Image by: Maatram
දිනය 2014 වසරේ ඔක්තෝබර් 29 දා. නොසිතූ මොහොතක කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ නාය යාමක් සිදුවූයේ ජීවිත 37ක් මහපොළවේ මිහිදන් කරමිනි. ඒ නාය යාමෙන් එම වත්තේ තිබූ නිවාස 60කට වඩා විනාශ වූ අතර කෝවිලක්, වෙළඳසැලක් ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශයට පත්විය.
විනාශයෙන් මේ වන විට වසරක් ඉක්ම ගොස් තිබේ. වසරක් ගත වී ඇතත් ඉන් පීඩාවට පත්වූ මිනිසුන් තවමත් ගෙවමින් සිටින්නේ වේදනාබර ජීවිතයක්.
නමුත් එම ඛේදවාචකය වූ අවස්ථාවේ ලංකාවේ ජනමාධ්‍ය, සංවිධාන, දේශපාලකයන් ඇතුලු බොහෝ දෙනෙක්ගේ අවධානය මීරියබැද්ද ට යොමු උනත්, සිය සමීපතමයින් මෙන්ම තිබුණු කුඩා හෝ නිවසත්,කාමරකෑල්ලත් නැතිනම් ඉඩමත් අහිමිව තවමත් ඔවුන්ගෙන් බහුතරයක් දිවි ගෙවන්නේ පැරණි තේ කම්හළ තුළයි. එහි ද එක් කාමරයක් තුළ පවුල් කිහිපයක් රැදී සිටීම හේතුවෙන් සෞඛ්‍ය හා විවිද ගැටලුවලට අද වන විට ඔවුන් මුහුණ දෙමින් සිටියි.
අනෙක් විශේෂ කරුණ නම් වතුකම්කරුවන් ලෙස ඉතාමත් දුෂ්කරව ජීවිතය ගැටගහගත් ඔවුන්ට අද එම රැකියාවන් ද අහිමිව දිවි ගෙවීමට සිදු ව ඇත්තේ කූලි වැඩක් හෝ ලැබෙන කුමක් හො දෙයක් කිරීමෙනි.
නමුත් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ පොරොන්දු වූයේ නිවාස අහිමි වූ මීරියබැද්ද මිනිසුන්ට කඩිනමින් නිවාස ලබා දෙන බවයි. එසේම විපක්ෂයේ බොහෝ මංත්‍රීවරුද මීරියබැද්දට එවකට ගියේ එහි මිනිසුන්ට සහන සැලසීමේ උනන්දුව මාධ්‍ය තුළින් පෙන්වමිනි. නමුත් අද වන විට ඒ දේශපාලකයන් මාධ්‍ය තුළින් ප්‍රකාශ කරන ලද දෙය ඉටුකිරීමට අපොහොසත්ව ඇත්තේ ස්වාභාවික ව්‍යසනයකදී පවා ආණ්ඩුවේ වගකීම ඉටුකිරීමට තවත් ලංකාවේ රාජ්‍යට ඇති නොහැකියාවත්, දේශපාලකයන්ගේ මාධ්‍ය සංධර්ශණවල ඇති කෛරාටික බවත් සනාථ කරමිනි.
මාස 3ක් ඇතුළත නිවාස සාදා දෙන බවට පොරොන්දු වෙමින් ජනවාරි 8දායින් පත්වූ නව ආණ්ඩුවේ දින 100යේ වැඩසටහන තුළ, පූනාගල ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල් ගල තැබුණේ, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් විසින් ය. නමුත් ඒ ‘ගල‘ තබා දින 300කට වඩා ඉක්ම ගොස් ඇති විට දී එය තවමත් ‘මුල්ගලකට‘ පමණක් සීමා වී ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි.
මීරියබැද්ද මිනිසුන්ට දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට හිටපු බළධාරීන්ට මෙන්ම නව බළධාරීන්ට මේ වන විට නොහැකි වී තිබේ. ඔවුන් තවමත් ජීවත් වන්නේ කඳුළු සමගය. ඒ බව පෙන්නුම් කරන ඡායාරෑප වාර්තාවක් ‘Vikalpa‘ වෙබ් අඩවියේ සහෝදර වෙබ් අඩවිය වන ‘Maatram‘ වෙබ් අඩවියේ සංස්කාරක රාජේෂ් සෙල්වරාජ් පසුගිය 29වනදා, මීරියබැද්දේ සංචාරයකින් පසු ප්‍රසිද්ධ කරනු ලැබුවා. පහත පළවන්නේ එහි ඡායාරෑපයි.
පසුගිය 29දා එම නායයාම සිදුවූ ස්ථානයට පැමිණි එම මිනිසුන් පහන් දල්වා නායයාමේන් මියගිය සිය සමීපතමයින් සිහිකරනු ලැබීය.