මහින්ද රාජපක්ෂ පාලනය එදා වරනැගුණේ ‘දූෂණය සහ භීෂණය’ රජ කළ පාලන තන්ත‍්‍රයක් වශයෙනි. එය විපක්ෂ දේශපාලනය විසින් ගොඩනැගූ හුදු ප‍්‍රබන්ධමය චෝදනාවක් නොව, මහ පොළොවේ දකින්ට තිබූ, කොයි කාගේත් ඇඟට දැනුණු සැබෑවක් විය. දූෂණය යටතේ, පවුල්වාදය, ඥාති සංග‍්‍රහය, රාජ්‍ය දේපල අවභාවිතය, කළු සල්ලි ආර්ථිකය, කුඩු ජාවාරම සහ බල අපහරණය කැපී පෙනුණි. භීෂණය යටතේ, ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රදීප් එක්නැලිගොඩ, රවිරාජ් සහ ජෝසප් පරරාජසිංහම් ආදීන්ගේ ජීවිතවල සිට, ‘සිරස’ සහ ‘සියත’ වැනි මාධ්‍ය ආයතනවලට පහර දීම සහ ගිනි තැබීමාදිය ඔස්සේ ගොඩනැගුණු ‘සුදු වෑන්’ සංස්කෘතියේ දණ්ඩමුක්තිය දක්වා වන ක‍්‍රියාවලියක් දිග් ගැස්සුණි.
‘යහපාලනයේ’ අපේක්ෂා එදා ලියලන්නේ මෙකී තත්වයට එරෙහිවයි. රාජපක්ෂ පාලනය විසින් යුද්ධය හමුදාමය නිමාවකට පත් කිරීම, අධිවේගී මාර්ග පද්ධතියක් ගොඩනැගීම සහ නගර සෝබනය වැනි පොදු ජන ප‍්‍රසාදය දිනා ගත් බිම් මට්ටමේ සාර්ථකත්වයන් තිබියදී පවා ජනතාව එම පාලනය එදා ප‍්‍රතික්ෂේප කොට යහපාලන ආණ්ඩුවකට කැමැත්ත පළ කෙළේ ඉහත කී, ‘දූෂණය සහ භීෂණය’, එක්තරා මොහොතකින් පසු තවදුරටත් සමාජයක් වශයෙන් දිරවා ගත නොහැකි වූ බැවිනි.
යහපාලන ආණ්ඩුව පටන් ගත යුතුව තිබුණේ එතැනිනි. එනම්, අතීතය විමසා බැලීමෙනි. කුමන හේතු යටතේ හෝ අතීතය වළලන මිනිසාට මොනම අනාගතයක්වත් ඉතිරි නොවේ. ඔහුට තාවකාලික වර්තමානයක් තිබිය හැකිය. එය, වතුර රත් වන තෙක් කකුළුවා අත්විඳින සොම්නසට සමාන වර්තමානයකි.
ඇත්ත, අතීතය විමසීම අනිවාර්ය දඩයමක් විය යුතු නැත. දඬුවම සහ දඩයම අතර ඇත්තේ අහස පොළොව තරමේ වෙනසකි. එහෙත් මේ වචන දෙක අතර දකින්ට ලැබෙන එක්තරා සාම්‍යත්වයක් නිසාත්, ඒ දෙක ප‍්‍රායෝගික තලයේ ක‍්‍රියාත්මක වීමේදී ඇතැම් විට එකිනෙකට නෑකම් කියන තත්වයක් මතුපිටින් පෙනෙන්ට ඇති නිසාත්, අතීතය විමසා බැලීම දඩයමක් වශයෙන් පහසුවෙන් අර්ථ දැක්වීමේ හැකියාවක් ඇතැමුන්ට ලැබේ. ඒ අනුව, රාජපක්ෂ පාලනයේ අක‍්‍රමිකතා හෝ මහ පරිමාණ දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම, දේශපාලනික දඩයමක් වශයෙන් කෙනෙකුට පෙනෙන්ට පුලූවන. එහෙත් ඒ කු-තර්කයට අප යට වීම යනු, යහපාලනය ගැන තැබූ පොදු ජන විශ්වාසයට පිටුපෑමක් පමණක් නොව, ඇත්ත වශයෙන්ම, සමස්ත යහපාලන අභිලාෂයම, අතීත උරුමයක අවාසනාවන්ත බිල්ලක් බවට කැමැත්තෙන්ම පත්කර ගැනීමක් හෙවත් රාජපක්ෂ උරුමය යහපාලනයේ ‘කරුමය’ කර ගැනීමකි.
‘ඇවන්ගාඞ්’ යනු, මෛත‍්‍රීපාල සිරිසේන හෝ රනිල් වික‍්‍රමසිංහ ඇති කළ සංසිද්ධියක් නොවේ. මීට කලකට පෙර, අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින්ම එය හඳුන්වන ලද්දේ, ‘‘ශ‍්‍රී ලංකාවේ බ්ලැක් වෝටර්’’ වශයෙනි. (‘බ්ලැක් වෝටර්’ යනු, ඉරානයේ අවි ගනුදෙනු අපරාධයකට සම්බන්ධ, ඇමරිකානු සමාගමකි) ‘ඇවන්ගාඞ්’ යනු, රාජපක්ෂ පාලන සංස්කෘතියේ මජර ව්‍යාපාරයකි. එහෙත් එය අද වන විට ප‍්‍රශ්නයක් සහ අර්බුදයක් බවට පත්ව ඇත්තේ, කාගේ ප‍්‍රශ්නයක් සහ අර්බුදයක් වශයෙන්ද? යහපාලන ආණ්ඩුවේ අර්බුදයක් වශයෙනි. ඇතැමුන් මියගියත් ඔවුන්ගේ අවතාර පැමිණ වින කරනවා යැයි ගැමි ජනතාව කියන්නේ මෙවැනි තත්වයකටයි.
රාජපක්ෂ අතීතය විසින් ඉතිරි කර ගියේ, එසේ මෙසේ කුණු කන්දක් නොවේ. නිදහසින් පසු ලංකාවේ බලයේ සිටි කිසි ආණ්ඩුවක් පරාජයේදී සිය අනුප‍්‍රාප්තිකයාට පවරා නොගිය තරමේ මහා බරක් මහින්ද රාජපක්ෂ විසින් යහපාලකයන්ට ඉතිරි කර ගියේය. තවත් විදිහකින් කිවහොත්, මහින්ද රාජපක්ෂගේ පරාජය තුළම, ඔහුගේ හෝ ඔහුගේ මතවාදයේ අනාගත ජයග‍්‍රහණයක බීජත් රෝපණය වී තිබුණු බවයි. කිසාගෝතමීට නොපෙනෙන ඇගේ මහා ව්‍යසනයේ සැබෑව හෙවත් මරණය යනු කාටත් අත්වන දෙයක් බව ඈට ඒත්තු ගන්වනු වස් බුදුන් වහන්සේ කෙළේ, කිසිවෙකු නොමළ ගෙයකින් අබ ඇටයක් ගෙන එන්නැයි ඇගෙන් ඉල්ලා සිටීමයි. ඈ ගෙන් ගෙට ගියාය. එහෙත් ඒ සෑම නිවසකම යම් කිසිවෙකු යම් දවසක මියගොස් තිබුණි. කිසිවෙකු නොමළ ගෙයක් නගරයේ කිසි තැනකකින් සොයා ගැනීමට ඈට නොහැකි වුණි.
රාජපක්ෂ පාලනය විසින් වසර දහයක කාලයක් තුළ ඇති කරන ලද මජර සංස්කෘතියට නොගෑවුනු කෙනෙකු සොයා ගැනීම, එදා නොමළ ගෙයකින් අබ ඇටයක් සොයා ගැනීමට කිසාගෝතමීට නොහැකි වීමේ අර්බුදයට මුළුමණින් සමාන නොවේ නම්, අඩු වශයෙන් සමීපත්වයක්වත් දරණ බව කිව හැකිය. සාමාන්‍යයෙන් එවැනි සංස්කෘතියක සෘජු අර්ථලාභීන් වන්නේ, සමාජයක සිටින ඉහළම ස්ථරයයි. දේශපාලඥයා එහි මුදුනේම සිටී. ඊළඟට, පොලිස් කොස්තාපල්වරයා සහ ග‍්‍රාමසේවා නිලධාරියාගේ සිට, පොලීසියේ, අධිකරණයේ, නීති ක්ෂේත‍්‍රයේ, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ, රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ ඉහළම පුටුවල වාඩි වී සිටින බලපුලූවන්කාරයෝද වෙත්.
‘ඇවන්ගාඞ්’ යනු කළු-සුදු ගනුදෙනුවකි. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් විශාල පිරිසක් නීති විරෝධී අන්දමින් එම ව්‍යාපාරයේ කොටස්කරුවන් වී ඇති බව, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර්වරුන් ගණනාවක්ම, සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. නාවුක හමුදාපතිවරයාත් එම කාරණයම පෙන්වා දෙයි. පාවෙන අවි ගබඩාවෙන් දවසකට ලබන ලාභය රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකි. නැත, එවැනි ලාභයක් ලැබීම නීති විරෝධී වන බවක් මෙයින් නොකියැවේ. එහෙත් රටේ ජාතික ආරක්ෂාවට අදාළ මෙවැනි ක්ෂේත‍්‍රයකින් ලැබෙන එවැනි ලාභයක්, රටේ නාවුක හමුදාවට නොදී, පෞද්ගලික සමාගමකට පැවරුවේ මන්ද යන්න, ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දිය යුතු පැනයකි.
‘ඇවන්ගාඞ්’ සිද්ධිය ගැන පරීක්ෂණ ආරම්භ කෙරුණේ මේ ආණ්ඩුව බලයට පත්වූ ගමන්මයි. එහි සභාපති නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් බලපත‍්‍රය එහිදී අත්හිටුවන ලදි. එහෙත් ටික දවසකින්, අධිකරණය ඉදිරියට ගොස් තම පාස්පෝට් එක ඔහු ඉල්ලා සිටින විට පොලීසිය ඊට විරෝධය නොපෑම නිසා අධිකරණයෙන් එය නිදහස් කෙරුණි. ඒ අනුව, නිශ්ශංක සේනාධිපති විදේශගත විය. දැන් ප‍්‍රශ්නය වන්නේ, වරක් අත්හිටවූ පාස්පෝට් එක අනතුරුව නිදහස් කෙරුණේ, ඔහු නිර්දෝෂී වන බවට අළුත් සාක්ෂි මතුවීම නිසාද, නැතහොත් අයුතු දේශපාලනික මැදිහත්වීමක් හරහාද යන්නයි. අගමැතිවරයාද සහභාගී වූ ‘‘ජාතික විධායක සභාවේදී’’ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නීතිඥවරයා ඊට පිළිතුරක් දුනි. එයින් කියැවුණේ, නිශ්ශංක සේනාධිපති තම පාස්පෝට් එක නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිද්දී ඊට විරුද්ධ නොවන්නැයි ආණ්ඩුවේ ඉහළම පුද්ගලයන් දෙන්නෙකුගෙන් පොලීසියට උපදෙස් ලැබී තිබුණු බවයි.
එදා, තිලක් මාරපන යනු, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ විශේෂ උපදේශකයා ය. විජේදාස රාජපක්ෂ යනු අධිකරණ ඇමතිවරයා ය. නිශ්ශංක සේනාධිපති තමන්ගේ සේවාදායකයෙකුව සිටි බව තිලක් මාරපන ගිය සතියේ කීවේය. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ තමන් බව සහ මත්තටත් අත්අඩංගුවට ගැනීමට තමන් ඉඩ නොදෙන බව විජේදාස රාජපක්ෂත් කීය. දැන් මේ දෙන්නාම තමන්ගේ එකී ස්ථාවරය යුක්ති සහගත කරගන්නේ, නීතිපතිවරයාගේ නිගමනය මත එය පදනම්ව ඇති බව කියමිනි. නීතිපතිවරයාට අනුව, මේ කාරණයේදී නිශ්ශංක සේනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ නිර්දෝෂී ය.
තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ යන දෙන්නාම, පෞද්ගලික නීතිඥවරුන් බව අපි දනිමු. ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඔවුන් පෙනී සිටි කිසි නඩුවකදී, තම සේවාදායකයෙකුගේ නිදහස වෙනුවෙන් මිස, නීතිපතිවරයාගේ මතය පිළිගෙන කිසියම් සේවාදායකයෙකුගේ නඩුවක් පරාජය කිරීමට ඔවුන් කටයුතු කර තිබේදැයි මේ නීතිඥයන් දෙන්නාගෙන් අපි දැන ගැනීමට කැමැත්තෙමු. එවැනි නීතිඥයන් දෙන්නෙකුට අද වන විට නීතිපතිවරයාගේ අදහස දේව භාෂිතයක් වන්නේ කෙසේද?
රජයක ඇමතිවරුන් වශයෙන් ඔවුන්ගේ වර්තමාන සේවාදායකයන් විය යුත්තේ මහජනතාව සහ මුළු රටමයි. එම නඩුවේදී, නීතිපතිවරයාගේ අදහස මත නඩුව වීසි කරන්නැයි ඉල්ලා සිටීමෙන් පෙන්නුම් කරන්නේ, මොවුන් දෙන්නාම තවම නියෝජනය කරන්නේ, ඔවුන්ගේ වර්තමාන සේවාදායකයන් විය යුතුව සිටින මහජනතාව හෝ රට නොව, පරණ සේවාදායකයා වූ නිශ්ශංක සේනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂම වන බවයි.
මෙම කූට ගනුදෙනුවට අදාළ තව අනන්තවත් සාක්ෂි තිබේ. ඊට ගෑවී ඇති තවත් ප‍්‍රබල දේශපාලඥයෝද සිටිත්. කෙසේ වෙතත්, තිලක් මාරපන ඉල්ලා අස්වීම, රාජපක්ෂ ක‍්‍රමයෙන් යහපාලන ක‍්‍රමය වෙනස් වන සැටි කියාපෑ සාධනීය අවස්ථාවකි. එසේම, ‘ඇවන්ගාඞ්’ සමාගමේ ව්‍යාපාරික කටයුතු නැවත වරක් නාවුක හමුදාවට පවරා ගැනීමට ජනාධිපතිවරයා ඊයේ(11) ගෙන ඇති තීරණය විසින් මොවුන්ගේ මතයත් අවලංගු කොට තිබේ. යහපාලනය යනු සර්ව-නිර්දෝෂී වීම නොව, දොසක් ඇති තැන එය නිවැරදි කර ගැනීමට පියවර ගැනීමයි. එහිදී, පිටස්තර සතුරන්ට වඩා අභ්‍යන්තරයේ සිටින ට්‍රෝජන් අශ්වයන් ගැන සැළකිලිමත් වීම වටී.
ගාමිණී වියන්ගොඩ |Gamini Viyangoda