ලංකාවෙහි දේශපාලන සිරකරුවන් නැතැයි දැන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරු තොර තෝංචියක් නැතිව අපට කියන්නට පටන් ගෙන සිටිති. ඔවුන් එසේ දේශනා කරන්නේ වසර ගණනාවක් පුරා කිසිදු චෝදනාවක් නැතිව එල්ටීටීඊ සංවිධානයට සම්බන්ද යැයි සැකපිට බන්ධනාගාරයන්හි රඳවා සිටින දෙමළ සිරකරුවන් විසින් ආරම්භ කළ උපවාසය නිසා ය.
එයට පෙර ද දින සියයේ අධිකරණ ඇමැතිව සිටි අවධියේ ද විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි ප්‍රකාශයක් කළේ ය. එය දෙමළ දේශපාලන රැදවුම්කරුවන් පිළිබඳව මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රථමයෙන් ම ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවයි. දැන් මහා මැතිවරණයෙන් පසු එම ඇමැතිධුරයට පත්වීමට වාසනාව ලද විජේදාස රාජපක්ෂ මහතා සිය ස්ථාවරය පුනරුච්චාරණයය කර තිබේ.
ජනාධිපති සිරිසේන ද දැන් දෙවතාවක් තරම් ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නැත යන ස්ථාවරය ප්‍රකාශ කොට තිබේ. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ එය විට නිතැනින්ම ආණ්ඩුවේ ස්ථාවරය බව පැහැදිළි වෙයි.
එමෙන්ම මෛත්‍රී – රනිල් අණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වන අමාත්‍ය රාජිත සේනාරත්න ආණ්ඩුවේ පොදු මතය එය බව අමාත්‍ය මණ්ඩළ තීරණ දැනුම් දීමේ පුවත් පත් සාකච්ජාවක දී ප්‍රකාශ කරන ලදී.
ඇත්ත වශයෙන්ම නම් වසර ගණන් පුරා නඩු නැතිව රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් ‘හුදෙක් ත්‍රස්තවාදී සිරකරුවන් පමණකි’ යයි යන කියමන නීතිමය ප්‍රකාශයකට වඩා දේශපාලන ප්‍රකාශයකි. මන්ද යත් දේශපාලන සිරකරුවා යන්නට නීතිමය නිර්වචනයක් නැති බැවිනි.
එන්සයික්ලෝපිඩියා බ්‍රිටැනිකා නම් බ්‍රිතාන්‍ය විශ්වකෝෂය ට අනුව ‘තත්කාලීනව දේශපාලන සිරකරුවා යන්නට තනිකරම නීතිමය නිර්වචනයක් සැපයීමට කෙසේවත් නොහැකි ය.’
දේශපාලන සිරකරුවා යනු දේශපාලන හේතූන් මත විවිධ ක්රියාකාරීත්වයන්ට එළඹීම නිසා සිර ගත කරනු ලබන පුද්ගලයෙකි. ලොව දේශපාලන සිරකරුවන් යැයි නම් ලද අය අතර ලේඛකයෝ ද , මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් මෙන්ම ගරිල්ලා සටන්කරුවෝ ද වෙති.
එම විශ්වකෝශය තව දුරටත් මෙසේ ද කියයි: ‘දේශපාලන අපරාධ (එබැවින් දේශපාලන සිරකරු) සහ සාමාන්‍ය අපරාධ අතර වෙනස්ව සැළකිය යුතු ය .. සාමන්‍ය අපරාධකරුවා සහ දේශපාලන අපරාධකරුවා අතර වෙනස තේරුම් ගැනීමට මිනුමක් යම් යම් ශ්‍රාස්ත්‍රඥයින් විසින් යෝජනා කර තිබේ. දේශපාලන අපරාධකරුවා පාලක රිජීමයන්ට එරෙහිව කවරාකාරක හෝ සාමූහික ක්‍රියාවක නිරත වෙයි. සාමාන්‍ය අපරාධකරුවා තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ක්‍රියා කරයි.’
ඔක්ස්පර්ඩ් ශබ්දකෝෂය දේශපාලන සිරකරු යන්න අර්ථ දක්වන්නේ ‘දේශපාලන විශ්වාසයන් හෝ ක්‍රියාවන් නිසා සිරගත කල පුද්ගලයෙකි’ යනුවෙනි.
රටක දේශපාලන සිරකරුවන් සිටින්නේ ද නැත්ද යන්න දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්ණයක් මිස නීතිමය ප්‍රශ්ණයක් නොවන්නේ එනිසා ය. දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් ‘යහපාලන ආණ්ඩුව’ දරන ස්ථාවරය එහි දේශපාලනයේ පිළිඹිබුවක් වන්නේ ද එනිසා ය.
මෙරට දේශපාලන සිරකරුවන් නැත යන හුදෙක් නීතිමය තර්කය දේශපාලනයට ආදේශ කිරීමේ මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ භාවිතය පෙන්නුම් කරන්නේ නැවුම් ප්රජාතන්ත්රවාදී නුඹුරුවක් නොවේ. ගතානුගතික පසුගාමී දේශපාලන නැඹුරුව ය.
ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි යන ප්‍රකාශය නූතන ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම අසන්නට ලැබුණේ අගමැති සිරිමා බණ්ඩාරනායකගෙනි. ඒ 1971 කැරැල්ලට සම්බන්ධයෙන් දඩුවම් පමුණුවා සිර ගත කරන ලද සහ නඩු නැතිව රැදවුම් භාරයේ සිටි දහස් ගණනාවක් තරැණ පිරිස් සම්බන්ධයෙනි.
දේශපාලන පක්ෂයට පිටින් ඇරඹූනු මුල්කාලින ජනතා ව්‍යාපාරයක් ලෙස 1970 ගණන් මැද භාගය වන විට ‘දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීමේ ව්‍යාපාරය’ මහත් ජන බලයක් රුස්කර ගනිමින් තිබුණි. ඒ 17 කැරැල්ල ට සම්බන්ධයෙන් සිරගත කරන ලද පිරිස් නිදහස් කරන සේ උද්ඝෝෂණය කිරීමට ය. ලංකා ගුරු සංගමයේ මූලිකත්වයෙන් සහ එහි සංවිධායක වූ විමල් ප්‍රනාන්දුගේ මඟ පෙන්වීමෙන් ගොඩ නැගුණු එම ව්‍යාපාරය හමුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ප්‍රකාශ කළේ ය.
බලයට ඒම පිනිස අවි රුස්කරමින් සිටි එජාපය වහාම එම ප්‍රශ්ණය සිය න්‍යාය පත්‍රයට ඇතුල් කර ගත්තේ ය. නැගී එමින් සිටි දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක එජාපය බලයට පැමිණි වහාම 71 කැරැල්ල සම්බන්ධයෙන් සිර ගත කර ඇති සියලු දෙනා නිදහස් කරන බවට ප්‍රකාශ කළේ ය. 1977 එජාප මැතිවරණ ප්‍රකාශයේ ද එම පොරොන්දුව ඇතුළත් කරන ලදී. ඒ අනුව විජෙවීර ඇතුලු සියලු 71 කැරලිකරැවන් 1977 ඔත්තෝබර් මාසයේ දී නිදහස් විය.
එළෙස 71 කැරලිකරැවන් නිදහස් කරන ලද්දේ හේතු දෙකක් මත ය. එකක් නම් ඔවුන්ට එරෙහිව නඩු විභාග කරන ලද විශේෂ අධිකරණය වූ අපරාධ යුක්ති විනිශ්චය ස්වභාවික යුක්ති ධර්මයට අනනුකූළය යන තර්කය යි. ( එය ද ස්වරූපයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි එකකි.) දෙවැන්න 71 කැරැල්ල දේශපාලන හේතූන් උඩ පැන ඇති වූ එකකි යන්නය ය.
1988 – 1990 වර්ශයන්හි ඇවිල ගිය ජවිපෙ දෙවැනි කැරැල්ල සම්බන්ධයෙන් බන්ධනාගාරයන්හි රඳවා සිටි දහස් ගණනාවක් ජනාධිපති ප්‍රේමදාස විසින් නිදහස් කරන ලද්දේ ද ඔවුන් දේශපාලන හේතූන් මත අරගලයකට එළඹ තිබුනේ ය යන පදනම මත ය.
මෑත කාලීන දෙවැනි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පැන නැඟුණේ 1980 ගණන් අගභාගයේ දී ය . ඒ උතුරේ සටන්කාමි සංවිධාන සමඟ එක්ව දකුණේ විප්ලවකාරී සංවිධාන ගොඩ නැගීමට වෙර දරන ලද උන්නතිකාමී පිරිස් අත් අඩංඟුවට ගැනීම නිසා ය. (ඉන්දික ගුණවර්ධන ඉන් එක් අයෙකි. ජෝ සෙනවිරත්න තවත් අයෙකි.) එහි පදනම ජාතීන් අතර යුක්තිය සහ සාධාරණත්වය සඳහා ව්‍යාපාරය (මර්ජ්) වු අතර මඟ පෙන්වන්නා වූයේ එවකට එහි සභාපති වූ චාල්ස් අබේසේකර ය. එම ව්‍යාපාරය හුදෙක් දකුණට සීමා වුයේ ද නැත.
1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එම පිරිස් නිදහස් කරන ලදී. එමෙන්ම අත් අඩංගුවට පත් විමෙන් ගැලවෙනු පිණිස ඉන්දියාවට පිටුවහල්ව සිටි දයාන් ජයතිලක (ඔහු එක් සන්නද්ධ කණ්ඩායමක නායකයකු විය) වැනි අයට ද යළි මෙරටට පැමිණ දේශපාලනයේ යෙදීමට අවසර ලැබුණි. අවි ආයුධ සමඟ පවා අත් අඩංඟුවට ගෙන සිටි එම කණ්ඩායම්හි සාමාජික පිරිස් පවා නිදහස් කරන ලද්දේ ඔවුන් දේශපාලන හේතූන් මත ක්‍රියාත්මක වූයේ ය යන පදනම උඩ ය.
දෙමළ සටන්කාමී පිරිස්වලට එළෙස සිංහල පිරිස් ලද අයිතිය නැත්ද?
මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ තර්කය අනුව මෙකී දෙමළ රැදවුම්කරැවන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ යැයි සැක කරන බැවින් ඔවුන් හුදෙක් ත්‍රස්තවාදි සැකකරුවන් ය. එය ( පීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ සිට විජේදාස රාජපක්ෂ දක්වා) කුමන නීතිවේදියා විසින් සූත්රගත කරන ලද්දේ වුවත් ලෝක ප්රජාතන්ත්රවාදී දේශපාලනයට පටහැණි එකකි.
දෙමළ සන්නද්ධ අරගලය පැන නැගුණේ කලාන්තරයක් නොවිසදී පැවැති වාර්ගික පිඩනය නිසා බව එනම් දේශපාලන ප්‍රශ්ණයක් නිසා බව අද ශ්‍රී ලංකාවේ පොදු පිළිගැනීම ය. දෙමළ ජනයාට මෙරට සමාන අවස්ථා සහ සමාන සැළකීමක් නොතිබූ බව ද ඒ තරමට ම සැබැ ය.
එසේ නම් එම හේතුව උඩ පැන නැගි සන්නද්ධ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් සටනට ගිය පිරිස් දේශපාලන හේතූන් උඩ සිරගතවූ බව කීමට මෛත්‍රී – රනිල් ආණ්ඩුව නොහැක්කේ මන්ද? මෙළෙස සිරගතව සිටියේ සිංහල තරුණ පිරිස් නම් මෙම ස්ථාවයේ වෙනසක් වීමට ඉඩ තිබුනි ද?
මෙම පිරිස් කර ඇති බවට චෝදනා නැගෙන්නේ දේශපාලන අපරාධ නිසා ඔවුන් සාමන්‍ය අපරාධකරුවන්ගෙන් වෙනස් නොවන්නේ ද?
නූතන ලෝකය දන්නා පරසිදුම දේශපාලන සිරකරුවා වන්නේ නෙල්සන් මැන්ඩෙලා විය යුතු ය. අප කව්රුත් දන්නා පරිදි මැන්ඩෙලා ‘ ජාතියේ තෝමරය’ යැයි හදුන්වන ලද අප්‍රිකානු ජාතික සංගමයේ සන්නද්ධ අංශයේ ප්‍රධානියකු විය. ඉතියෝපියාවෙහි දී ගරිල්ලා සටන් පුහුණු වී තිබුණි. අගනුවර බෝම්බ පිපිරවිම් සඳහා නායකත්වය දී තිබුණි.
එවකට පැවැති සුදු ජාතික ආණ්ඩුව මැන්ඩෙලා ත්‍රස්තවාදියකු මිස දේශපාලන සිරකරුවකු යැයි කිසිවිටෙක පිළිගත්තේ නැත.
හරියට අද ලංකාවේ ආණ්ඩුව වාගේ ය.
වසර ගණනාවක් පුරා නඩු නැතිව සිරගතව සිටින දෙමළ තරුණ පිරිස් නිදහස් කරන සේ සමස්ත දෙමළ ප්‍රජාව කෙරෙන්ම ඉල්ලීමක් කැරෙන විට ඊට කන් යොමනු වෙනුවට ‘මෙහේ ඇති දේශපාලන සිරකරුවකු නැතැයි’ කැගැසීම යහ පාලනය හෝ ජාතික සන්හිදියාව කරා ගමන් කිරීම නොවේ. දෙමළ ජනයාගේ තුවාලවලට ලුනු වක්කිරීමකි. දෙමළ ජනයාගේ ඉල්ලීම් කෙරෙහි අසංවේදී වීමකි.
වචන පිට කළ හැකි නමුත් ආපසු ගත නොහැකි ය. මෛත්‍රී – රනිල් ආණ්ඩුවට ශ්‍රී ලංකාවේ දේශපාලනය මානවවාදී සහ ප්රජාතන්ත්රවාදී කිරීමේ කවර හෝ අභිලාශයක් තිබේ නම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් අයිතීන් මූලික කරගත් ප්‍රවිශ්ඨයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය ය.
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya