අප ඉර මුදුන්වන්නට කලියෙන් කුඩා බිලිබෑව ප්‍රදේශයට ලගා විය.තඹුත්තේගම, රැජින මාවතෙන් නොච්චියාගම පාරට වන්නට කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු හමු වන්නේ කුඩා බිලිබෑව මංසන්ධියයි. බසයෙන් බැස පාර අයිනේ තිබූ කුඩා කඩයක් අසලට ගිය අපි සිරිවර්ධන මාමාගේ ගෙදර කොතනදැයි ඇසුවෙමු.
‘‘මහත්තයලා කවුද? සිරිවර්ධන අයියා මැරුනෙ ඊයෙනෙ මේ පාරේ දිගටම ගියහම මළගෙදරට යන්න පුළුවන්‘‘
අප සොයා ගිය එ් මිනිසා නික්ම ගොසිනි. දැඩි ලෙස වකුගඩු රෝගය ව්‍යාප්තව තිබෙන කුඩා බිලිබෑව ගමේ බොහෝ දෙනෙකු හඳුනන සිරිවර්ධන මාමා වකුගඩු රෝගයටම ගොදුරු වී ඇත.
මාද මගේ ගමන් සගයා ද නිහඩව පාර දිගේ ඇවිදගෙන ගියහ. පාර දෙපස සුදු කොඩි හිටවා තිබුණි. ඒ මැදින් තෙල් ටැංකියක් කර තබාගෙන ගොවියෙකු යතුරු පැදියකින් අප පසු කර යති.
අපි සිරිවර්ධන මාමාගේ නිවස සොයා ගතිමු. පවුලේ උදවිය අවමගුල් කටයුතු වෙනුවෙන් ඒ මේ අත දුව යති. මද වෙලාවකින් සිරිවර්ධන මාමාගේ පුතා අපට හමු විය.
‘‘තාත්තට වකුගඩු අමාරුව හැදිලා කොච්චර කල් වෙනව ද‘‘? අප විමසීමු.
‘‘දැන් අවුරුදු දහයක් විතර ඇති. පොඩි පොඩි බෙහෙත් බිව්වා. දියවැඩියාව, ප්‍රෙශර් මේ කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඒ කාලේ කුරක්කන් තලප, දඩ මස් කාපු අයනෙ මහත්තයො. ඒකයි මෙච්චර කල් හරි ජීවත් වුණේ‘‘
‘‘මේ හරියෙ වකුගඩු අමාරුව හැදුණු තව අය ඉන්නව ද?
‘‘මම දන්න අය අට දෙනෙක් විතර මේ අහල පහල ඉන්නවා. අල්ලපු ගම නාවක්කුලම, එහෙ මීට වැඩියි.මුලින් අපි වකුගඩු රෝගෙ කියලා එකක් දන්නෙත් නෑ. හුග කාලෙක ඉදන් ලෙඩ හැදෙනවා , මිනිස්සු මැරෙනවා. මේවා හොයා ගන්නකොට කාලේ ගිහින් ඉවරයි‘‘ ඔහු නුරුස්සන සේ කීවේ ය.
මේ අතර වාරයේ ප්රදේශයේ් දේශපාලඥ්යයෙකු අවමගුලට සහභාගී විය. අතීතයේ සිටම අවමගුල් දඩයමේ යන්නට පුරුදු වී සීටින ඔවුන් මෙම ප්රශ්නය මග හැර සිටින්නේ කෙසේ ද? අප ඔහුගෙන් කරුණු විමසන්නට උත්සහ කලද එය ව්‍යර්ථ විය.
‘‘ගමේ හැමෝම ෆිල්ටර් වතුරද බොන්නෙ?‘‘
‘‘ඔව්. හැමෝම සල්ලි වලට තමයි වතුර ගන්නෙ.තිස් හතලිස් දාහකට අපේ ගෙදරටත් ෆිල්ටරයක් ගෙනාවා. හැබැයි අවුරුද්දක්වත් තිබුනෙ නැහැ‘‘. සිරිවර්ධන මාමාගේ පුතා අවසන් වරට කීවේ ය.
ඉද හිට ගමේ සායනයක් පවත්වා වකුගඩු රෝගීන් තෝරා ගනී. ඔවුන් අනුරාධපුර මහ රෝහලට යොමු කරන නමුදු නිතර නගරයට යාම අපහසු බව ඔවුන් පවසයි.
අපි තවත් නිවසක් සොයා ගියෙමු. රෝහල් හෙදියක වූ ඇගේ සැමියාද වකුගඩු රෝගයෙන් පීඩා විදියි. ගමේ බොහෝ දෙනෙකු දුක සැප විමසන්නට කියා එයි.
‘‘මැති ඇමතිවරුන්ට වියදම් කරන සල්ලි වලින් සියයට දහයක් යෙදෙව්වත් මේ ප්‍රශ්නෙ විසදන්න පුළුවන්‘‘එසේ කීවේ රෝගියා බලන්නට ආ සගයෙකි.
‘‘වතුර ප්‍රශ්නෙ ගැන කාටවත් කිව්වෙ නැද්ද?‘‘අප ඔහුගෙන් විමසී ය.
‘‘කිහිප දෙනෙකුටම කිව්වා. ඒත් වැඩක් වුනේ නැහැ. ඡන්ද කාලෙට නම් ගමට එනවා.ඊට පස්සෙ අපි උන්නද මලාද කියලා හොයන් නෑ. දැන් කඩවල වතුර විකුණනවා.කොචිචර අමාරුකම් තිබුනත් අපි ගන්නවා. අපි දන්නවද ඔය වතුර වල තියන ප්‍රමිතිය ගැන. හැබැයි කඩකාරයින්ට නම් මේක හොද බිස්නස් එකක්.දැන් මෙහෙ හැම තැනම වතුර විකුණන කඩ තියනවා.‘‘ ඔහු රෝගියා දෙස වරින් වර බලයි.
රෝගියාට කතා කරන්නටද නොහැකි ය. රෝගය උත්සන්න වූ ඔහුගේ ඇස අග කඳුළු තව ටික දිනකට ඉතිරි වී ඇත.
එවන් පරිසරයක තවත් හිදින්නට නොහැකි වූ නිසා ඔවුන්ට සමු දී අපි ගමේ ඇතුල් පාරකට පිවිසියෙමු. වෙලාව දහවල් දොළහ පසු වී ඇත. අසල වූ වෙල් යායක වැඩ කරමින් සිටි ගොවීන් කිහිප දෙනෙකු අපට හමු විය.
‘‘අපිට කෘමිනාශක, වල් නාශක පාවිච්චි කරන්න වෙනවා. නැත්තං වියදම වැඩියි. රවුන්ඩප් නම් දැන් තහනම් කරලා තියෙන්නෙ. හැබැයි වැඩි ගණනකට කඩ වල විකුනනවා. ඕන වෙලාවක ගන්න පුළුවන්.‘‘
ලේබලය ගලවා ඉතා වැඩි මිලකට රවුන්ඩප් ලබා ගන්නට ගොවීන්ට හැකි ය. මත්ද්‍රව්‍ය වලටත් වඩා මේවාට ඉල්ලූම වැඩි වී ඇත. එහෙත් ඔවුන් නැවතී නැත. තහනම් කෘෂි රසායන වෙනුවට විකල්ප ක්‍රම භාවිතයට ඔවුන් දැන් හුරුව ඇත.
‘‘රවුන්ඩප් හොයා ගන්න බැරි වුනහම අපි එතරලූයි, යූරියයි කලවම් කරලා ගහනවා. එතකොටත් වල් පැළ මැරෙනවා. තව අජිනමොටෝ, ලාම්පුතෙල්, ෂැම්පු වගේ දේවලූ එකතු කරන්න පුළුවන්.‘‘
කාබනික වගා ක්‍රම ගැන මෙම ගොවීන්ට එතරම් දැනුමක් හෝ උනන්දුවක් නැත. ඔවුන්ට උපදෙස් දෙන්නට හෝ රජයේ නිලධාරීන් මෙහි එන්නේ ද නැත. ජීිවිතය ගැන වගේ වගක් නැතිව ලාභය වෙනුවෙන්ම වෙහෙසෙන සියල්ලන්ම වෙළදපළ යන ගමනට ඇති පදම් හුරු වී සිටී.
අපි ඊලගට ගියේ ප්‍රදීප්ගේ නිවසටයි. මීට දින හතරකට පෙර ඔහුගේ මව මිය ගියේ ද වකුගඩු රෝගයෙන්ම යි.
‘‘මගේ අයියත් මැරුණෙ වකුගඩු රෝගෙ හින්දම යි. එයත් කලේ ගොවිතැන්. ඒ කාලේ තෙල් ගහලා ගෙදර එද්දි තෙල් නාගෙන තමයි එන්නෙ. කිසිම ආවරණයක් දාන්නෙ නැහැ. අර ඉන්නෙ මගේ මස්සිනා. එයත් වකුගඩු අමාරුවට බෙහෙත් බොනවා‘‘ඔහු කීවේ ය.
කදුළු ඉනුවේ ඔහුගේ ඇස් වලට පමණක් නොවේ. ප්‍රදීප් බොහෝ කලක සිට කොලඹ රැකියාව කරන අතර ගමට එන්නේ නිවාඩුවට පමණි. ඔහුත් අනුරාධපුර මහ රෝහලෙන් පරීක්ෂාවක් සිදුකර ඇති අතර ඔහුගේ වකුගඩු හොද තත්වයක පවතින බව වෛද්‍යවරුන් පවසා ඇත.
‘‘අතන ඉන්නෙ මගේ නංගි. කසාදයක් කරන්න කීප තැනකින්ම හෙව්වා. මේ පැත්ත ගැන දන්න කිසිම කෙනෙක් කැමති වෙන්නෙ නැහැ. මම නම් තව ටික දවසකින් කොළඹ යයි. ඒත් මේ මිනිස්සු, එයාලා හැමදාම ජීවත් වෙන්නෙ මෙහෙමයි.ඉතින් තව කී දෙනෙක් කියලා මේ විදිහට මැරෙන්න ද?‘‘
මෙය කුඩා බිලිබෑව ජනතාව පමණක් අත්දකින ප්‍රශ්නයක් නොවේ. වකුගඩු රෝගය ව්‍යාප්තව තිබෙන හැම ප්‍රදේශයකම ඒ හා බැදන සමාජ ආර්ථීක ගැටලූ රැසක් පවතී.රජයේ මැදිහත් වීමක් නොමැති කමින් ඔවුන් අසරණයන් බවට පත් වී සිටී.
මෙලෙස තවත් ඕනෑ තරම් වකුගඩු රෝගීන් කුඩා බිලිබෑව ගමෙන් අපට හමු විය. දැන් දැන් ඔවුනුත් මේ ඛේදනීය තත්වයට හුරු වෙමින් සිටී.
‘‘අපිට නම් අවුරුදු පනහක් වත් ජීවත් වෙන්න බැරි වෙයි මල්ලි‘‘ යන්නට හැරෙන මොහොතේ ගමේ අයෙකු කනස්සල්ලෙන් මෙන් අප සමග පැවසී ය.
කොහොමින් හෝ අපිට ලැබී ඇත්තේ අහිමි වීම් පමණි. තව දුරටත් ලාභය මතම දිව යන තාක්ෂනික කෘෂිකර්මයක් අපට අවශ්‍ය ද? නැතිනම් ජෛව විවිධත්වයෙන් යුතු කෘෂිකර්මාන්තයක් ගොඩනගන්නට එක් විය යුතු ද?
එය අප විසින්ම තීරණය කළ යුතු ය.
රමේෂ් ප්රභාෂාන් | Ramesh Prabhashan