කෝච්චියක් එන බව දැක දැකත් හරකෙකු රේල් පාරේ ලැසි ගමනින් යන්නේ වීරත්වයක් නිසා නොව, ජන්ම මුග්ධත්වය නිසා ය. ගවයා කෙරෙහි ඇති ආගමික භක්තිය නිසාම, ඉන්දියාවේ දුම්රිය රියැදුරන් මෙවැනි හරකුන්ගේ ජීවිත බේරා ගැනීමට විශේෂ ප‍්‍රයත්නයක් ගනිති. එහෙත්, රියැදුරාට බේරා ගත නොහැකි තරමට හරකා සිය හරක්කමට අරක්ගත් විට, ඉන්දියාවේ වුව, ඌ නසී.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැනෙන පුද්ගල නිදහසට ගරු කරන යහපාලන ප‍්‍රතිපදාව, විටෙක හරකුන්ට රිසි සේ කෝ්ච්චි පාරේ යාමට අවසර දෙයි. එහෙත්, ‘ප‍්‍රවේශමෙන්, දුම්රිය හරස් පාර’ යනුවෙන් ලියා ඇති අකුරු කියවා ගැනීමට හරකාට බැරි බවද දන්නා යහපාලනය, පරිස්සමින් රිය පදවනු ඇතැයි දුම්රිය රියැදුරාගෙනුත් අපේක්ෂා කරයි. ඉතිං, පොලීසිය, අධිකරණය ඈ සියලූ ආයතන, විවිධ හේතු මත, ඉවසීම ප‍්‍රගුණ කර ගැනීමට යම් ප‍්‍රයත්නයක් පසුගිය කාලයේ ගත් බව කෙනෙකු පිළිගත යුතුය. පිරිසුදු වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරියේ වැසියන්ට, කොළඹින් ලැබෙන නියෝගයක් උඩ වෙඩි තබා ඝාතනය කිරීම වැනි අවස්ථා ජනවාරි 8 වැනි දායින් පසු අපට දැක ගැනීමට නොලැබුණේ එබැවිනි. යහපාලනය යටතේ අපේක්ෂා කරන මේ විනය පරිපාටි කඩ වූ අවස්ථා නැතිවා නොවේ. උසස් අධ්‍යාපන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් මෙන්ම ඇඹිළිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන්ද එවැනි උත්සාහයන් ප‍්‍රමාණවත් පරිද්දෙන් ගැනුණේ නැති බවක් පෙනෙන්ට තිබුණි. කෙසේ වෙතත්, මොන තරම් ආරක්ෂණ පියවර කලින් ගෙන තිබුණත්, කෝච්චියට යට වෙන හරක් අනන්තවත් සිටිති.
ගලගොඩඅත්තේ ඥානසාර යනු, අද පිහිටුවා ඇති යහපාලනයෙන් වැඩිම නිදහසක් භුක්ති විඳින, පැවිදි වෙස් ගත් ගිහියන් අතලොස්සෙන් කෙනෙකි. අද තිබුණේ රාජපක්ෂ පාලන කාලය තුළ ක‍්‍රියාත්මක වූ කැලෑ ක‍්‍රමවේදයම නම්, 2015 ජනවාරි 8 වැනි දා සිටම ගලගොඩඅත්තේ ඥානසාර වැනි මිනිසුන් සිටිනු ඇත්තේ හිරගෙදරකයි. ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට චෝදනා ලැබ හිර භාරයේ සිටින පුද්ගලයන් වෙනුවට තමන්ව සිරගත කරන්නැයි උසාවියේදී සිංහ නාද කළ මේ පුද්ගලයා, දැන් හැම නඩු වාරයකදීම සිය නීතිඥයන් හරහා උසාවියෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ඇප ලබා දෙන ලෙසයි. එනම්, තමන්ව හිරෙන් ගලවා ගෙදර යවන ලෙසයි. (පන්සල වෙනුවට ‘ගෙදර’ යන වචනය පාවිච්චි කරන්නේ වැරදීමකින් නොවන බව දත යුතුය). ඔහු වෙනුවට තමන් හිරේට යමියි ඊළඟ දවසක කෑකෝගැසූ තවත් භික්ෂූන් පිරිසක් දින ගණනක් තිස්සේ කට්ටි පනිමින් සිට පසුගිය සතියේ පොලීසියට භාර වුහ. හිරේට යෑමේ ඒ ‘වීරත්වය’ කේඩෑරී වී, ඊළඟ නඩු වාරයේදී ඔවුන්ද ඇප ඉල්ලා උසාවියට ආයාචනා කරනු අපට දැක ගැනීමට ලැබෙනවා සිකුරුයි.
නෙල්සන් මැන්ඬේලාගේ ජීවිත කතාව කියවන ලෙස මේ ‘සංඝ රත්නයට’ නිර්දේශ කළ යුතුව තිබේ. මැන්ඬේලා අවුරුදු 27 ක් හිරේ සිටියේ, ඊට කලින් එළියට ඒමට ඔහුට හැකියාවක් නොතිබුණු නිසා නොවේ. අවස්ථා කිහිපයකදීම, සුදු පාලකයන් ඔහුට සමාව භජනය කොට හිරෙන් එළියට දැමීමට උත්සාහ කළහ. එහෙත් ඒ සෑම අවස්ථාවකම, තමන්ගේ සියලූ කොන්දේසි සපුරන තෙක් එම නිදහස භාර ගැනීම නෙල්සන් මැන්ඬේලා එකහෙලා ප‍්‍රතික්ෂේප කෙළේය. තමන්ගේ වටිනා ජීවිතයෙන් දශක තුනකට ආසන්න කාලයක් හිර ගෙදරක ගෙවන්නට මැන්ඬේලාට සිද්ධ වුණේ එබැවිනි.
ලංකාවේ සටන්කාමීන් යැයි කියාගන්නා බොහෝ කෛරාටිකයන්ගේ කටේ නිතර ළෙලවෙන ව්‍යාජයන් ගණනාවකි. ‘සුදු විරෝධය’ එවැනි ‘වීරයන්’ අමෝරන එක් සටන් පාඨයකි. ගලගොඩඅත්තේ ඥානසාර, පසුගිය දවසක උසාවියට ගෙනැවිත් ආපසු බන්ධනාගාර රථයට නගින අවස්ථාවේ, ‘සුද්දාගේ නීතිය අවලංගු කළ යුතුව ඇතැ’ යි කී බවක් මාධ්‍ය වාර්තා කෙළේය. ඔහු එයින් අදහස් කරන්ට ඇත්තේ, තමාව අත්අඩංගුවට ගත්තේ සහ දැන් ඇප ඉල්ලා සිටීමට තමාට සිදුව ඇත්තේ, සුද්දාගේ නීතිය යටතේ ගත් විට, අධිකරණයට අපහාස කිරීම යන කාරණය, දඬුවම් ලැබිය යුතු වරදක් වශයෙන් පනවා තිබීම විය හැකිය. එහෙත් එම සුද්දාගේ නීතියම, කළු සුද්දෙකු සේ නොමනා අන්දමින් ක‍්‍රියාවට නංවන අගවිනිසුරුවරුන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නොසිටීම සහ සිටියත් එසේ හැසිරීමට අවශ්‍ය කරන වාතාවරණයක් එවැන්නන්ට නොතිබීම ගැන, මුලින්ම ගලගොඩඅත්තේ ඥානසාර වැන්නෝ යහපාලන ආණ්ඩුවට කෘතඥ විය යුත්තාහ. ඔහුගේ හාම්පුතා වන මහින්ද රාජපක්ෂගේ අලූත් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට පසුගිය දා සහභාගී වූ සරත් නන්ද සිල්වා නැමැති හිටපු අගවිනිසුරා, පැමිණිලිකරුවෙකු උසාවියේදී උස් හඬින් පිළිතුරු දීමෙන් අධිකරණයට අපහාස කළ බව කියා, ඒ මොහොතේම එම පුද්ගලයාව බරපතල වැඩ සහිතව අවුරුද්දකට හිරේට නියම කෙළේය. ඔහුට තමාගේ නිදහස වෙනුවෙන් කරුණු කීමට අවස්ථාවක්වත් එදා ලැබුණේ නැත. ඥානසාරට යහපාලකයන් තවම එසේ සළකා නැත. ඔහුව තවම රක්ෂිත බන්ධනාගාරයේ මිස හිරේට නියම වී නැත.
එසේ නැතහොත්, සුද්දාගේ නීතියට මොහු මෙසේ ගරහන්නේ, ශුද්ධ සිංහල නීතියක් අපේක්ෂාවෙන්දැ යි අපි නොදනිමු. එහෙත් එවැනි නීතියක් යටතේ මෙවැන්නෙකු සිංහල රජෙකුගේ උසාවියක මෙසේ හැසිරුණි නම්, දෙකට ඉරා මරා දමන්නටත් තිබුණි. නැත්නම් තෙල් කටාරමක දමා පණ පිටින් පුච්චන්නටත් තිබුණි. ඒ තිරශ්චීන දඬුවම් ක‍්‍රම ප‍්‍රතික්ෂේප කෙරෙන ‘මානව හිමිකම්’ කියා යමක් සුද්දා අපට දී තිබේ. එබැවින්, දැන් ඕනෑම සැකකරුවෙකුට තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කොට නිදහස් වීමේ සහ නිදොස් වීමේ අයිතියත්, හැකියාවත් තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර කළ යුත්තේ ඒ ක‍්‍රියා පරිපාටිය ඔස්සේ තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කොට පෙන්වීමයි. ඒ අවසරය, ඔහුගේ හාම්පුතා වන මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ප‍්‍රගීත් එක්නැලිගොඩ වැන්නන්ට ලැබුණේ නැති බවත් මෙවැන්නෝ මතක තබා ගත යුත්තාහ.
යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට, මොහුගේ හාම්පුතා නිතර ඇසූ එක් පැනයක් තිබුණි. එනම්, ජනාධිපතිවරණයේදී පුන පුනා කී දූෂණ සහ අපරාධ චෝදනා උඩ හිරේට ගත්තේ කවුරුන්ද යන්නයි. දැන්, කෝටි ගණනක සල්ලියක් ලැබුණේ කොහෙන්දැ යි කිව නොහැකි වීම නිසා ඔහුගේ පුතාව අත්අඩංගුවට ගත් විට ඔවුන් කියන්නේ එය දේශපාලන පළිගැනීමක් වන බවයි. යමෙකු අත්අඩංගුවට නොගැනීම තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු වීමක් වශයෙන් එක් අවස්ථාවකදීත්, යමෙකු අත්අඩංගුවට ගැනීම දේශපාලනික දඩයමක් වශයෙන් තවත් අවස්ථාවකදීත් අර්ථ ගන්වන විට රටකට ඉතිරි වන්නේ, සකල දූෂණ සහ අපරාධ ඉදිරියේ නිරුත්තර වීමට පමණි. මහින්ද රාජපක්ෂ සහ ගලගොඩඅත්තේ ඥානසාර වැනි පුද්ගලයන් අපේක්ෂා කරන්නේද, යහපාලකයන්ව ‘‘ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී’’ වැනි එවැනි න්‍යායක් තුළ කොටු කර ගැනීමටයි. අත්අඩංගුවට ගන්නටත් බැරි ය, නොගෙන ඉන්නටත් බැරි ය.
යහපාලන ආණ්ඩුව අරභයා මොන සීමා කම් තිබුණත්, මෙවැනි නිවට නාටකවලට රැුවටෙන ජනතාවක් අද ලංකාවේ නොසිටීම අපේ වාසනාවකි.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoada