සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිය ගතහොත් ප‍්‍රතිපත්ති තුනක් ලෙස සාකච්ඡා කළ හැක.එයින් එකක් වන්නේ මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ එනම් පසුගිය වසර 9 යේ අප දුටු ආර්ථික ප‍්‍රතිපත්තිය ය. එම ආර්ථික ප‍්‍රතිපත්තිය මා දකින්නේ බලය තිබෙන කාලයට කුලියක් ගන්නවා වගේ වැඩකි. රටේ පාරවල් හැදීමෙන් පගා සහ කොමිස් ගැනීම එහි ප‍්‍රධාන අංගයකි. සම්පූර්ණයෙන්ම ඒ ආර්ථිකය දුවන්නේ ආර්ථිකය අල්ලාගෙන සිටි කණ්ඩායමේ ප‍්‍රයෝජනය උදෙසා ය. කසකස්තාන් රටේ ද තිබෙන්නේ එවන් ආර්ථිකයකි. අනික් විකල්පය අපි දකින්නේ ජනතා විමුක්ති පෙරමුණෙනි. ඒක ගැන මා වැඩියෙන් සඳහන් කිරීමට යන්නේ නැත. නමුත් ඒක වමට බර වැඩි රජය මැදිහත්විම ප‍්‍රභල ආර්ථික ප‍්‍රතිපත්තියකි.
තුන්වන විකල්පය වන්නේ ලෝකයේ හැම තැනම පැතිර තිබෙන ක‍්‍රමය වේ. චීනය වුවත්, වියට්නාමය වූවත්, දකුණු කොරියාව, තායිවානය, මේ පැත්තෙන් කියුබාව ද එතැනට අයත් වේ. ඉන්දියාවත් එතැනට පැමිණ තිබේ. මා දකින්නේ දැන් අනාගත
රනිල්ගේ සැලැස්ම ද එය වේ. එහෙත් එය කෙරන්නේ මිශ‍්‍ර ආර්ථික ක‍්‍රමයක් තුළ ය. ධනේශ්වර ආයතන ́ඕන තරම් එයට ආයෝජනය කරනු ඇත. චීනයේ ආණ්ඩුව පවසන්නේ ආයෝජන විදුලියට නැත්නම් නිවාස අංශයට දිසානති කළ යුතු බව ය. දකුණු කොරියාවේ ද සිදුවූයේ මෙයයි. මේ වැඬේ කරන්නට පෞද්ගලික අංශයට නතරම් ඉඩ කඩ ලබාදෙනු ඇත. කොරියාව තායිවානය වැනි රටවල ආණ්ඩුව එම අංශයට මැදිහත් වූයේ නැත. රනිල් උත්සාහ දරනු ඇත්තේ ද ඒ මාවතේ යෑමට ය.
රාජපක්ෂලාගේ යුගයේ ආර්ථිකයට කිසිම දිශානතියක් තිබුණේ නැත.
එකම ආර්ථික දිශානතිය කොමිස් ගන්න එක පමණි.
මහාචාර්ය කුමාර් ඩේවිඩ් | Prof; Kumar Devid
(ස්තූතිය- විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය්, සාමවිමර්ශි සගරාවට)