Image by Vikalpa
ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලි/වාර්තාවන්/නිර්දේශයන්..ආදී දේ පිළිබදව පසුගිය වසර කිහිපයේම මෙන් නොවුනත් සුපුරුදු ලෙසම දකුණේ ජාතිවාදී කල්ලි විසින් සිය සුපුරුදු විරෝධය පෙන්වීමට පටන් ගෙන තිබේ. එයට සමගාමීව ජිනීවා විරෝධී පෝස්ටර්, සම්මන්ත්‍රණ මෙන්ම ෆේස්බුක් වැනි සමාජ ජාල තුළ සිය අවිචාරවත් විරෝධය දැක්වීමේ ක්‍රම දක්වා වර්ධනය වෙමින් තිබේ.
එහීදී සෑම විටකම මෙන් ඔවුන් විසින් ගොඩනගන ප්‍රධාන ප්‍රවාදය වන්නේ අධිරාජ්‍යවාදය, බටහිර න්‍යායපත්‍රය, ඩයස්පෝරාව ආදී සුපුරුදු මන්තරයි. නමුත් ජාතිවාදී කල්ලිවල නරුම භාවිතය එය වුවත් ගැටලුව ඇත්තේ ඒ තුළ නොවේ. ඇතැම් ජාතිවාදීන් පවා එය දන්නා මුත් එය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ප්‍රවේසම් වෙයි.
ඒ වනාහී ඔවුන්ගේ පැවැත්ම රදාපවතින්නේ ඔවුන් විසින් දකුණේදී වපුරන ජාතිවාදය සහ ‘දෙමළාට විරුද්ධ වීම‘ යන්න මත නිසාය. පසුගිය කාලය පුරාම රාජපක්ෂ විසින් එම පැවැත්ම නිර්මාණය කර තිබෙන්නේ ද ඊනියා දේශප්‍රේමයෙන් සහ ඊනියා විජයග්‍රහණයෙන් හිරි වැට්ටීම තුළය. ඒ හිරිවැට්ටීම සුව කළ හැක්කේ එම හිරිවැට්ටීම සදහා භාවිතා කර ඇති ‘ඊනියා දේශප්‍රේමී එන්නත‘ වෙනුවට ‘සත්‍ය එන්නතක්‘ සමාජගත කිරීම තුළින් පමණි. ඒ වගකීම ඇත්තේ දකුණේ පුරවැසි සමාජයටය.
ජිනීවා, ඇමරිකාව සහ බටහිර යෝජනා
ලංකාව සම්බන්ධයෙන් ජිනීවා හි ඇති යෝජනා සම්බන්ධව දකුණේ ජාතිවාදීන් නගන තර්කයක් වන්නේ ඔවුන්ගේ දේශපාලන සහ ආර්ථික න්‍යාය පත්‍රවල සුජාතභාවයයි.
එය ම සැලකීමේදී ද, විශේෂයෙන් ඇමරිකාවේ හෝ බලවත් රටවල් වල විදේශ ප්‍රතිපත්තිය ගැන හෝ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවිද අදහස් එම රටවල් තුල මෙන්ම ලෝකයේ ප්‍රගතිශීලි ජනතාව අතර ද විවිද මත තිබේ. විශේෂයෙන් ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරන විට ලොව පුරා ප්‍රගතිශීලින් එයට එරෙහි විය. එසේම ඇමරිකාව හෝ බටහිර රටවල් වල දේශපාලන න්‍යාය පත්‍ර සම්බන්දව අපේ රටවල්වල සිදුකරන විවේචනවලට වඩා විවේචන එම රටවල් තුළ සිටින බුද්ධිමතුන් සහ ප්‍රගතිශීලී පුරවැසියන් විසින් මතු කරමින් තිබේ. (අඩුම තරමින් ඒවා අසන්නට යැයි අපි මතක් කරමු)
එක්සත් ජාතීන් හෝ වෙනත් රාජ්‍යන් විසින් කුමන යෝජනා ඉදිරිපත් කරනු ලැබූව ද අප විසින් ‘පළමුව‘ සාකච්ඡා කළ යුතු වන්නේ එම රටවල සහ එම සංවිධානවල සුජාතභාවය පිළිබද ව නොවේ.(එම සුජාතභාවය පමණක් ඔසවමින් සාකච්ඡා කරන අය විසින් සිදුකරනු ලබන්නේ ලංකාව තුළ ඇති ‘ඇත්ත ප්‍රශ්නය‘ සාකච්ඡා කිරීම උපායමාර්ගිකව වලක්වාලීමයි.)
ඒ ඒ රටවල හෝ සංවිධානවල ‘සුජාතභාවය‘ පළමු වැදගත් කරුණ ද නොවේ.
එය එසේ වන්නේ අප සාකච්ඡා කරනු ලබන ගැටලුව තිබෙන්නේ ඉහත මතුකරමින් සිටින ස්ථානයේ නොවන නිසාය.
ප්‍රශ්නය එයයි. ප්‍රශ්ණය ඇත්තේ අප තුළය. අපගේ අභ්‍යන්තරය තුළය. පළමුව එය විසදා ගත යුතුය.
එහිදී,
යුද්ධය සහ යුද්ධයෙන් පසු සිදුවීම් දකුණේ සමාජයට වඩා ඉතාමත් සංකීර්ණ ලෙස තවමත් අත්දකිමින් ඇත්තේ උතුරේ සහ නැගෙණහිර ජනතාවයි. ඔවුන් සෘජු ලෙසම ‘ඊනියා මානුෂික‘ මෙහෙයුම විසින් තලා දමනු ලැබූ මිනිස් ප්‍රාණින්ය. ඒ ජනතාවට දැන් ඇමරිකාව ගැන හෝ වර්තමානයේ පැවසෙන බටහිර න්‍යාය පත්‍ර වැනි දේවල් ඔවුන්ට පවසා එතරම් වැඩකට නැත.
දහස් ගණන් මිනිසුන් මත සිය රාජ්‍යයේ හමුදා බලය උපරිම ලෙස යොදා ඔවුන්ව දුහුවිල්ලක් බවට පත්කර, ඔවුන්ගේ ආත්මයන් පවා විනාශ කරමින් මහා විනාශයකට ඇද දැමූ පසුව ද ඔවුන් විසින් යුක්තිය ඉල්ලා සිටි විට ඒ වෙනුවට සුපුරුදු පරිදි බටහිර හුටපටය දිග හැර ‘වැඩක් නැති බව‘ තවමත් දකුණ විසින් තේරුම් ගෙන නැත.
එහිදී හයිබ්‍රිඩ්, දේශීය හෝ වෙන කුමන යාන්ත්‍රණයනක් සම්බන්ධයෙන් වන සාකච්ඡාව වැදගත් වන්නේ දෙවනුවය.
එයට පෙර පළමුව,
ලංකාවේ යුද්ධයේදී සහ යුද්ධයෙන් පසුව එහි සෘජු ගොදුරු බවට පත් වූ දෙමළ ජනයා ගේ සංවේදී ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට රාජ්‍ය සූදානම්ද? නැතිද? යන්න පළමුව විසදා ගත යුතුව තිබේ. එවිට එය විසදා ගැනීම සදහා වූ යාන්ත්‍රණයකට අවශ්‍ය සුජාතභාවය ලබා ගත හැකිය.
එසේ නොමැතිව වින්දිතයාගේ හඩ යටපත්කර යාන්ත්‍රයක් පමණක් විශ්වාස කිරීමෙන් බලාපොරොත්තු වන යුක්තිය ලගා කර ගැනීම දූෂ්කර වනවා පමණක් නොව එය කිසිවිටකත් ‘යුක්ති සහගත‘ ද නොවන්නේය.
අනික් පසින් එක්සත් ජාතීන්ගේ යෝජනා හෝ එවැනි ජාත්‍යන්තර යෝජනා ප්‍රතික්ෂේප කිරීමටත් හෝ ඒවා ආණ්ඩුවේ ස්වකැමැත්ත අනුව සකස් කර ලංකාව තුළ සාකච්ඡා කිරීමටත් අවශ්‍ය ‘අභ්‍යන්තර සදාචාරභාවය‘ අප පෙන්වා තිබේද? නැත.
අප පසුගිය කාලය පුරාම ක්‍රියාකරන ලද්දේ කිසිදු ශිෂ්ඨ සම්පන්න භාවයකින් නොවේ.
එබැවින් අප එම ප්‍රශ්ණය අරඹයා නොව, දකුණේ වෙනත් ප්‍රශ්ණ සදහා ද පෙන්වා ඇත්තේ ගෝත්‍රික තත්ත්වයන් විනා ශිෂ්ඨ සම්පන්න තත්ත්වයන් නොවේ.
උතුරෙන් එන ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාව
ලෝකයේ ඕනෑම රටක් තුළ ඇතිවූ අපරාධයකට එම රටේදී යුක්තිය නොලැබෙන විට ඒ ඒ ප්‍රජාව හෝ ඒ ජන කණ්ඩායම එයට භාහිර තිබෙන ආකෘතීන් වල සහය ලබා ගැනීමට උත්සහ කිරීම පිළිගත යුතු සත්‍යකි. එසේ කිරීමට අයිතියක් ද තිබේ.
අද ද උතුරෙන් නැගෙන්නේ එම ක්‍රියාවළියේ හඩයි. යුද්ධයෙන් වසර 6ක් සම්පූර්ණ වන විටද, අඩුම තරමේ රාජපක්ෂ ආණ්ඩුව විසින්ම ගෙන එනු ලැබූ එල්එල්ආර්සී යෝජනාවල වැදගත් දේවල් වත් ක්‍රියාත්මක කර ගැනීමට ලංකාව අපොහොසත් වන විට දිය හැකි පිළිතුරක් තිබේද?
ත්‍රස්ථවාදය වැලැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙක් තවමත් පසුවන්නේ සිර ගෙවල්වලය. ඇතැම් අය වසර 15ක්, වසර 18ක් තරම් කාලයක් සිරගෙවල් වල ය. නමුත් තවමත් ඔවුන්ට චෝදනා ගොනු කිරීමට දකුණේ පාලකයන් අපොහොසත් වී ඇත. එසේම දකුණේ දී අතුරුදහන් කළ, මරා දැමුණු මිනිසුන් ට යුක්තිය ඉෂ්ඨ කිරීමට නව පාලනය විසින් ගන්නා ඇතැම් පියවරයන්ද අතර මග ඇණහටිමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. එවැනි තත්ත්වයන් සම්බන්ධව ඕනෑතරම් උදාහරණ ලංකාවේ තිබේ. තත්ත්වය මෙසේ වන විට සමාජයකට කිසියම් පරීක්ෂණ ක්‍රියාවලියක් පිළිබදව විශ්වාසයක් තහවරු වන්නේ කෙසේද?
නව පාලනය සහ විශ්වාසය
කෙසේ නමුත් නව පාලනය විසින් යෝජිත සත්‍ය සෙවීමේ කොමිසම පිළිබද අදහස සාපේක්ෂව ප්‍රශංසනීය බව කිව යුතුය. අවශ්‍ය කරන්නේ කුමක් සිදුවුනිද යන්න ලෝකය හමුවේ තබා ගැනීමයි. එහිදී භාහිර පාර්ශවයක් විසින් නියම කරන වරදට – දඩුවමට එහා යමින් අදාල වැරදිකරු හෝ වැරදිකාර පාර්ශවය ලෝකය හමුවේ නිරාවරනය කිරීම වැදගත් වෙයි. එය වැදගත් වන්නේ අනාගතයේ යළි එවැනි අපරාධයක් ඇති නොවීමට අවශ්‍ය ශිෂ්ඨත්වයේ පදනම සකසා ගැනීමටයි.
අනෙක් පසින් යුද්ධයේදී සිදු වූ සත්‍ය දේ, සිදුවූ අපරාධ සොයාගැනීම අනාගතයේ හෝ එවැනි ‘ශිෂ්ඨ සමාජයක්‘ වෙනුවෙන් අපට ‘සිහිනයක්‘ තිබේනම් එය ඉතා වැදගත් වන්නේ ය.
යුද්ධයෙන් වසර 6කුත් ඉක්ම ගොස් අති තැන, තව දුරටත් දිනේෂ්ට, විමල්ට, වාසුට, මහින්දට ඇතුලු නරුම දේශපාලකයන්ට, විවිද තර්ක මතු කරමින් එක්සත් ජාතීන්ට හෝ ඇමරිකාවට පහරදීම සදහා තවදුරටත් හැකියාව තුළ මතු වන්නේ ඔවුන්ගේ නරුම බව මිසක් වෙනයම් දෙයක් නොවන බව ද අප වටහා ගත යුතුය. එහෙත් යුද්ධයට සෘජුවම ගොදුරුවූ දෙමළ මිනිසාගේ ප්‍රශ්ණය තව දුරටත් ඉන් විසදෙන්නේ නැති බව ඔවුන් අවබෝධ කර නොගත්තත්, මේරටේ පුරවැසියන් එය අවබෝධ කර ගත යුතුය. එය සරලවම සටහන් කරතොත් ‘ඇමරිකාවට තැලුවාට අපේ තුවාල සුව වන්නේ නැත.‘
අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අදාල ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් කුමන විග්‍රහයන් ඉදිරිපත් කළ ද ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ යුද්ධයේ සෘජු ගොදුරු බවට පත්කරනු ලැබූ උතුරු නැගෙණහිර ජනයා සමග අදාළ පරීක්ෂණයන් සම්බන්ධයෙන් ‘අවංක සම්බන්ධතාවයක්‘ ඇති කර ගැනීම යි.
අනෙක් පසින් දේශීය යාන්ත්‍රනයක් සම්බන්ධයෙන් උතුරු නැගෙණහිර ජනතාව තුළ සුලු හෝ විශ්වාසයක් ඇති වන පරිදි ආණ්ඩුව කටයුතු කළේ නැත. මහකොමසාරිස් නවී පිල්ලේ ගේ ලංකා සංචාරයේදී ඇය හමුවී සිය ගැටලු ඉදිරිපත්කල දෙමළ වැසියන්ට සිය මිලිටරිය යොදා තර්ජනය කිරීමට තරම් පැවති ආණ්ඩුව කටයුතු කිරීම අද ලොව හමුවේ රහසක් නොවේ.
අද නව පාලනයක් තිබුණ ද තවම අධිකරණ පද්ධතියේ සිටිනේනේ මහින්ද රාජපක්ෂ විසින් තමන්ගේ බල ව්‍යාපෘතියේ ඕනෑ එපාකම්වලට පත්කරන ලද පුද්ගලයන් සහ විශේෂයෙන් අපචාර චෝදනාවලට පවා ලක් වූ අය බව ලියුම්කරු සමග කීවේ වත්මන් පාලනයේ ප්‍රභල නියෝජිතයෙකි.
එබැවින් සෘජුවම ගොදුරුවූවන්ට ‘සවන් නොදී‘ දේශීය…දේශීය යන්න කොතරම් කිව්වත් වැඩක් වන්නේ නැත.
එසේම යුක්තිය ඉල්ලා සිටින්නේ රටතුල සිදුකළ අපරාධයක් සම්බන්ධයෙනි. ඒ එකම රටේ සහෝදර පුරවැසියන් පිරිසක් සම්බන්ධයෙනි. එහි දී දේශීය පරීක්ෂණයකට වඩා ඉන් එහා ගිය ජාත්‍යන්තර තත්ත්වයේ පරීක්ෂණයක් අවශ්‍ය යැයි කියනු ලබන්නේ පෙර කී පරිදි වසර ගණනාවක් යුද්ධයේ සෘජු ගොදුරු බවට පත්කරන ලද ලංකාවේ ම පුරවැසියන් නිසා ඔවුන්ගේ හඩට දකුණේ දේශපාලනය විසින් ‘සංවේදී‘ බවක් දැක්විය යුතුම වන්නේ ය. ඒ ඔවුන් ඉදිරිපත් කරන්නේ ‘සාධාරණ සහ යුක්ති සහගත හඩක්‘ නිසාය.
එමනිසා මේ ගැටලුව සම්බන්ධයෙන් එම ‘දෙමළ මිනිසාගේ ඇසින් බැලීමට‘ අපට පුලුවන් විය යුතුය. එසේ නැතිව ඒක පාර්ශවීය ලෙස ලෝකයේ තිබෙන හොදම යාන්ත්‍රණය දේශීය එකක් ලෙස ලංකාවේ රෝපණය කළත් බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිඵලය ලැබෙන්නේ නැත. එසේම විසදුම් යාන්ත්‍රණය පිළිබද සම්මුතියකට පළමුව ‘ප්‍රශ්ණයේ යුක්ති සහගත බව‘ පිළිබද දකුණේ සම්මුතියකට එළබීම ද අද දවසේ දකුණට දේශපාලනිකව ද වැදගත් වන්නේ ය. නමුත් තවමත් ඒ පිළිබද සේයාවක් වත් දක්නට නැත.