Image By: Vikalpa/Instagram

ජාතික ආණ්ඩුවක මෙන්ම සභාග ආණ්ඩුවක ලක්ෂණ ද පෙන්නුම් කරමින් පවතින නව ආණ්ඩුව බලයට පත් කරන ලද්දේ රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී, අධිපතිවාදී තත්ත්වයන්ගෙන් හෙම්බත්ව සිටි පුරවැසියන්ගේ මූලිකත්වයෙනි.

එම පුරවැසියන්ගේ සහ වසර ගණනාවක් සමාජ ප්‍රතිසංස්කරණයන් ඉල්ලා සිටි සිවිල් සමාජයක ප්‍රජාතන්ත්‍රීය වුවමනාවන් වලට ජීවය දීමත් ඒවා පොළවේ පැලකීරීමත් නව ආණ්ඩුවේ මූලික වගකීමක් වේ. නමුත් එම සමාජ, දේශපාලනික වුවමනාව නැවත නැවතත් මතක් කර දීමට සිදුවීම කිසියම් ‘දුප්පත්‘ තත්ත්වයක් වුවත් එය නැවත නැවත් මතක් කර දී හෝ සමාජය ඉල්ලා සිටින ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් කම් සිදු කර ගැනීම ඉතා වැදගත් වෙයි.

එහිදී ආරම්භ කෙරුණු නව ව්‍යවස්ථාව පිළිබද ‘කතිකාව‘ ඉතා වැදගත් සංදිස්ථානයක් ලකුණු කරනු ලබයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනුම නව ප්‍රතිසංස්කරණයන්ට අවශ්‍ය නීතිමය තත්ත්වය සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික අවශ්‍යාතාවයන් ජනනය කරන රටේ මූලික නීතිමය ලියවිල්ලයි. රටේ මූලික නීතිය යි. එය විශේෂයෙන් නූතන ලෝකය හා සැසදීමේදී අප විසින් නැවත සකස්කර ගත යුතු මූලික ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණයන් සහ නිදහස, යුක්තිය පිළිබද අලුතින් සාකච්ඡා කිරීම සදහා ප්‍රමාද වී හෝ ලැබුණු අවස්ථාවකි.

එසේම ලංකවේ ජාතික ප්‍රශ්ණය විසදා ගැනීම සදහා නීතිමය ලෙස මැදිහත් විය හැකි තත්ත්වයක් නිර්මාණය කර ගැනිම සදහාත් මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද කතිකාව සහ එහි මැදිහත්වීම ඉතා වැදගත් වෙයි. එහිදී සුලුජන කොටස්වල අයිතිවාසිකම් පිළිබද නැවත වරක් අලුතින් කල්පනා කිරීම නව ආණ්ඩුක්‍රමයක් පිළිබද කතිකාවේදී ප්‍රමුඛ කාරණයක් ලෙස සැලකීම ප්‍රධාන වෙයි. එහිදී ‘සුලුජන‘ කොටස් යන වචනයේ අර්ථය සංඛ්‍යාවෙන් අඩු යන්න වුවත් එය පැහැදිලි කර ගැනීමේදී ‘සුලුජන‘ කොටස් යන්න පිළිබද වන හැදින්වීම පිළිබද නැවත වරක් නව ව්‍යස්වස්ථාව තුළ දී කල්පනා කිරීම වැදගත් වෙයි.

එහීදී ‘සුලුතරය‘ යන වචනයත් සමගම යාවෙන අනෙක ‘බහුතරය‘ යන්න පවතියි. එහිදී ‘බහුතරයේ කැමැත්ත‘ යනු ප්‍රජාතන්ත්‍රවාදය යන සාම්ප්‍රදායික කියවීමට එරෙහිව යමින් බහුතර නොවන ප්‍රජාවගේ අයිතිවාසිකම් වලටද ‘යුක්තිසහගත දේශපාලන නියෝජනයක්‘ ලැබෙන ‘බහුත්වවාදී‘ ලක්ෂණ මතු වෙන ලෙස මෙම හැදින්වීම් නැවත සකස් කර ගැනීමත් නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේදී අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණකි.

අනාගමික ව්‍යවස්ථාවක්

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 2වන පරිච්ඡේදයේ, 9වන ව්‍යවස්තාව බලමු.

‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14වන ව්‍යවස්ථාවෙහි (1වන අනු ව්‍යවස්ථාවෙහි (ඉ) ඡේදයෙන් සියලු ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය’.

ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය.‘ යන්න, ‘බුද්ධාගම‘ අදහන/පිළිපදින අයෙක් තම ආගම ට ව්‍යවස්ථාවෙන් දී ඇති සැලකීම පිළිබද සිතා සතුටට/ ප්‍රීතියට පත්වුවත් වෙනත් ආගමක් අදහන/පිළිපදින පුද්ගලයෙක් තුළ ඇති කරනු ලබන්නේ ‘වෙනස්කොට සැලකීම‘ පිළිබද සිතිවිල්ලකි. එබැවින් අබෞද්ධයෙක් තුළ ඇති කරන එම හැගීම වෙනස් කිරීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කර ගැනීමත් වර්තමාන ලංකාව තුළ ඉතාමත් වැදගත් වෙයි.

මෙය එක් පැත්තකින් ඉහතින් සදහන් කළ බහුතරයේ වුවමනාවන් පිළිබද කතිකාව නැති නම් බහුතරයේ වුවමනාවන් ප්‍රමුඛ විය යුතු යැයි සමාජයේ පවතින අයුක්ති සහගත තත්ත්වය ට ව්‍යවස්ථාවෙන් ම සළසා දී ඇති නෛතික භාවය ඉවත් කරමින් සියලු ජාතීන්ට/ආගමිකයන්ට ‘යුක්තිය‘ ලබා දීම පිළිබද වන නව ප්‍රවේශයක් පිළිබද අදහසක් බව සමාජය තේරුම් ගැනීමත් ඉතාමත් වැදගත් වේ. එසේම බහු ආගමික සමාජයක එක් ආගමක් ‘ප්‍රමුඛ වන්නේය‘ යනුවෙන් නීතිමය අවස්ථාවක් ව්‍යවස්ථාවෙන් සළසා දී ඇති තත්ත්වයක් තුළ නිතැතින්ම නිර්මානය වන්නා වූ අනෙක් ආගමිකයන් ‘ප්‍රමුඛ නොවන‘ තත්ත්වය වෙනස්කර සාධාරණත්වය සහ යුක්තිය සදහා නව දොරටුවක් විවර කර ගැනීමක් එසේ වුවහොත් සිදුවේ.

අනෙක නම් නූතන ලෝකයේ ආගම සලකනු ලබන්නේ ‘පෞද්ගලික‘ දෙයක් හැටියට විනා එයට රාජ්‍ය සමබන්ධ කර නොගනී. එබැවින් ‘රාජ්‍ය‘ සහ ‘ආගම‘ දෙකක් ලෙස සැලකීමත්, කිසිදු ආගමක් ව්‍යවස්ථාවෙන් ‘ප්‍රමුඛ කොට සැලකීම/පෝෂණය කිරීම‘ යන තත්ත්වයන් වෙනස් කිරීම නව ව්‍යාවස්ථාවෙන් සිදු කර ගත යුතු නූතන යහපත්/ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් කමකි. එහෙයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්ය ලෙසම ‘අනාගමික ව්‍යවස්ථාවක්‘ ලෙස නැවත සකස් කර ගැනීම ‘සංඛ්‍යාවෙන් සුලුතර‘ ජනකොටස් වල දේශපාලන අභිලාෂයන් පිළිබද සැලකීමේදී ද ප්‍රමුඛ වැදගත්කමක් ලෙස සළකුණු වෙයි.

දේශපාලනය, රාජ්‍ය සහ ආගම

අනෙක බුද්ධාගම පමණක් නොවේ, කිසිදු ආගමක් ලෞකික විය යුතු නැත. සියලු ආගම් ලෝකෝත්තරයි. නමුත් රාජ්‍ය පාලනය කිරීමේදී දේශපාලනය යන්න ලෞකිකයි. එහ දී දශක කිහිපයකට පෙර යුරෝපයේ පැවති තත්ත්වය මදක් විමසීම වටින්නේ ය. ආගම සහ රාජ්‍ය එකතු කර යුරෝපයේ වසර ගණනාවක් පාලනය පැවති වකවානුවේ ප්‍රධාන දෙයක් සිදුවිය. එනම් ආගම විසින් දේශපාලනය පාලනය කිරීමයි. එහෙයින් ඒ තත්ත්වය නිසා ඒ සමාජය හිංසාවාදී තත්ත්වයකට ගමන් කිරීමට එය බොහෝ දුරට බලපානු ලැබිණි. එහි ප්‍රථිපලයක් ලෙස ඇතැම් රටවල ධර්මාධිකරණය වැනි ආයතන බිහි විය. එයින් සිදුකරනු ලැබූවේ ආගමේ ඉතා සුලු දෙයක් හරි විවේචනය කළ පමණින් මිත්‍යාදුෂ්ඨිකයන් ලෙස හංවඩු ගසමින් මරණ දණ්ඩනය පවා නියම කිරීමට හැකියාව ඇති ‘බලයක්‘ මෙම ධර්මාධිකරන හරහා ඇතිකිරීමය. මෙම අශීලාචාර තත්ත්වයට එරෙහිව යුරෝපයේ සමාජය නැගී සීටීමේ ප්‍රථිපලයක් ලෙස ‘රාජ්‍ය පාලනයට සහ දේශපාලනයට ආගම සම්බන්ධ විය යුතු නැත‘ යන දේශපාලන සම්මුතිය ඔවුන් විසින් සකසා ගනු ලැබිණි.

එබැවින් එහි ප්‍රතිඵලයක් ලෙස අද ආගම වෙනමත්, රාජ්‍ය වෙනමත් පවතිනු ලබයි. නමුත් ලංකාවේ මෙම තත්ත්වය පවතින්නේ එදා යුරෝපයේ පැවති තත්ත්වයකට සමාන ලෙසය. එනම් අද ද ‘ආගම නැතිව රාජ්‍ය පාලනය කරන්න බැහැ‘ යන පසුගාමී ‘විශ්වාසයක්‘ පසුගිය රාජපක්ෂ පාලනයේ සේම නව පාලන තුළත් මතු වෙමින් පවතී. නව ව්‍යවස්ථාව පිළිබද කතිකාවේ දී පාලකයන් සේම ජනතාවත් මෙම ‘විශ්වාසයෙන්‘ මිදිය යුතුයි. කිසිම ආගමකට ප්‍රමුඛස්ථානයක් යන විශේෂිත ස්ථානයක් ලබා දිය යුතු නැත. තම තමන් නිවැරදියි කියා විශ්වාස කරන ආගම අදහන්න මිනිසුන්ට තිබෙන අයිතිය තහවුරු කිරීම පමණයි කළ යුතු වන්නේ, නමුත් ඒ ආගම ඇදහීමට රාජ්‍ය මැදිහත් විය යුතු නැත. එය වෙන්ව පවතින තත්ත්වයක් ලෙස තිබිය යුතුයි. පසුගිය ශතවර්ෂ ගණනාවක් පුරාම ලෝකයේ විවිද සමාජයන් ‘මිනිස් ලේ‘ හලා ඉගෙන ගත් මූලික පාඩම එයයි. නමුත් තවමත් අපි ඉගෙන නොගත් පාඩම ද එයයි.

නමුත් ආගම ඇදහීමට අයිතියක් නැත යන්න මෙයින් හැගවෙන්නේ නැත. සෑම පුරවැසියෙකුටම ඒ අයිතිය තිබිය යුතුයි. නමුත් රාජ්‍ය සහ ආගම දෙකක් ලෙස සැලකිය යුතුයි. එක් ආගමකට ප්‍රමුඛස්ථානය දීම තුළ මතුවන ප්‍රතිවිරෝධය/වෙනස් කොට සැළකීමේ හැගීම වෙනස් කිරීම සදහා කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානය නොදී රාජ්‍ය ආගමෙන් වෙන් ව පැවතීම තහවරු කීරිම නූතනයේ ලංකාව තුළ ඉතා වැදගත් වෙයි. එසේම ඉහතින් සදහන් කළ ආගමක් ඇදහීමට ඇති අයිතිය සේම ‘ආගමක් අදහන්නේ නැතිව සීටීමට ඇති අයිතියත්‘ තහවරු කිරීම රාජ්‍ය යේ වගකීමක් ද වෙයි.

(නව ව්‍යවස්ථා කථිකාවේ භාෂාව සහ බලය බෙදා හදා ගැනීම පිළිබද මීළග ලිපියෙන් සාකච්ඡා කරමු.)

Sampath-TT
සම්පත් සමරකෝන්
| Sampath Samarakoon