හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…
ලය මඩල පැලී යාදෝ උන් භීතියෙන්
හිර කරනු ඇත මා
කාන්තාරයේ වැලි කදු අතර…
මැරීයනු ඇතැයි මා එකවර,
භීතියෙන් උන්
තබාගනු ඇත කුඩා ගල් කැබලිති
උන් අසල……
දැන් ඉතින්…
ගසාපල්ලා තොප අතැති ගලද මා වෙත
අවසර ලද සැනින්…..
තොපේ සදාචාරයේ සළුපිළියෙන්
රැකගත නොවූ හෙයින්….
නොහෙලපල්ලා කඳුලක් සුසුමක්
තොපේ (මගේ) දේශයට බරක් වූ ගැහැණියක්
පමණක්ම වූ හෙයින්……
දිව්රුවා තමයි මමම
දෙවියන් ඉදිරියේ, සිව් වරක්
බිය මා දෙවියන්ට පමණක්ම වන හෙයින්….
තොපි මක් කරන්නද….?
දෙවියන්ට බොරු කියා
හැරී එන්නේ කුමට
දෙවියන් නැති දෙවොලකට…….??
සිටියා තමයි මං
තොප හැම ඉදිරියේ
පැතූ ලෙසට…..
සදාචාරයේ, සංස්කෘතියේ, ආගමේ, විවාහයේ, පේ‍්‍රමයේ
පිළි දවටා……
එනමුත් නිරුවත්ව…..
ඇසුවේද කිසිවෙක්
දුටුවේද කිසිවෙක්
දැනුනේද කිසිවෙකුට
……….
මා ළයෙහි ගිනිදැල්
මා නෙතෙහි කදුලැල්
මා මුවෙහි සුසුම් වැල්
?????????
ඉතින්,
දීපල්ලා පළමු ගල ගසන්නට
තෝරා සුදුස්සා
තොප අතරින්ම…….
සිතින්වත් ගැහැණියක ඇඳිවත නොගැලවූ
මතින්වත් ගැහැණියට පීඩා නොකෙරූ
හඬනා දරැවන්ට සැබවින් පියෙකු වූ
උස් මිටිකම් අනුව
කිසිවෙකු නොපෙලූ
………..
……………..
දිව්රන්නම් දෙවියන් ඉදිරියේ
සැත්තෑවර සත්වරක් වුවද….
නොකියමි බොරැ
දෙවියන් ඉදිරියේ
දන්නා හෙයින්
දෙවියන් පමණක්ම
තොපි නොදන්නා,
තොපිට නොඇසෙනා,
තොපිට නොපෙනෙනා
සත්‍යය…….
බිහිරන්ව
අන්ධව
ගොළුව
කොරව
ගියාවේ
තොපේ ලෝකයම!
ගැහැණිය වහල්කොට
මේ සූදුව තවත් කෙලින්නට
තොපිට
නොහැකිවන ලෙසට
……….
කුමාරි කුමාරගමගේ | Kumari Kumaragamage