Photo By:srilankaguardian
බොක්සිං දා සුනාමි හෙනය ගොඩ ගැලූ දවසේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව, ජාති කුල සහ ආගම් භේද නොතකා එකිනෙකාට පිහිට වීමට බැලූහ. එහෙත් එවැනි ජාතික ආපදාවක් ඉදිරියේ අපේ වෙනස්කම් ඉවතලෑමට ඉදිරිපත් වූ අප, එම ව්‍යසනයේ රැළි බැස යනවාත් සමගම එසේ ඇති කරගත් සහයෝගීතා හැඟීම අමතක කළ සෙයක් පෙනුණි.
2015 ජනවාරි 8 වැනි දා නැවතත් ජනාධිපතිවරයෙකු වෙනස් කර ගැනීම සඳහා මුළු රට එක් වුණි. ඔව්, දැන් ජනාධිපතිවරණයත් අවසන් ය. පාර්ලිමේන්තු මැතිවරණයත් අවසන් ය. ජනාධිපතිවරණයේදී, ජාති භාෂා ආගම් සහ දෘෂ්ටිවාදී වෙනස්කම් පසෙක ලා ගොඩනැගුණු සන්ධානයක ආධාරයෙන් ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සියයට 51.28 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන විට ඔහුගේ ප්රතිවාදීයා වූ හිටපු ජනාධිපතිවරයාට ලබාගත හැකි වුයේ සියයට 47.58 පමණි.
පොදු අපේක්ෂක සිරිසේන තම ඡන්ද ප්‍රතිශතයෙන් වැඩිම ජයග්‍රහණයක් අත්කර ගත්තේ දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වලින් බව ඇත්ත. එසේ වතුදු, දකුණු පළාත හැරුණු කොට අනිත් සෑම පළාතකදීම මහින්ද රාජපක්ෂට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ලබා ගත්තේය. සියල්ලන්වම පුදුමයට පත්කරමින්, මුළු ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථමයෙන්ම හිටපු ජනාධිපතිවරයා පරාජය භාර ගත්තේය. තමන්ගේ විධායක බලය පාවිච්චි කරමින් හෝ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කොට ඡන්ද ප්‍රතිඵල විකෘති කරමින් හිටපු ජනාධිපතිවරයා දිගටම බලයේ සිටීමට මානබලතියි බොහෝ දෙනා සැක කළහ. හිටපු ජනාධිපතිවරයාගේ පරාජය සහ පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය ඇතැම් රාජපක්ෂවාදීන් අර්ථ ගැන්වූයේ විදේශ බලවේග සහ එන්.ජී. ඕ. කුමන්ත්රණයක ප්‍රතිඵලයක් වශයෙනි.
මොවුන්ට අනුව, බහුතර ප්‍රජාවෙන් විශාල පිරිස, එනම් සිංහලයන්ගෙන් විශාල පිරිස ඡන්දය පාවිච්චි කෙළේ මහින්ද රාජපක්ෂ වෙනුවෙනි. ඔවුන් කියන පරිදි, සුළුතර ජනතාව සහ බටහිර බලවේග එක් වී මහින්ද රාජපක්ෂව පැරැද්දුවේය. මෙහිදී මොවුන් අමතක කරන එක කාරණයක් තිබේ. එනම්, තමාගේ පරාජය මහින්ද රාජපක්ෂ විසින්ම ඇති කරගත් පරාජයක් බවයි. ජනාධිපතිවරණයට නියමිත කාලයට අවුරුදු දෙකකට කලින් එම මැතිවරණය කැඳවූයේ ඔහුම බව මොවුහූ අමතක කරති. ඒ දක්වා තමාගේ සෙසු ප්‍රතිවාදීන්ට ඉදිරියෙන් සිටි මහින්ද රාජපක්ෂ, එතැන් පටන් ඔහුගේ පැත්තෙන් දිග හැරුණු ව්‍යසනකාරී සිදුවීම් මාලාවට මුල පුරන්නේ, එසේ නියමිත කාලයට කලින් මැතිවරණය කැඳවීමේ පටන් ය. ඔහුගේ පාලන සමය තුළ සත්තකින්ම පැවති දූෂණය, පවුල් කොල්ලය සහ ඥාති සංග්‍රහය සේම, දණ්ඩමුක්තිය රජ කළ සංස්කෘතියත්, ජාතිවාදී දේශපාලනයත් ඊට මහත් තල්ලූවක් විය. සිංහල ජනතාව අති බහුතරයක් වෙසෙන පෙදෙස්වල මහින්ද රාජපක්ෂට ලබාගත හැකි වුණේ, මෛත්‍රීපාල සිරිසේනට වඩා සියයට 2 ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් පමණි. මුළු ඡන්ද ප්‍රතිඵලයට අනුව, දකුණේ සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල රාජපක්ෂට ලබාගත හැකි වුණේ සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් වීමෙන් පෙන්නුම් කරන්නේ, සිංහල පෙදෙස්වලම ජනතාවගෙන් සියයට 49 ක්ම ඔහුව ප්‍රතික්ෂේප කළ බවයි. මෛත්‍රිපාල සිරිසේන දිනුවේ හුදෙක් දෙමළ ඡන්දයෙන්ය යන්න බොරුවක් වන්නේ එබැවිනි.
ඔහුගේම අවාසනාවට, ඔහු වටේ සිටි හෙංචයියන්ගේ කතාවලට ඔහු රැවටුණි. ඔවුහූ සැබෑ තත්වය වසං කළහ. සිංහලයන්ගේ අසහාය නායකයා වන්නේ ඔහුම පමණක් බව ඔවුහූ කියා සිටියහ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බළල් අතක් වන ද්‍රෝහී දේශීය බලවේගවලින් සිංහල ජාතිය බේරා ගැනීමේ එකම නායකයා ඔහු වන බව ඔවුහූ ඔහුට ඒත්තු ගැන්වූහ. අනතුරුව, එම පරාජයෙන් පසුවත්, නැවත වරක් තම හෙංචයියන් දුන් ලනුව කෑමෙන් හෝ තම ප්‍රතිවාදින්ගේ පිළ පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළහොත් තමාගේ ධුර කාල දෙක අතරේ සිදුවී යැයි කියන යුද අපරාධ ඇතුළු විවිධ චෝදනා විභාගයට ගැනීමේ අවදානම ඇතැයි සිතා පාර්ලිමේන්තු මැතිවරණය සඳහාත් ඔහු ඉදිරිපත් වුණි. එහිදීත් නැවත වරක් ඔහු පරාජයට පත්වීම පුදුමයක් නොවේ.
අළුත් ආණ්ඩුව බලයට පත්වුණේ පුළුල් වේදිකාවකිනි. හමුදාව විසින් එතෙක් අත්පත් කරගෙන සිටි යාපනනේ දෙමළ ජාතිකයන්ට හිමි ඉඩම් නැවත ඒවායේ නිසි හිමිකරුවන් වෙත පවරන්නේය යන්න ඔවුන් දුන් ප්‍රධාන පොරොන්දුවකි. මෙය සංහිඳියා ක්‍රියාවලිය සඳහා වන යහපත් ආරම්භයක් වශයෙන් දෙමළ ජනතාව භාර ගත්හ. එසේම ජාතීන් දෙක අතරේ විශ්වාසය ගොඩනැගීමේ ඉතා වැදගත් පියවරක් වශයෙන් ද ඔවුහූ එය භාර ගත්හ.
ප්ලොට් සංවිධානයේ නායකයා වන, දෙමළ ජාතික සන්ධානයේ යාපනේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඞී. සිද්ධාර්තන් කියන පරිදි, නව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු, එතෙක් දෙමළ ජනතාව පෙලූ භීතිකාව එම ජනතාව අතරින් තුරන්ව තිබේ. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය ත්රස්තවාදයට යටත්ව සිටි ජනතාවකට තමන්ගේ ඉඩකඩම් නව ආණ්ඩුව යටතේ නැවත ලැබීම සැළකුණේ ජනාධිපතිවරයාගේ යහපත් අභිමතයක ලක්ෂණයක් වශයෙනි. කෙසේ වෙතත්, ‘භීෂණයට එරෙහි’ යුද්ධයේ ලාංකීය මාදිලිය ක්‍රියාත්මක වීම හේතුවෙන් තම දරුවන් සහ දෙමාපියන් අහිමි වූ හෝ ඔවුන්ව රඳවාගෙන ඉන්නා තැනක් හෝ නොදන්නා ජනතාවගේ දුක තුනී කිරීමක්ද අවශ්‍ය කරන බව ඔහු පෙන්වා දුනි.
‘‘මේ පිරිස් අත්අඩංගුවේ සිටී නම්, එක්කෝ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කළ යුතුය. නැත්නම්, නිදහස් කළ යුතුය. ඔවුන් මියගොස් ඇත්නම්, ඒ ගැන දැන ගැනීමේ අයිතියක් එම පවුල්වල සාමාජිකයන්ට තිබේ.’’ යැයි ඔහු අවධාරණය කරයි. ‘‘මගේ අදහස අනුව, රනිල් වික්‍රමසිංහ දෙමළ ජනතාව ඉදිරියේ සිටින හොඳම අපේක්ෂකයා වනවා සේම, අගමැති තනතුරටද වැඩිම සුදුස්සා වන්නේය. දෙමළ ජනතාව මුහුණදෙන ප්‍රශ්න රාශියකි. උදාහරණයක් වශයෙන්, අවතැන් වූ විශාල ජනකායක් නැවත පදිංචි කැරැවිය යුතුව තිබේ. කෙසේ වෙතත්, දෙමළ ජනතාව අපේක්ෂා කරන පරිදි බලය බෙදීමක් මේ රජයෙන් ඇති වෙතැයි අපේක්ෂා නොකරන බවත්’’ ඔහු තවදුරටත් කීවේය.
අවධානය යොමු කළ යුතු තවත් වැදගත් ක්ෂේත්රයක් වන්නේ, උතුරේ සිටින කාන්තා ගෘහ මූලිකත්වය යටතේ පවතින පවුල් ය. ඔවුන් සම්බන්ධයෙන් මේ දක්වා වැඩිමනත් දෙයක් කෙරී නැත. වෙළඳ පොල ඉලක්ක කරගත් සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය වැනි අංශ හරහා මෙවැනි කාන්තාවන් ගෘහ මූලිකත්වය දරණ පවුල්වලට සහායක් විය හැකිය.
විපක්ෂ නායක ධුරයට ආර්. සම්බන්දන්ව පත්කිරීමත්, දෙමළ සහ සිංහල ජනතාව අතර වන ජාතික සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා ඉතා වැදගත් පියවරක් වන බව සිද්ධාර්ථන් පෙන්වා දුනි. ඒ මගින්, දෙමළ ජනතාව කෙරෙහි පාලකයන් තුළ එතෙක් තිබූ ආකල්පයේ වෙනසක් පෙන්නුම් කරන බව ඔහු කියයි.
තවත් කළ යුතු කාර්යයන් බොහොමයක් තිබේ. බලයට පත්වීමට පෙර ජනාධිපතිවරයා සහ නව ආණ්ඩුව දුන් පොරොන්දු අතර ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ සම්මත කර ගැනීම වැදගත් ස්ථානයක් ගනී. ඒ සම්බන්ධයෙන් මේ දක්වා වැඩිමනත් දෙයක් කෙරී නැත. යම් ආකාරයකින් මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර අවබෝධයක් ඇති විය හැකි බවත්, ඒ හරහා මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ සමීපතමයන්ට එරෙහිව ඇති දූෂණය, පැහැරගෙන යාම් සහ සම්පත් අපහරණයන් වැනි චෝදනා පිළිබඳ පරීක්ෂණ යටපත් විය හැකි බවටත් බරපතල සැකයක් ජනතාව අතර තිබේ.
‘අවොන් ගාද්’ සිද්ධිය සම්බන්ධයෙන් කෙරීගෙන යමින් තිබූ මහේස්ත්‍රාත් පරීක්ෂණ ඉවතලෑමට නීතිපතිවරයා ගත් තීරණයත්, එල්.ටී.ටී.ඊ. හිටපු නායක කේ.පී. ට එරෙහිව සාක්ෂි කිසිවක් නැතැයි නීතිපතිවරයා කළ ප්‍රකාශයත්, වසීම් තාජුඞීන් ඝාතනය කළ බවට සාක්ෂි නැති බවට හිටිහැටියේම හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ප්‍රකාශ කොට සිටීමත් නිසා, ශ්‍රී ලංකා රාජ්‍යය තුළ යම් මගඩියක් සිදුවෙමින් ඇති බවක් පෙනෙන්ට තිබේ.
එහෙත් ‘ජාතික සාම මණ්ඩලයේ’ සභාපතිවරයා සහ යුද්ධ කාලයේ පවා සාමය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු වන ජෙහාන් පෙරේරා කියන පරිදි, වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිසැකවම මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා කටයුතු කරනු ඇත. ‘‘දින 100 වැඩ සටහන තුළ අගමැති රනිල් වික්‍රමසිංහට වැඩ කිරීමට සිදු වුණේ මහත් දුෂ්කරතා මධ්‍යයේ. මොකද, එදා ඔහු යටතේ තිබුණේ සුළුතර ආණ්ඩුවක්. ඒ තත්වය තුළ අත්කර ගත හැකි වු අවම දේවල් පවා එදා අප ලද විශාල ජයග්‍රහණයක්’’ යැයි ඔහු කියයි. සුළු ජාතික ප්රශ්නය ගැන තමන්ගේ ස්ථාවරය මොන ආකාරයකින්වත් අගමැතිවරයා වෙනස් කොට නැති බවත් මේ අතර ඔහු පෙන්වා දෙයි. ‘‘ස්වාධීන කොමිෂන් සභා නොපමාව පත්කරන බවට මට කිසි සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ, ක්‍රමානුකූලව වැඩ කරන පුද්ගලයෙක්. ඔහු එකී ස්වාධීන කොමිෂන් සභා නොපමාව පත්කරාවි. ඒ සඳහා සාධාරණ කාලයක් අප ඔහුට ලබා දිය යුතුයි.’’
ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණය අවසන් වීමත් සමගම, මුස්ලිම් ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි වූ බව, ප්‍රධාන පෙළේ ක්‍රියාධරයෙකු සහ හිටපු තානාපතිවරයෙකු වන ජාවිඞ් යූස්ෆ් කියයි. ‘‘2012 විතර ඉඳං මුස්ලිම් ජනතාව ඉලක්ක කොට ඔවුන්ව ප්‍රහාරයට ලක්කෙරුණා. ඒකෙන් ඒ ජනතාව අතරේ ඇති වුණේ, අනාරක්ෂාව සහ පිටස්තර ගතියක්. ඒ වගේ තත්වයක් නැවත ඇති නොවන බවට විශ්වාසයක් ඒ ජනතාව තුළ ඇති කිරීමට සංයුක්ත පියවර ගත යුතු’’ බව ඔහු කියයි. ‘අලූත්ගම වෙච්ච සිදුවීම්වලදී පොලීසියට සහ හමුදාවට පුලූවන් වුණේ නැහැ ඒවා නවත්තන්න. ඒ නිසා, ජාතික සහ ආගමික ප්‍රශ්න ඇති වෙන කොට, ඒවා මුල් කාලෙදීම නතර කරගන්න පුලූවන් වෙන විදිහේ ක්‍රමවේද සකස් කරගන්න ඕනේ. මේ රටේ ජනතාව තමන්ගේ විනිශ්චය දැන් දීලා තියෙනවා. ඒක කළේ ඡන්දය හරහා. පැවති ආණ්ඩුව කළ අන්තවාදී ක්‍රියා ඔවුන් ඒ මගින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.’’
එහෙත් බලධාරීන් දුන් පොරොන්දු ගැන ඔවුන් ඇත්තෙන්ම දැන් දැනුවත්ද? උදාහරණයක් වශයෙන්, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව දියත් කළ යුද්ධයේ අවසන් අදියරේදී සිදුවී යැයි කියන ‘‘සීමාන්තික කි‍්‍රයා’’ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පවත්වන බවට දුන් පොරොන්දුව වෙනුවෙන් දැන් ඔවුන් පෙනී සිටින්නේද? එවැන්නක් ගැන දැන් කිසිවෙකුගේ උනන්දුවක් නැති සෙයකි.
එවැනි විමර්ශනයක් පැවැත්වෙතොත්, එය අවසරයට ගෙන සිංහල ජාතිකවාදය අවුස්සා යළිත් මහින්ද රාජපක්ෂ බලයට ඒමට ඉඩ ඇතැයි වර්තමාන ආණ්ඩුවේ ඇතැම්හු සිතති. එසේම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවන්ද එවැන්නකට එකඟ නැත. ඔවුන් එවැන්නක් හඳුන්වන්නේ හුදු දඩයමක් වශයෙනි.
අනිත් අතට, සිංහල ජනතාවගෙන් බහුතරයක්ද එවැන්නකට එකඟ නැති අතර මහින්ද රාජපක්ෂව ඔවුන් තවමත් සළකන්නේ යුද වීරයෙකු වශයෙනි. ඊටත් වඩා, දේශීය විමර්ශනයක් ගැන දෙමළ ජනතාවට කිසි විශ්වාසයක්ද නැත. එවැනි දේශීය විමර්ශනයක් පැවැත්වෙතොත් එය සිදුවනු ඇත්තේ, හුදෙක් ජාත්‍යන්තරය සතුටු කිරීම සඳහා පමණි.
කෙසේ වෙතත්, රටේ ජනතාව පැහැදිළි තීන්දුවක් දී තිබේ. ඒ අනුව වර්තමාන පාලකයන් කටයුතු නොකළොත්, ඡන්දය උණ්ඩයට යට වීමේ අවදානම තිබේ. ඒ නිසා, මේ අවස්ථාවේ සමාජයම ඇස් ඇරගෙන සිටිය යුතුය. ඡන්දයට කලින් දුන් පොරොන්දු හිස් වචන මාලාවක් පමණක් නොවන තැනට වගබලාගත යුතුය.
ෂර්ලි කන්දප්පා
*2015 සැප්තැම්බර් 12 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ After the Elections Another Case of Empty Promises or A Genuin Turn-Around? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි