Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

‘ගැටුමේ මූලහේතුවලට විසදුම් සෙවීමට ආණ්ඩුව යොමු විය යුතු බව 80% කියයි!‘ | පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සමීක්ෂණය


[2015 දෙසැම්බර්]

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ ඒකකය වන ‘Social Indicator’ මගින්, ‘‘පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ සම්බන්ධයෙන් පවත්වන ලද අවසාන සමීක්ෂණයට අනුව, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සියයට 80.6 ක මතය වන්නේ, ගැටුමේ මූල හේතුවලට ආමන්ත‍්‍රණය කෙරෙන විසඳුම් සෙවීම කෙරෙහි ආණ්ඩුව යොමු විය යුතු බවයි. ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සියයට 48.1 ක්, යුද්ධයේ අවසන් අදියරයන්හිදී ඇති වු සිදුවීම් සම්බන්ධයෙන් වන වගවීම සොයා බැලීමේ විශ්වසනීය යාන්ත‍්‍රණයක් තිබිය යුතු බව කියා සිටින අතර, එවැනි යාන්ත‍්‍රණයක් අවශ්‍ය නැතැයි සියයට 37.7 ක් කියා සිටී.

විශ්වසනීය යාන්ත‍්‍රණයක් තිබිය යුතු බව කියා සිටි පිරිසෙන් සියයට 43.8 ක් කැමැත්ත දක්වන්නේ මුළුමණින්ම දේශීය යාන්ත‍්‍රණයකටයි. එසේම යුද්ධයේ අවසන් අදියරේදී සෑම පාර්ශ්වයකින්ම සිදු කරන ලදැයි කියන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන සොයා බැලීමට පූර්ණ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් තිබිය යුතු බව සියයට 17.1 ක් කියා සිටිති. සිංහල සමාජයෙන් බහුතරයක (සියයට 61.7) කැමැත්ත ඇත්තේ, මුළුමණින්ම දේශීය යාන්ත‍්‍රණයකටයි. අනිත් අතට, දෙමළ ප‍්‍රජාවෙන් සියයට 47.6 ක් කැමැත්ත දක්වන්නේ, මුළුමණින් ජාත්‍යන්තර යාන්ත‍්‍රණයකටයි. ඒ අතර, එම ප‍්‍රජාවෙන් තවත් සියයට 39.7 ක්, දේශීය සහ ජාත්‍යන්තර සංයෝගී යාන්ත‍්‍රණයක් තිබිය යුතු බව කියති.

ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධයෙන් ගත් විට, ආණ්ඩුව ජාතික සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා අවංකවම කැප වෙතැයි ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සියයට 47 ක් විශ්වාස කරති. එහෙත් ආණ්ඩුවේ අවංක කැපවීමක් ඒ සම්බන්ධයෙන් නැතැයි සියයට 22.6 ක් කියා සිටිති.

ශ‍්‍රී ලංකාවෙන් බහුතරයක්, එනම් සියයට 55 කට ආසන්න ප‍්‍රමාණයක්, ලංකාවේ දැනට පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මට්ටම ගැන සෑහීමකට පත්වන අතර සියයට 16 කට ආසන්න ප‍්‍රමාණයක් ඒ ගැන සෑහීමකට පත්වන්නේ නැත.

එසේම, කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් සියයට 31.7 ක් කැමැත්ත පළ කරන අතර සියයට 36.7 ක් පළ කරන්නේ අප‍්‍රසාදයකි.

අලූත් ආණ්ඩුව පිහිටුවීමේ සිට රටේ සාමාන්‍ය ආර්ථික තත්වය වර්ධන වී ඇතැයි සියයට 31.3 ක් විශ්වාස කරති. ඒ අතර, සියයට 30.3 ක් සිතන්නේ තිබුණු තත්වයට වඩා ආර්ථිකය පිරිහී ඇති බව ය. මේ කාරණය සම්බන්ධයෙන් විවිධ ජාතීන්ගේ අදහස් සැළකිල්ලට ගැනීමේදී, වඩාත් සංශයවාදී වන්නේ සිංහල ප‍්‍රජාව වීම විශේෂත්වයකි. අලූත් ආණ්ඩුව බලයට පත්වීමේ සිට රටේ ආර්ථිකය වර්ධනය වී නැතැයි එම ප‍්‍රජාවෙන් සියයට 35.3 ක් සිතති.

මෙම සමීක්ෂණයේදී ඉදිරිපත් කළ තවත් ප‍්‍රශ්නයක් වුණේ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ මෙතෙක් ගන්නා ලද සංවර්ධනය පිළිබඳ ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් දරණ මතය කුමක්ද යන්නයි. එහිදී සියයට 46.3 ක් වර්තමාන ආණ්ඩුවේ සංවර්ධන අංශය ගැන සෑහීමකට පත්වන අතර, සියයට 30.3 ක් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවෙති.

DS-cover

* ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ජනතා අදහස් උදහස් දැන ගැනීම ‘පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය‘ පිළිබඳ සමීක්ෂණයේ පරමාර්ථය විය. එහිදි සොයාගත් කරුණු, අංශ පහක් යටතේ වර්ගීකරණය කෙරුණි. ඒවා නම්, ආර්ථිකය සහ සංවර්ධනය, ආරක්ෂාව සහ නිදහස, දේශපාලනය පිළිබඳ ආකල්ප, මානව හිමිකම් සහ සංහිඳියාව, සහ ආණ්ඩුව වශයෙනි. මෙහි පළමු අදියර 2011 දී ආරම්භ කෙරුණු අතර, දෙවැනි අදියර 2013 දී ද, තෙවැනි අදියර 2014 දී ද, අවසාන අදියර 2015 මාර්තු මාසයේදී ද දියත් කෙරුණි. ඉහත පළ වුණේ, ඒ අවසාන අදියරේ සමීක්ෂණයේ සාරාංශයකි.

මේ සමීක්ෂණය දිස්ත‍්‍රික්ක 25 මුළුල්ලේ පැවැත්වුණු අතර ශ‍්‍රී ලාංකිකයන් 2103 දෙනෙකුගේ අදහස් සොයා බැලූණි. සියලූ ප‍්‍රධාන ජනවර්ග ඊට ඇතුළත් විය. ළඟා වීමේ දුෂ්කරතා පැවති උතුරේ ඇතැම් පෙදෙස් හැරුණු කොට, මුලූ රටෙන්ම මේ සමීක්ෂණය සඳහා පිරිස් තෝරා ගැනුණේ අහඹු නියැදිවලිනි.

සම්පූර්ණ වාර්තාව සදහා | Full Report here
[සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග්‍රහයෙන්]