දේශගුණ විපර්යා හේතුවෙන් මිනිසා මෙන්ම සෙසු ගහකොළ හා සතා සිව්පාවුන් ඇතුළු සමස්ත පෘතුවි වාසීන්ට මුහුණදීමට සිදුවී ඇති වර්තමාන හා අනාගත අභියෝග පිළිබඳව ගැඹුරු කතිකාවතක් ඇතිවී තිබේ. ඊට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිමත් ගෝලීය සම්මුතියක් ඇති කරගැනීම සඳහා වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කල COP 21 පැරිස් සමුළුව ( Conference of parties 21) පසුගියදා නිමාවට පත්විය. තමන් මුහුණදී සිටින වර්තමාන හා අනාගත අවිනිශ්චිතතාවයට සැලකියයුතු අස්වැසිල්ලක් ලබා දීමට මෙම සමුළුවේදී ලෝක නායකයින් එක් මතයකට පැමිණෙනු ඇතැයි ලොව පුරා බොහෝ ජනතාව අපේක්ෂා දල්වාගෙන සිටියද එවැනි අස්වැසිල්ලක් අත්විඳින්නට මෙම සමුළුව මගින් අවස්ථාව නොලැබුණි. ඒ වෙනුවට සිදුවුනේ සිදුවන්නට යන මහා විනාශය, නොඑසේනම් සයවන මහා නෂ්ටවීම තවත් කෙටි කලකට කල්දමා ගැනීමට අවශ්‍ය එකගතාවයක් පමණක් ලෝක නායකයින් විසින් ඇතිකර ගැනීම පමණි.

12915_COP21
දේශගුණ විපර්යාස පිළිබඳව ශ්‍රී ලංකාවාසී අපද දැඩිව උනන්දුවිය යුත්තේ අප රටද දැනටමත් දේශගුණ විපර්යාස හේතුවෙන් ඇතිවී ඇති ඉතා බරපතල සමාජ ආර්ථික හා පාරිසරික ඛේදවාචකයන් රැසකට මුහුණ දෙමින් සිටින බැවිණි. සංවර්ධනය වෙමින් පවතින නිවර්තන කලාපීය දූපතක් වන අපේ රට මේ වන විටත් දේශගුණ විපර්යාස වල දැඩි බලපෑමට ලක් වීමට පටන්ගෙන හමාරය. අධික තීව්‍රතාවකින් යුත් වර්ෂාපතනයකින් පසු ව ඇති වන හදිසි ජලගැලීම් සහ නායයෑම් මෙන්ම දීර්ඝ වියළි කාලගුණ තත්ත්ව හේතුකොට ගෙන ඇතිවන ජල හිඟය හා දුර්භික්ෂ වැනි අන්තගාමී කාළගුණ තත්ත්ව මේ වන විට අපේ රටේ ජනතාවගේ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කරන සුලභ සංසිද්ධීන් බවට පත්වී ඇත. ඉක්මනින් වෙනස්වනසුළු කාළගුණ රටාවක් සහිත දිවයිනක් වන ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් ව්‍යාකූල කිරීමට දේශගුණ විපර්යාස නිසා ඇතිවන අහිතකර බලපෑම් හේතු වී තිබේ. දිවයින පුරාම සොබාදහම මත පදනම් වූ ජීවනක්‍රම මින් බලපෑමට ලක්ව ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක පුරාවටම දේශගුණ වෙනස්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ අධික වර්ෂාව නිසා බොහෝ විට ඇතිවන නායයෑම් මගින් මිනිසුන්ට හා සංවර්ධන ක්‍රියාකාරකම් වලට සිදුවූ ආපදාවන් අති මහත්ය. දේශගුණ විපර්යාසයේ බලපෑම කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, වාණිජ්‍ය, කර්මාන්ත, සංචාරක, ප්‍රවාහන හා ජෛවවිවිධත්ව සංරක්ෂණ ආදී එකී මෙකී නොකී සියළු අංශ කෙරෙහි විවිධ සෘජු හා වක්‍ර බලපෑම් එල්ල කරමින් තිබේ. එම බලපෑම්වලට මුහුණ දෙමින් හා ඒවාට අනුහුරුවෙමින් මිනිසාගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා කෙටි මධ්‍ය හා දිගුකාලීන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයකි.

දේශගුණ විපර්යාස පිළිබඳව ප්‍රථමයෙන්ම ලෝකයේ කතාබහ ඇතිවන්නේ 1988 වසරේ පමණ සිටය. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය (IPCC – Intergovernmental Panel on Climate Change) ආරම්භ වන්නේ එම වසරේ වන අතර දේශගුණ විපර්යාස සිදුවෙමින් පවතින බවත්, ගෝලීය උණුසුම්වීම මානව ක්‍රියාකාරකම් හේතුකොට ගෙන හරිතාගාර වායු ඉතා අධික ලෙස වායුගෝලයට මුදාහැරීමේ ඍජු ප්‍රතිපලයක් බවත්, විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනය මෙයට වැඩි වශයෙන් දායක වන බවත් එම මණ්ඩලය මගින් විද්‍යාත්මකව තහවුරු කර තිබේ. ඒ අනුව, නිශ්චිතවම වර්තමාන හා අනාගත පරම්පරාවට දේශගුණ විපර්යාස තර්ජන හමුවේ ජීවත් වීමට සිදු වන බව පැහැදිලිය. ලෝකය පුරා විසිරී සිටින ජනතාව මුහුදු මට්ටම ඉහළ යාම, සුළි සුළං, නියඟයන්, ගංවතුර සහ නායයෑම් වැනි විවිධ වූ දේශගුණික බලපෑම්වලට මුහුණපාමින් සිටී. මිනිසුන්ට මෙන්ම පරිසර පද්ධතීන්ට ද දරුණු කාලගුණ තත්ත්වයන් මගින් බලපෑම් එල්ලවී තිබේ. දේශගුණ විපර්යාස බලපෑම් හමුවේ සියලූ ජාතීන් අවදානමට ලක්ව ඇති අතරම, විශේෂයෙන් ම සංවර්ධනය වෙමින් පවත්නා අප වැනි කුඩා දූපත් රාජ්‍යවලට ඒ සඳහා අනුහුරු වීමට ඇති අඩු හැකියාව නිසා එම රටවල් දැඩි අවදානමකට ලක් ව තිබේ.

දේශගුණ විපර්යාස ඇතිවීමට හේතුවී ඇති හරිතාගාර වායු විමෝචනය ලොව පුරා විවිධ රටවල් විවිධ පරිමාණයෙන් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් මහා පරිමාණයෙන් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සාපේක්ෂව අඩු වශයෙන් හරිතාගාර වායු විමෝචනය සිදුකරයි. නමුත් දේශගුණ විපර්යාස වල අහිතකර බලපෑම් එල්ලවීමේදී ඒවා හරිතාගාර වායු විමෝචනය මහා පරිමාණයෙන් සිදුකරන සංවර්ධිත රටවලට බරපතල වශයෙන් එල්ල වන්නේ නැත.

හරිතාගාර වායු විමෝචනය අවම වශයෙන් සිදුකරන සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනයක් ලැබෙන්නේද නැත. දේශගුණ විපර්යාස වලට එරෙහිව සිදුකරන සටන ගෝලීය මට්ටමෙන් සිදුවිය යුත්තේ එබැවිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය ( United Nations Framework convention on Climate Change – UNFCCC) 1994 වසරේදී ඇතිකරගන්නේ ඒ සඳහාය. ඒ සඳහා එක්සත් ජාතීන්ට අයත් රටවල් 198ක් ඒකාබද්ධවී ඇත. වසරක් පාසා එම සම්මුතියේ පාර්ශවකරුවන් විසින් ලොව විවිධ ස්ථානවලදී එක්රැස්වී දේශගුණ විපර්යාස වලට මුහුණදීම පිළිබඳව සාකච්ඡා වට පවත්වා ඇතත් එම සාකච්ඡා සියල්ල අවසන්වුනේ ප්‍රතිපල රහිතවය. මේ දක්වා එවැනි සමුළු 20ක් පවත්වා ඇති අතර පසුගියදා පැවැත්වුනේ එහි 21 වැනි සැසි වාරයයි. ඒ අතරින් යම්කිසි සාධනීය ජයග්‍රහණයක් අත්කරගෙන ඇත්තේ 1997 වසරේ කියෝතෝ සමුළුවේදී පමණි. ඒ කියෝතෝ සම්මුතිය (Kiyoto protocol) ඇතිකර ගැනීමය.

දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමේ සහ ඒවා අවම කරගැනීමේ යෝජනා ලෙස ඉදිරිපත් කෙරෙන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ලෝක බලවතුන් සක්‍රීය මැදිහත්වීමක් ලබා නොදීම නිසා මෙතෙක් පැවති සියළු සාකච්ඡා කිසිඳු සාර්ථක ප්‍රතිපලයක් අත්කර දී නැත. ඊට ප්‍රධාන හේතුව වන්නේ සියළු රටවල් තම සංවර්ධනයේ පදනම බවට පත්කරගෙන ඇත්තේ ෆොසිල ඉන්දන වීමයි. ඛනිජතෙල්, ගල් අඟුරු හා ස්වභාවික වායු භාවිතා කරමින් සියළුම රටවල් තම නිෂ්පාදන ක්‍රියාවලීන් සිදුකිරීම නිසා එමගින් වායුගෝලයට විශාල වශයෙන් හරිතාගාර වායු විමෝචනය වීම සිදුවේ. දේශගුණ විපර්යාස සිදුවීම නවතා දැමීමට නම් අප හරිතාගාර වායු විමෝචනය නවත්වා දැමිය යුතුයි. නමුත් එමගින් තම රටවල් මේ වන විට අත්කරගෙන ඇති ඊනියා සංවර්ධනය අහිමිවනු ඇතැයි ලෝක බලවතුන් බියට පත්වීම නිසා ඔවුන් ෆොසිල ඉන්දන භාවිතයෙන් අත්මිදීමට මැලිවේ. ලෝක බලවතුන් මේ ගැඹුරු මිත්‍යාවේ එල්බගෙන සිටින තාක්කල් පෘතුවි වාසීන් මුහුණදී සිටින දේශගුණ විපර්යාස අවධානමද නොනැසී පවතී. මේ ඊනියා සංවර්ධන මිත්‍යාව හේතුවෙන් දැනටමත් පෘතුවියේ උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිග්‍රේට් අංශක එකකින් (1oc) පමණ ඉහල ගොස් හමාරය. මුහුදු ජල මට්ටම සෙන්ටිමීටර් 20 කින් ඉහළ ගොස් හමාරය. මේ වනවිට මිහිතලයේ වායුගෝලයට මුදාහැර ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සැලකූවිට අප හෙට දිනයේ සිට වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම සම්පුර්ණයෙන් නවතා දැමුවද පෘතුවිය ස්ථාවර තත්වයට පත්වන විට වායුගෝලීය උෂ්ණත්වය තවත් සෙන්ටිග්‍රේට් අංශක දශම හයකින් (0.6oc) ඉහළ යනු ඇති විද්‍යාඥයින් අනතුරු අඟවති. ඒ අනුව අප අප හෙට දිනයේ සිට වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම සම්පුර්ණයෙන් නවතා දැමුවහොත් පෘතුවියේ උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිග්‍රේට් අංශක එකයි දශම හයකින් (1.6oc)ඉහළ ගොස් පෘතුවි වායුගෝලය ස්ථාවර වනු ඇත. ඒ සඳහා ෆොසිල ඉන්දන දහනය නතරකර දමා විකල්ප බලශක්ති ප්‍රභව වෙත නැඹුරුවීම කාලීන අවශ්‍යතාවයකි. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම ස්ථාවරත්වය ඇතිකර ගැනීමට නම් 2030 වන විට ලෝකය සියයට සියයක් (100%) පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන තත්වයට පත්විය යුතු බවයි. එසේ නොකළ හොත් මේ සියවස අවසන් වනවිට පෘතුවි වායුගෝලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක පහත් හතත් අතර ප්‍රමාණයකින් (5-7oc) ඉහළ යාම නොවැලක්විය හැකි බව දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය තම පස්වන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

දේශගුණ විපර්යාස හේතුවෙන් පෘතුවි උෂ්ණත්වය ඉහළයාම නිසා ධ්‍රැව අයිස් හා ග්ලැසියර් දියවීමෙන් මුහුදේ ජලමට්ටම ඉහළ යාමෙන් බරපතල ලෙස ජීවිත අවධානමකට ලක්ව සිටින්නේ ලොව පුරා පැතිරී ඇති කුඩා දුපත් රාජ්‍ය යි. ඒ සඳහා අපට ඇති ආසන්නතම උදාහරණය මලදිවයිනයි. ලොව අනෙකුත් රටවල ජනතාවට දේශගුණ විපර්යාස වලට මුහුණදෙමින් තවත් යම්කිසි කලක් ජීවත්වීමට භූමියක් හිමිව තිබුනත් මෙම කුඩා දුපත් රාජ්‍ය වලට එම සහනයවත් හිමිව නැති බැවින් එම දූපත් වාසීන් වැඩි ජීවිත අවධානමකට ලක්ව තිබේ. එම දුපත් රාජ්‍ය ආරක්ෂාකර ගැනීමට නම් වායුගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙන්ටිග්‍රේට් අංශක එකයි දශම පහ (1.5 oc) සීමාවේ පවත්වා ගත යුතුය. එසේම වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක දෙක (2 oc) සීමාවේ වත් පවත්වා ගැනීමට අප අපොහොසත්වුනහොත් පොළොව මතුපිට ඇති මීතේන් වැනි වායු වර්ග ගිනිගැනීම ආරම්භ වන අතර එය මිනිසාට පාලනය කල නොහැකි බරපතල ව්‍යසනයන් ඇතිකරනු ඇති බවත් විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙම සියළු විපත්වලින් පෘතුවිවාසීන් ගලවාගැනීම සඳහා අවශ්‍ය ගෝලීය එකගතාවයක් අත්කරගැනීම පැරිස් දේශගුණ විපර්යාස සමුළුවට සහභාගීවූ ලෝක නායකයන්ට ලැබී තිබූ අභියෝගයයි. නමුත් එම අභියෝගය ජයගැනීමට පැරිස් සමුළුවට සහභාගීවූ ලෝක නායකයන්ට නොහැකි විය. ඒ වෙනුවට සිදුවුනේ විපත තවත් වසර පනහකින් පමණ කල්දමා ගැනීමට රාජ්‍ය නායකයින් ඉතා කපටි ලෙස කටයුතු කිරීමයි. නමුත් පැරිස් සමුළුවේදී සිදුවූ එක් සුවිශේෂී සිදුවීමක් වන්නේ රටවල් 150ක රාජ්‍ය නායකයන් විසින් ගෝලීය උණුසුම ඉහළයාම පාලනය කිරීම සඳහා සම්මුතියකට එළඹීමයි.

ලෝකයේ දියුණු රටවල් 1990 වසරෙන් පසු තමන් වායුගෝලයට නිදහස්කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීමට කටයුතුකර ඇතත් එම ප්‍රමාණය සත්‍ය වශයෙන්ම ගෝලීය උණුසුම ඉහළයාම පාලනය කරගැනීම ප්‍රමාණවත් වී නැත. වර්ෂ 2011 දක්වා දත්ත පදනම් කරගනිමින් සිදුකරන ලද ගණනය කිරීම් අනුව වායුගෝලීය උෂ්ණත්වය අංශක 2 සීමාවේ පවත්වා ගැනීමට නම් මුළුමහත් ලෝක වාසීන්ටම වායුගෝලයට මුදාහැරීමට අවසර ඇත්තේ කාබන් ගිගා ටොන් 1000 ක් පමණි. නමුත් අප මේ වන විට එම ප්‍රමාණයෙන් ගිගා ටොන් 150ක් වායුගෝලයට මුදාහැර අවසන්ය. කාබන් විමෝචනය සැලකියයුතු මට්ටමකින් අවම කිරීමට හා තම රටවල බලශක්ති නිෂ්පාදනය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත පැවරීමට කැපීපෙනෙන උත්සාහයක් දැරීමට රටවල් අපොහොසත්ව්වීම තුල ලොව පුරා මහා පරිමාණයෙන් ක්‍රියාත්මකවන ගල් අඟුරු හා ඛනිජතෙල් බලාගාර මෙන්ම මහා මාර්ග පුරා නිරන්තරයෙන් ඇදී යන රථවාහන මගින් පිටකරන අධික කාබන් ප්‍රමාණයට ඉතිරි කාබන් ගිගා ටොන් 850 සම්පුර්ණ කිරීමටද වැඩි මහන්සියක් දැරීමට අවශ්‍ය නොවනු ඇත.

ලෝකයේ රටවල් අතර හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් සිදුවන කඹ ඇදිල්ලේ දී සංවර්ධිත බටහිර ලෝක බලවතුන්ට ඇඟිල්ල දිගු කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් කටයුතු කලද චීනය හා ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් වායු ගෝලයට නිකුත්කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණයද සුළුකොට තැකිය නොහැක. තවද විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල රජයන් දේශගුණ විපර්යාස අවම කිරීම (Mitigation) හා ඊට අනුහුරු වීම ( Adaptation) සඳහා දේශීය වශයෙන් මුලපිරීම් ද ඉතාමත් අඩු මට්ටමක පැවතීම හෝ ඇල් මැරුණු ක්‍රියාකාරීත්වයක් දැක්වීම දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ තත්වයද ඊට වැඩි වෙනසක් නැත. කෙසේ වෙතත් දේශගුණ විපර්යාස පිටුදැකීම හා ඊට අනුහුරුවීම සඳහා මිනිසා විසින් අද දවසේ ගනු ලබන ක්‍රියාමාර්ග සමස්ථ පෘථිවි වාසීන්ගේ ඉදිරි පැවැත්ම තීරණය කරනු ඇති බව අප අවධාරණය කරගත යුතුය.

සුපුන් ළහිරු ප්‍රකාශ්