Image By: www.thenewsminute.com

මේ දෙක එකක් වශයෙන් ගැනීම බොහෝ පාලකයන් සම්බන්ධයෙන් දැකීමට ලැබෙන ලක්ෂණයකි. එහෙත් ඒ දෙක අතර විශාල වෙනසක් සහ පරතරයක් තිබේ. ලිවීමට කියැවීමට දන්නා ඕනෑම කෙනෙකුට හෝ කට වහරින් දායාද වන යමක් සිහියේ තබා ගැනීමට ශක්තිය ඇති ඕනෑම කෙනෙකුට ඉතිහාසය උගත හැකිය. එහෙත් ඉතිහාසයෙන් උගෙනීම යනු, උගත් ඉතිහාසය මගින් තමන්ව පෝෂණය කර ගැනීමයි. බොහෝ පාලකයන් අසමත් වන්නේ එහිදී ය. ඔවුහූ කටපාඩමින් ඉතිහාසය දැන සිටියත්, ඒ ඉතිහාසයෙන් තමන් පෝෂණය වූ බව පෙන්නුම් කිරීමට අසමත් වෙති.

රාජපක්ෂ ආණ්ඩුකරණය සහ යහපාලන ආණ්ඩුකරණය අතර වෙනසක් තිබේදැයි අද අසන බොහෝ දෙනාගේ කුරිරු අභිප‍්‍රායක් තිබේ. එම ප‍්‍රශ්නයම සත්භාවයෙන් සහ දයාවෙන් අසන පිරිසක්ද සිටිත්. මේ දෙවැනුව කී පිරිස දිනෙන් දින ප‍්‍රමාණයෙන් වැඩි වෙත්. පාලකයාගේ අනාගතය තීරණය කරනු ඇත්තේ, මෙකී පිරිස විසින් මතු කරනු ලබන අවංක කුකුස පසුපස ඇති යථාර්ථය විසිනි.

2015 ජනවාරි 8 වැනි දා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගැනත්, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුව ගැනත් මෙරටේ බහුතර ජනතාව තැබූ විශ්වාසය සහ ගෞරවය ටිකෙන් ටික වියැකී යන බව, බොහෝ විට ජනාධිපතිවරයා නොදන්නවා ඇති. ඔහු එය නොදන්නේ, එසේ දැන ගැනීමට ක‍්‍රමයක් ඔහුට නැති බැවිනි. රටේ සාමාන්‍ය මිනිසුන් අතර ගැවසීමේ සහ ඔවුන්ගේ හද ගැස්මට ඓන්ද්‍රීයව සවන්දීමේ ඉඩක් දැන් ඔහුට නැත. මේ නිසා වෙනත් මාර්ගයකින් රටේ නාඩි ඇල්ලීමේ ක‍්‍රමයක් ඔහුට තිබිය යුතුය.

ඉස්සර ඇතැම් රජවරු වෙස් වළාගෙන රාජධානියේ සංචාරය කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ, රටේ තත්වය අගතියකින් තොරව දැන ගැනීමේ අවශ්‍යතාව උදෙසා ය. එය කේවට්ටයන්ගෙන් කර ගත නොහැකි බව එම රජවරු දැන සිටියහ. නූතන යුගයේදී ඉස්සර මෙන් වෙස් වළාගෙන ගමන්බිමන් යාම, ප‍්‍රායෝගික නැත, ආරක්ෂිත නැත. එබැවින් ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමේ අවශ්‍යතාවක් ඇති ඕනෑම රාජ්‍ය නායකයෙකු කළ යුත්තේ, තමන් පිනවන්නන්ගෙන් හැකි තාක් ඈත් වී, මොන තරම් තිත්ත වුවත්, කටුක වුවත්, තථ්‍ය වාර්තා මත යැපීමට හැම පියවරක්ම ගැනීමයි. වෙනත් ආකාරයකින් කිවහොත්, ජ්‍යොතිෂඥයා සහ වෛද්‍යවරයා අතර වෙනස හඳුනා ගැනීමට යුහුසුළු වීමයි.

එසේ හඳුනා ගැනීමට නම්, රාජ්‍ය නායකයාගේ පැත්තෙනුත් සැපිරිය යුතු අත්‍යාවශ්‍ය සුදුසුකමක් තිබේ. රාජ්‍ය නායකයාටත් අවශ්‍ය කරන්නේ, තමන්ව පුම්බා ගැනීම සහ තමන් ගැන වර්ණනාව නම්, ඉහත කී අවබෝධය එවැනි නායකයෙකුට ප‍්‍රයෝජනවත් වෙන එකක් නැත. මන්ද යත්, නායකයා බලාපොරොත්තු වන්නේද, කණ පිනවන සහ පිට කසන සනීපයක්ම වන බැවිනි. එබැවින්, ඇති තතු දැන ගැනීමේ උවමනාවක්, අන් සියල්ලට කලින්, නායකයා තුළම තිබිය යුතුය. එසේ නොවුණොත්, දිනෙන් දින ප‍්‍රශස්තිකාරයන්ගේ සහ වන්දිභට්ටයන්ගේ ගොදුරක් බවට නායකයා පත්වනු නියති. මහින්ද රාජපක්ෂගේ ළඟින් සිටි කාලය තුළ වර්තමාන ජනාධිපතිවරයා ලබා ඇති පරිචය මේ කාරණය ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට එහිදී උපකාරී විය හැකිය.

ජනාධිපතිවරයා ගැන සහ ඔහුගේ යහපත් ක‍්‍රියාකලාපය පිළිබඳ සාධනීය ප‍්‍රතිරූපයක් ගොඩනැගීම සඳහා යම් උපාය මාර්ගයක් තිබිය යුතු බව මෙයින් ප‍්‍රතික්ෂේප නොකෙරේ. එම උපාය මාර්ගය තුළ ඔහු ගැන සාධාරණ වර්ණනාවකට ප‍්‍රමුඛස්ථානය ලැබිය යුතු බවත් ඇත්ත. ඔහුගේ නම වැඩිම වාර ගණනක් දිනකට ඇසෙන සේ සහ ඔහුගේ රුව වැඩිම වාර ගණනක් දිනකට පෙන්වන සේ කටයුතු සම්පාදනය කිරීම එම ව්‍යාපෘතියේ (අමිහිරි) කොටසක් විය හැකියි. මේ රාජකාරිය සඳහා සුදුසු පුදගලයන් පත්කර ගැනීම ඉතා පහසු ය. මන්ද යත්, ලංකාවට නුහුලන ශ‍්‍රම අතිරික්තයක් ඇති ප‍්‍රධාන ‘වෘත්තීය’ ක්ෂේත‍්‍රය එය වන බැවිනි.

එහෙත් නායකයාගේ එම ප‍්‍රතිරූපය ගොඩනගන කිසි පුද්ගලයෙකු, රටේ තථ්‍ය තත්වය නායකයාට පෙරලා වාර්තා කරන මුලාශ‍්‍ර බවට පත්කර ගත යුතු නැත. ඒ සඳහා සිටිය යුත්තේ වෙනත් නිර්දය පිරිසකි. ඔවුන්ගේ කාර්යය වනු ඇත්තේ, තිත්ත ඇත්ත පෙන්වා දෙමින් අවශ්‍ය නිර්දේශ ලබා දීම මිස, රාජ්‍ය නායකයාව නැළවීම නොවේ.

මේ සියල්ල කීවේ, නායකයා සහ රට අතර තිබිය යුතු සෘජු සන්නිවේදනයේ මූලික කාරණයක් අවධාරණය කිරීමටයි.

ඊට අතිරේකව, නායකයාගෙන් පිටස්තර ජාලයක් මගින් එම නායකයා ගැන වාර්තා දෛනික මට්ටමකින් රටට ඉදිරිපත් කෙරේ. එම වාර්තා පදනම් වන්නේ, බොහෝ කොට, ඔහුගේ දේශපාලනික චර්යාව පාදක කොටගෙනයි. මේ ලිපියේ මුලින් කියැවුණු බහුතර ජනතාවගේ විශ්වාසය සහ ගෞරවය කෙමෙන් වියැකී යන්නේ එකී වාර්තා පදනම් කර ගනිමිනි. එහිදීත්, අපේ නායකයන් වැඩියෙන්ම බලන්නේ, අවශ්‍ය මාධ්‍ය ජාල මොන ආකාරයකින් හෝ තම ග‍්‍රහණයට නතු කරගෙන වැඬේ ගොඩින් බේරා ගැනීමටයි. ඒ මගින් කෙටි කාලීන ප‍්‍රතිඵල අත්කර ගත හැකි බව සැබෑව. එහෙත්, රටේ සියලූ මාධ්‍ය ආයතන නායකයාගේ භාරයට ගත්තත්, යම් අවස්ථාවකින් පසු එය මොට්ට් මෙවලමක් බවට පත්වන බව, නැවතත් රාජපක්ෂ ඉතිහාසය අපට කියාදෙයි.

මේ නිසා, පුද්ගල අභිනන්දනයෙන් බැහැරව, නායකත්ව කාර්ය සාධනයට මුල් තැන දෙන දේශපාලන චර්යාවකට නායකයා නොපමාව අවතීර්ණ විය යුතුව තිබේ. එය, මුල් ගල් තැබීම්, පොත් බෙදා දීම් හෝ පන්සල් වැඳපුදා ගැනීමෙන් කළ නොහේ. හිටපු ජනාධිපති ගිය පන්සල් සංඛ්‍යාවට හෝ බෙදා දුන් සිල් රෙදිවලට අවසානයේදී ඔහුව ගලවා ගැනීමට නොහැකි වූ බව අමුතුවෙන් නොකිව මනා ය.

රාජපක්ෂ සංස්කෘතියෙන් තමා වෙනස් වන්නේ කෙසේදැයි ආදර්ශයෙන් විදහා දැක්වීමේ අභියෝගය භාර ගැනීම, මේ සියල්ලේ යටි අරුතයි. වත්මන් ජනාධිපතිවරයා යම් තාක් බලය අතහැරිය බව සැබෑව. එසේම, විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර දැමීමේ සූදානමක් පෙන්වන බවත් සැබෑව. ඒ සියල්ලටමත් වඩා, ජාතික ප‍්‍රශ්නයට දේශපාලනික විසඳුමක් සෙවීමේ අභිලාෂයෙන් පසුවන බවත් සැබෑව. ඒ සියල්ල ප‍්‍රශංසනීයයි.

එහෙත් එකී පරිණත පර්යාලෝකය අහුරන පටලැවිල්ලක් තවමත් නොවිසඳී පවතී. පවුල්වාදය සහ අභිනන්දනවාදය, රාජපක්ෂ මාත‍්‍රාවෙන්ම නොවුණත්, තවමත් අපේ දේශපාලන දේහය ආතුර කරයි. අතීත අපරාධ සහ දූෂණ, නීතියේ සීමාවන්ගෙන් පරිබාහිර හේතු යටතේ, තවමත් යට ගැසේ. එසේ වන්නේ, දේශපාලඥයාගේ හැව ඇරීමට නායකත්වය අපොහොසත් වීමෙනි. රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය අභියෝගයක් වශයෙන් භාර ගැනීම මගහැරීමෙනි.

ඊළඟ මැතිවරණය ගැන සිතන්නා දේශපාලඥයෙකි. ඊළඟ පරම්පරාව ගැන සිතන්නා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකි. පක්ෂය ගැන සිතන්නා දේශපාලඥයෙකි. රට ගැන සිතන්නා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකි. දේශපාලඥයා ඉදිරි මැතිවරණ සහ පක්ෂ අවශ්‍යතාවන්ගේ වහලෙකු වන අතර, රාජ්‍ය තාන්ත‍්‍රිකයා ඉදිරි පරම්පරාව සහ රට වෙනුවෙන් සුක්කානම අතට ගන්නා දේශපාලනික මුනිවරයෙකු වන්නේය. තමාව හැසිරවීම ඉතිහාසයට භාර කරනවා වෙනුවට ඔහු කරන්නේ ඉතිහාසය මෙහෙයැවීම තමා අතට ගැනීමයි.

නිදහසේ සිට අද දක්වා ඕනෑවටත් වඩා දේශපාලඥයන් යටතේ අපි පාලනය වී ඇත්තෙමු. දැන් අපට අවශ්‍ය කරන්නේ, රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකුගේ පාලන සමයකි. ඒ සඳහා අදීනත්වයක් සේම මහා හයියක්ද අවශ්‍ය කෙරේ.

මෛත‍්‍රීපාල සිරිසේන ඒ අභියෝගය දැන්වත් භාර ගැනීමට සූදානම් ද?

Gamini-Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda