විශ‍්‍රාමලාභීන් සම්බන්ධයෙන් දිනෙන් දින වර්ධනය වන ශ‍්‍රී ලංකාවේ වගකීම පිළිබඳ කාරණය පසු ගිය දා පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය. ඒ, අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කළ අවස්ථාවේ ය. ගත වූ දශකයක කාලය තුළ රාජ්‍ය අංශයට බඳවා ගත් අධිකතර ශ‍්‍රම බලකායට විශ‍්‍රාම වැටුප් ගෙවීමට අදාළව මතු වන දැවැන්ත අභියෝග ගැන වෘත්තීය සමිති ව්‍යාපාරය සමග තමා කළ කතාබහ වෙනුවෙන් අගමැතිවරයා එම ප‍්‍රකාශයේ පිටු කිහිපයක්ම වෙන් කොට තිබුණි.
රාජ්‍ය අංශයේ වර්තමාන සේවක සංඛ්‍යාව 13 ලක්ෂයකි. ගොවීන්ට හා ධීවරයන්ට වෙනම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයකුත් යෝජනා කෙරේ. මේ අතර රජයේ ආදායම් පවතින්නේ වසරින් වසර අඩු වෙන තත්වයකයි. එවැනි පසුබිමක් තුළ, විශ‍්‍රාම වැටුප් පිළිබඳ ප‍්‍රශ්නය ආණ්ඩුව ඉදිරියේ අද ඇති බරපතල අභියෝගයකි.
‘හෙල්ප් ඒජ්’ ජාත්‍යන්තරය මගින් ප‍්‍රකාශයට පත්කරනු ලබන, ‘‘ගෝලීය වයස් නිරීක්ෂණ සූචියට’’ අනුව ශ‍්‍රී ලංකාව සිටින්නේ 46 වැනි ස්ථානයේ ය. එය, නරකම නැති, මැද තැනකි. මේ ශ්‍රේණිගත කිරීම කරනු ලබන්නේ, යම් රටක වියපත් වන ජනගහනයක් අංශ හතරකින් මොන තරම් යහපත් තත්වයක පසුවන්නේද යන්න නිරීක්ෂණය කිරීමෙනි. එම අංශ හතර නම්, ආදායම් සුරක්ෂිතතාව, සෞඛ්‍ය තත්වය, ඔවුන්ගේ හැකියාවන් සහ ජීවිතය පහසු කරවන පරිසරය යනුවෙනි.
අවසාන වරට ප‍්‍රකාශයට පත්වූ, ‘එක්සත් ජාතීන්ගේ ජන විකාශ සංක‍්‍රාන්ති වාර්තාව’ තුළ ශ‍්‍රී ලංකාවේ වැඩ කළ හැකි වයසේ පසු වන ජනගහනය, මුළු ජනගහනයෙන් සියයට 67 කි. ඉතිරි ජනගහනය, මෙකී සියයට 67 මත යැපෙන පරායත්ත ජනගහනයකි. වැඩ කරන වයසේ පසු වන ජනගහනය, 2017 දක්වා, ඉහත කී පරායත්ත ජනගහනයට වඩා සෑහෙන වැඩි ප‍්‍රතිශතයක් නියෝජනය කරනු ඇත. එය රටේ ආර්ථික වර්ධනයට සුභදායක ය.
ශ‍්‍රී ලංකාවේ විද්වතුන් සහ ලෝක බැංකුව එක්ව සම්පාදනය කරන ලද තාක්ෂණික අධ්‍යයනයන් ගණනාවක නිගමනයන් මගින් පෙන්වා දෙන පරිදි, වයස අවුරුදු 60 ට වැඩි ලංකාවේ වියපත් ජනගහන ප‍්‍රතිශතය සියයට 12.5 සිට, වර්ෂ 2021 වන විට, සියයට 16.7 දක්වා වර්ධනය වනු ඇත. එසේම, වර්ෂ 2041 වන විට, ලංකාවේ ජනගහනයෙන් සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 60 වැඩි කෙනෙකු වනු ඇතැයි ගණනය කොට තිබේ.
වියපත් ජනතාවකගේ සුභ සිද්ධිය සම්බන්ධයෙන් ගත් විට, විශ‍්‍රාම ප‍්‍රතිලාභ වැදගත් සාධකයකි. ලංකාවේ වර්තමාන වැඩිහිටි ජනගහනයෙන් විශ‍්‍රාම වැටුපක් ලබන්නේ සියයට 15 ක් පමණි. ඔවුන්ගෙන් සියයට 26 කට සේවක අර්ථසාධක අරමුදල් ලැබෙන අතර තවත් සියයට 40 ට ආසන්න පිරිසකට යම් ආකාරයක ආධාරයක් ලැබේ. ඉතිරි සියයට 18 ක් වන වැඩිහිටි ජනතාවට මොනම විශ‍්‍රාම දීමනාවක්වත් ලැබෙන්නේ නැත. ඔවුන්ට යැපීමට සිදුව ඇත්තේ දරුවන්, නෑයන් සහ හිතවතුන් මතයි.
ශ‍්‍රී ලංකාව මුහුණදෙන ලොකුම අභියෝගය එන්නේ එතැනිනි. ආණ්ඩුවේ බලය ලත් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලට පිටස්තර විශ‍්‍රාම ක‍්‍රමයක් කෙරෙහි අවධානයක් ලංකාවේ යොමුවන්නේම නැති ගානයි. පෞද්ගලික අංශය මගින් ජීවිත රක්ෂණ ක‍්‍රම ප‍්‍රවර්ධනය කළද, ඒවා ලැබෙන ප‍්‍රමාණය අල්ප ය. අඩු ආදායමලාභී පිරිස් ලවා පවා තම අනාගතය සඳහා ඉතිරි කැරැවීමේත්, උද්ධමනය ඉදිරියේ ඔවුන්ගේ වත්කම් ආරක්ෂා කර දීමේත් වැඩපිළිවෙලවල් සකස් කරලීමේ විශාල වගකීමක් බැංකුවලට පැවරෙයි. ප‍්‍රායෝගිකව සිතන ශ‍්‍රී ලාංකිකයෝ වත්කම් තුළින් ඉතිරි කිරීමට වැඩි කැමැත්තක් දක්වති. එහෙත් එම වත්කම් කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න, වයසට යන විට කෙනෙකුට අපහසු කටයුත්තක් බවට පත්වෙයි. එවිට ඔවුන්ට සිදුවන්නේ දරුවන් හෝ වෙනත් ඥාතීන් මත යැපීමටයි.
වැඩිහිටියන් විශ‍්‍රාම ගැන්වීම පමා කිරීම ගැන හෝ වයසට යද්දී ඔවුන්ට පහසු වන කාර්ය නියුක්තියක් සලසා දීමේ ක‍්‍ර‍්‍රමවේදයක් ගැන හෝ සොයා බැලෙන්නේ ඉතා අඩුවෙනි. කෙනෙකු වයසට යන විට එන්න එන්නම මිල අධික වන සෞඛ්‍ය සේවා, ප‍්‍රවාහණය, නිවාස සහ වෙනත් අත්‍යාවශ්‍ය දේවල් සඳහා අමතර ආදායම් ඉපැයීමේ මාර්ගද අවශ්‍ය කෙරේ. වයසට යන ජනගහනයක් සෞඛ්‍ය සම්පන්න තත්වයෙන් පවත්වා ගැනීම ඔවුන්ගේ ඵලදායීතාවටත්, ජනගහනය අඩු වෙමින් පවතින රටක නිරන්තර ආර්ථික වර්ධනයටත් අත්‍යාවශ්‍ය කරන සාධකයකි.
දියුණු වෙමින් පවතින වෙනත් බොහෝ රටවල විශ‍්‍රාම වයස සඳහා ඉතිරි කර ගැනීමේ විවිධ මංපෙත් විවර කර ගැනීම ගැන සළකා බලයි. එහිදී මූල්‍ය කර්මාන්තයේ විවිධ මාර්ග ඔවුන් වෙනුවෙන් නිර්මාණය කෙරේ. විශ‍්‍රාම වියේදී අවශ්‍ය කරන ඉතිරි කිරීම් සඳහා ලෝකයේ බොහෝ තැන්වල අරමුදල් කළමණාකරනීය ව්‍යාපාර බිහි කෙරෙන්නේ එබැවිනි. ඒවා සරුසාර ව්‍යාපාර බවට පත්වෙයි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ඉතා පටු සීමාවන් තුළ හැම දාමත් පවත්වාගෙන ආ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය මේ වන විට සමස්ත ආර්ථිකයේම කඩා වැටීමකට මං පාදන තරමේ තර්ජනයක් බවට පත්ව තිබේ.
*2015 දෙසැම්බර් 15 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ Funding Pensions නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි