පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
තිස්ස නිදහස් – මෙතැනින් කොතැනටද?
ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ දිනය වෙනුවෙන් ජනමාධ්‍යවේදී තිස්සනාගම්ට සමාව දීමට ජනාධිපතිවරයා විසින් තීරණය කිරීම සතුටකි. එය සතුටට කරුණකි. එමෙන්ම ඔහුට සමාවදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අප ස්තුතිවන්ත විය යුතු ය.
ජයප්‍රකාශ් තිස්සනායගම් අත්අංඟුචට ගැනීම, ඔහුට විරුද්ධ දිග්ගැස්සුනු නඩු විභාගය සහ අවසානයේ දී විසිවසරක බරපතල සිර දඩුවම් නියම කිරීම දේශීය මෙන්ම විදේශීයව ද මහත් ආන්දෝලනයට ලක් වූ ශ්‍රී ලාංකික ජනමාධ්‍ය සිදුවීම් අතරින් එකක් විය.
ඔහු අත්අඩංගුවට ගැනුනේ ඔහු විසින් සටන් විරාම සමයෙහි ලියන ලද ලිපි දෙකක් නිසා ය. ඔහු සමඟ ඔහු විසින් ප්‍රධානත්වය දෙන ලද ජනමාධ්‍ය වූ නොර්ත් ඊස්ටන් හෙරල්ඩ් සඟරාව සහ ශ්‍රී ලංකා අටුට්රීච් වෙබ් අඩවිය සම්බන්ධ අන් සියළු දෙනාද අත්අඩංගුවට ගැනුණි. ඒ පිරිස අතරින් ජසීහරන් සහ වලර්මතී හැර සියළු දෙනා ටික දිනක් ඇතුළත නිදහස් කෙරුණි. ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන ලද එම දෙදෙනා ද අවසානයේ දී නිදොස් කොට නිදහස් කරන ලදී. ඉන් බොහෝ දෙනෙකුට ජීවිතාරක්ෂාව සඳහා රට හැර යාමට සිදු විය.
නඩු විභාගය අතරතුරදීත් දඩුවම් කිරිමෙන් පසුවත් තිස්ස නිදහස්කර ගැනීමේ ව්‍යාපාරය දේශියව මෙන්ම අන්තර් ජාතික වශයෙන් ද කෙරිගෙන ගිය අනවරත අරගලයක් බවට පත් විය. දේශීය ජනමාධ්‍ය සංවිධාන අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධාන මෙන්ම මානව හිමිකම් සංවිධාන ද ඔහු පිළිබඳ ප්‍රශ්ණය අමතක වී යාමට ඉඩ දුන්නේ නැත. ඇමෙරිකානු ජනාධිපති ඔබාමා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානම හිමිකම් මහ කොමසාරිස්වරිය නවා පිල්ලෙයි ද යුරෝපා සංගමය ද තිස්සනායගම් සිරගත කිරීම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට එල්ල වූ දරුණූ ප්‍රහරක් ලෙස යළි යළි දක්වා අවධාරණය කළෝ ය.
ශ්‍රී ලංකා රාජ්‍යයේ මතවාදී මිතුරන් වන චීනය, ඉරානය, ලිබියාව, මියන්මාරය හෝ වෙනුසියුලාව යානාදීහු තිස්සනායගම් සිරගත කිරීම වචනයකුදු කීවෙි නැත. ඒ රටවල සිරගෙවල් වල ඇති තරම් තිස්සනායගම්ලා සිරගත කර සිටින නිසා විය හැක.
ජනමාධ්‍යවේදියකු හුදෙක් ලිපි දෙකක් නිසා විසිවසරක බරපතල වැඩ ඇතිව සිරගත කිරීම ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රථම එවැනි සිදුවීම ය. අන්තර් ජාතික වශයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ ද මියන්මාරය, ඉරානය, කියුබාව, චීනය වැනි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් නැති රටවලින් පමණ ය. එබැවින් තිස්සනායගම් සිරගත කිරීමෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දේශීය වශයෙන් වාර්තාවක් තැබූවා පමණක් නොව මර්දනකාරී ආණ්ඩු සමඟ එක්වීමට අවශ්‍ය පූර්ව කොන්දේසියක් ද සපුරා ගත්තා ය.
තිස්සනායගම් සිරගත කිරීම අහබු සිදුවීමක් නොවේ. සමස්ත යුද්ධයේ එක් උපාය මාර්ගයක් ලෙස දැනුවත්ව සහ සැළසුම් සහගතව දියත් කරන ලද ජනමාධ්‍ය මර්දනයක එක් පියවරක් විය. ආණ්ඩුවේ යුද්ධ ප්‍රචාර සත්‍ය ලෙස පිළිගත යුතු බව ජනමාධ්‍ය වෙත දන්වන ලද නියෝගය විය. එය විවෘතව ද අවිවෘතව ද වචනයෙන් ද ඝාතනයෙන්ද ක්‍රියාවට නැගුණි. ජනමාධ්‍ය මත මර්දනය ගලා ආවේ යුද්ධය හැර අන් කිසිදු විසඳුමක් නැති බවත් යුද්ධය සුපිරිසුඳු ලෙසම කෙරීගෙන යන බවත් සමාජය මත පතිත කිීරීම පිණිස ය. යුද්ධයට කවර හෝ හේතුවක් මත විරුද්ධ වීම දේශද්‍රෝහී, රාජද්‍රෝහී ක්‍රියාවක් බවට පත් විය. විසංවාදය ඝාතනය කෙරුණි. ඒ කොතක් දුර ගියේ ද යත් ජනමාධ්‍ය මර්දනයට හේතුච යුද විරෝධි මාධ්‍ය භාවිතය යැයි කියන්නට ද වූහ. මේ වනාහී ඉරානයේ ද මියන්මාරයේ ද මහාජන අයිතීන් යකඩ සපත්තුවට පගා සිටින මර්දනකාරී පාලනයන් ඇතිවූයේ අනවශ්‍ය සටන් නිසා යැයි කියා එකී රුධිර පිපාසිත පාලකයින්ට සුදුහුණු ගෑමක් වැනිය.
මේ අභූත තර්කයම ඉදිරියට ගෙන යන පිරිස් තිස්නායගම් එම ලිපි දෙක නොලියා සිටියානම් කිසිදු ප්‍රශ්ණයක් ඇති නොවන්නට තිබූ බවට උපදෙස් දෙනවා ඇත. ඒ උපදෙස් හරියට ලසන්ත වික්‍රමතුංග මිය ගියේ ඕනෑවට වඩා දුර දිග ගිය නිසා ය, සිවරාම් මිය ගියේ යුද්ධය විවේචනය කළ නිසා ය, යනාදී වශයෙන් අසන්නට ලැබෙන ක්ෂමාලාපක කතාන්තර වැනි අතාර්කික කතාන්තර වැනි ය.
මෙම තර්කයේ පදනම වන්නේ රාජ්‍ය ය සර්වබලධාරීය, සර්ව නිර්දෝශි ය, එය විවේචනය කිරීම විශේෂයෙන්ම යුද්ධ අවස්ථාවන්හි දී විවේචනය කිරීම නොකළ යුතු ය යන්න යි. එමෙන්ම එවැනි අවස්ථාවන්හිදී රාජ්‍ය විවේචනය කිරීමෙන් රාජ්‍ය දුර්වල වී එහි යුද්ධ බලය දුර්වල වීමට ඉඩ ඇත්තේ ය යන්න යි. තිස්සනායගම් සිරගත කරන ලද්දේ එම තර්කය උඩ ය.
නමුත් අප එම තර්කය පිළිගත්තේ නැත. පිළිගන්නේ ද නැත. රාජ්‍ය විවේචනය කිරීමට පුරවැසියාට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිදහසේ පදනම යි. අද ලොව පුරා මිනිසා භූක්ති විදින මානව නිදහස ලැබී ඇත්තේ ස්ත්‍රෝත්‍ර ගායක රාජ්‍යවාදී ක්ෂමාලාපකයින් නිසා නොව හංවඩු ගැසීම්, සිරගත කිරීම් සහ ඝාතනයට බිය නැතිව තමා දකින ඇත්ත කීමට නිදහස ඉල්ලා සිටි සින ගනන් දහ දහස් ගණන් වූ මිනිසුන් නිසා ය.
“කම්කරු රුධිරෙන් පණ පෙවුණු – අපේ කොඩිය තද රතු පාටයි” කියා මැයි දින පෙළපාලියේ ගායනා කරමු. ඉන් කියැවෙන්නේ අද ලොව පුරා වැඩ කරන ජනයා භූතක්ති විදින අයිතීන් යාඥා කිරීමෙන් නොව අරගලය මගින් දිනා ගත් බව යි. එපරිද්දෙන්ම මානව නිදහසේ අයිතීන් ලබා ගැනුණේ විසංවාදී මතවාදීන් විසින් මූලිකත්වය දෙනු ලද විවිධාකාර ජන අරගල මගිනි. විවේචනාත්මක ලිපි ලිවීමටත් ඒවා වෙනුවෙන් පෙනී සිටීමටත් තිස්සනායගම් සතු අයිතිය මානව වර්ගයා විසින් දිනා ගන්නා ලද අයිතියකි. අධිකරණය හමූයේ කළ අවසාන කතාවෙහි දී තිස්සනායගම් කියා සිටයේ තමාගේ ජනමාධ්‍ය භාවිතය වෙනුවෙන් තමා තවමත් පෙනී සිටින බව යි. ඔහු “අනේ මා කළේ වරදක්, මට සමාව දෙන්න”යැයි අධිකරණය හමූයේ කියා සිටියේ නැත.
සිය මාධ්‍ය භාවිතය වෙනුවෙන් නොබියව පෙනී සිටි ජයප්‍රකාශ් තිස්සනායගම් දඩුවම් අවම කර ගැනීම පිණිස සිය ප්‍රතාපවත් බව පවා දුන්නේ නැත. ඔහු විසින් ආරක්ෂා කළ ප්‍රතිපත්තිමය ස්ථාවරය දුෂ්කර කාල පරිච්ජේදයක් හරහා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ නිදහස් ජනමාධ්‍ය වෙත ආදර්ශයකි. තිස්සනායගම් වෙත පැන වූ විසි වසරක සිර දඩුවම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 ලෝක ජනමාධ්‍ය දිනයේ දී අහෝසි කිරීම තිස්සනායගම් පමණක් නොව ඔහුගේ නිදහස වෙනුවෙන් අරගල කළ දේශීය මෙන්ම විදේශිය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ලද ජයග්‍රහණයකි. එමෙන්ම ඔහු නිදහස් කිරීමට පියවර ගැනීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද ලද ජයග්‍රහණයක් වන්නේ මර්දනකාරී පියවර වෙනුවට තිස්සනායගම්ගේ නිදහස වැදගත් කොට සැළකීමට එයට හැකි වී ඇති නිසා ය.
යුද්ධය අවසානයෙන් වසරක් සම්පූර්ණ වීමට තව ඇත්තේ දෙසතියකි. එනමුත් මර්දනකාරී අණපනත් ද මර්දනකාරී දේශපාලන වට පිටාව ද තවම වෙනස් වී නැත. යුද්ධයේ මූලික හේතුව වූ දෙමළ ජනයාගේ දීරඝකාලීන ප්‍රශ්ණ විසදීම කරා යොමු වූ දේශපාලන ක්‍රියා මාර්ගයක් ද දක්නට නැත. දස වසරකට වඩා කාලයක් පුරා කිසිදු හේතුවක් නොදක්වා සිරගත කරන ලද දෙමළ තරුණ පිරිස් තවමත් ශ්‍රී ලංකාණ්ඩුවේ බන්ධනාගාරයන්හි සිටිති. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය පෙන්වා දී ඇති එවැනි එක් නිදසුනක් වන්නේ 1990 දී අත් අඩංගුවට ගෙන මඩකළපුව බන්ධනාගාරයේ රඳවා සිටින පුලිදරන් ය.
ඔහු එල්ටීටීඊ සැකකරුවෙකු ලෙස වයස අවු 14 දී අත්අඩංගුවට ගන්නා ලද දැන් ඔහුට වයස අවුරුදු 29 කි. තවමත් නඩු නැතිව සිර ගෙදරය.
80,000 ක් පමණ දෙමළ ජනයා තවම රුඳවුම් කඳවුරු වල ය. සැකකාර දෙමළ තරුණ පිරිස් 10,000කට වඩා රඳවා සිටින්නේ විනිවිද බවකින් තොරව ය. දේශපාලනය ප්‍රජාන්ත්‍රවාදී කිරීම ඇතුළු රටපුරා නීතියේ පාලනය පිහිටුවීම තවමත් පශ්චාත් යුද සමය මුහුණ දෙන ලොකුම අභියෝගය යි.
ශ්‍රී ලංකාවේ සාමය සහජීවනය සහ සංවර්ධනය සඳහා මානව හිමිකම් කෙරෙහි වගවීමක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය ය. ජනාධිපතිවරයා විසින් නිදහස ලබා දෙන ලද ජනමාධ්‍යවේදී තිස්සනායගම්ට ශ්‍රී ලංකාවේ නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් අද තිබේ ද? සංඛේතාත්මකව අභියෝගය එය යි. ශ්‍රී ලංකාව මෙතැනින් යා යුත්තේ එවැනි පරිසරයක් නිර්මාණය කිරීම කරා ය.