Image By: theindependent.lk
ගණකාධිකරණ ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලාවක් සේ පිළිගන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අවස්ථාවේ පොලීසිය සාහසික අන්දමින් ඔවුන්ට පහර දුනි. එවැනි පහර දීමක් වුණේ නැතැයි මුලින් කී පොලීසිය, ‘අවම බලය’ යෙදවීමක් පමණක් සිදුවූ බව පසුව කියා සිටි අතර, නැවතත් එය වෙනස් කරමින් ‘අවශ්‍ය බලය’ පමණක් යෙදැවූ බව කීය. මේ සිද්ධියත්, තවත් ඇතැම් අවස්ථාවනුත් සළකා බලන විට, යහපාලන පොලීසිය සහ මහින්ද රාජපක්ෂගේ තිබුණු පොලීසිය අතර බරපතල වෙනසක් පෙනෙන්ට නැති බව කිව යුතුය. ඊළඟට, ඊයේ වන විට, තවත් ශිෂ්‍ය පෙළපාලියක් වැළැක්වීම සඳහා පොලීසිය අධිකරණයෙන් වාරණ නියෝග කිහිපයක් ගත් බවත් මාධ්‍ය වාර්තා කෙළේය. එයද, මහින්ද රාජපක්ෂගේ පාලන ක‍්‍රමයට කිසි වෙනසක් නැති බව කියාපාන්නකි. පොදු ජනතාව හෝ ශිෂ්‍යයන් හෝ කම්කරුවන් වැනි විශේෂිත සමාජ කණ්ඩායම් තම දුක්ගැනවිලි විවිධාකාරයෙන් පාලකයන්ට ඉදිරිපත් කරති. පෙළපාලි යාම සහ වීදි විරෝධතා පෑම එයින් එකකි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. එය සිදුවන්නේ රටේ සාමයට තර්ජනයක් නොවන ආකාරයෙන් නම්, මොනම අවසරයක් යටතේවත් එවැනි විරෝධතාවන් මර්දනය කිරීමේ අයිතියක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ කිසි පාලකයෙකුට හිමි වන්නේ නැත.
ඊළඟට, සුපුරුදු පොලිස් චින්තනය, නූතන දියුණු තාක්ෂණය තුළ තවදුරටත් නඩත්තු කළ නොහැකි බවත් පොලීසිය වටහාගත යුතුය. ප‍්‍රසිද්ධියේ පහර දීමක් සිදුවූ අවස්ථාවක, මීට දශකයකට දෙකකට ඉහතදී මෙන්, එවැන්නක් සිදුවුණේ නැතැයි කියා සිටීමට නූතන තාක්ෂණය තවදුරටත් ඉඩ දෙන්නේ නැත. ඕනෑම කෙනෙකු ළඟ ඇති ජංගම දුරකථනයකින් පොලීසියේ බොරුව සනාථ කළ හැකි බැවිනි. සිවිල් පුරවැසියන් විසින් ගන්නා එවැනි ඡුායාරූප හෝ වීඩියෝ පටි, ‘චැනල් 4’ වාර්තා චිත‍්‍රපටයේ දෘෂ්‍ය තොරතුරු හුදු ‘ප‍්‍රබන්ධයකැ’ යි කී විලසින්, නිකංම ඉවතලිය නොහේ. එම නිසා, පහර දීමක් සිදුවුණේ නැතැයි කීම අත්‍යන්තයෙන් මුග්ධ ප‍්‍රකාශයකි. යුද්ධයේදී එක සිවිල් වැසියෙකුවත් ඝාතනය නොවුණේය යන ගෝඨාභයගේ (සීරෝ කැෂුවල්ටි) න්‍යායට මෙවැනි ප‍්‍රකාශයක් වෙනස් වන්නේ, හානියේ බරපතල ස්වභාවය සම්බන්ධයෙන් පමණි. ඇත්ත වශයෙන්ම නම්, ලංකාවේ සෑම පොලිස් ස්ථානයක් ඇතුළේම සී.සී.ටී.වී. කැමරා සවි කිරීමක් ගැන පවා සළකා බැලිය යුතු කාලයක්ය, මේ කරුණු එසේ තිබියදී දැන් ආණ්ඩුව කළ යුත්තේ, මේ පහර දීමට වගකිවයුතු වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය සහ විනය පියවර ගැනීමයි. එය කළ යුත්තේ, එල්ල වන සමාජ විරෝධයෙන් ගැලවීමේ තාවකාලික උපක‍්‍රමයක් වශයෙන් නොව, මින් මතුවට එවැනි තත්වයක් ඇති නොවන තැනට වගබලා ගැනීමේ අවංක යහපාලනික පියවරක් වශයෙනි.
ඊළඟට, මේ සිදුවීම සම්බන්ධයෙන් මෙසේ පොලීසියට සහ පාලකයන්ට ඇඟිල්ල දිගු කිරීමෙන් පමණක් අපට අත් සෝදා ගත හැකිද? මෙවැනි සිදුවීම්වලට පාදක වන නිලධාරීන්ගේ සහ පාලකයන්ගේ අදූර්දර්ශී ක‍්‍රියාවන්ට අමතරව, ඒවා පසුපස ක‍්‍රියාත්මක වන අදිසි දේශපාලනයකුත් ඇති බව අප අමතක කළ යුතුද?
ඊයේ පැවති ශිෂ්‍ය පෙළපාලියට පාර්ලිමේන්තුව දක්වා පැමිණීමට අවසර නොදෙන්නේ මන්දැයි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ප‍්‍රශ්න කළ බව වාර්තා විය. එය ඇසූ විට අපට සිතුණේ, පසුගිය දීර්ඝ කාලයක් තිස්සේ මේ මිනිසා ඇමතියෙකුව සිටියේ බි‍්‍රතාන්‍යයේ හෝ වෙනත් එවැනි බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුවකද යන්නයි. මහින්ද රාජපක්ෂගේ දුර්දාන්ත පාලනයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව නැගුණු සෑම විරෝ්ධයක්ම, ‘බටහිර ක‍්‍රමන්ත‍්‍රණයක්’ වශයෙන් හැඳින්වූ මෙවැනි වංචනිකයන්ට ඊනියා වීරයන් වීමට අද ඉඩ සැලසී තිබීම ගැනත් වර්තමාන යහපාලකයන් වගකිව යුතුව තිබේ.
කෙසේ වෙතත් ඔහුගේ එම වංචනික ස්ථාවරය, ඕනෑම කෙනෙකුට පහසුවෙන් වැටහෙන කාරණයකි. පහසුවෙන් නොවැටහෙන, සැඟවුණු දේශපාලනය ඊට වඩා තරමක් සංකීර්ණයි. ඔහුගේ ප‍්‍රකාශය උද්ධෘත කරගත්තේ, මේ සිද්ධිය සහ මෑතක ඇතිවූ වෙනත් එවැනි සිදුවීම් කිහිපයකට සම්බන්ධ තවත් දේශපාලනයක් සමග එය නූලටම සමපාත වන බැවිනි. එන්.ඞී.ටී.ඊ. ශිෂ්‍යයන් පමණක් නොව, සේයා දැරියගේ දූෂකයන් සහ ඝාතකයන් යැයි කලක් හැඳින්වූ අයවළුන්ගේ සිට වෙනත් ඕනෑම සිද්ධියක් හෝ පුද්ගලයෙකු, පවතින ආණ්ඩුවට එරෙහි ආයුධයක් වශයෙන් මෙහෙයැවිය හැකි නම්, එහි ඉදිරියෙන්ම සිටින්නේ, තමන් ‘පෙරටුගාමීන්’ යැයි හඳුන්වා ගන්නා කණ්ඩායමකි. පසුගිය ජනාධිපතිවරණයේදී මේ කණ්ඩායමට සියයට 0.06 ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත හැකි විය.
දේශපාලනික ක‍්‍රියාකාරීත්වයක් මාධ්‍ය අවධානයට යොමු වීම සහ මාධ්‍ය අවධානය සඳහා දේශපාලනික ක‍්‍රියාකාරීත්වයකට යාම එකක් නොව, දෙකකි. දෙවැනුව කී අවස්ථාවන් සම්පාදනය කර ගැනීම යම් දේශපාලනයකට අවශ්‍ය කරන්නේ, බොහෝ දුරට සම්ප‍්‍රදායික දේශපාලනික අවකාශය එවැනි කණ්ඩායමකට ඇහිරෙන විටයි. ඊට අමතරව, ස්වකීය පටු පක්ෂ දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට, වෙනත් සෑම විකල්පකයකටම වඩා මාධ්‍ය වැදගත් වන බවත්, කාර්යක්ෂම වන බවත් ඔවුහූ දනිති. එසේ හෙයින් මෙම පිරිස් කරන්නේ, ප‍්‍රශ්න ඇති තැන් සොයා හඹා යාමයි. ඒ, එම ප‍්‍රශ්නවලට විසඳුමක් සොයා ගැනීමට නොව, ‘‘තමන්ගේ ප‍්‍රශ්නයට’’ විසඳුමක් සොයා ගැනීමට ය. එනම්, සියයට 0.06 ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමටයි. එසේ නොමැතිව, තමන් මැදිහත් වන සිද්ධිය ජාතික වශයෙන් කෙතෙක් වැදගත්ද යන්න හෝ එම ප‍්‍රශ්නය ස්ථානගත කරන රාමුව සමාජයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට මොන තරම් ආධාරකයක් වන්නේද යන්න හෝ ඔවුන්ට වැදගත් වන්නේ නැත. 87-90 කාලයේදී, බදුල්ලේ ආණ්ඩු විරෝධී ව්‍යපාරයකට ගම්මුන්ව සංවිධානය කිරීමේදී, අදාළ පෙළපාලිය පොලිස් වෙඩි ප‍්‍රහාරයකට පවා ලක්වීමට ඉඩ ඇතැයි කෙනෙකු විජේවීරට පෙන්වා දුන් අවස්ථාවේ, විජේවීරගේ පිළිතුර වී තිබුණේ, ‘‘එහෙම නං තවත් හොඳයි’’ යන්නයි.
අපේ ප‍්‍රස්තුත කාරණය සරළව වටහා ගැනීම සඳහා, ශිෂ්‍යයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දක්වන එක් හේතුවාචකයක් කෙරෙහි මේ පිරිස් දක්වන ආකල්පය, තවත් එවැනිම හේතුවාචකයක් සමග සසඳා බැලීම වටී. පහර දීම සඳහා යොදාගත්තේ ‘අවම’ බලය බව පොලීසිය කියයි. එම නිදහසට කරුණ, මුළු දකුණම අද නිවැරදිවම ප‍්‍රතික්ෂේප කරති. ජිනීවා යෝජනාව පසුපස ඇති එක් චෝදනාවක් වන, යුද්ධයේ අවසන් භාගයේදී යුද අපරාධ සිදුව ඇතැයි යන චෝදනාව පදනම් වන එක් ආස්ථානයක් වන්නේ, උතුරේ සිවිල් ජීවිත විශාල ප‍්‍රමාණයක් විනාශ වීම කෙරෙහි බලපා ඇත්තේ, ‘අසමානුපාතික’ හමුදාමය බලයක් ආණ්ඩුව පැත්තෙන් පාවිච්චි වී ඇතැයි යන කාරණයයි. උතුරේ දෙමළ ජනතාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව එසේ කියන විට මේ ‘විප්ලවවාදීන්’ සිටින්නේ කැත්තට පොල්ල මෙනි. මේ සංසන්දනයේ එක අවස්ථාවක් වන්නේ සාමාන්‍ය පෙළපාලියක් බවත්, අනිත් අවස්ථාව වන්නේ මාරාන්තික යුද්ධයක් බවත් සැබෑව. එහෙත්, සාපරාධීත්වයට අදාළ තර්කණය කිසි ලෙසකින්වත් වෙනස් නැත. ප‍්‍රහාරයකදී ප‍්‍රතිමල්ලවයා කෙරෙහි අනුගමනය කළ යුතු ‘සමානුපාතිකත්වය’ දෙමළා වෙනුවෙන් ඉල්ලා නොසිටින මොවුහූ, දකුණේ විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරයේදී ‘අවම බලය’ හෝ ‘අවශ්‍ය බලය’ යොදා ගත්තේ යැයි කියන පොලිස් ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්ෂේප කරති. උතුරේදී ‘රණ විරුවෙකු’ වශයෙන් සැළකෙන පොලිස් නිලධාරියා, ඊට වඩා දහස් ගණනක් අඩු මාත‍්‍රාවකින් දකුණේදී ක‍්‍රියාත්මක වන විට, ජනතා ද්‍රෝහියෙකු බවට පත්වෙයි. 1987-90 කාලයේ හමුදා නිලධාරීන් කිසිවෙකු දකුණට ‘රණ විරුවන්’ නොවුණේ එබැවිනි.
ජාතිය පිළිබඳ මේ දෘෂ්ටිවාදය ප‍්‍රතික්ෂේප කිරීම සඳහා උතුරේදී තමන් නියැලී ඇති නොයෙක් ක‍්‍රියාකාරකම් ඔවුන් මෙහිදී හුවා දක්වනු නිරනුමානයි. එහෙත් ඒ ගැන විනිශ්චයක් සඳහා යොදා ගත හැකි පරීක්ෂණ ඇත්තේ එකක් පමණි. එනම්, මෙවැනි කිසි ‘විප්ලවවාදියෙකු’ 2006-2009 කාලය තුළ එවැනි ක‍්‍රියාකාරකමක උතුරේදී යෙදී ඇත්දැයි පෙන්වා දීමයි. එසේ නැතහොත්, උතුර වෙනුවෙන් දකුණේදී පෙනී සිටියේදැයි පෙන්වා දීමයි. නැත, ඔවුන් සියල්ලන් සිටියේ ‘දේශපේ‍්‍රමී’ යුද්ධයේ ය. යුද්ධයක් නැති වකවානුවක, ජාතිවාදයට එරෙහිව නැගී සිටීම ඉතා අඩු වියදමකින් නඩත්තු කළ හැක්කක් බව අපි හොඳින් දනිමු. අවශ්‍ය වන්නේ සංකල්පීය තලයේදී ජාතිවාදයට එරෙහිව න්‍යාය සූත‍්‍රගත කිරීමට වඩා, සැබෑ ප‍්‍රායෝගික ජාතිවාදී අභියෝගයන් ඉදිරියේ නැගී සිටීමයි.
පොලීසිය මෙසේ හැසිරීම වළක්වා ගැනීමේ ආරම්භක පියවරක් වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ගැනුණි. එම යෝජනාවට මුළු පාර්ලිමේන්තුවෙන්ම විරුද්ධව ඡුන්දය පාවිච්චි කෙළේ එක මන්ත‍්‍රීවරයෙකු පමණි. ඔහු අයත් වුණේ මේ කණ්ඩායමටයි. මෙයින් පෙනෙන්නේ, ශිෂ්‍යයන්ට පහර දීම පමණක් නොව, 19 වැනි සංශෝධනය වැනි ප‍්‍රගතිගාමී පියවරක් පවා ඔවුන් නොඉවසන බවයි. එනම්, ඔලූ පලන පොලීසියක් දිගටම පවත්වා ගැනීම ඔවුන්ගේ අභිලාෂය වන බවයි. මෙය වඩාත් ඉදිරියට ගෙන යමින්, පසුගිය දවසක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයෙකු කියා තිබුණේ, තමන් ධනපති නීතිය සහ අධිකරණය මායිම් නොකරන බවයි. ඒ දරුවාගේ ප‍්‍රකාශය ‘පෙරටුගාමීත්වයේ’ පෙකෙණිවැල අපට ප‍්‍රදර්ශනය කරවයි.
මහින්ද රාජපක්ෂත් කෙළේ ධනපති නීතිය සහ අධිකරණය බල්ලාට දැමීමයි. වරක් කුමාර් ගුණරත්නම්ව වීසා නොමැතිව සිටීමේ වරදට රටින් පිටුවහල් කළ මහින්ද, ඊළඟට විපක්ෂයේ මහා සන්ධානයක් තමන්ට එරෙහිව ගොඩනැගෙන බව දුටු සැණින් ආපසු කුමාර් ගුණරත්නම්ව ලංකාවට ගෙන්නුවේය. දෙවැනි වරට ඔහු ලංකාවට ආවේ ‘නීත්‍යානුකූල’ පාස්පෝට් එකකිනි. ගොඩබැස්සේ නීත්‍යානුකූල ගුවන් තොටුපොළකිනි. රටකින් වරක් පිටුවහල් කළ පුද්ගලයෙකුට මෙසේ නැවතත් ‘නීත්‍යානුකූලවම’ එම රටට පැමිණිය හැක්කේ රාජ්‍ය අනුග‍්‍රහයකින් පමණක් බව නොකිවමනාය. එසේ පැමිණ, ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල-රනිල් ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව පෙනී සිටි කුමාර් ගුණරත්නම්ට මහින්දගේ රාජ්‍ය අනුග‍්‍රහය ලැබීම ඔවුන්ගේ වර්තමාන දේශපාලනයට දැන් ආදේශ කරන්න.
ඊයේ (4) කුමාර් ගුණරත්නම්ව අත්අඩංගුවට ගැනීම සහ පිටුවහල් කිරීමට යාම ගැන කතා කරන දිනේෂ් ගුණවර්ධන, ලංකාවේ උපන් කෙනෙකු එසේ රටින් පිටුවහල් කිරීමට හැක්කේ කෙසේදැයි ප‍්‍රශ්න කරයි. නැවතත් ඔහුගෙන් ඇසීමට ඇත්තේ, මුල් වරට කුමාර් ගුණරත්නම්ව පිටුවහල් කරද්දී මේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයෙකුව සිටියේ එංගලන්ත පාර්ලිමේන්තුවේද යන්නයි. එසේම, අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති තනතුරට පත්කරද්දී, ඔහු ලාංකිකයෙකු වන්නේද යන්න ප‍්‍රශ්න කෙළේත් මේ නඩයමයි.
එදා කුමාර් ගුණරත්නව පිටුවහල් කිරීමට එරෙහිව (ඔවුන්ගේම මාධ්‍ය සාකච්ඡුාවක* පෙනී සිටි කෙනෙකු වශයෙනුත්, ඊළඟට රාජ්‍ය ව්‍යාපෘතියක කොටසක් වශයෙන් ඔහුව මහින්ද රාජපක්ෂ යළිත් ලංකාවට ගෙන්වා ගැනීම දැඩිව විවේචනය කළ කෙනෙකු වශයෙනුත්, අද ඔහු ලාංකිකයෙකු වුවත් නැතත්, ඔහුට ලංකාවේ දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් මේ ලියුම්කරු පෙනී සිටී. එහෙත්, ඔහු සහ ඔහුගේ ‘පෙරටුගාමී’ දේශපාලනයේ පසුගාමීත්වය සහ ඒ පසුපස ඇති කුමන්ත‍්‍රණකාරී සම්බන්ධතා ජාලය සිහියේ තබා ගැනීම රටට වැඩදායක ය.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda