[එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති මොගෙන්ස් ලයිකෙටොෆ්ට් විසිනි]

2015 පිළිබඳ නොමැකෙන මතකය ගැන කෙනෙකුගෙන් අසන්න. බොහෝ දෙනා එය දකිනු ඇත්තේ නීරස මතකයක් වශයෙනි.

ලෝකය පුරා ගැටුම්කාරී තත්වයන් නිසා ඇති වූ මිනිස් ඝාතනයේ සහ විනාශයේ මතක, විශේෂයෙන්, 250,000 ක් ජීවිත විනාශ වූ සහ මිලියන 11 කට කිට්ටු සංඛ්‍යාවක් අවතැන් වූ සිරියාවේ මතකයට අදාළ බිහිසුණු කතා ඔවුන්ගේ සිහියට නැගෙනු ඇත. ලෝකය පුරා අහිංසක වැසියන්ව ප‍්‍රචණ්ඩකාරී අන්තවාදීන් විසින් පැහැරගෙන ගිය, වධ බන්ධනයට ලක් කළ සහ ඝාතනය කළ සිදුවීම් අරභයා ඇති වූ සංවේගය, සන්ත‍්‍රාසය සහ කෝපය, තවත් අයගේ මතකයට නැගෙනු ඇත. තවත් අයට, ඊට වඩා සරළ, එහෙත් වැදගත් කාරණයක් මේ අතරේ සිහිපත් වෙනු ඇත. එනම්, වාර්තාගත උණුසුම්ම වසර 2015 වන බවත්, වැළැක්විය හැකි ලෙඩ රෝගවලින් එම වසරේදීත් 15,000 කට වැඩි ළමුන් ප‍්‍රමාණයක් මියයමින් සිටින බවත් ය.

එහෙත් මේ සියල්ල එසේ තිබියදීත්, 2015, ප‍්‍රගතියේ සහ ප‍්‍රගමනයේ වසරක්ද වන්නේය.

DFT-15-3
උදාහරණයක් වශයෙන්, ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය සහිතව, සෞඛ්‍ය සේවකයන්ට සහ රාජ්‍ය සේවකයන්ට, සියරා ලියෝනයේ, ගිනියාවේ සහ ලයිබීරියාවේ එබෝලා වසංගතය අවසානයක් කර දැමීමට හැකි වුණේද මේ වසරේදී ය. එක්සත් ජාතීන්ගේ ‘සහශ‍්‍ර සංවර්ධන ඉෂ්ටාර්ථ’ නැමැති වැඩපිළිවෙල නිමාවට පත්වුණේද මේ වසරේදී ය. ඒ යටතේ, ලෝකය පුරා අන්ත දරිද්‍රතාවයේ සිටි ජනතාවගෙන් සියයට 50 කට වැඩි ප‍්‍රමාණයක් එම තත්වයෙන් නිදහස් කර ගැනීමට හැකි විය.

එසේම යුද ටැංකියකින් නොව, කියුබාව සහ ඇමරිකාව අතර සම්බන්ධතා සාකච්ඡා මාර්ගයෙන් වර්ධනය කර ගැනීමටත්, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගැනීමටත්, කොලොම්බියාවේ සාම සාකච්ඡාවන්හි ප‍්‍රගමනයක් අත්කර ගැනීමට සහ මධ්‍යම අප‍්‍රිකානු සමූහාණ්ඩුවේ සංක‍්‍රාන්ති වැඩපිළිවෙලක් දියත් කර ගැනීමටත් හැකි වුයේද මේ වසරේදී ය. ඒ සියල්ලට අමතරව, ඊයේ පෙරෙයිදා, සිරියානු අර්බුදය විසඳා ගැනීමේ මාර්ග සිතියමක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය එකඟත්වයකට පැමිණියේය. ඒ මාර්ගයෙන් එකී බිහිසුණු මිනිස් ව්‍යසනයත් පාලනය කර ගැනීම ආරම්භ කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කළ හැකිය.

මේ සෑම දෙයක්ම, තනි තනි සිද්ධියක් වශයෙන් ගත්තත්, වැදගත් සාමර්ථයන් ය. කෙසේ වෙතත්, අනාගතය ගැන මා තුළ දල්වල විශාලතම අපේක්ෂාව වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් 193 දෙනෙකුටත් වැඩි සංඛ්‍යාවකින් සම්මත කරගත් ප‍්‍රධාන ජාත්‍යන්තර එකඟතා තුනකි.

සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක් නුවර එක්රැස් වූ ලෝක නායකයෝ, තිරසාර සංවර්ධන ඉලක්ක 17 ක් අළලා සමස්ත ලෝක ජනතාවත්, පෘථවියත් කේන්ද්‍ර කර ගනිමින් නව ගිවිසුමකට එළැඹියහ. ඊළඟට, මීට මාස දෙකකට කලින් අඩිස් අබාබා නුවරට රැස් වූ එම නායකයන්ම, මුදල්, ශක්‍යතා ගොඩනැගීම්, තාක්ෂණය, වෙළඳාම, ණය සහ වෙනත් ප‍්‍රශ්න අරභයා ඉහත කී ඉලක්ක සාධනය අරමුණු කර ගත් නව ගෝලීය රාමුවකට එකඟ වූහ. නැවත මේ මස මුලදී පැරිස් නුවරදී රැස් වූ රාජ්‍ය නායකයෝ, වසර ගණනාවක් තිස්සේ දිග් ගැස්සෙමින් තිබූ මතභේද පසෙකින් තබා, සංවර්ධනය ළඟා කරගන්නා අතරේම, ව්‍යවසනකාරී ලෝක කාලගුණික වෙනස්කම් වළක්වා ගත යුත්තේ කෙසේද යන්න ගැනත් එකඟත්වයකට පැමිණියහ.

මේ එකඟතා ඔස්සේ, ඉතා වැදගත් පරිවර්තන තුනක් වෙනුවෙන් ලෝකයේ සෑම ආණ්ඩුවක්ම පොදු වැඩ පිළිවෙලකට අනුයුක්ත විය. මුලින්ම, ලෝකයේ දරිද්‍රතාවත් කුසගින්නත් පසුපස ඇති මූල හේතූන්ට ආමන්ත‍්‍රණය කරමින්, මානව සංවර්ධනය සහ ස්ත‍්‍රී/පුරුෂ සමානාත්මතාව ප‍්‍රවර්ධනය කිරීමට ප‍්‍රතිඥා දුනි. දෙවැනුව, අපේ ස්වභාව පරිසරය ආරක්ෂා කර ගනිමින්, අඩු-කාබනික, පරිසර හිතකාමී ආර්ථිකයකට මාරු වෙන අතරේ, සැමට බෙදාහදා ගත හැකි සමෘද්ධියක් සඳහාද එකඟ විය. තෙවනුව, වඩා සාමකාමී, සාධාරණ සහ කිසිවෙකු බැහැර නොකෙරෙන සමාජයන් සඳහා සෑම මට්ටමකින්ම උපයෝගී වන ආකාරයේ ආණ්ඩුකරණයක් වැඩි දියුණු කර ගැනීමටත් එකඟ විය.

මේ එකඟතා, සැබෑ වෙනසක් බවට ප‍්‍රායෝගිකව පත්කර ගැනීමට රටවල් සතු හැකියාව සහ කැපවීම ගැන සංශයවාදීන් ප‍්‍රශ්න කළ හැකිය. එහෙත් එහිදී අපට සාර්ථක විය හැකි බව පමණක් නොව, අප එහිදී සාර්ථක වන බවද මම විශ්වාස කරමි.

ඒ මන්දැයි මම පැහැදිළි කරමි.

පනස් වසරක දේශපාලනික අත්දැකීම් තුළ, මේ එකඟතාවන්ට තුඩුදුන් සාකච්ඡාවන් තරම් දීර්ඝ වූත්, සියල්ලන්ගේ අදහස් සැළකිල්ලට ගත්තා වූත් ප‍්‍රයත්නයක් මා මීට පෙර දැක නැත. එවැනි ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලය වුණේ, මේ එකඟතා ඉහළම බල කේන්ද්‍රයන් තුළ අනුමත වීමයි. එසේම, සිවිල් සමාජය, තරුණ පරම්පරාව, පෞද්ගලික සමාගම් සහ තවත් නොයෙක් කොටස්වල සහභාගීත්වයෙන් ඇති කරගන්නා සාධනීය වෙනසක් සඳහා වන ගෝලීය ව්‍යාපාරයක් මේ තුළින් ගොඩනගා ගැනීමට සමත්ව තිබේ. ඊළඟ 15 වසරක කාලය තුළ ඒ සියලූ බලවේග මෙහි සෑම අදියරකදීම දක්නට ලැබෙනු ඇත. එසේම, ‘සහශ‍්‍ර සංවර්ධන ඉෂ්ටාර්ථ’ වැඩ පිළිවෙලේ සිට නවීකාර්ය නිමැවුම්වල මිළ පහළ දැමීම දක්වා වන වැඩ සටහන් සම්බන්ධයෙන්, බොහෝ ආණ්ඩු සහ සමාගම්, අපට අවශ්‍ය කරන වෙනස ඇති කරගත හැක්කක් පමණක් නොව, දැනටමත් ඇති කර ගනිමින් තිබෙන දෙයක් බවද ප‍්‍රදර්ශනය කරමින් තිබේ.

කෙසේ වෙතත්, 2016 වන විට, මේ ගාමක ශක්තිය අප වැඩි දියුණු කර ගත යුතු අතර, හැකි විගසින් ඒවා ක‍්‍රියාත්මක කර ගැනීමටද වගබලා ගත යුතුය. එසේ වීමට නම් සියලූ පාර්ශ්වකරුවන්ගේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය අවශ්‍ය කෙරේ. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් අන් සියල්ලට වඩා මම එයට ප‍්‍රමුඛත්වය දෙමි.

උදාහරණයක් වශයෙන්, රටවල් සහ ආණ්ඩු, මේ නව ඉලක්කයන් කරා ළඟා වීම සඳහා අවශ්‍ය කරන වෙනස්කම් හඳුනාගෙන ඒවා සැලසුම් කළ යුතුව තිබේ. සෑම කෙනෙකුටම තමන්ගේ ශක්‍යතා සාක්ෂාත් කරගත හැකි වන අන්දමින් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ආයෝජනය කළ යුතුව තිබේ. වඩාත් වගකීමකින් යුතුව සිදු කෙරෙන පරිභෝජන මාදිලියක් සහ තිරසාර යටිතල පද්ධතියක් සඳහා වන ආයෝජන ප‍්‍රවර්ධන දිරිමත් කෙරෙන නෛතික සහ ප‍්‍රතිපත්තිමය කාර්ය පරිපාටි සකසා ගත යුතුව තිබේ. අවසාන වශයෙන්, හැම කෙනෙකුම හැකි පමණින් සහභාගී වන, හැම කෙනෙකුම නිදහස්ව සහ ආරක්ෂිතව ජීවත් වන, සමානාත්මතාව සහ ඒකාබද්ධ භාවය වැඩියෙන් සැලසෙන ආකාරයේ, වඩාත් පාරදෘෂ්‍ය සහ සියලූ ජනතාවන් ඇතුළත් කරගන්නා ආණ්ඩුකරණයක් සකසා ගත යුතුව තිබේ.

මේ අතර, ජාත්‍යන්තර මට්ටමෙන් ගත් විට, මේ රටවල්වලට අවශ්‍ය සහාය සැලසීමට සූදානම් එක්සත් ජාතීන්ගේ පද්ධතියක් අපට අවශ්‍ය කෙරේ. එසේම, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජී.20 වැනි, ආර්ථික තීරණ ගැනීමේ පරම අධිකාරයන්, මේ නව වැඩ පිළිවෙල සමග වඩාත් සහයෝගයෙන් පෙළගැසිය යුතුව තිබේ.

සාමය සහ ආරක්ෂාව පිළිබඳ කාරණයේදී, ගැටුම්කාරී තත්වයන් කල් තියා වළක්වා ගැනීමත්, මානව හිමිකම් කල් තියා ආරක්ෂා කර ගැනීමත් සහතික වන ආකාරයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධාන ක‍්‍රමය තුළ වෙනස්කම් සිදු විය යුතු බවද කිව යුතුය.

‘තිරසාර සංවර්ධන ඉෂ්ටාර්ථ’ වැඩ පිළිවෙලට, පෞද්ගලික අංශයේ ක‍්‍රියාන්විතයක්ද අවශ්‍ය කෙරේ. ඔවුන්ගේ සමාගමික ක‍්‍රියාවන්, ලෝකයා සකසා ගන්නා ඉහත කී නව ඉලක්කයන්හි හරය සමග පෑහිය යුතුය. ගෝලීය මූල්‍ය කර්මාන්තය මීට කෙලින්ම අදාළ ය. නව වෙනස්කම් එහි සටහන් විය යුතුය. පරිසර උන්නතිය සහ මිනිස් අභිවෘද්ධිය සඳහා හරිත ආයෝජනය හේතුකාරක වනවා පමණක් නොව, එය පෞද්ගලික ව්‍යාපාර අභිමතාර්ථ සාධනය උදෙසාද අත්‍යාවශ්‍ය වන බව, පෞද්ගලික අංශය සඳහා වන රෙගුලාසි රාමුවක් සහ බදු ක‍්‍රමයක් තුළ පෙනෙන්ට තිබිය යුතුය.

අවසාන වශයෙන්, සිවිල් සමාජයේ සහ සාමාන්‍ය ජනයාගේ ක‍්‍රියාකාරීත්වයෙන් සහ බලපෑමෙන් තොරව වෙනස්කම් ඇති කළ නොහේ. 2015 වසර තුළ ආණ්ඩු විසින් දෙන ලද ප‍්‍රතිඥා ක‍්‍රියාත්මක කෙරෙන බවට, රාජ්‍ය නොවන සංවිධාන වගබලා ගත යුතුය. වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීමේදී සාමාන්‍ය පුරවැසියන්ට, තරුණයන්ට සහ වෙනත් අයට, මෑත කාලයේ සිදු වූ තොරතුරු තාක්ෂණයේ යෝධ ප‍්‍රගතිය ප‍්‍රයෝජනයට ගත හැකිය.

2015 යනු ප‍්‍රගමනයන් අත්කර ගත් වසරක් නම්, අප සියල්ලන් විසින්ම එහි ප‍්‍රතිඵල නිකුත් කරනු ලබන වසර බවට 2016 පත්විය යුතුය. වඩාත් තිරසාර සහ සාධාරණ ලෝකයක් සඳහා අවශ්‍ය කරන වෙනස සාක්ෂාත් කරගන්නා වසර එය විය යුතුය.

*2015 දෙසැම්බර් 29 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවු The Transformation to a more sustainable and just world begins now නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි