මා ජීවත් වන්නේ මෙරට ජනයාගේ අයිතිවාසිකම් සුරැකීමට බැදී සිටින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉතා ආසන්න ගමක ය. මගේ නිවසට යාබද නිවෙස් ගණනාවක්ම තිබේ. ඒවා පිහිටා ඇත්තේ එකිනෙකට සමීපව ය. ඉන් නිවෙස් හතරකම දරුවන් නිතිපතා දෙමාපියන් අතින් කායික දඬුවමට ලක්වනු මම සියැසින් ම දකිමි. මේ දරුවන් කුඩා එවුන්ම නොවේ. පාසල්හි දෙක, තුන සම නමය වසර වල ඉගෙනුම ලබන විවිධ වයස් කාණ්ඩ වල ගැහැණු සහ පිරිමි දරුවෝ ය . දෙමාපියන් ඇතුළු වෙනත් වැඩිහිටියන්ගේ අකටයුතුකම් නිසා මිටත් වඩා අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු වූ දරුවන් රැසකගේ අත්දැකීම් වසර 25 ක ගුරු සේවය තුල මම අත්දැක ඇත්තෙමි.
සියලු ජන හදවත් සසල කරමින් පසුගිය මාස කිහිපය තුල උතුරේ විද්‍යා දැරියගේත්, දකුණේ සේයා දැරියගේත් අමානුෂික ඝාතන සමග දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මුළු රටෙහිම මහත් ආන්දෝලනයක් ඇති විය. සෑමවිටකම වූ පරිදි දැන් එය පසුබිමට තල්ලු වී තිබේ.
පසුගිය ඔක්තෝබර් මස පළ වන දා ලෝක ළමා දිනය අරමුණු කොට ගනිමින් රට පුරා විවිධ වැඩ සටහන්, තරඟ සහ දරුවන් ඇගයීම් ක්‍රියාත්මක විය. එම උත්සව වලදී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට රටේ විවිධ නායකයින් ශපථ කරනු දක්නට ලැබුණි.
සේයා දැරියගේ ඝාතනයෙන් පසුව එල්ලුම් ගස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් විවිධ නගරයන්හි ජනතාව වීදි බැස උද්ඝෝෂණ කළහ. සමහර දේශපාලඥයන් පවා එම මරණ දඩුවම් පෙරමුණේ සිටියහ. එල්ලුම් ගහ ක්‍රියාත්මක කල යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ ද තරුණ මන්ත්‍රිවරියක් වූ හිරුණිකා පේමචන්ද්‍ර ය.
ඒ වන විට සේයා ඝාතනයට පොලිසීය වරදකරුකොට තිබුණේ දිනේශ් ප්‍රියශාන්ත ය. ඔහුගෙන් සේයා දැරිය ඝාතනය කළ ආකාරය ගැන කට උත්තරයක් ද ලබා ගෙන තිබුණි. DNA ජාන පරීක්ෂාව කියා දෙයක් නොතිබූ කාලයක නම් දිනේශ් ප්‍රියශාන්ත පොලීසිය සහ වළං කඩයට පැන්න ගොනා සේ කෑ ගැසූ ජනමාධ්‍යකරුවන් කිහිප දෙනෛකු එක්ව එල්ලුම් ගස් යවන්නටත් තිබුණි.
සේයා දැරිය හෝ විද්‍යා හෝ ඝාතනය පිළිබඳ සමාජයේ ඇතිවිය යුතුවූ සාකච්ජාව එල්ලුම් ගස් යැවිමේ උද්වේගකර ඝෝෂාව නිසා මැකී ගියේදැයි විමසා බැලීම වැදගත් ය. මන්ද යත් අප පිළියම් කළ යුත්තේ පලයට නොව හේතුවට බව අප කව්රුත් දන්නා නිසාය.
එල්ලුම් ගස ක්‍රියාත්මක කල පමණින් හෝ නීති පැනවීමෙන් පමණක් හෝ රජයකට පමණක් හෝ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාදාමය වලක්වා ගත නොහැකිය. රජයකට වැඩි වගකීමක් පැවරෙන බව සැබෑය. නමුත් යළි යළි මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා සිදු නොවීමට සමාජයක් වශයෙන් කළ යුත්තේ කුමක්දැයි යන සාකච්ජාව වඩා වැදගත්ය.
අප කතා කරන්නේ 2500 වසරක ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැනය. නමුත් එම ඉතිහාසයේ මුදුන් මල්කඩක් වන අනුරාධපුරයේ විශේෂ මහාධිකරණෙයෙහි මෑතදී පවරා ඇති අලුත්ම නඩු 25කින් වැඩි සංඛ්‍යාවක්, තාත්තා , බාප්පා සහ මාමා විසින් දරුවන් අපයෝජනය කිරීමේ සිද්ධි වලට අදාල ඒවා බව ප්‍රකාශ කරන්නේ විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මියයි. එමෙන්ම මෙකී ළමා අපයෝජන සිද්ධි වැඩි වශයෙන් වාර්තා වන්නේ නාගරික ප්‍රදේශ වලට වඩා දේශීය සංස්කකෘතිය සුරුකී ඇති බව කියන ග්‍රාමීය ප්‍රදේශ වලිනි.
මහාධිකරණ විනිසුරුවරිය පෙන්වා දෙන්නේ දෙමාපියන්ගේ නූගත් කම, ශ්‍රම අවශ්‍යතා මත දරුවන් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීම, අඩු වයස් විවාහ, සැළසුම් නොකළ දරු උපත් සහ දිළිදුකමයි මෙම තත්වයට ප්‍රධාන හේතුව බවයි. සිය දරුවන් සීයා හෝ ආච්චී ළඟ තබා මව්වරුන් දසදහස් ගණනින් ගෘහ සේවිකා වෘත්තිය සඳහා මැද පෙරදිග යාම, වර්ධනය වන වානිජමය අගැයීම් නිසා සමාජීය සහයෝගිතා බිඳවැටීම වැනි කරුණු ද මෙවැනි අපයෝජනයන්ට හේතු වී තිබේ.
දරුවන් ලිංගික අපයෝජනයන්ට ලක්වීම අප සමාජයේ බහුල වශයෙන් සිදුවන බව සේයා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමට බොහෝ පෙර මෙරට ළමා අයිතින් පිළබඳ විශේඥයින් විසින් පෙන්වා දී තිබේ. ඉන් බොහෝ අවස්ථා වාර්තා වන්නේ නැත. ළමා ලිංගික අපයෝජනය යනු එක අතකට සමාජයේ ලිංගිකත්වය පිළිබඳ ඇති විකෘත්තියකි. අනෙක් අතට දරුවන්ට සමානයින් ලෙස නොසළකන දරුවන්ගේ අයිතීන් නොසළකන සමාජ පැවැත්මක විපාකයකි.
අප සමාජය පුරා ඔඩු දුවා ඇතිමෙම ප්‍රශ්ණය මතුපිටට ගෙන සාකච්ජා කිරිමට අප සමාජය අකැමැතිය. සූදානමක් නැත. මේ වනාහී හුදෙක් ලිංගිකත්වයට අදාළ ප්‍රශ්ණයක්ම නොව දරුවන් සම්බන්ධයෙන් අපේ සමස්ත අකල්පයමය සම්බන්ධ ප්‍රශ්ණයකි.
කතෝලික ආගමික සංස්ථාවන් තුල සිදුව ඇති ළමා අපයෝජනයන් පිළිබඳව දැන් කාලයක පටන්ම පුළුල් සාකච්ජාවක් ලොව පුරා ඇතිව තිබේ. එනමුත් එම සාකච්ජාව ශ්‍රී ලංකාවේ කතෝලික සභාව තුළ තවම ඇති වී නැත.
ඊටත් වඩා බෞද්ධ ආගමික සංස්ථාවන් තුල ළමා අපයෝජනයන් බහුලව සිදුවන බව අප දන්නා නමුත් අප කිසිවකු ඒ ගැන කටක් ඇර කතා කරන්නේ නැත. මැත සමාජ ජාලා අතර වයිරසයක් මෙන් පැතිර සිය මව අවශ්‍ය බව කියමින් හඩා වැළපෙන මහණ කරන ලද ලාබාල දරුවකුට වැඩිහිටි සාමණේර නමක් විසින් අතවර කරන කෙටි වීඩියෝව ඊට නිදසුනකි. එම සිදුවීම ඉක්මනින්ම වසා දමනු ලැබුණි. එය අන්තර් ජාලයේම සිරවුණි.
පියා විසින් අතවරයට ලක් කොට දරුවෙකු පිළිසිද ගත් නඩු විභාගයක් සම්බන්දයෙන් කරුණු දක්වන ඛේමා ස්වර්ණාධිපති මහේස්ත්‍රාත්වරිය තව දුරටත් කියා සිටින්නේ පළමු වසරේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවයි. එයද එක් පිළියමක් විය හැකිය. පාසල් දරුවන් සදහා එයම ප්‍රමාණවත් නොවේ.
වැදගත්ම දේ දරුවන්ගේ එනම් ළමා අයිතිවාසිකම් සමාජ ගත කිරීමත් බලාත්මක කිරිමක් ය. එබැවින් ලිංගික අධ්‍යාපනය මෙන්ම ළමා අයිතිවාසිකම්, මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වැනි විෂයයන්ද පාසැල් විෂය මාලාවට ඇතුළත් කළ යුතුය.
පාසල් පෙළ පොත් වල මෙම විෂයන් මද වශයෙන් ඇතුළත්ව තිබේ. එනමුත් ආධිපත්‍යවාදී සමාජයක කොටස්කරුවන් වන බැවින්ම ගුරුවරුන්ද අනුගමනය කරන්නේ මෙවැනි මාතෘකා ලිස්සා යාමේ ක්‍රමයකි. එමෙන්ම වැඩිහිටියන් ද දරුවන් සමඟ අයිතිවාසිකම් සහ ලිංගික දැනුම බෙදා ගැනීමට අදිමදි කරති.
එබැවින් අප සමාජයක් වශයෙන් පටන් ගත යුත්තේ මව්වරුන් ද පියවරුන් ද ගුරුවරුන්ද ආගමික පූජකයින් ද දේශපාලනඥයන්ද වැඩිහිටි අපගෙනි.
එවැනි සමෝධාන සැලැස්මක් ඇති කළ හැක්කේ රජයකට ය. ඒ උදෙසා අදහස් උදහස් මෙන්ම මඟපෙන්වීම් ද සිවිල් සමාජය විසින් ලබා දිය හැකිය.
ඊට අමතරව සමාජයක් වශයෙන් අප විසින් කෙටි කාලීනව ගත හැකි පියවරයන් ද තිබේ.
දරුවා වැඩිහිටියකු බවට පත් කැරෙන පාසල තුළ දරුවන් ආරක්ෂා කිරීමේ නිසි වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුය. ක්‍රමානුකූළ ශිෂ්‍ය උපදේශන සේවා පවත්වා ගැනීම මේ සඳහා ඉතා වැදගත් ය. බොහෝ පාසල් වල ශිෂ්‍ය උපදේශන සේවාවක් නොමැති අතර එය ක්‍රියාත්මක වන පාසල් වල ඒවා ගුරු විවේකාගාර තුළ, ආපන ශාලා තුළ ගුරුවරුන්ගේ ඕපාදූප සේවාවන් පමණක් වී තිබීම තණගාටුවට කරුණකි.
ශිෂ්‍ය උපදේශනයේ වැදගත්කම පෙනී ගිය ප්‍රසිද්ධ සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලයේ ඇති විය. කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක දියණියක් පාසල තුළදීම සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියත්, කුරුණාගල ජනප්‍රිය පාසලක දියණියක් විදුහල්පතිගේ දඩුවම නිසා සිය දිවි හානි කර ගැනීමත් එවැනි ය. ගුරු ප්‍රජාව සතුව දැනුම කැපවීම සහ දරුවන් කෙරෙහි ආදරය තිබුනේ නම් එම ජීවිත නැති වන්නේ නැත.
එබැවින් දරුවන්ගේ ආරක්ෂාව නොසලකන සහ නොසලසන දෙමාපියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ ක්‍රමයක් ද ඇති කළ යුතුය. මේ රටේ විදේශ ගත මව්වරුන්ගේ දරුවන්ද අනාරක්ෂිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. රජය මගින් විදේශ ගත වන මව්වරුන්ට පවුල් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කළද, අවුරුදු 5ට අඩු දරුවන් ඇති මව් වරුන්ට විදේශ ගත වීම තහනම් කළද මව්වරු විදේශ ගත වීමේ අඩුවක් නැතුවා සේම දරුවන්ගේ අනාරක්ෂිත භාවයේද අඩුවක් නොමැති තරම්ය. ශ්‍රී ලංකාවට දැවැන්ත විදේශ විනිමයක් උපයා දෙන මෙම මව්වරුන්ගේ දරුවන් ගැන මේ කාත් කිසිදු ආණ්ඩුවක් සැළකිල්ලක් දක්වා නැත.
පාසල් ගුරුවරියක් වූ මගේ දියණිය ඇගේ පාසලේ බොහෝ දරුවන් දෙමාපියන් නොදකින බව පැවසුවාය. ඔවුන් දරුවා අවදි වීමට පෙර රැකියාව සදහා නිවසින් පිටත්ව යන අතර ආපසු නිවසට පැමිණෙන විට දරුවා සිටින්නේ නින්දේය. ඔවුන් රැකවරණය ලබන්නේ මෙහෙකරුවන් / මෙහෙකාරියන් හෝ ආච්චී සීයා වැනි පවුලේ වැඩිහිටියන්ගෙන්ය. ඔවුන්ට දරුවන්ගේ අවශ්‍යතා පිළිබද මනා වැටහීමක් ඇතැයි සිතිය නොහේ. මෙවැනි සමාජ ප්‍රශ්න ද අමන්ත්‍රණය කළ යුතු නොවේ ද?
දුබලයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීම කිසියම් සමාජයක ම්ලේච්ඡත්වය කියාපාන සාධකයකි. මෙය පුරුෂ මූලික සමාජයක් බැවින් වැඩිපුරම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන්නේ ස්ත්‍රීන් සහ දරුවන්ය. එසේ තිබියෙදී පියවරු මෙන්ම මව්වරුද දරුවන්ට දඩුවම් කිරීමෙන් දරුවන්ට පහර දීමෙන් තම ආවේග පිට කිරීමට පුරුදු වී සිටිති. එවැනි දරුවකු නිතර අත් විදින්නේ පියාගේ, මවගේ හෝ වැඩිහිටියාගේ ප්‍රචණ්ඩත්වයයි.
මා කල්පනා කරන්නේ ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ බලාත්මක කිරීම ළමා අපයෝජනයන් වැළැක්වීමේ මූලික සාධකය බවයි. අවසාන වශයෙන් එක් යෝජනාවක් කරන්නට කැමැත්තේමි.
රජයේ මූලිකත්වයෙන් ඒ ඒ පෙදෙස් හි සිවිල් සමාජ කණ්ඩායම් ද එක් කර ගනිමින් ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සදහා පුහුණුවක් සහ ක්‍රියාදාමයක් ආරම්භ කළ හැකි ය. එවැනි වැඩ සටහනක් ප්‍රාදේශීය සභා මට්ටමෙන් දිසා කිහිපයක ආරම්භ කළ හැකි ය. එමගින් වැඩිහිටියන්ට අවබෝධය ලබා දී දරුවන් පීඩා විදීම බොහෝ දුරට වළක්වා ගත හැකි වනු ඇත. මෙවැනි ක්‍රමයක් මුළු රටේම ක්‍රියාත්මක කළ හැකි නම් තව වසර ගණනාවකින් හෝ දරුවන්ගේ අනාරක්ෂිත බව අඩු කිරීමට හැකි වේ යැයි බලාපොරොත්තු විය හැකිය.
ඊ.එම්.බී.මැණිකේ