“මුතුරාජවෙල ගොඩකරලා ලොකු ව්‍යාපෘති කරන එකෙන් මීගමු කලපුවට හානි වෙලා මේ ප්‍රදේශයේ ඉන්න ධීවර ජනතාවට ජීවත්වෙන්න කිසිම මාර්ගයක් නැතුව යනවා. මේ පරිසර පද්ධතිය විනාශ වුනොත් අපිට රැකියාවක් නැත්තටම නැතුව යනවා. Makshi lenadදැනටත් එක එක හේතු නිසා මුතුරාජවෙලයි මීගමු කලපුවයි විනාශවෙලා තියෙන්නේ. කලපුවේ රස්සාව නැති වෙලාවට ඇල මාර්ග වලිනුත් අපි මාළු ඉස්සෝ අල්ලලා ජීවත්වෙනවා. එත් ලොකු ලොකු ව්‍යාපෘති කරන්න ඇළමාර්ග – ඉඩම් ගොඩකලොත් ඉස්සරහට ධීවරයන්ට රස්සාවක් නැත්තටම නැති වෙයි ” මැක්ෂි ලෙනාඩ් ගේ මුහුණේ ඇඳී තිබුණේ තමන්ගේ අනාගතය පිළිබඳ බරපතල අවිනිශ්චිත බවකි. මුතුරාජවෙල ඇසුරේ හැදී වැඩුණු ඔහු මුතුරාජවෙල හා මීගමු කලපු තෙත්බිමෙන්ම තම ජීවිකාව සරිකරගන්නා සුළුපන්න ධීවර කාර්මිකයෙකි.

කොළඹ සිට කටුනායක දක්වා අධිවේගී විදුලි දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට වර්තමාන යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට මැති ඇමතිවරුන් පුරසාරම් දෙඩුවේ මහත් උද්දාමයෙනි. එම ව්‍යාපෘතියට අදාල එකගතා ගිවිසුම් අත්සන්කිරීමේ උත්සවය පිළිබඳව ඇතැම් ජනමාධ්‍යද වාර්තා කළේ මහත් උජාරුවෙනි. නමුත් එකී ව්‍යාපෘතිය මගින් මුතුරාජවෙල අභයභූමියේ අක්කර 150ක් ගොඩකිරීම නිසා මහත් පාරිසරික ව්‍යසනයක් සිදුවිය හැකි බවත්, මෙම තෙත්බිම අවට ජීවත්වන මැක්ෂි ලෙනාඩ්ලා දහස් ගණනකගේ ජීවිත එමගින් කබලෙන් ලිපට විසිවිය හැකි බවත් එකී දේශපාලකයන් හා ජඩමාධ්‍ය සඟවා තැබුවේ කුමන හේතුවක් නිසා දැයි විමසිය යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්න ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිම් පරිසර පද්ධතියක් හා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මුතුරාජවෙල අභයභූමියේ අක්කර 150ක් බිලිගනිමින් ඉකුත් ආණ්ඩු සමයේ ඉදිකිරීමට උත්සාහ දැරුණු, පරිසර සංරක්ෂනවේදීන්ගේ මැදිහත්වීමෙන් හකුලා ගැනුණු බෝපිටිය සුඛෝපභෝගී නගර සංවර්ධන ව්‍යාපෘතිය යලිත් ආරම්භ කිරීමට වර්තමාන යහපාලන ආණ්ඩුවද කටයුතු කරමින් සිටින්නේ කොයි ආණ්ඩුවත් එකම අච්චුවේ බව යලි යලිත් අවධාරණය කරමිනි.

මීට අදාල එකගතා ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා කොළඹදී සිදුකෙරුණේ අදාල සමාගමේ හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ මෙන්ම මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ සහභාගීත්වයෙනි. මීගමුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා දිවෙන කිලෝමීටර් 42ක දිගින් සමන්විත අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වන මෙමගින් බෝපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සුඛෝපභෝගී නගරය සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත් තෙත්බිම් අක්කර 150ක් මුල් අධියරයෙදී මෙසේ පෞද්ගලික සමාගමකට බිලිදීමට නියමිතය.
z_pii-Malaysia-u

මැලේසියාවේ Airport Express Air and Rail Company (Pvt) Ltd නැමති සමාගම විසින් උක්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුලින්ම උත්සාහ දරුණේ ශ්‍රී ලංකා ආයෝජනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනලද 2012 දෙසැම්බර් 13 දිනැති අයදුම්පත්‍රය මගිනි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා අදාල ඉඩම් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන හා මහා ව්‍යාපෘති පිළිබඳ විධායක අධ්‍යක්ෂ ශිවන් ද සිල්වා විසින් EC/4/1718/12 අංක දරන ලිපිය මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීම් කර තිබුණේ 2013 දෙසැම්බර් 05 වැනිදාය. මෙම ව්‍යාපෘතියට අදාලව කෙරවලපිටිය හා බෝපිටිය ප්‍රදේශවල සුඛෝපභෝගී නගර දෙකක් ඉදිකිරීමට නියමිත අතර එයින් බෝපිටිය නගරය ඉදිකිරීමට නියමිතව ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට යාබද මුතුරාජවෙල අභයභූමියට අයත් තෙත්බිම් අක්කර 150ක භූමියක් යොදා ගනිමිනි.

මේ සම්බන්ධයෙන් එල්ලවූ විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය හකුලා ගැනීමට එවකට බලධාරීන් කටයුතු කලද යලිත් මෙසේ ඉතිහාසයේ සිදුවීමට ගිය වරද යලිත් සිදුකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ මුතුරාජවෙල අභයභූමියට යහපාලනයෙන් වත් සහනයක් අත් නොවේද යන ගැටළුව අප හමුවේ ඉතිරි කරමිනි. මීට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇති බව දැනගන්නට ලැබී තිබේ.

නමුත් මෙකී ව්‍යාපෘතිය සිදුකිරීමට බලධාරීන් ඉඩ ලබා දුනහොත් දිවයිනේ අගනුවර ආසන්න ඉතා වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල අභයභූමියේ වනජීවී ප්‍රජාවට බරපතල බලපෑම් සිදුවන අතරම මෙම තෙත්බිම මගින් සැලසුණු ඉමහත් සේවාව නොලැබී යාමෙන් ආශ්‍රිත ජනතාවටද දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බව පරිසරවේදීන් අනතුරු අඟවති.

Aruna weerasinha
Aruna weerasinha

මේ පිළිබඳව අදහස් දැක්වූ මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ කළමනාකරු අරුණ වීරසිංහ මහතා සඳහන් කලේ “මුතුරාජවෙල හා මීගමු කලපු තෙත්බිම අපට සමාජාර්ථික වශයෙනුත්, ඓතිහාසික වශයෙනුත්, පාරිසරික වශයෙනුත් ඉතා වැදගත් වෙනවා. මෙම තෙත්බිමේ ඉතිහාසය 16 වැනි සියවස දක්වා ඈතට ඇදී යනවා. කෝට්ටේ රාජධානි සමයේ රටට බත සපයපු කෙත්බිමක් වශයෙන් මුතුරාජවෙල ඉතිහාස ගතවෙනවා. එසේම මෙම තෙත්බිම ජෛවවිවිධත්වය අතිනුත් ඉතා වැදගත් වෙනවා. තෙත්බිමක ජෛවවිවිධත්වය දෙවැනි වෙනවනම් දෙවැනි වෙන්නේ තෙත් සදාහරිත වනාන්තරයක ජෛවවිවිධත්වයට පමණියි. ඒ නිසා මෙම තෙත්බිම් පරිසර පද්ධතිය අපේ රටට පමණක් නොවෙයි, මුළු ලෝකයටම ඉතා වැදගත්වන පරිසර පද්ධතියක් ”.

1989 වසරේදී ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත්බිම් 41 අතරට ඈතුලත් කරනලද මුතුරාජවෙල තෙත්බිමට අයත් හෙක්ටයාර් 1029ක භූමි ප්‍රමාණයක් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත යටතේ 1996 ඔක්තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි දැනට වාර්තාවී ඇති සත්ව කාණ්ඩ 07 කට අයත් විශේෂ 449 ක වනජීවීන් ප්‍රමාණය මෙහි ජෛව විද්‍යාත්මක අගය කියාපාන අතරම ඒ අතරින් විශේෂ 26 ශ්‍රී ලංකාවට අවේණික වීමද සුවිශේෂී කරුණකි.

මෙහි ඇති පාරිසරික වැදගත්කමට නොදෙවැනි ආර්ථික හා සමාජීය වටිනාකම් රැසක්ද මුතුරාජවෙල මගින් ජනතාවට සැලසෙයි. නමුත් එතරම් වටිනාකම් රැසකින් සමන්විත මුතුරාජවෙල තෙත්බිමේ ස්ථිරසාර පැවැත්ම තහවුරු කිරීමට බලධාරීන් තවමත් කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවකි. අධිවේගී දුම්රිය මාර්ගය හා බෝපිටිය සුපිරි නගර ව්‍යාපෘතියද මෙම රමණීය තෙත්බිම ගිලගැනීමට මාන බලන්නේ මෙවැනි පසුබිමකය.

Nimal perera
Nimal perera

ප්‍රදේශයේ ජීවත්වන තවත් සුළුපන්න ධීවර කාර්මිකයෙකු වන නිමල් පෙරේරා මහතා සඳහන් කලේ “අපි ජීවත් වෙන්නේ මුතුරාජවෙලේත් මීගමු කලපුවෙන් මාළු, ඉස්සෝ අල්ලලා. ඉඳලා හිටලා දර ටිකක් කපාගන්න කැලේකට ගොඩවෙනවා. එත් කලපු රස්සාව නැත්තටම නැතිවෙලා අපට මාළු රස්සාව නැත්තට නැතිවෙලා තියෙන්නේ ලොකු ලොකු කට්ටිය කලපුව වටේම අල්ලලා ගොඩකරගෙන කඩොල් යහන කපල විනාශ කිරීම නිසා. ඒ නිසා අපට කලපුවේ ධීවර රස්සාව නැත්තටම නැතිවෙලා යනවා. කලපුවෙන් විතරක් නෙවෙයි, මුතුරාජවෙල ඇළ පාරවල් වලිනුත් අපි මාළු ඉස්සෝ අල්ලනවා. එත් දැන් මාළු ගොඩක් හිඟ වෙලා. අපි වගකිවයුත්තන්ට දන්වලත් තියනවා. නමුත් මේ වෙනකල් කිසිම විසඳුමක් ලබා දීලා නැහැ”

දේශීය ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සඳහා අවශ්‍ය මසුන්, කකුළුවන් හා ඉස්සන් වැනි ජලජ ජීවීන් ලබාදීම සඳහා මුතුරාජවෙල තෙත්බිමෙන් ඉටුවන කාර්යභාරය ඉමහත්ය. මෙහි ජීවත්වන මත්ස්‍ය විශේෂ 28න් 24ක්ම ආහාරමය වශයෙන් භාවිතයට ගැනෙන අතර, ඇල මාර්ග හා මීගමු කලපුව ආශ්‍රිතව සිදුකරන ධීවර කර්මාන්තයෙන් යැපෙන ජන සංඛ්‍යාවද විශාලය. මෙහි ජනතාවගෙන් 13% – 14% ත් අතර පිරිසක් මුතුරාජවෙල තෙත් බිමේ මත්ස්‍ය අස්වනු නෙලාගනු ලබන අතර, මීගමු කලපුව අවට ජීවත් වන ගම්මාන 26කට අයත් පවුල් 3000 ක් පමණ එහි ධීවර කර්මාන්තය මගින් යැපෙති. මීගමු කලපුවෙන් ඉතා ඉහළ මත්ස්‍ය නිෂ්පාදනයක් නෙලා ගැනීමට මෙම ධීවර ප්‍රජාවට හැකියාව ලැබෙන අතර එම ප්‍රමාණය ආසන්න වශයෙන් වසරකදී හෙක්ටයාරයට මත්ස්‍ය කිලෝග්‍රෑම් 150ක් පමණ වේ. ඉතා පුළුල් පරාසයක පැතුරුණු පන්න ක්‍රම භාවිතා කරමින් මෙහි සාමාප්‍රදායික යැපුම් ධීවර කර්මාන්තයේ සිට වාණිජ්‍යමය ධීවර කර්මාන්තය දක්වා විවිධ මට්ටමෙන් මසුන් මැරීමේ නිරත පිරිස් හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකු විනෝදය හා පෞද්ගලික පරිභෝජනය සඳහා බිලී පිති උපයෝගී කරගනිමින් මෙහි මසුන් මැරීම සිදු කරනුද සුලභව දැකිය හැකිය. තවද මෙහි ජලජ පරිසර පද්ධතිවල ජීවත් වන කකුළුවන් හා ඉස්සන්ද ධීවරයන්ගේ ආර්ථික මට්ටම උසස් කිරීමට දායක වන අතර, මීගමු කලපුව ආශ්‍රිත පරිසර පද්ධතිය මිරිදිය මෙන්ම කිවුල්දිය ජලජීවී විශේෂ අභිජනන මධ්‍යස්ථානයක් හා ආරක්ෂිත වාසස්ථානයක් ලෙස ක්‍රියාකිරීම විශේෂයෙන් සැලකිල්ලට ගතයුතුය. මුතුරාජවෙල ආශ්‍රිතව තවමත් සිදුකරන සාම්ප්‍රදායික මසුන් මැරීමේ ක්‍රමයක් ලෙස “මස් අතු” හැඳින්විය හැකිය. එහීදි සිදුකරනු ලබන්නේ කඩොලාන ශාක අතු ගෙනවිත් කලපුවේ තැන තැන ගොඩ ගැසීමය. ඒ තුළ සැලසෙන ආවරණය හා ජනනය වන ආහාර නිසා මසුන් ඒ වෙත ඇදී එති. මෙසේ රැස් වෙන මසුන් අල්ලා ගැනීම මුතුරාජවෙල තෙත් බිමේ ඇති ආර්ථික වැදගත්කම කියා පාන අතරම එමගින් තවදුරටත් විචිත්‍රණය වන්නේ තෙත් බිම් හා ඒ ආශ්‍රිතව දිවි ගෙවන ජනතාව අතර ඇති සහජීවනය බවද නොකියාම බැරිය. මීගමු කලපුව ඔස්සේ සාගරය වෙත ගමන් කර ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ටද තම බෝට්ටු නැංගුරම් ලා ගැනීමට හා ආරක්ෂිත නවාතැන් පොලක් ලෙස මීගමු කලපුව මගින් මනා සහයක් ලැබේ.

327fd7ffde
(ඉදිකිරීමට යෝජිත බෝපිටිය සුඛෝපභෝගී නගරයේ සැලැස්ම)

එබැවින් සුපිරි නිවාස සංකීර්ණ , හෝටල් , කඩ සාප්පු , වෛද්‍ය මද්‍යස්ථාන , ක්‍රීඩාංගනය , ගොල්ෆ් පිටි ආදී සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගරයක් ඉදිකර පෞද්ගලික සමාගමකට කෝටි ගණන් මුදල් ඉපයීමට ඉඩ සලසා දෙමින් මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව පරම්පරා ගණනක් ජීවත්වූ අසරණ ජනතාවගේ ජීවිත කබලෙන් ලිපට විසිකර දැමීමට කටයුතු කරන මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘතියට මුතුරාජවෙල තෙත්බිමේ හා අභයභූමියේ ඉඩම් බිලි නොදීමට වගබලා ගැනීම නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව අප ඉතාමත් අවධාරණයෙන් සඳහන් කරනු කැමැත්තෙමු.

ඉඩම් ගොඩකිරීම් හා අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් හේතුවෙන් මුතුරාජවෙල හා මීගමු කලපු තෙත්බිම මත යැපෙන ධීවර ප්‍රජාවට එල්ල විය හැකි බලපෑමට අමතරව එමගින් තවත් පාරිසරික හා සමාජාර්ථික ව්‍යසනයන් රැසක් ඇතිවීමේ අවධානමක් පවතින බව පරිසරවේදීන් පෙන්වා දෙති. මුතුරාජවෙල තෙත්බිමෙහි වටිනාකම ගැන සාකච්ඡා කිරීමේදී එය ප්‍රධාන කොටස් 03කට බෙදා දැක්විය හැකිය. එනම් තෙත්බිමෙන් ඍජුව ලබාගත හැකි ප්‍රයෝජන, තෙත් බිමෙහි ක්‍රියාකාරීත්වය මගින් ලැබෙන ප්‍රයෝජන හා එහි ස්වරූපය මගින් ජනනය වන ප්‍රයෝජන වශයෙනි.

තෙත් බිම් වලින් ඇති ඍජු ප්‍රයෝජන යනු මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තෙත් බිම් උපයෝගී කර ගැනීමය. මිනිසාගේ ආර්ථික සමාජිය හා සංස්කෘතිකමය සංවර්ධනය උදෙසා ඍජුව සහ වක්‍රව තෙත්බිම් උපයෝගී කරගැනීමේ අවස්ථාවන් මේ යටතට ගැනේ. තෙත් බිම්වල ක්‍රියාකාරීත්වය යනු මිනිස් ක්‍රියාකාරකම්වලට ආධාර කෙරෙන හෝ ආරක්ෂාව ලබාදෙන නමුත් ඍජුවම මිනිස් පැවැත්මට බල නොපාන ක්‍රියාකාරකම්ය. තෙත් බිමක ස්වරූපය ලෙසින් සලකනුයේ ඍජු ආර්ථිකමය ප්‍රතිලාභ නොවන එහෙත් සමස්ත රටටම සැලසෙන ප්‍රයෝජනයන්ය. එකී සියළු ඵල ප්‍රයෝජන මුතුරාජවෙල තෙත්බිමෙන්ද ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට හැකියාව පවතිද්දී බලධාරීන් අටුවා කඩා පුටුව සැදීමටතරම් අනුවනවීම ජාතියේ අවාසනාවකි.

රටකට සංවර්ධනය අත්‍යාවශ්‍ය නමුත් තිරසාර නොවන සංවර්ධන ව්‍යාපෘති මගින් අපේක්ෂිත දීර්ඝකාලීන ප්‍රතිපල ජනතාව වෙත නොලැබෙන බව යලි යලිත් කිවයුතු නැත. එසේම මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ අධිවේගී මාර්ගයට යාබද වෙනත් සුදුසු ඉඩම් සොයා ගැනීමට ඕනෑ තරම් අවකාශ තිබියදී සොබාදහමේ අමිල දායාදයක් වන තෙත්බිමක් ඒ සඳහා කෙලෙසා දැමීම කිසිඳු ලෙසකත් අනුමත කළහැකි නොවේ.

මුතුරාජවෙල, මීගමු කලපුව හා දඬුගම් ඔය ආශ්‍රිතව පාරිසරික සංචාරක කර්මාන්තය ඉතා උසස් මට්ටමකින් සංවර්ධනය කළ හැකි අතර, කුරුල්ලන් නැරඹීම, පරිසර ගවේෂණය, පාරිසරික ඡායාරූපකරණය, ඔරු පැදීම හා විසිතුරු මසුන් නැරඹීම සඳහා සංචාරක ආකර්ෂණයක් ලෙස මුතුරාජවෙල කඳිම තොතැන්නකි. මෙම තෙත් බිම අවට ක්‍රියාත්මක වන හෝටල් හා ආපනශාලා වල රැකියාවේ යෙදී සිටින පිරිස 1500ක් පමණ වන අතර වාර්ෂිකව 20000කට වැඩි සංචාරකයින් පිරිසක් මේ වෙත ඇදී එති.

එසේම මුතුරාජවෙල තෙත්බිමේ ක්‍රියාකාරීත්වය මගින්ද ඒ අවට ජනතාවට මෙන්ම පොදුවේ ගත්කල මුළු රටටම ලැබෙන ප්‍රයෝජනද රැසකි. මිනිස් අවශ්‍යතා ඉටුකර ගැනීමේදී ඍජුවම දායක නොවන සහ ඍජුවම මිනිස් පැවැත්මට බලනොපාන නමුත් මෙමගින් මිනිසාගේ පැවැත්මට වක්‍ර වශයෙන් ලැබෙන දායකත්වය විශේෂයෙන් සලකා බැලිය යුතුය. මිනිසාගේ පැවැත්මට ඉතා වැදගත් කාර්යයභාරයක් ඉටුකරන ජල සම්පාදනය සම්බන්ධයෙන් තෙත් බිමකින් ලැබෙන දායකත්වය මෙහිදී සුවිශේෂී වෙයි. ජලය පිරිසිදු කිරීම, ගබඩා කීරිම හා සැපයීම, භූගත ජලය ප්‍රතිශ්ඨාපනය මෙන්ම ගංවතුර පාලනය සම්බන්ධයෙන්ද තෙත්බිම් සක්‍රීය මෙහෙයක් ඉටු කරයි. වර්ෂාව මගින් ලැබෙන ජලය රැස්කර ගැනීම හා ඉහළ ජල පෝෂක ප්‍රදේශවලින් ගලාඑන ජලය රඳවා ගැනීම මගින් තෙත්බිම් ඒවායේ ධාරිතාවය වැඩිකර ගනී. එමගින් භූගත ජලයද ප්‍රතිෂ්ඨාපනය කරයි. දීර්ඝ කාලීනව මිනිස් පරිභෝජනයට අවශ්‍ය ජලය සපයාගැනීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වෙයි. එසේම මෙමගින් අවට ප්‍රදේශවලට එල්ලවන ජල ගැලීම් හා ගංවතුර තර්ජනය අවම කිරීමටද මුතුරාජවෙල තෙත්බිම මහෝපකාරී වේ. මුතුරාජවෙල අවට උස් බිම් මෙන්ම දඬුකම් ඔය, කළු ඇල හා කැළණි ගඟ මගින් ප්‍රධාන වශයෙන් ගලා එන අතිරික්ත ජලය රඳවා තබාගැනීමට කියුබික් මීටර් බිලියන 11ක පමණ උපරිම ජල ධාරිතාවයක් සහිත මුතුරාජවෙල තෙත්බිම කටයුතු කරන අතර එම ජලය දින 10ක් පමණ දක්වා රඳවා තබාගැනීමටද තත්පරයට කියුබික් මීටර් 12.5 ක පමණ වේගයෙන් මුදාහැරීමටද කටයුතු කිරීම මගින් මුතුරාජවෙල ප්‍රදේශයේ ගංවතුර මැඩලීමට මහෝපකාරී වෙයි. තවද වර්ෂා ජලයේ සේදී එන රොන් මඩ, වැලි හා වෙනත් අවලම්බිත ද්‍රව්‍ය රැස්කරන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම මගින් ජලය පිරිසිදු කිරීමටද තෙත් බිම් වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. තෙත් බිමෙහි වැඩෙන ඇතැම් ශාක මගින් ජලයේ අඩංගු රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ අංශු උරාගැනීම සිදුකරන අතර, ජලයේ පාවී එන පොලිතින්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යරිඳවා ගැනීමද සිදු කරයි.

තවද 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 දිනැති අංක 859/ 14 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් තුල හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුලත යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදුකිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා එවැනි අනුමැතියක්ද ලබාගෙන ඇතිබවක් දැනගන්නට නැත. එබැවින් අප බලධාරීන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ සිදුවන්නට යන මහා විනාශයෙන් මුතුරාජවෙල අභයභූමිය ආරක්ෂාකර එහි වටිනාකම් මතු පරම්පරා ගණනාවක් වෙනුවෙන් ඉතිරිකර තැබීමට කඩිනමින් මැදිහත් වන ලෙසය.

සුපුන් ළහිරු ප්‍රකාශ්