ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිකඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ කහපාට හිරු එළිය වැටුනම හරිම ලස්සනයි. කස්තානියන් ගස්වල, බියර්කන් ගස්වල මුදුන්වලට හිරු එළිය වැටිල දිලිසෙනව.
එතකොට මිනිස්සුන්ට මතකයට එනව ළඟදිම මේ පාට පාට ලෝකය එකම අඳුරු අලු පාටකින් වැහිල, ඉන්පස්සෙ හිම පියලි පියාඹන්න ගන්න බව. සීතල හිමෙන් පළාතම වැහෙනකොට කොළ නැති ගස්වල ඉපල් විතරක් අලුපාට අහසට ඇඟිලි දික් කරන හැටි ආයෙ දකින්න පුළුවන් බව සිහි ගන්වනව.
බර්ලින් නගරයටත් මේ කාලය උදාවෙලා. නොවැම්බරය කියන්නෙ බර්ලින් නගරයට වගෙම මුළු ජර්මනියටම අමතක කරන්න බැරි, අමතක නොකළ යුතු ඉතිහාසයක් ඇති තැනක්. දැනට වසර 75 කට උඩදි, ඒ කියන්නෙ 1938 නොවැම්බර් 09 වෙනිදා ජර්මානුවන්ගේ ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එකතු කරමින් එතකොට බලයෙ හිටපු හිට්ලර්ගෙ නාසි ආණ්ඩුව විසින් සංවිධානාත්මකව එක රැයකින් යුදෙව්වන්ට එරෙහිව සංහාරයක් දියත් කිරීම ඇරඹමින් NSDAP පක්ෂය, (National Socialist Deutsche Arbeiterpartei) ( ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය) විසින් මෙහෙයවන ලද මෙම නොවැම්බර් 09 වෙනි දින සංහාරය ඔවුන් එදා හැදින් වූයේ ‘රයිහ් ක්‍රිස්ටාල් නහ්ට්’ Reichskristallnacht(රාජධානියේ දිදුළන රැය) කියාය.ඒත් එදා නාසි මේ සංවිධානාත්මකව ඇරඹූ යුදෙව් සංහාරය සාමාන්‍ය ජර්මන් මිනිසුන් කළ දෙයක් විදිහට ලෝකයට හඳුන්වා දෙන්නයි නාසීන් උත්සාහ කලේ. කෙසේ වුවත් අද වන විට ජර්මන් මිනිසුන් මේ රාත්‍රිය හඳුන්වන්නේ‘ රයිහ් පෝග්රෝම් නහ්ට්- Reichspogromnacht (රාජධානියේ භීෂණයේ රාත්‍රිය) කියාය. එදා නොවැම්බර් 09 දින රෑ යුදෙව් පල්ලි (සිනගෝගස්) 1400 කට ගිනි තබනු ලැබීය.
යුදෙව් කඩ සාප්පු සහ ගෙවල් දොරවල්වල වීදුරු ජනෙල් කඩා බිඳ දමනු ලැබීය. සාප්පු ගිනිබත් කරනු ලැබීය. කැඩූ ජනෙල් වල වීදුරු කටුවලින් පාරවල් පිරී ගිය අතර ගිනි ගන්නා ගෙවල්වල එළියෙන් මේ වීදුරු කටු දිලිසෙන විට මෙම දිලිසෙන වීදුරු කටු ඔවුන් හැදුන්වූයේ ‘රයිහ්’ ක්‍රිස්ටාල් නහ්ට් – Reichskristallnacht’ යනුවෙනි. ඇත්ත නම් ඒ රෑට පමණක් යුදෙව්වන් 400කට වඩා ප්‍රමාණයක් මරා දමනු ලැබීමයි. යුදෙව් මිනිසුන් 33000 ක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් වධකාගාරවලට යවනු ලැබීය. මේ රාත්‍රියේ ගිනි තැබූ සාප්පු සහ යුදෙව් දේපළ වටා නාසි ජර්මානුවන් සිංදු කියමින් නැටීය. ඒත් එදා සිදුවීම් ගැන පිංතූර දකින මගේ මනස තුල මගේ මතකයට ඇඳුනේ ලංකාවයි.
1983 රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානාත්මකව දෙමළ කඩ ගිනිතබා, දෙමළ මිනිසුන් මහමග පණ පිටින් පුළුස්සමින් ඒ වටා බයිල කියමින් නැටූ මිනිසුන්ගේ රූ මා මතකයට නැගුණි. එක රැයකින් එක් ලක්ෂ පනස් දහසක් පමණ අනාථාගාරවලට ගාල් කරනු ලැබූ අතර ඔවුන්ව නැව්වල පටවා අනාථයන් ලෙස උතුරට පටවනු ලැබුණි. කඩ සාප්පු කඩමින්, අතින් කරින් බඩු එල්ලාගෙන ඒවා මංකොල්ල කෑ හැටි එදා අපිට දකින්නට ලැබිණ. ලංකා රජය ද එදා උත්සාහ කලේ මේ විනාශ කිරීම් සිංහල ජනයා කුපිතව නැගිට කළ දෙයක් ලෙස පෙන්වීමටයි.
මේ නොවැම්බර් 09 දින උදේ බර්ලිනයටත් හිරු හොඳින් පායා තිබිණ. සීතල වුවත් ඉල් මාසයේ ලස්සන දවසක ලකුණු අහස පුරා පැතිර තිබිණ. හැමතැනම පදික වේදිකාවල මිනිස්සු කණ්ඩායම් රැස්වී පදික වේදිකාවේ ඇති යමක් රෙදි කෑලිවලින් පිස දමමින් සිටිනු දුටු මම ඔවුන් කුමක් කරනවාදැයි ලංවී එබී බැලුවෙමි. මේ මිනිසුන් කරමින් සිටියේ එදා ඒ අන්ධකාර සමය සිහි ගන්වා එවැනි දෙයක් නැවත ඇතිවීම වලක්වා ගැනීමට ඒ මතකයන් නැවත අවදිකිරීමකි. මේ පදික වේදිකාවල ඔවුන් සුද්ධ කරමින් සිටියේ 1995 ජර්මන් කලාකරුවෙකු වූ Gunter Deminig – ගුන්ටර් ඩෙම්නිග් විසින් ආරම්භ කළ මුළු යුරෝපය පුරාම පදික වේදිකාවල ‘නාසි ජර්මිනියේ ඝාතනයන්’ සිහි කරවීම සඳහා ලක්ෂ ගණනින් වළලා ඇති පා පැකිළෙන ගල්ය. සිමෙන්ති ගල්වලින් සම මට්ටමකට තනා ඇති පදික වේදිකාවේ අගල් 6 x 6 මෙම පිත්තල ගල් වළලා තිබුනේ අගල් භාගයක් අනෙක්වාට වඩා මතුව සිටින ලෙසයි. එවිට මග යන එන්නන්ගේ පය ඒවායේ පැකිලේ. පය පැකිළුණු අය එදෙස බලන විට එම ගල මෙන්ම ඒ මත ලියා ඇති වැකිය ද නෙත ගැටේ. මේ ගල් වළලා තිබුනේ යම් කිසි ගෙදරකින් යුදෙව්වෙක් හෝ යුදෙව්වන් ගණනාවක් ගෙන ගියේ නම් ඒ ගෙන ගිය ගෙවල් ඉදිරිපිට පදික වේදිකාවේය. මේ ගල මත ලියා තිබුනේ මේ ගෙන ගිය පුද්ගලයාගේ උපන් දින ඇතුළු විස්තරයි. එතුලින් එදා ඝාතනය වූ මිනිසුන් ගැන මතකයක් සෑම මොහොතකම මග යන එන්නන් තුල මතු කරනු ලබයි. මෙතුලින් ඔවුන් උත්සාහ කරනුයේ ඒ අඳුරු කුරිරු යුගය සදා මතකය තුල තැන්පත් කිරීමයි. මේ වන විට ජර්මනිය තුල පමණක් මෙවැනි ගල් 43000 ක් වළලා ඇත. මේ නොවැම්බර් 09 දින උදෑසන ජර්මන් මිනිසුන් පදික වේදිකාවල වටවී මේ පිරිසිදු කර ඔපවත් කරමින් තිබුනේ ඒ කුරිරු යුගය අමතක නොවීමට තමන්ගේ මතකයයි. මෙය දුටු මා තුල ඇති වූයේ පහන් සංවේගයකි. ඒ කාලකණ්නි වරද පිළිබඳ මතකය ඔවුන් අමතක නොකිරීම ඒ සාපරාධී අපරාධ නැවත ඇතිවීම වලක්වා ගැනීමට කරන උත්සාහය දුටු මට ඇතිවූයේ සතුටකි.
තමන්ගේ අතීත වැරදි හඳුනා නොගැනීම තුලින්, එම වැරදි වැරදි ලෙස පිලි නොගැනීම තුලින්, එම වැරදි නැවත නැවත ඇති කරන ඉතිහාසයක් ඇති මා උපන් රට වෙතට මගේ මතකයන් නැවත ඇදී ගියේ සංවේගී සිතිවිලිවලට මැදිවය.
ඉල් මාසය ලංකාවට කොපමණ අඳුරු සෙවණැලි වැටුනු කාලයක්ද? වැරදි දේශපාලන ක්‍රියාවන් නිසා (ඒ තමන් කරන ක්‍රියාව ඉතා නිවැරදි දේශපාලන ක්‍රියාවක් යයි ද එයින් ජනතා සුභ සිද්ධියට මග පෑදෙනවා යැයි ද විශ්වාස කරමින්) බල අරගලය තුල නිවැරදි මග පෙන්වීමක් නොමැති නිසාවෙන් කී දහසක් ජීවිත අකාලේ විනාශ කර දමා තිබේද? මෙසේ රට තුල මිනිසුන් මරා දැමීම් වලදී රජය, රජයේ හමුදා, පොලීසි සහ පරා මිලිටරි කණ්ඩායම් විසින් ත්රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අය ද, විප්ලවවාදීන් ය කියන ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් විසින් ද්‍රෝහීන් ලෙස නම් කළ අය ද, එල්ටීටීඊ ඇතුළු දෙමළ සන්නද්ධ කණ්ඩායම් තම විරුද්ධවාදීන් ද්‍රෝහීන් ලෙස නම් කරමින් ද ඒවාගේම එම ප්‍රදේශවල ජීවත් වූ සිංහල හෝ මුස්ලිම් මිනිසුන් ද මරා දමනු ලැබීය. රජයේ හමුදාවන් සහ පොලීසි විසින් ත්රස්තවාදීන් ලෙස නම් කරමින් දෙමළ සිවිල් වැසියන් ද ඒවාගේම දෙමල සටන් කාමීන් ද වශයෙන් මෙකී නොකී ලාංකිකයන් ලක්ෂ ගණනක් මේ වන තුරු මරා දමනු ලැබ ඇත. එය අඩු වැඩි වශයෙන් තව දුරටත් සිදු වෙමින් පවතී. ඒ සඳහා වෛරී මතවාදයන් විවිධ දේශපාලන බලවේග විසින් නැවත සමාජ ගත කරමින් පවතී.
දකුනේ ‘ඉල් මහ විරු’ සමරු පවත්වන්නේ මිය ගිය තම පක්ෂ සාමාජිකයින් සමරමිනි. ඒත් ඔවුන් අතින් මිය ගිය අයට හිමිවන තැන කුමක්ද? ඉතිහාසයේ වැරදි තේරුම් නොගැනීමෙන් ඒ වැරැද්ද නැවත නැවත සිදුවීම වලක්වා ගත නොහැකි වන බව අපි දනිමු. නමුත් ඉතිහාසයේ වැරැද්ද ‘වීර ක්‍රියාවක්’ සංකේතවත් කරමින් එයට තව තවත් ආශ්වාදජනක බවක් ගොඩ නගන්නේ නම් එතුලින් එම වැරැද්ද නැවත ඇති කිරීමට ඉනිමං තනනවා පමණක් නොව තවත් මහා ඉතිහාසීය ඛේදවාචකයකට මග පාදන බව අපි මතක තබා ගත යුතු වෙමු.
දේශපාලන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මිනිසුන් මරා දැමීම පහසු දෙයකි. ලංකා සමාජය 1971 සිටම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මිනිසුන් මරා දමති. ඒ එකා දෙන්නා නොව දස දහස් ගණනින් ය. ඒත් ඒ දේශපාලන ප්‍රශ්න ඒ අයුරින්ම හෝ ඊටත් වඩා තීව්ර සහ සංකීර්ණ වී නැවත මතුවන බව මේ 42 වසරක ලේ වැකුණු ඉතිහාසය ලංකා සමාජයට නැවත නැවතත් කියා දෙනු ලැබීය. කියා දෙමින් තිබේ. එහෙත් මේ සත්‍යයට මොහොතක් සංයමකින් සිතා ප්‍රශ්න නිරාකරණයට ඇති එකම මාර්ගය වන සාකච්ඡා සහ ඇහුම්කන් දීම ආදේශ කිරීමට ලංකා දේශපාල බලවේග මේ ඉල් මස වත් ඉටා ගන්නේ නම් එය ලංකා සමාජයට මහත් සුභ සිද්ධියක් සහ සහනයක් සදනු ඇත.
එකෙකුගේ ද්‍රෝහියා අනෙකාගේ ආදරවන්තයාය. එකෙකුට ත්රස්තවාදියා අනෙකාට කැප කිරීම් කරන වීරයෙකි. එකෙකුට කුලී භටයා අනෙකාට රට රකින්නෙකි. එකෙකුට ප්රතිවිප්ලවවාදියා අනෙකාට ප්‍රජාතන්ත්‍රවාදියෙකි. එකෙකුගේ විප්ලවවාදියා අනෙකාට ත්‍රස්තවාදියෙකි. ඉතින් මෙසේ මිනිසුන්ට ලේබල් අලවා මරා දැමීමෙන් වත්, මරා දමා ලේබල් ඇලවීමෙන් වත් ලංකා සමාජය ගිලී ඇති මේ අන්ධකාරයෙන් ගොඩ ආ නොහැක.
මොහොතක් සිතා බලන්නේ නම් 71 සිට මරා දැමූ අය කොපමණද? ඔවුන්ගෙන් කී දෙනෙක් ගැන ඔවුන්ගේම අනුගාමික පක්ෂ හෝ කණ්ඩායම් දනී ද? ඔවුන්ගේ මිය ගිය නාමයන්ගේ කීර්ති නාමය විකුණන කී දෙනෙක් ඒ මිය ගියවුන්ගේ දරුවන් ඥාතීන් විඳින වේදනාව හඳුනත්ද? මෙය උතුරේත් දකුණේත් මේ වන තුරු නොකඩවා සිදුවෙමින් පවතී. මේ සත්‍යයෙන් අපට පලා ගිය නොහැක. කළ යුත්තේ මිනී මරණ දේශපාලනයට තිත තැබීමයි. මිය ගිය අය ගැන වීර කතා කීම වෙනුවට ඔවුන් සමරමින් ඔවුන් මිය යාමට හේතු වූ වැරදි දේශපාලනය ගැන කතා කළ යුතුය. ඔවුන් සැමරීම තුලින් විය යුත්තේ ඒ නිස්කාරණ මරා දැමීම් විවේචනය වීම මිස කිසි වග විභාගයක් නැතිව ඒ අවධියේ වැරදි දේශපාලනය වීර කාව්‍යක් කර එතුලින් තවත් එවැනිම කොටසක් වල පල්ලට යැවීමට එම දේශපාලන වැරැද්ද නැවත කිරීම නොව නිවැරදි දේශපාලනයකට එය මගක් කර ගැනීමයි. මේ ඉල් මස ‘විරු සමරු’ පවත්වන අතරම එදා තම වැරදි දේශපාලනයෙන් මිය ගිය විරුද්ධවාදීන් ගැන ද මෙනෙහි කරන්නේ නම් එය නිවැරදි දේශපාලන ගමනකට මග පෙන්වීම ආරම්භ කරනු ඇත.[RE-POST | Vikalpa ’13]
රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi