මේ දර්ශන් කුගදාසන් පුතා. වයස අවුරුදු හයයි. 2016 ජනවාරි විසි පස්වෙනිදා(25) හවස දර්ශන් තමන්ගේ සහෝදරයාත් අසල්වැසි මිත්‍රයෙකුත් සමග සෙල්ලම් කරන්නන්ට කියා ගෙදරින් එලියට ගියා. අනිත් දෙන්නම ගෙදර ආවට දර්ශන් අතුරුදහන් වුනා. දරුවාගේ අම්මා ගම පීරලා හෙව්වත් හෝඩුවාවක්වත් හොයා ගන්න බැරිඋන තැන හවස පහ හමාරට පොලිසියේ පැමිණිල්ලක් සටහන් කළා. මේ අතරේ ගම්මු ඒකරාශි වෙලා දරුවාව හොයන මෙහෙයුම දියත් කළා. පැය ගණනාවක උත්සාහයකින් පස්සේ මධ්‍යම රාත්‍රියේ දරුවාගේ නිරුත්තර සිරුර සොයාගත්තා.
කවුරුන් හෝ දරුවා මරා, පපුවේ ගලක් බැඳ, සාම්පුර් අධි ආරක්ෂක කලාපයේ, “විදුර” නාවික හමුදා කඳවුරට යාබද ලිඳක සිරුර ගිල්වා තිබුණා. සිරුර ගොඩ ගැනීමෙන් පසුව එය අධීක්ෂණයට ලක් කළ තීක්ෂණ නුවණැති අසල්වැසියෙකුගේ තීරණය වුයේ දරුවාට ලිංගික අතවරයක්ද සිදුකොට ඇති වගයි.
පොලිසිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රීකුණාමල රෝහලට ගෙන ගිය සිරුර නැවත නිවසට ගෙනවිත් බාරදෙන විට කියා ඇත්තේ දරුවාට ලිංගික අතවරයක් සිදුවී නැති වගක්.
මේ ප්‍රවෘත්තිය මා ආකාර කිහිපයකින් සසල කරනවා. ඉනුත් මා වඩා කම්පාවට ලක් කරන්නේ මේ කිරිසප්පයාට ලිංගික දුෂ්ටකමක් කර ඇති වගට අසල්වැසියෙකු පල කළ මතය. මේ ලියන විෂ්ණු වාසු වන මමද වයස අවුරුදු දහ තුනේදී ලිංගික අතවරයකට ලක් වූවෙක්. ඡායාරූපය මගේ හෘදය වස්තුව පසාරු කරන්නේ ඒ නිසයි. මේ සටහන ලියැවෙන්නෙත් ඒ නිසයි. මේ සේයාරුව දෙස බලාගෙන විටෙක මම දර්ශන් පුතාව බේරාගන්නට අවි අමෝරාගෙන සටන් කරනවා. තවත් විටෙක ප්‍රාණය නිරුද්ධ වූවෙකු සේ නිශ්ෂබ්දවව ඒ දෙස ඔහේ බලාගෙන සිටිනවා.
මගේ කථාව ගොඩක් දිගයි. එය සිහි කිරීම පවා වේදනාත්මකයි. ඒ නිසාම ඊට තවත් අටුවා ටීකා ලියන්නට යන්නේ නැහැ. පෙර ආත්මයක කළ යහපත් කර්ම පලදීමක් නිසාත්, ධර්මය විසින් හීලෑ කරන ලද සිත් ඇත්තෙකු නිසාත්, මට අතවරය කළ අයට යලි යලිත් සමාව දෙමින්, මා දැඩි උපේක්ඛා සිත් ඇතිව ජීවිතයට මුහුණ දෙමින් සිටිනවා. ඒත් එක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. වෙලාවකට, මහාමේරු පර්වතය උස්සගෙන ඉන්නවා වාගේ බරකින් මුළු ආත්මයම රිදුම් දෙනවා. තවත් විටෙක මට අහිමිවූ ළමා කාලය ගැන වික්ශෝපයට පත්වෙනවා.
නොතේරෙන වයසකදී ලිංගික අතවරයකට ලක්වීම දරුවෙකුගේ සමස්ථ ළමා කාලයත්, විටෙක මුළු ජීවිත කාලයමත් අඳුරු අගාධයකට ඇද දමන සිදුවීම් මාලාවක ආරම්භය වෙන්න පුළුවනි. පෙර පින් තිබුණු නිසාත්, මට හමුවූ බෝධිසත්වයින් වැනි වැඩිහිටියන්ගේ ආශීර්වාදයනුත් හේතු කොටගෙන, මම නිස්සරණ සිතින් යුතුව ජීවිතයට මුහුණ දෙමින් සිටිනවා. එහෙත් එය සියලු දෙනාට බලපාන සත්‍යය නොවෙන්නට පුළුවනි.
ජීවිතයෙන් හරි අඩකටත් වඩා ගෙවා, අත්දැකීමෙන් හා පළපුරුද්දෙන් පරිනතව, හිස කෙස්ද සුදුවී වයස අවුරුදු පනස් තුනක් ගෙවී ගොසිනුත් මම අදටත් මට අහිමි වූ ළමා කාලය ගැන තැවෙනවා. මගේ ගමන් සගයින් මෙන් ජීවිතේ මුහුකුරා යාමක් මගේ සිදුවී නැහැ. කෙස් පැලෙන තර්ක විතර්ක වලදී විරුද්ධ පක්ෂයට ජයග්‍රහණය ලබාදී මා පසු බසිනවා. විවාහයක් ගැන කවමදාකවත් හිතලා නැහැ. වගකීම් නැති බොහිමියන් කාරයෙකු වාගේ, ඉබාගාතේ සැරිසරන්නම තමයි හිත. පියෙකුගේ අතේ එල්ලී යන දරුවෙකු දුටුවම මම ඒ දරුවාගේ චරිතයට ආරූඩ වෙනවා. මගේ පියාගේ වයසේ වැඩිහිටි පිරිමියෙකු මුණ ගැහුණම, ඒ රැළි ගැහුණු ඇඟිලි ස්පර්ශ කරන්නටත්, හැකිනම් මොහොතක් තුරුලුවී සිටින්නටත් ආශා කරනවා.
අවුරුදු දහ තුනේ සිටම, මමවත් නොදැන රැකිය යුතු රහසක් මට තිබුණු නිසාත්, ලොකාපදාවට ලක් නොවී සිටීමේ සුවිශාල වගකීමක් මට පැවරුණු නිසාත්, මම මගේ ජීවිතය නිවසින් ගලවා, වරින් වර වෙනත් තැන් වල පැල කරන්නට ගත්තු උත්සාහය දුෂ්කරක්රියාවක් මැයි. එහෙම දුකක් මේ ලෝකයේ කාටවත්ම අත් විඳින්නට සිද්ධ වෙන්න නරකයි. මට සිය දිවි නසාගන්නට සිතුනු වාර අනන්තයි. මම කී සැරයක් නම් රේල් පීලි අතරට මැදිවෙලා සිල්පර කොටන් උඩ ඇවිදලා ඇත්ද කෝච්චියක් එනකල්. මට අදටත් ඉහල තට්ටු වල ඉඳල පහල බලනකොට ඒ නපුරු අතීතය සිහිපත් වෙනවා.
පුංචි දරුවන්ට මම කොයි තරම් ආදරය දැක්වූවත් දෙමාපියන්, භාරකාරයින් ඇස ගැසෙන මායිමේ නැතිනම් මම කිසි විටෙකත් ඔවුන්ව ස්පර්ශ කරන්නට යන්නේ නැහැ. කොතරම් හුරුබුහුටි වුනත් ගැහැණු දරුවෙකුගේ නම් හිස අතගා කරන මෙත් වැඩීමකට පමණක් හැඟීම් සීමා කරගන්නවා.
සුවිශේෂයෙන්ම, අතවරයකට ලක් වූ දරුවෙකුගේ සිතුවිලි ගැන මට අලුතින් පාඩම් කියාදෙන්න මොන සක්කරයටවත් බැහැ. ඒ තැලුණු සිත් සුවපත් කරන එක බුදු කෙනෙකුටම පමණයි කළ හැක්කේ.
දර්ශන් කුගදාසන් පුතාගේ අකල් මරණයෙන් මා අත්විඳිමින් සිටින කම්පාව මේ යැයි ලියන්නට මට මාගලක් තිබුනත් මදි. ඒ නිසාම වෙන්න ඇති මා මෙතෙක් ලෝකයට නොකී කථාව එළිදරවු කරන්නට මගේ හිත පෙළඹෙන්නේ.
ආදරණිය පුතේ. එළබෙන ආත්මයක උඹ මට දරුවෙකු වෙලා ඉපදියන්. කරඬුවක දැමූ ධාතුන් වහන්සේනමක් වාගේ මම උඹව ආරක්ෂා කරන්නම්. උඹට නිවන් සම්පත්තියම ලැබේවා.
විශ්ණු වාසු | Vishnu Vasu