මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
බලාන හිටියා දැන් නම් ඇති හොඳටෝමා…
දෙමට පොතු කකා කට හම ගියා නොවේ
හිතේ අමාරුවටයි මේ දෙඩවිල්ලත්…
වැඩ නිම වී කඩිමුඩියේ පැමිණෙන විට කොල්ලුපිටිය ඉස්ටේසමේ පත්‍රිකා බෙදන කොලු නඩයක් ඇස ගැටිණි. දේශපාලන කයිකතන්දරයක් විය හැකි බවට පුර්ව නිගමනයෙන් මම ඔවුන් මගහැර ආවෙමි. පුරුද්දක් ලෙස මෙලෙස ඇඟේ ගසනා කොල කැබලි නොගන්නේ පරිසරයට අනවශ්‍ය බරක් එක්කිරීමට ඇති අකමැත්තෙනි.
ඉස්ටේසමේ පඩි නැග එන විට දුටු දසුනින් කැළඹීමක්, දුකක් සේම කෝපයක්ද දැනිනි. මිනිසුන්ගේ පයට පෑගි පෑගී තිබුණේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි උද්ඝෝෂණයේ දී මිය ගිය හලාවත ඇන්ටනීගේ මළගම දවසේ ඔහු ගේ දියණියගේ කඳුළු පිරි මුහුණ ය. තම දරුවා වඩා ගත් තාජුදීන් ගේ මුහුණ ය. පානීය ජල ප්‍රශ්නයේදී රතුපස්වල මිය ගිය දරුවන්ගේ මුහුණු ය.
ඡන්ද ගොඩ වැඩි කරගන්නට අලෙවි වන කඳුළු.. අලෙවි වන මළ සිරුරු.. මේ කිනම් පාපයක් ද? මේ අපරාධවල සත්‍යය ජනතාව දැන ගත යුතු බව සැබෑ ය. වගකිව යුත්තන්ට දඬුවම් ලැබිය යුතු බව සැබෑ ය. නමුත් ඒ සිදුවිය යුත්තේ නීතියට අනුකූල සදාචාර සම්පන්න ක්‍රමවේදයකට මිස ඡන්ද ගුණ්ඩුවක් ලෙසින් නම් නොවේ.
මෙම පත්‍රිකා වෙනුවෙන් කළ මුදල් නාස්තිය, එයින් සිදුවන පරිසර හානිය සුළු කොට තකන්නේ කෙසේද? අකමැති දෙයක් නොගෙන සිටින්නට තරම් ප්‍රතිපත්තියක් නැති, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන් අතට ගන්නා දෙයක් අනවශ්‍ය නම් කුණු බක්කියකට දමන තුරු ළග තබාගන්නට තරම් සංයමයක්, අධ්‍යාත්මික දියුණුවක් නැති මිනිසුන් සමග මොන යහපාලනයක්දැයි විටෙක මට සිතේ.
අලුත් පාර්ලිමේන්තුවක් පමණක් නොව අලුත් ජනතාවක් ද අපට අවශ්‍ය ය.
(මහමග විසිකර දමා ගිය පත්‍රිකා)
……………
මැතිවරණ නම් මහා කන්දොස්කිරියාවකි. මෙතරම් තාක්ෂණය දියුණු කාලයක මැතිවරණ ක්‍රියාවලියක් වෙනුවෙන් මාසයකට අධික කාලයක් වෙන් කිරීම පාපයකි. මේ සඳහා වියදම් කරන මුදල් කන්දරාවෙන් සමාජ යහපත වෙනුවෙන් කොතරම් වැඩ කොටසක් ඉටු කළ හැකිව තිබිණි ද?
ඉදිරියේදී අවම කාල සීමාවක් ප්‍රචාරක වැඩ සදහා වෙන් කොට, වියදම් කරන මුදල් සම්බන්ධයෙන් පවා සීමා පැනවිය හැකි නම් අගනේය. දරුවන්ගේ ජීවිතවලට ප්‍රබලව බලපාන විභාග සමයන්හිදී ඡන්ද පැවැත්වීමට ද තදින්ම විරුද්ධ විය යුතු ය. මේ කන්කරච්චල් මැද දරුවන් නිස්කලංකයේ පාඩමකට හිත යොමන්නේ කෙසේද?
මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වන කාලයක මේ පිළිබඳ අවධානය යොමු වේවා.
පාලන තන්ත්‍රෙය් ද, රාජ්‍ය තන්ත්‍රෙය්ද දූෂණ අපරාධවලට යොමු වූ අයට නිසි අධිකරණ ක්‍රියාවලියක් තුළින් දඬුවම් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයකි. දේශපාලඥයන්, රාජ්‍ය නිළධාරීන් අතින් ජනතාවට එරෙහි අපරාධ සිදුනොවන්නට නීතිරීති ශක්තිමත් කිරීම මෙන්ම අධ්‍යාත්මික දියුණුවක් ඇති කිරීම ද අත්‍යවශ්‍ය ය. නීතියෙන් පමණක් මනුෂ්‍යත්වය බිහිවන්නේ නැත. අපරාධවලට දඬුවම් කිරීම මෙන්ම අපරාධ සිදුවන්නට ඇති ඉඩකඩ අහුරා තැබීම ද, සදාචාරසම්පන්න ජීවන රටාවක් වෙනුවෙන් මිනිසුන් පෙළඹවීම ද වැදගත් ය.
මාධ්‍ය ගැන නම් කතා කරන්නට දෙයක් නැති තරමට ම අප්‍රසන්න ය. ආචාර ධර්ම සුරකින මාධ්‍ය භාවිතාවක් පිළිබඳ සිහින බොඳ නොවන්නට බලපෑම් කිරීම පුරවැසි වගකීමකි.
මැතිවරණ නීති ක්‍රියාත්මක වීම කෙරෙහි නම් සතුටු විය හැකි වාතාවරණයක් පවතී.
……….
අපි ත් යහපාලනයට කඩේ ගියෙමු. ඒ අන්ත දුෂිත ඒකාධිපති මහින්ද පාලනයට තිබූ බරපතල විරෝධය හේතුවෙනි. නමුත් මේ අප අපේක්ෂා කළ යහපාලනය නම් නොවේ. ඒ සිහිනයට තවත් බොහෝ දුර බව ඉතා පැහැදිලි ය. යහපාලනය යනු අපට නම් පක්ෂයක් හෝ පුද්ගලයෙක් නොවේ. සරල, සුන්දර, මානුෂික ජීවන ක්‍රමයකි. එය රටේ ඉහළම තනතුරේ සිට මහමඟ යදින්නා තෙක්ද, මන්දිරයේ සිට පැල්පත තෙක් ද ගලා යා යුතු මනුෂ්‍යත්වයේ ජීවන දහමකි.
කලාකරුවන් ද, සිවිල් සංවිධාන ද, සංවේදී මිනිසුන් ද සිටිය යුත්තේ දේශපාලඥයන්ට මුහුණ ලා පොදු ජනතාව සමඟ බව මම විශ්වාස කරමි. දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ට ද, අපට ද අයත් වගකීම නොවේ. බලයේ සිටින්නේ කුමන පක්ෂය වුව ද අප පෙනී සිටිය යුත්තේ, අභියෝග කළ යුත්තේ පාලන ක්‍රමයේ ද, සමාජයේ ද යහපත් වෙනසක් වෙනුවෙනි.
ඒ වෙනස් සමාජය තුළ තවදුරටත් ඇන්ටනීලාට, නිමලරාජන්ලාට, තාජුදීන්ලාට මරණය අත් නොවිය යුතුය. කිසිවෙකු අතුරුදහන් නොවිය යුතු ය. ඉසප්‍රියාලා, විත්‍යලා මෙන්ම අහිංසක දරුවන් ද දූෂණය නොවිය යුතු ය. සන්ධ්‍යක්කලා, යාපනේ මන්නාරමේ අම්මලා, යුක්තිය ඉල්ලමින් තැනින් තැන රස්තියාදු නොවිය යුතු ය. 71, 89, 2009 නැවත උදා නොවිය යුතු ය. මහා මන්දිරයේ මෙන්ම මහ පාර අගුවේත් සැනසීමේ බත් කටක් කන්නට නිදහසක් තිබිය යුතු ය.
මගේ, අපේ යහපාලන සිහිනය එවැන්නකි. නමුත් බොහෝ දේශපාලඥයන්ට එවැනි සිහින ගැන වගක් නැති බව පැහැදිලි ය. එනිසාම අපට කරන්නට ඇති අරගලය දිග්ගැස්සෙනු මිස මේ මැතිවරණයෙන් පසුව වුව ද නිමාවක් නොවනු ඇත.
දේශපාලන ගේම්වලින් නන්නත්තාර වූ සමාජයක සැබෑ විප්ලවයක් වෙනුවෙන් කැප වීම පහසු දෙයක් නම් නොවේ
තරුරසී