සිංහල, Economic issues, Life quips, Moneragala

මහපොළොව මරා දමා සීනි කවන චින්තනය….!

sevanagal-suger.jpg
දසත පැතිරෙන ඝන අඳුරය. අඳුරු මේඝවලා පිරිවරා සිටි අහස් කුස ගොලුව වේදනාවෙන් දුක දරා සිටින්නාක් මෙනි. හඳපානාගල වැව් තාවුල්ලේ සිට පෙරදා මා වින්දනය කළ සඳ තරු පිරි අහසෙහි සුන්දරත්වය සොරා ගත්තේ කවුරුන්ද..? වැව් ඉස්මත්තේ සිටින මගේ හදවත යම් අඳුරකින් පිරී ඇතැයි මට දැනේ. මී විත දෙතොළ තැවරෙන විට වෙනදා මුවින් නැගෙන ගී පද, කවි සිතිවිලි සිතට නොනැගෙයි. හඳපානාගල වැව් ඉසමත්තේ වල් අලියෙකුට දැමූ වෙඩිල්ලකින් මා සිත අවදිවේ.

බිම්බරක් සෙනඟ ගැවසුනු
චන්ද්‍ර සූර්‍යයා ඉපදුනු
රම්‍ය භූමියේ මනරම්
මාළිගාව කෝ…

සොදුරු මිනිසෙක් වූ ගුණදාස කපුගේ සහෘදයාණන්ගේ ඒ ගීතය පුංචි සහනයක් වෙමින් මා සිත වෙලා ගනියි. මීට වසර කීපයකට පෙර වෙල්ලස්ස බහුජාතික සමාගම්වල යකඩ සපත්තුවෙන් මෙහි ගොවීන් සහ ඉඩම් බේරා ගැනීම සදහා ඔහු ඇතුලු සොදුරු මිනිසුන් එක් වූ සැටි මා සිතේ චිත්‍රයක් මෙන් ඇඳෙන්නට විය. මේ ගීතයත් සමග සිතන දේ කොහෙන් හෝ ඇහෙනවා යැයි මගේ සිත මට කියනවා. අද උදෑසන සෙවනගල ප්‍රදේශයේ වැඩිහිටියෙකුගේ වදන් පෙළක් යළි මා දෙසවනේ රැව් දෙන්නට විය.

මම උක් වගාව පහත් බිමි කෑලි දෙකක වගා කරනවා. වියදමත් එක්ක බලපුවාම ලාභයක් නෑ. ඉස්සරහට ඉතින් අපි උක්වගාවෙන් ඈත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.


සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කෙරුනේ 71 දශකයේ දීයි. එහිදී එවකට තිබූ සාරවත් පරිසරය සහමුලින්ම උදුරා දමා අක්කර සියගනනක උක් වගාව සිදු කළහ. එහි සිටි සතාසිවුපාවා අතුරුදහන් විය. මහා ට්‍රුක්ටර් යොදා ඒ වෙල්ලස්සේ සාරවත් මහපොළව සිත්පිත් නැතිව පෙරලා දැමූහ. කපුගේ කිවූ රම්‍ය භූමිය විනාශ කළේය. ගොවීන් එතෙක් කරගෙන ආ සාම්ප්‍රදායික ගොවිතැනෙන් සීග්‍රයෙන් ඈත් විය. මුල් කාලයේ දී ඒ සාරවත් පොළවෙහි ඉතාමත් සරුවට උක් වැවෙන්නට විය. දුප්පත් ගොවීන්ට එය මහා අස්වැසිල්ලක් විය. නමුත් එය එතරම් කලක් නොපැවතුනි. පොළව වට මහා පරිමාණයෙන් රසායනික වස විස එක්කරන්නට විය. ක්‍රමයෙන් මේ පොළවෙහි තිබූ ජීවි දේහය මිය යමින් තිබිණ. පොළව සීග්‍රයෙන් නිසරු විය. නිසරු වන්නේ කොපමණ වේගයෙන්ද එයට වඩා වේගයෙන් තව තවත් රසායනික ද්‍රව්‍ය මේ පොළවට හෙලුහ. ඉන් පසුව වගාව සදහා යන නිශ්පාදන පිරිවැය සීග්‍රයෙන් ඉහල ගියහ. ගොවීන් කබලෙන් ලිපට වැටෙමින් තිබිණි. එපමණක් ද නොවේ පරිපාලනයේද විශාල වෙනස් කම් සිදුවෙමින් පැවතිණ.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව මුල් කාලයේදී රජයේ යම් පාලනයකට නතුව තිබුනි. නමුත් ක්‍රමයෙන් එහි සියලු පාලනය පුද්ගලික අංශයට ලබා දීමට ආණ්ඩු කළ ඇත්තන් උපායශිලී විය.
1990 සී/ස සීනි සංයුක්ත මණ්ඩලය යැයිද, ඉන්පසුව සී/ස සීනි සමාගම යැයිද සහ අනතුරුව සී/ස සෙවනගල සීනි කර්මාන්ත ආයතනය යන නම් වලින් හදුන්වා දෙමින් 2002 ජූනි වන විට ප්‍රදේශයේ ගොවීන්ගේ සිහිනද සමග මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් පුද්ගලික අංශයට විකුණා දැමීය.
පුද්ගලික අංශයට විකුණු පසු මෙම කර්මාන්ත ශාලාවටද මේ වෙල්ලස්සේ මහපොළවටද තිබුණාට වඩා අඳුරු යුගයක් උදාවූ බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.

මම වගාවේ නිරතවෙලා අවුරුදු 15ක් විතර වෙනවා. කන්න 9ක් 8ක් වෙනකොට දැන් ටොන් 50ක් වගේ තමයි කපන්න පුලුවන්. ලාභයක් කියලා නැහැ. මොකද්ද ලාභයි කියන්නේ. වෙන දෙයක් නෑනේ අපිට. ඒක නිසා කරනවා. දවසකට කූලි වැඩ කෙරුවත් රුපියල් 500ක් හම්බවෙනවා අද. තුන්වේල කාලා බීලා ඉන්න දැන් සතියකට රු.1500ක් 2000ක් ඕන 4දෙනකුගේ පවුලක් ජීවත් කරන්න. වතුර බිල, කරන්ට් බිල, බෙහෙත් හේත් බලනකොට මොනවද ඉතුරු වෙන්නෙ.ජල බදු වලට අවුරුද්දකට රුපියල් 400ක් අපි වෙනම ගෙවන්න ඕන. එතකොට මොනවද ඉතුරු වෙන්නෙ. මට මේ සැරේ තියනවා උක් ටොන් 69ක් කපලා රු 50000ක්. ඒකෙන් කොරන්න දෙයක් නැහැ. ණය ගෙවනකොට ඒක ඉවරයි. ලක්ෂ 4ක් 5ක් තියන මිනිසුන්ට ලාභ තියනවා. අපි වගේ සාමාන්‍ය මිනිහෙකුට නැහැ.
මේ ප්‍රදේශයේ උක් වගාව ආරම්භ කරන කාලයේ වතුර සදහා ගොවීන්ගෙන් බදු ලබා ගැනීමට එවකට සිටි බළධාරින් තිරණය කරණු ලැබූහ. නමුත් ප්‍රදේශයේ ගොවීන් සහ එවකට තිබූ බහුජන සංවිධාන, කලාකරුවන් එක්වී එම ක්‍රියාවලිය පරාජය කරනු ලැබීය. නමුත් වර්තමානයේ ගොවීන් පවසන පරිදි තමන්ටද නොදැනෙන්ට අදාළ බළධාරීන් තමන්ගෙන් ජලය සදහා බදු ලබා ගැනීම සිදුකරයි.

මේ සැරේ අපි කපලා උක් ටොන් 65යි තියෙන්නේ. කීයක් ඉතුරු වෙලාද දන්නෙත් නැහැ. තව පේෂිට් ආවෙත් නැහැ. තාම කපපු මිනිසුන්ට සල්ලි ගෙව්වෙත් නැහැ. ඉතින් අපිට තව මොනවද කරන්න කියන්නෙ. පාඩුවෙනකොට කළ කිරෙන්නේ නැතුව. තෙල්වලට කපනවා. පොහොරවලට කපනවා. ජල බදුවලට කපනවා. බිමි සකස් කරලා දීපුවට කපනවා. ඔක්කොම කපනවා. කපලා තමයි ඉතින් අපිට ඉතුරු දෙන්නේ. මහන්සියේ තරමට ප්‍රතිපලයක් නැහැ. කුඹුරු අක්කර භාගයක් කරන හිංදා බත් කනවා.


සෙවනගල ප්‍රදේශයේ ගොවි කාන්තාවක් ඉතාමත් දුක්මුසුව ඒ වදන් ප්‍රකාශ කළාය. එහි ගැඹුරු සත්‍යයක් ඇතැයි සිත්පිත් ඇති ඕනෑම කෙනෙකුට සිතේ. වගාබිම් සකස් කිරීමේ සිට අස්වැන්න නෙලා ගැනීම දක්වා සියලු දේට කර්මාන්ත ශාලාව ගොවීන්ට ණය ලබා දෙනු ලබයි. නමුත් ඒ ණය හිලව්වට ඔවුන් උක් අස්වැන්න ආපසු කර්මාන්ත ශාලාවට ලබා ගනියි. එම උක් අස්වැන්නට මිල තීරණය කරන්නේද අස්වැන්න අයිති ගොවියා නොවේ සමාගමයි. මෙහි ඇති ගැඹුරු අසාධාරණත්වය නිසා අද මේ ප්‍රදේශයේ උක් වගාවෙන් ක්‍රමයෙන් ගොවීන් ඉවත් වෙමින් පවති. එපමණක් ද නොවේ අහසින් වැටෙන දිය බිඳකට මුදල් අයකිරීමට තරම් මෙම සමාගම් වලට බලයක් ලැබුනේ කොයින්ද…? වෙල්ලස්සේ උදානය නැමති ව්‍යාපෘතියට මේ අසාධාරණය, අමනුස්සකම නොපෙනේ දැයි ගොවීන් ප්‍රශ්ණ කරනු ලබයි.

මෙයිට වඩා ලාබයි කෙසෙල්, වට්ටක්කා වගේ කරනවා නම්. දැන් මේ පොළව ඉවරයි. දැන් වැලි හැදිලා තියෙන්නේ. මේවට පොහොර ගහලා රසයක් නෑ මේ පොළවේ. දැන් උක්වලට ලෙඩක් බෝවෙලා තියනවා. ගහ මැරෙනවා. අපිනන් ඉතින් ඉස්සරහට ගොවිතැන් කරන්න තමයි බලාපොරොත්තුව. උක් ගස් වගාවෙන් නම් අපිට සමුගන්න වෙනවා. දැන් බලන්න මම එකපාරයි කැපුවේ. දැන් හරක් දෙන්නෙකුට කන්න මොටි නෑ. ඉතින් මේවා බලන්නේ නැත්නම් සමුගන්න වෙනවා. මම ගිහිල්ලා කිවුවා. මගේ වගාවේ මොටි නෑ. මහත්තයෙක් එන්නේ නෑ බලන්න. සැලකිල්ලක් නැති වෙනකොට ගොවීනුත් අසරණ වෙනවා. ගොයියො ගැන හොයන්න ඕන. කොම්පැණියෙ ඉන්න සභාපති තුමා එපැයි මේව ගැන හොයාබලන්න ඕන.

ලංකාවේ උක් කර්මාන්ත ශාලා 04ක් ආරම්භ කරන ලදි. කන්තලේ, හිගුරාණ, පැල්වත්ත සහ සෙවනගල එම උක් කර්මාන්ත ශාලායි. වර්තමානය වනවිට කන්තලේ සහ හිගුරාණ වසාදමා අවසන්. යන්තම් හෝ සීනි සහ ස්ප්‍රීතු නිශ්පාදනය කරනු ලබන්නේ පැල්වත්ත සහ සෙවනගල කර්මාන්තශාලාවල පමණි.
නමුත් සෙවනගල කර්මාන්තය ගත් කල ඉහතින් කියැවුනු යථාර්තයන් අවදියෙන් සිටින ඕනෑම කෙනෙකුට දැකගත හැකිය. ප්‍රදේශයේ ගොවීන් පවසන පරිදි එහි මහපොළව මැරිලා. සමහර ජලය ගමන් කරන කානු පද්ධතිවලට විස රසායනයන් මුසු වෙලා. රසායනික ද්‍රව්‍ය භාවිතාවේන් තොරව කිසිදු බෝගයක් මෙහි නොහැදෙන තරම්. වසර ගනනාවක් රසායනික ද්‍රව්‍ය හෙලු මේ වෙල්ලස්සේ පොළව දැන් නිසරු වෙලා. ඒ නිසරු වීම නිසා අස්වැන්න ඉතාමත් අඩුයි. අස්වැන්න වැඩි කර ගැනීම සදහා බලධාරීන් නැවතත් යෝජනා කරනු ලබන්නේ හැකි තරම් රසායනික පොහොර යෙදීමයි. රසායනික ද්‍රව්‍යය යොදන්න යොදන්න පස නිසරු වෙනවා.
මේ ස්වාභාවික විද්‍යාව මුදලාලිලාට තෙරේන්නේ නැත. වෙල්ලස්සේ උදානයට තේරෙන්නේත් නැත. නමුත් සතුටට කරුණක් ඇත. මේ වන විට මෙහි ගොවීනට මෙය තේරුම් ගොස් ඇත. උක් ගස් වගාව කරන අතර තුර, එහි වේදනාවන් ද සමග නැවත සුපුරුදු සාම්ප්‍රදායික ගොවිතැනට ඔවුන් යොමුවෙමින් සිටීමෙන් එය පැහැදිළිවෙයි. මුං, තල, කෙසෙල් ආදි බෝගයන් වගා කිරීම සඳහා ඉතාමත් විශ්වාසයෙන් යුතුව ගොවීන් පෙළඹී සිටීමෙන් අපට නැවත නැවතත් කියාපාන්නේ උක් වගාව ලංකාවතුළ ලබා ඇති අසාර්ථක බව නොවෙද?

එය එසේ වනවිට වර්තමානයේ බිබිලේ දොඩම් වෙනුවට උක් වගා කිරීම සදහා බළධාරීන් සැළසුම් සකස් කරමින් සිටීම මේ සියලු යථාර්යන් සමග කොතෙක් ගැලපේද..? ගහකොළ විනාශ කොට රසායනික ද්‍රව්‍ය හෙලා මේ වෙල්ලස්සේ භූමිය මරා දමා එහි ජීවත් වන මිනිසුන් සතාසිව්පාවා වෙල්ලස්සට නැවතත් අහිමි කිරීමට යාම කෙසේ සාධාරණීය කළ හැකිද?
කපුගේ සහෘදයා මීට වසර ගනනාවකට පෙර ගායනා කළ ඉහත කී ගීතයෙන් මතුකළ සමාජ දේශපාලන යථාර්තය මේ භූමියට ආදරේ කරන සුවහසක් මිනිසුන්ගේ හදවත් තුළ නැවත නැවතත් රැව් දෙනු නොඅනුමානය.
ලංකාවේ පිහිට වූ සීනි කර්මාන්ත ශාලා 04ම අඩපණව සුසුම්හෙලද්දී, වෙල්ලස්සේ සරු බිමක් වන බිබිල ආශ්‍රිත අක්කර 65000ක් නැවතත් උක් වැවීම සදහා සැළසුම් කර ඇත්තේ කුමන සංවර්ධනයක් සඳහාදැයි අප නොදනිමු. හිගුරාන, කන්තලේ, පැල්වත්ත සහ සෙවනගල යන උක් බිම් සහ කර්මාන්තශාලා ප්‍රතිසංස්කරණය නොකොට අලුත් නැවුම් බිමකට මෙම විදේශ සමාගම පැමිණෙන්නේ මන්ද… යෝජිත බිබිලේ සීනි කර්මාන්තය තුළ සඟවා ඇති දේශපාලනය කුමක්ද..?
විශේෂයෙන් බිබිලේ සීනි වගාව සදහා ලබාගැනීමට යෝජනා කොට ඇති අක්කර 65000 ට ලංකාවේ විශාලම ඖෂධ වනය වන නිල්ගල ඔසු උයනත් ඇතුළත් වීම මෙම සැකය තව තවත් තහවුරු කරන්නකි.මෙහි අනිකුත් විශේෂත්වය නම් බිබිල ආශ්‍රිත වැව් සහ ජල පද්ධතින් ගණනාවකටම ජල මූලාශ්‍රය වන්නේද මෙම නිල්ගල වනයයි. මෙහි ඇති ආවේණික ශාක ප්‍රජාවන්ද ඉතාමත් ඉහළ අගයක් ගනියි. එසේම අම්පාරට මායිම්ව ඇති වල් අලින්ගේ නිජභූමින්ද මෙම ව්‍යාපෘතීන්ට ඇතුලත්ය. තවද ආදිවාසි සම්භවයක් ඇති රතුගල ගම්මානයද මෙම උක්වගාව සදහා වෙන් කොට ඇතැයි පැවසේ.
මෙවැනි මහා පරිසර පද්ධතියක් විනාශ කොට උක් වැනි ආර්ථික භෝගයක් වැවීමේ ප්‍රතිඵලය පාරිසරික ලෙස විනාශකාරී තත්වයක් ඇති කරනු නිසැකය. කෙසේ නමුත් පාරිසරක ඇමතිවරයා ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන්නේ කිසිදු රක්ෂිතයක් මේ සදහා වෙන් කර නොමැති බවයි.
ඊටත් අමතරව යෝජනාකොට ඇති මෙම කර්මාන්ත ශාලාවේ සීනි නිශ්පාදනයට වඩා ප්‍රමුඛස්ථානයක් ලබා දීමට සැළසුම් කොට ඇත්තේ මධ්‍යසාර නිපදවීමට ගන්නා ස්ප්‍රිතු සදහාය. ඒ සදහා ලීටර 10,000,000ක මධ්‍යසාර ස්කාගාරයක් සදහා ද මෙම ව්‍යාපෘතිය තුළ ඉඩ සලසා ඇත. මහින්ද චින්තනයේ මතට තිත ව්‍යාපෘතිය සදහා මෙය කෙසේ ගැලපේදැයි ප්‍රදේශවාසීන් ප්‍රශ්ණ කරනු ලබයි. නමුත් බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් බිම්ද ඊට අයත් රක්ෂිත ප්‍රදේශ විශාල ප්‍රමාණයක් ද මේ සදහා වෙන් කර ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරුකීමේ පෙරමුණේ සභාපතිවරයා පවසයි. මැතිවරණ ආසන වශයෙන් ගත් කල මෙම ව්‍යාපෘතිය විහිදීම පස්සර, බිබිල සහ මහියංගනයන ආසන අයත් බව ඔහු වැඩිදුරටත් පවසයි.
උක් වගාව සදහා, අසාර්ථක අතීත සහ වර්තමාන උදාහරණ බොහෝ තිබියදී විදේශ සමාගමක් වන එංගලන්තයේ බුකටේස් නැමති සමාගම ලංකාවේ සමාගමක් සමග ඒකාබද්ධව නැවත වරක් වෙල්ලස්ස කොල්ලකෑමට සැරසේ.සෙවනගල,හිඟුරාන,කන්තලේ හා පැල්වත්ත වැනි ප්‍රදේශවල ගොවීන් උක්වගාවෙන් සමුගනිද්දී බිබිලේ උක් වැවීම දේශිය චින්තනය පිළිබදව මොර දෙන රජයක ව්‍යාපෘතියක් වූවේ කෙසේද? මෙම ප්‍රදේශවල තිබූ පරිසරය සහ මහපොළව විනාශකරදමා එහි ගොවීන් අසරණ තත්වයකට ඇද දැමූ අසාර්ථක උක් වගාව බිබිල ප්‍රදේශයේත් ඇතිකිරීමට යන්නේ් එහි පරිසරයත් අහිංසක ගොවීනුත්, නොයිදුල් වනාන්තරත්, සතාසිවුපාවනුත්, මහපොළවත්, විනාශ කර දමා ලාංකිකයන්ට සීනි කවන්නටදැයි එහි ජනතාව ප්‍රශ්න කරනු ලබනවා. එසේම ප්‍රදේශයේ ජනතාව කියන්නේ මෙරට කෘෂිකර්ම ප්‍රතිපත්තීන් මෙන්ම චින්තන ප්‍රතිපත්තිද පෙර මෙන්ම සීනි තැවරූ අයිසිං කෑලි බව ජනතාව නොදන්නවා නොවන බවයි.

සම්පත් බණ්ඩාර සමරකෝන්