[Main Image : alexir | other image @Vikalpa]
‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ පින්තූරයකි. BIG BROTHER IS WATCHING YOU පින්තූරයේ යටින් සඳහන්ව තිබුනි.’ | NINETEEN EIGHTY FOUR – George Orwell
අපි ඉස්සෙල්ලාම ගියේ සිලාවතුරට. ‘ඔහොම ඉස්සරහට යන්න, පාරෙ ළමයෙක් ඉදියි, ඒ ළමයා ඔයාලව පල්ලියට එක්ක යයි, අපේ ලැගුම්හල දැන් හොදටම හදල තියෙන්නෙ, අමතර කාමරයේ ඔයාලට නතර වෙන්න පුළුවන්, පිරිමි අයට සාලෙ හරි ඉන්න බැරියැ… වොෂ් එකක් දාගෙන රෙස්ට් කරන්න, පූජාව පටන් ගන්නෙ 10යි 30ට.’ අපිට උපදෙස් දුන්නේ මුල්ලිකුලම් පල්ලියේ පූජකතුමාය…
ඉදිරියට ගියද අපට ළමයා මුණ නොගැසුනි.. පාර දිගේ බොහෝ දුරින් අටවා තිබූ නිවෙස්වලින් හා පාරේ ඉදහිට ගමන් කරමින් සිටි කීප දෙනෙක්වම විමසා ළමයා සිටි ඉසව්ව සොයා ගැනීමට අපට හැකිවිය. අපගේ වාහනය නතරවූයේ කපරාරු කොට කොළ පාට ගා තිබූ ගෙවල් කිහිපයක් පෙනෙන්න තිබූ වැලි පාරකය..
(මුල්ලිකුලම් මිනිසුන් නැවත පදිංචි කර ඇති වනය මැද ඇති ප්‍රදේශය)
‘ආ.. මේ ඔයාලගෙ අළුත් ගෙවල් ද, එහෙනම් දැන් හොදයිනෙ’… අපි සිටියේ දුටු පළමු දසුන විසින් සෑහීමකට පත්වය.
‘මේ නේවි ගෙවල්, අපේ ගෙවල් තව එහායින් තියෙන්නෙ’
නේවි ගෙවල් සාදා තිබුනේ නේවිකාරයන් විසිනි. ගෙවල් කිහිපයකට එකක් වශයෙන් වතුර ටැංකි තබා තිබුනේ වරින් වර එන නේව් බවුසරයෙන් බොන වතුර ලබා දීමටය. නේවි නොවන ගෙවල් වට දෙකක් හෝ තුනක් සිමෙන්ති ගඩොලින් බැද උඩට ටකරං ගසා වහලට ටකරං දැමූ ඒවාය. ඒවාට විදුලිය නොතිබුනි..
‘එතකොට මේ එකම ගමේ එකට හිටපු අයගෙ ගෙවල්නෙ,කොහොමද ගෙවල් වර්ග දෙකක්? ඇයි මේ වෙනස?’
‘තුන් වතාවක්ම අපි අවතැන් වුනා, 2007 දී තමයි අන්තිමට අපිට අපේ ගෙවල් වලින් යන්න කිව්වෙ…. යුද්ධෙ එනවා අහුවුන දෙයක් අරන් අයින් වෙන්න කියපු නිසා අපි ඇදිවතින් පිටවුනා.. අපිට කිව්වෙ දවස් දෙකකින් ආපහු එන්න හැකියි කියලායි.. 2009 යුද්දෙ ඉවරවෙලාත් සෑහෙන කාලයක් ගියාට පස්සෙත් මොකුත්ම සිදුනොවුන නිසා අපි බලෙන් මේ කැලේට ඇවිත් ගෙවල් දෙනකන් යන්නෙ නෑ කිව්වාම නේවි එකෙන් අපිට පේලියට පොල් අතු බැදල වහලක් හදල දුන්නා. කක්කුස්සිත් කීපයක් හදල වතුරත් දුන්නා.. ඒත් එයාල අපේ ගෙවල්, ඉඩම් දුන්නෙ නෑ.. අපි නොයාම ඉද්දි තමයි ඔය ගෙවල් 27 බැදල දුන්නෙ.’
ඔවුනගේ ගම දැන් වයඔ දිශාවේ නාවික මූලස්ථානය වී ඇත. නේවිකාරයන් පාවිච්චියට තබාගත් නිවෙස් 27ක් වෙනුවට ගම්මුන්ට සාදා දුන් නිවෙස් ‘නේවි ගෙවල්’ විය.
’එතකොට අනික් ගෙවල්’
’ඒවා හදාගන්න කියල දුන්න බඩු ටිකෙන් අපි බැදගත්තු ගෙවල් තමයි ඔය තියෙන්නෙ, නේවි එකෙන් අපිට ලොකු ලිදක් බැදලා දුන්නා, ඒ වතුර බොන්න බැරි නිසා නේවි එකෙන් නේවි ගෙවල් වලට දෙන වතුර බොන්න ගන්නවා, ඒවත් බොන්න අමාරුයි, ළමයින්ට බොන්න වතුර අපි මන්නාරමෙන් අරන් එනවා’.
මුල්ලිකුලම ගමේ මුලදී තිබූ එක ගෙයකටවත් යුද්ධය නිමවූ පසුත් කිසිිම හානියක් වී නොතිබුනු බවත් යුද්ධයෙන් මේ ගමේ කිසිවෙකුටත් හානියක් නොවුනු බවටත්, කොටින්ම, යුද්ධය මේ ගමට නොආ බවටත් මීට පෙර අප අසා තිබූ බැවින් අප ඒ පිළිබදව යලිත් ඔවුන් නොවිමසුවෙමු. එහෙත් ඔබගේ දැනගැනීමට නැවත එය ලියා තැබිය යුතු වේ.. ගම්මුන් අපට කියා තිබුනේ නේවි බේස් එක ගොඩ නැගීමේදී නේවිකාරයන් ගෙවල් 27ක් පමණක් තබාගෙන ඔවුනට අවශ්‍ය නොවන ඉතිරි ගෙවල් සියල්ල ඩෝසර් කර පිට්ටනි සාදා ගත් බවයි. එබැවින් අලූතින් දුන් ඉඩම්වල ඉතිරි ගෙවල් සාදා දීමේ වගකීමෙන් නේවිය නිදහස්විය..
‘අපි ඇවිත් ගෙවල් දෙනකන් යන්නෙ නෑ කියල නතරවුන කැලේ තමයි සුද්ධ කරල අපිට බෙදල දුන්නෙ, පාරවල් හැදුවෙත් නේවි එකෙන්, වැස්ස කාලෙටනම් යන්නම බෑ, මේ වතුර එකතු වෙලා පිරිලා පාර කඩාගෙන යන හරියෙ කානු කපන්න පටන් අරන් තියෙන්නෙ නේවි කාරයො’….
‘එතකොට මේ කැලේට ප‍්‍රවාහන පහසුකම් කොහොමද?’
‘නේවි එකෙන් බස් එකක් දාල තියෙන්නෙ, දෙපාරක් එනවා, ළමයින්ව ඉස්කෝලෙට ගෙනියන්නෙ නේවි බස් එකේ, අපිට දැන් ඉරිදට පල්ලියට යන්න ඉඩ දෙනවා, ඉරිදට පල්ලි යන්නත් නේවි බස් එක එනවා, අද ? පූජාවට යන්නත් නේවි බස් එක දානවයි කියල ෆාදර්ට කියල තිබුනා’…..
පූජකවරයා කියූ ළමයාගෙන් යතුර ඉල්ලාගත් අපි පල්ලිය සොයා යාමට හැරුනෙමු.
‘බේස් එකට ඇතුලූ වෙද්දි ලොකු ගේට්ටු දෙකක් ඇති, එකක් ඇරල දාල තියෙනවා, ඒකෙ දිගටම ගියාම පල්ලිය තියෙනවා, අද පල්ලියට නේවි එකෙන් ලයිට් දෙනවා කිව්වා, ලයිට් දාල තිබුනොත් හොයා ගන්න ලේසි වෙයි. අනිත් වහපු ගේට්ටුවෙන් යන්න එපා, ඒක නේවි කාරයො මුරට ඉන්නවා, ඒ ගේට්ටුවෙන් ගියොත් එක එක ප‍්‍රශ්න අහනවනෙ, ඔයාලට එපා වෙයි.’ ළමයා සමග සිටි වැඩිහිටියා කීවේය.
(නාවික හමුදාවේ ‘හමුදා ගම්මානයට‘ පිවිසෙන පිවිසුම)
ඇර දමා තිබූ ගේට්ටුවෙන් ඇතුළු වූ අපට වැඩිදුරක් යාමට නොහැකි වූයේ අපගේ වාහනය වැල්ලේ එරී යාම නිසාය. අමාරුවෙන් ටික දුරක් රිවර්ස් එකේ ආ වාහනය අනිත් පාරට දමාගමුයැයි යෝජනා කලේ අප වාහනයේ රියදුරු මහතාය. ඇත්තටම බැලූ බැල්මට එය ඉතා ලෙහෙසි කටයුත්තකි. මන්ද ඇරපු ගේට්ටුවේ සහ වසාතිබූ ගේට්ටුවේ පාරවල් වෙන්කර තිබුනේ තැන් තැන්වල මැදින් තබා තිබූ හිස් බැරල් පේලියකින් පමණක්වූ නිසාය..
‘අනේ මේ, නිකන් ලෙඩ දා ගන්න ඕනෙ නෑ, අනෙක ඔයා දෙමල, මේක මෙයාලගේ පාලන ප‍්‍රදේශය, පේන්නෙ නැද්ද එයාලා හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන් ඉන්නෙ, වහපු ගේට්ටුවෙන් යමු ’…
පල්ලියේ පූජාවට යන බව පැවසූ විට වැසූ ගේට්ටුවේ සිටි නාවිකයන් අපෙන් කිසිවක් නොඇසුවේ එදා නත්තල් දිනය නිසා වියයුතුය.. ඒ වනවිටත් නේවි ලයිට් පල්ලියට ලබා දී නොතිබුනු නිසා අපට ඉසව්ව තීරණය කර ගැනීමට මුල්ලිකුලම් ගමේ (දැන් නේවි බේස් එකේ) පාරවල් කිහිපයක එහා මෙහා යමින් දුවමින්, ඇවිදිමින් සිටි නේවි තරුණයන් කිහිප දෙනෙකුගෙන්ම පාර අසන්නට සිදුවිය. ඉන් සමහරෙකු මෙහි පල්ලියක් ඇති බව හෝ අද නත්තල් පූජාවක් පැවැත්වෙන බව දැන සිටියේ නැත.
‘අපේ ජීවිතේම පල්ලිය, අපි උදේ ඉඳන් රෑ වෙනකනුත් රෑ ඉඳන් උදේ වෙනකනුත් ඕනෑම දේකට දුවන්නෙ පල්ලියට….එයාල එතනින්ම මුහුදට ගියාම අපි හුගාක් වෙලාවට ඉන්නෙ පල්ලියෙ…. පල්ලිය ලග තියෙද්දි කන්න බොන්න නැතිවුනත් අපිට ඒක දැනෙන්නෙ නෑ’
‘දැන් ඉතින් ප‍්‍රශ්නයක් නෑනෙ, දැන් පල්ලියට යන්න ඉඩ ලැබෙනවානෙ, අනෙක මොනවා හරි හිටවගන්න පුළුවන් හොඳ ඉඩම් කෑල්ලකුත් ලැබිලනෙ තියෙන්නෙ….’
‘හ්ම්ම්ම්….. අද නත්තල් නිසා ඕනෑ වෙලාවක පල්ලියට යන්න ඉඩ දුන්නා, මම උදේ අටට ගිය ගමන් මේ දැන් ආවෙ, අද තමයි හුගාක් කාලෙකින් ඇතිවෙනකන් පල්ලියෙ හිටියේ’ …..අපි නේවි ගෙවල් අසලින් පිටවෙන්නට පෙර වැඩිහිටි කාන්තාවක් හා කළ සංවාදය මට සිහිවිය.
එකම දේ වුවද විවිධ අයට වටින්නේ හෝ දැනෙන්නේ විවිධ ලෙසටය. කෙනෙකුට වුවමනා කරන්නේ කුමක්දැයි එහෙම පිටින්ම වෙනත් අය තීන්දු කරනා විට…….
අවසානයේදී අප පල්ලියද පූජක නිවසද සොයා ගත්තෙමු. නේවි බේස් එකතුල තිබූ දේවස්ථාන භූමියේ තණකොල වැවී තිබූ නිසා දේවමෙහෙයට එන්නන්ට පහසුවන සේ තැන්තැන්වල තණකොල නේවිකාරයන් විසින් කපා දමා තිබුනි. නේවි ළමයින් පැමිණ පල්ලියද වටා පිටාවද ආලෝකමත් කළහ. දේවස්ථාන භූමියේම වසා දමා තිබූ පාසැල් ගොඩනැගිලි කිහිපය අසල වැලි සහ ගල් ගොඩවල් කිහිපයක්ම අඳුරේ වුවද හදුනාගත හැකි විය .. නේවිකාරයන් ගමේ පාසැල පිළිසකර කරනවා හෝ අලූත් ගොඩනැගිලි බදිනවා විය හැකිය. පාසැලේ සමහර ගුරුවරුනට පඩි ගෙවන්නේ නේවියෙන් බව ගමේ කෙනෙකු කියනවා හවස් වරුවේ මට ඇසී තිබුනි. සියල්ල තිබුනේ ඉතා පිළිවෙලකටය.
රෑ නවය පසුවන විට තමනට ඇති හොඳම ඇඳුම ඇදගත් තරුණ තරුණියන්ගෙන් පල්ලිය වර්ණවත් වෙන්නට පටන් ගත්විට අපද හෙමිහිට පල්ලියට ගියෙමු. ගියවර පැමිනෙනවිට තිබූ කිසිදු ගරාවැටීමක් කඩතොල්ලක් ඒ සුවිශාල දේවස්ථානයේ දක්නට නොවීය. මුළු දේවස්ථානයම පිගන් ගඩොල් අල්ලා හැඩවැඩ කොට ගාම්භීර පෙනුමක් ලබාදී තිබුනි.. ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිසකර කරන ලද බව දැක්වෙන පුවරුව දේවස්ථානයට ඇතුලූවන තැනම බිත්තියේ දුටු මට කිසිදු පුදුමයක් නොදැනුනි.
(දේවස්ථානයට නේවි බසයෙන් පැමිණි මුල්ලිකුලම් මිනිසුන්)
දේවමෙහෙයට පෙර සිටම අඳුරු සෙවනැලි ලෙසින් එහා මෙහා ගිය නාවිකයන් අප ගැන විමසුමෙන් සිටින්නට ඇතිවාට සැක නැත. දේව මෙහෙය අවසන් වන තෙක් යුනිෆෝම් ඇගලූ නේවි තරුණයන් කිහිප දෙනෙකු දේවස්ථාන භූමියේ සතුටු සාමීචියේ යෙදී සිටියෝය.
දේව මෙහෙය අවසන් වූ සැනින් පැමිණ සිටි සියලූම දෙනා වෙත කෝපි කෝප්පය බැගින් සැපයුනි. නේවි කෝපි බී ගැමියෝ නේවි බසයේ නැගී නේවි නිවෙස් බලා ගියහ.
අප නිදාගත්තේ ගෝඨාභය විසින් කරන ලද පූජක නිවසේය. නින්දට පෙර තරුණයෙක් පැමිණ අප කී දෙනෙක් සිටිනවාදැයි, යන්නේ කවදාදැයි ඇසූ විට අපෙන් එකෙක් ඔහු කව්දැයි අසා තිබුනි. ඔහු ගමේ කෙනෙකු බවත් අරගොල්ලන් නිකන් අසා එන්නට කිවූ බවත් ඔහු කීය.
උදයේ අවදිවූ විට වතුර තිබුනේ නැත. නේවිකාරයන්ට කිවූ සැනින් ඔවුන් බවුසරයකින් නේවි වතුර අපට ලබා දුනි. හැකිතරම් කඩිනමින් අපි ඉන් පිටවීමු.
වයඹ මූලික නාවික කඳවුර පවත්වාගෙන යන්නේ මේ ගමේ මිනිසුන් සදහාමදැයි මට සැකයක් මතුවෙමින් තිබුනි.. ඒ අතර නේවියෙන් බේරී ඒම ගැන මට ඇතිවූයේ මහා සැනසුමකි…. මේ මිනිසුන්ට තම ජීවිත කාලය තුලදී නම් නේවියෙන් ගැලවෙන්නට නොලැබෙන බව පැහැදිලිය…
BIG BROTHER IS LOOKING AFTER YOU
BIG BROTHER IS WATCHING YOU
BIG BROTHER IS LIVING YOUR LIFE
කුමාරි කුමාරගමගේ | Kumari Kumaragamage