සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 7ක් ගත වේ. නමුත් මේ වසර 7ක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ.
කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලු කිහිපයක් පසු කර ගෙන බව කවුරැත් දන්නා සත්‍යයකි. නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අදද කවුරැත් දන්නා රහසක් ව පවතී. කෙසේ නමුත් වෙඩි වැදීමෙන් පසුව කලුබෝවිල රෝහලට ඇතුලගත් කල ලසන්ත වික්‍රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය. [මේ එහි වීඩියෝ දර්ශණයි Sunday Leader Editor in Chief Lasantha Wickremetunge murdere. ඒ 2009 ජනවාරි 8 වනදාය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට ඇගිල්ල දිගු කරමින් විවිද විවේචන ගලා ආවද එවකට තිබූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒවා තුට්ටුවකට මායිම් නොකලා සේම, ඒ පිළිබදව විශ්වාසනීය ලෙස කිසිදු පරීක්ෂණයක් නොකල බව ඉතා පැහැදිලිය. පරීක්ෂණ සිදු කරනවා යැයි තලුමරමින් රාජපක්ෂ සිදු කලේ තමන් ට තිබූ ‘යුද උන්මාදය‘ තුල ලසන්ත වික්රමතුංගේ ඝාතනය සාධාරණිය කරන්නට උත්සහ කිරීමය. එම සියලු සිදුකිරීම තුළ එම ඝාතනය පිටුපස සිටින්නේ කවුරුන්දැයි සමාජයට නිරාවරණය වෙමින් තිබිණි.
(Image by: Groundviews)
දැන් ප්‍රගීත් සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින යම් හෝ පරීක්ෂණ වලින් දිග හැරෙමින් පවතින්නේ, රාජපක්ෂ විසින් සිය මිලිටරි බලයෙන් වසා තැබීමට උත්සහ කළ ඒ සත්‍යයි. ඇතැම් හමුදා කදවුරු තුළින් දැන් මතුවන්නේ ඒ ම්ලේච්ඡ යුගයේ, ෆැසිස්ට් ආකෘතියේ ලක්ෂණයි.
නමුත්, ලංකාවේ පුරවැසියන් 2015 ජනවාරි 08 රාජපක්ෂ පරාජය කොට නව පාලනයක් පිහිටුවා ගත්තේ ලසන්ත, ප්‍රගීත්, සිවරාම්, නිමළරාජන් ඇතුලු මාධ්‍යවේදීන් මෙන්ම නිමලරෑබන්, දෙල්රුක්ෂාන් වැනි ආණ්ඩුවේ හිර ගෙයක් තුල පහරදී මරා දැමුනු සහ අනේක විද වද බන්ධනයන්ට, උණ්ඩවලට බෝම්බවලට ගොදුරුව ඝාතනය වූ මිනිසුන් ට යුක්තිය ලබා ගැනීමට තිබූ නොසිදෙන අසීමත වුවමනාවෙනි.
එබැවින් ආණ්ඩුවේ ප්‍රමුඛම කාර්ය විය යුත්තේ මේ අපරාධවලට සම්බන්ධ සහ ඒවාට නියෝගදුන් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමය. එය ඉතා සීග්‍රයෙන් සිදු කල යුතු කටයුත්තකි. මක් නිසා යත් වසර ගණනාවක් ගෙවී ගොස් ඇති ඇතැම් අපරාධයන් පිළිබද ඉතිරි වී ඇති සාක්ෂි ප්‍රමාණයත් විනාශ කිරීමට ඇතැම් විට රාජපක්ෂ කාලයේ පුහුණු කරමින්, ඇති දැඩි කළ කුලී හමුදාවෝ සූදානම් නොවනු ඇතැයි සහතිකයක් දීමට කිසිවෙකුටවත් නොහැකි නිසාය.
අනෙක් කරුණ නම් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය හෝ අනෙක් අපරාධයන් පිළිබද කෙරෙන පරික්ෂණවල අන්තර්ගතය හෝ එහි විස්තර ලංකාවේ පුරවැසි සමාජය අපේක්ෂා කරන්නේ නැත. නමුත් ලසන්ත ඇතුලු මාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් සහ පහරදීම් පිළිබදව සිදුකරන පරීක්ෂණ කිසිදු බලපෑමකට යටත්නොවී අපක්ෂපාතීව සිදුකරන බවටත් ඔවුන්ගේ ‘තරාතිරම‘ කුමක් වුවත් ඔවුන් නීතිය හමුවට ඉදිරිපත්කරන බවට ආණ්ඩුව විසින් සහතික විය යුතුය.
නමුත් මේ දක්වා එවැනි දෘෂ්ඨියක් පෙනේනට නැත. නමුත් නව පාලනයට වසරක් පිරෙන මේ මොහොතේ තව දුරටත් බලකරමින් පෙන්වා දෙන්නේ ‘යුක්තිය‘ ප්රමුඛ විය යුතු බවය.
අවශ්‍ය වන්නේ යුක්තියයි!