ලංකාවේ යුදමය වකවානුවේදී අන්තර්ජාතික මාණුෂවාදී නීතිය, අන්තර්ජාතික මානව හිමිකම් නීතින් කඩවීම් පිළිබදව සහ යුද අපරාධ සම්බන්ධව ඉදිරිපත් ව ඇති වාර්තාව අද(30) ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ දී විවාදයට ගැනීමට නියමිතය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමග එක්සත් රාජධානිය, මැසිඩෝනියාව සහ මොන්ට්‍රිනීගෝ රාජ්‍යයන් විසින් ඒකාබද්ධව එම යෝජනාව ඉදිරිපත් කළේ පසුගිය 24වනදාය. එහි දී දේශීය යාන්ත්‍රයණය පිළිබද වැඩි අවධානයක් යොමුවන ඇතැයි ද සහ එම ඡන්ද වීමසීමේ දී පසුගිය කාලයේ ලංකාවට එරෙහිව ඡන්දය භාවිතා කළ රටවල් බොහොමයක් මෙම යෝජනාවට පක්ෂව සහය පළ කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් ජිනීවා මානම හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්ධයෙන් යෝජනා ගෙන එනු ලැබූ මොහොතේ සිට ලංකාවේ නායකයන් ගේ ප්‍රකාශ උපුටා දක්වමින් ලංකාව් මාධ්‍ය අපුරු සිරස්තලයන් සිය මාධ්‍ය තුළ ප්‍රාශ කරන්නට විය. එපමණක් ද නොවේ එයට අදාල ප්‍රවෘත්ති තුළද ඒ අදහස මතු කරන්නට විය. එනම්, ‘ලංකාවට වාසිදායක ලෙස‘ | ජීනීවා වාර්තාව එදා ආවානම් රටම අමාරුවේ, එත් අද හුගක් ළිහිල්‘-ජනපති | ‘ජනවාරි 8 වෙනස නොවුවා නම් මානව හිමිකම් වාර්තාව බරපතලයි‘-ජනපති | ‘ඇමරිකානු යෝජනාව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක්‘-විදේශ ඇමති | ‘මේ වැඩපිළිවෙල නිසා මහින්දත් විදුලි පුටුවෙන් බේරෙනවා‘ – අගමැති | ‘මේක අපිට වාසියි‘.. වැනි අදාල යෝජනාවෙන් ලංකාවට ‘වාසිදායක‘ තත්ත්වයක් උදාවී ඇති බවත් එක් පැත්තකින් ප්‍රකාශ වෙයි.
අනෙක් පසින් ‘මහින්ද රාජපක්ෂ පාලනය තිබුණානම් මෙම වාර්තාව ඉතා බරපතල‘ බවත් කියැවෙයි.
ඉහත සදහන් කළ ‘මහින්ද රාජපක්ෂ පාලනය තිබුණානම්…. ‘ යන්න සැලකූ විට වත්මන් පාලකයන් ප්‍රකාශ කරන පරිදි අදාල වාර්තාව ඔවුන් පවසන පරිදි මෙයට වඩා සංකීර්ණ වන්නට තිබිණි. එය සත්‍යය. එයට හේතුවන්නා වූ කරුණු පසුගිය වසර කිහිපය තුළ ලංකාව තුළ සිහිබුද්ධියෙන් ජීවත් වූ සහ ලංකාව පිළිබද විචාරශීලී මණසකින් බලා සිටි ලංකාවෙන් පිටත සිටි ඕනෑම අයෙකුට වැටහෙනවා ඇත. ඒ පිළිබදව ඕනෑතරම් ලියැවී තිබේ. එම නිසාම ලංකාවේ පුරවැසියන් පසුගිය ජනවාරි 8දා රාජපක්ෂ රෙජීමය ගෙදර යැව්වේය.
දැන්, අනෙක් කරුණ වන ‘අපිට වාසි‘, ‘අද හුගක් ලිහිල්‘ වැනි බරතබන ප්‍රකාශයන් වත්මන් පාලකයන් විසින් සිදුකිරීම ඉතා ගැඹුරින් සිතා බැලිය යුතුයි.
ජීනිවා වාර්තාවට පදනම් වී තිබෙන කාල පරාසය වන්නේ 2002 පෙබරවාරි සිට 2011 නොවැම්බර් දක්වායි. එම කාලය තුළ සිදුවූ අපරාධ සම්බන්ධවයි.
එබැවින් ඉහත ‘අපිට වාසි‘ වැනි ප්‍රකාශ සිදුකිරීම තුළින් ප්‍රශ්ණ කිහිපයක් මතුවේ.
1. නව පාලනයක් ඇති වූ සැණින් 2002-2011 සිදු වූ අපරාධවල ප්‍රමාණයේ, එම අපරාධවල බරපතල කමේ හෝ කුමණ හෝ ලෙස එම අපරාධ වල වෙනසක් ඇති වූවාද?
2. යුද්ධයට සෘජු ලෙස ගොදුරු වූ උතුරු නැගෙණහිර මිනිසුන්ගේ ‘දේශපාලන අභිලාශයන්‘ වලට පිළිගත හැකි ක්‍රියාවළියක් කෙසේ වෙතත් ලංකාව තුළ පිළිගත හැකි ලියවිල්ලක් ඉදිරිපත් වූවාද?
3. තවත් මෙවැනි ප්‍රශ්ණ ගණනාවක් නැගිය හැකිය.
එබැවින් වර්තාවේ සදහන් කාලය තුළ සිදුවුනු අපරාධවල හෝ නීතින් උල්ලංඝනයන් වීම් වල තත්ත්වය එළෙසම තවමත් පවතී. ඒවා වෙනස් වී නොමැත.
අත්අඩංගුවට ගත් අයව ඝාතනය, රෝහල්වලට බෝම්බ දැමීම්, අත්අඩංගුවට ගත් අයට සිදුකළ කෘර වධහිංසා, හමුදාවට බාර වුනු පිරිස් අතුරුදහන් කිරීම් වැනි බොහොමයක් අපරාධයන් නැවත වෙනස් වන්නේ නැත. වෙනස් කරන්නටත් බැරිය.
අනෙක් පසින් රාජපක්ෂලා අරලියගහ මංදීරයෙන් මැදමුලනට මාරු වූ පමණින්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, පරිපාලන ආයතනවල වැනි පද්ධතීන්වල තවදුරටත් සිටින්නේ රාජපක්ෂලාට බැලමෙහෙවර කළ අයමය. එසේම පාර්ලිමේන්තුවෙත් එවැනි සැලකිය යුතු පිරිසක් සිටින්නේ ය.
තත්ත්වය එසේ තිබියදී, ‘අපිට වාසියි‘ වැනි යෙදුම් ඉතාමත් සියුම්ව කියවිය යුතුයි. මක් නිසා ද යත් මෙය වෙළද ‘ගනුදෙනුවක්‘ නොවන නිසාය. මෙය ලංකාවේම පුරවැසියන් පිරිසකගේ යුක්තිය සහ අභිලාශයන් පිළිබද ප්‍රශ්ණයක් වන නිසාය.
කියැවෙන එවැනි යෙදුම්වල අභ්‍යන්තර මනෝභාවය සකස් වී ඇත්තේ සත්‍ය ලෙසම ගොදුරුවුවන්ට යුක්තිය ඉෂ්ඨ කිරීමට තිබෙන අවංක වුවමානාව මත ද යන්න දකුණේ පත්තර පිටු අතර සිරස්තල මෙන්ම රාජ්‍ය නායකයින් මාධ්‍ය ඔස්සේ පවසන දේවල් දැකීමෙන් කිසියම් සැකයන් වර්ධනය වෙයි.
එයින් කියැවෙන්නේ, යුද්ධයේ සෘජු ගොදුරු බවට පත්කරන ලද දෙමළ මිනිසාගේ යුක්තියට වඩා, එම යුක්තිය ඉටු කිරීමට යාමේදී, රටක් ලෙස මුහුණ දීමට තිබෙන අභියෝගයන්, විශේෂයෙන් ජාත්‍යන්තර යාන්ත්‍රනයන්වලට ඇති ‘දේශීය බිය‘ නිසා අදාල යෝජනාවන් වල භාෂාව වෙනස් කිරීමෙන් හෝ වාසි සහගත තත්ත්වයකට හරවා ගෙන ‘අපට දැන් වාසියි‘ කියනු පෙනේ.
දකුණේ ආණ්ඩු එසේ සිතීම සහ එසේ ක්‍රියාකිරීම පුදුමයට කරුණක් නොවේ. මක්නිසා ද යත් යුද්ධය කෙසේ හෝ ජයග්‍රණය කරවීම සදහා සිරිසේන ජනාධිපතිවරයා එදා ඇමතිවරයා ව සිටියදී රාජපක්ෂ සමග යුද්ධය සදහා අත්වැල් බැදගත්තේ ඊනියා මානුෂික මෙහෙයුම යන නමට මුවා වී ගෙනය. අගමැතිවරයා එදා විපක්ෂනායකවරයා ව සිටියදී යුද්ධය ට විරුද්ධ නොවී සිටි අයම වෙති. එසේම ජනතා විමුක්ති පෙරමුණු ඇතුලු පක්ෂත් එදා රණවිරුවන්ට මල්මාලා පළදවා ‘යුද්ධය හරියට සිදුකරනා හැටි‘ රාජපක්ෂට කියා දුන්නේ ය. ඒ සියලු කාරණා පිළිබද ඔවුන්ගේ විග්‍රයන් දැන් යම් පමණකට වෙනස් වී ඇතත් සිදුවූ අපරාධය ආපසු හැරවිය නොහැකිය. එබැවින් එහි ප්‍රතිඵල දැන් ජාත්‍යන්තරකරනය වී තත්ත්වය බරපතල වූ හෙයින් ඔවුන් සියලු දෙනාට දැන් අවශ්‍ය ව ඇත්තේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් තොරව මෙය ගොඩින් බේරා ගැනීමටය.
ගොඩින් බේරා ගැනීමට යාමේ දී ඔවුන්ට වැදගත් වන්නේ රටේ සිය ඡන්ද පදනම මිස ගොදුරුවුවන්ගේ යුක්තිය නොවන බව ආණ්ඩු පාර්ශවයෙන්(මෛත්‍රී-රනිල්) සිදුකරමින් සිටින ප්‍රකාශ වල අරුත්ගැන් වී තිබේ. නමුත් එම අපරාධ සෙවීම සදහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් එල්ල කරනු ලැබූ පීඩනය හමුවේ, ගොදුරු වූවන්ට යුක්තිය ලබා දීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට ඔවුන්ට බලකරමින් තිබේ.
එහෙයින් දැන් සිදුවන්නේ රාජපක්ෂ පාලනයේ මුග්ධ බව වෙනුවට සහ එහි ප්‍රජාතන්ත්‍රවිරෝධී බවට සාපේක්ෂව ‘යහපාලනය‘ සහ ප්‍රජාතාන්ත්‍රික ලෙස යුක්තිය ඉටු කිරීමට ‘දේශීය වීමේ‘ උපාය යි.
නමුත් ඒ ‘දේශීය වීමේ‘ උපාය තුල ගොදුරුවූවන්ට යුක්තිය ලබා දීමේ ලංකාව යෝජනා කරමින් සිටන ක්‍රියාවලීන් තුළ එයට ‘අවංක වීමේ තත්ත්වයක්‘ පාලකයන්ගේ ප්‍රකාශයන්ගෙන් තවමත් පැහැදිලි වන්නේ නැත.(එය දකුණ කළමනාකරණය කිරීමට යැයි ඇතැම් අය පවසයි. නමුත් වසර ගණනාවක් යුක්තිය ඉල්ලා සිටින දෙමළ මිනිසාට එම කළමණාකරනය වැදගත්වන අයුරු ඔවුන් පහදන්නේ නැත.) නමුත් දේශීය යාන්ත්‍රණයක් ගැන සාකච්ඡාවේදීත් මතුවන ‘ලංකාවට වාසි‘ වැනි ‘ගනුදෙනු ශෛලිය‘ වෙනුවට ඇත්ත,අවංක වුවමනාවක් පාලකයන් තුළ ඇති කර ගැනීම දෙමළ ජනයාට පමණක් නොව, දෙමළ නොවන ජනයාටත් ඉදිරියේදී දේශපාලනමය යහපත් තත්ත්වයක් උදාකරයි. නමුත් ඒ තත්ත්වය දෙමළ නොවන ජනයා සහ පාලකයා තවමත් තේරුම් ගෙන නැති සේයකි.
තවද වත්මන් පාලනය පුන පුනා කියන ‘වාසිය‘ තුළ ‘තුවාළය යළි යළිත් පෑරෙන්නේ‘ යුද්ධයෙන් සෘජු ලෙසම ගොදුරු බවට පත්කරන ලද දෙමළ ජනයා ගේ ය. නමුත් ඒ ‘වාසියේ‘ තාවකාලික වින්දනය, ‘ඛේදවාචකයක්‘ ලෙස නැවතත් රාජ්‍යට හමුවන දිනය, එසේ වුවහොත් වැඩි ඈතක නොවනු ඇත. එය මේ මොහොතේ වළක්වා නොගතහොත් යළි මෙවන් මොහොතක් යළි උදා නොවනු ඇත. එබැවින් ජනවාරි 8වනදා උතුරු නැගෙණහිර ජනයා විසින් සිරිසේන ජනාධිපතිවයාට ලබා දුන් ඡන්ද ප්‍රතිශතය ගැන සිතා නොව, සැබැවින්ම දෙමළ මිනිසාට ‘යුක්තිය‘ අවශ්‍ය බව අවබෝධ කර ගනිමින් ක්‍රියාකිරීම ලංකාවේ ශිෂ්ඨ සමාජයක් සදහා වැදගත් වන්නේ ය.