රථවාහන වරදකට දඩයක් නියම වූ පුද්ගලයෙකු අදාළ රථවාහන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව විවේචනය කරමින් සමාජ මාධ්‍යයක පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් අදාළ පොලීසිය විසින් ගොනු කරන ලද නඩුවකදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රුපියල් පන්දහසක දඩයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කිරීමේ පුවතක් වාර්තා වේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා වැරදිකරුද නිවැරදිකරුද යන කාරණයට වඩා මට වැදගත් වන්නේ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශනයෙහි අයිතිය වෙත පොලීසිය වැනි රාජ්‍ය මර්ධක ආයතන පමණක් නොව නෛතික ආයතන පවා දක්වන ප්‍රතිචාරයන්හි ස්වභාවයයි. අප කටවහරේදී ‘පොඩි මිනිහා’ ලෙස හඳුන්වන සාමාන්‍ය පුරවැසියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී නීතිය පෙන්නුම් කරන නීතිගරුකභාවය දේශපාලඥයන්ට අදාළවද එලෙසම ක්‍රියාත්මක වේ නම් මට මේ ලිපිය ලියන්නට සිදු නොවනු ඇත.
(මීට අදාළ පුවත් සබැඳිය මෙසේය: (http://offair.nethfm.com/article/34108).
සාමාන්‍යයෙන් අදහස් ප්‍රකාශ කිරීම මනුෂ්‍ය ස්වභාවයේ හැටිය. එසේම විවිධ මිනිසුන් පළ කරන අදහස් සාපේකෂව වෙනස් බවද අපි දනිමු. මේ නිසාම, ‘හරි අදහස් ප්‍රකාශන මාදිලිය නම් මේ යැයි’ නීතියක් ගෙන ඒමට කිසිවෙකුට නොහැකි බවද කිව යුතුය. වඩා වැදගත් වන්නේ පළ වන අදහස් ‘අපේ කර ගැනීමේදී’ අප දක්වන බුද්ධිමත්භාවය බවද මෙහි සඳහන් විය යුතුය. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ අප මේ ගත කරමින් සිටින්නේ පුද්ගල අදහස් ප්‍රකාශන පෙර නොවූ විරූ තරමින් ව්‍යාප්ත වී ඇති යුගයක බව අමතක කිරීම අනුවණකමකි. මින් පෙර මුද්‍රිත පුවත්පත් හා සඟරා සහ විද්‍යුත් මාධ්‍යවල සීමිත පිරිසකට පමණක් සීමාව තිබුණු අදහස් දැක්වීමේ වරප්‍රසාදය මේ වන විට සමාජ මාධ්‍ය හේතුවෙන් සෑම අයෙකුටම විවෘත වී ඇති අතර මේ නිසාම දියුණු රටවල රජයන් සමාජ මාධ්‍යවල මිනිසුන් ලියා තබන සටහන් සම්බන්ධයෙන් ඕනෑවට වඩා කරදර වීම වෙනුවට සිදු කරන්නේ වඩා වැදගත් රාජකාරීන් වෙනුවෙන් කාලය කැප කිරීම බවද අපි දනිමු. යම් හෙයකින් සමාජ මාධ්‍ය සටහන් නීතිය හමුවට ගෙන ඒමට තරම් බරපතල ලෙස ගනු ලැබෙන්නේ (සහ ගත යුත්තේ) ඒවායින් සාපරාධී ලෙස චරිත ඝාතන සහ අපහාස සිදු වන්නේ නම් පමණක් වන තැනට ලෝකය දියුණු වී හමාරය (මා කතා කරන්නේ අප සිර වී සිටින ලෝකය ගැන නොවේ). මෙම නඩුවේදී මෙකී පුද්ගලයාට එරෙහිව පොලීසිය විසින් ගොනු කර ඇති මූලිකම කරුණ වන්නේ දඩයක් නියම වීමෙන් අනතුරුව මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම පොලිස් නිලධාරීන් අසීරුතාවට පත් කරන්නක් බවයි. අදාළ පුවත මෙම පුද්ගලයා කළා යැයි කිය ප්‍රකාශය උපුටා දක්වන්නේ “යහළුවනේ නොකළ වරදකට මගේ රියැදුරු බලපත්‍රය කන්දකැටිය පොලිසිය ගත්තා. දැන් මගේ ළඟ තියෙන්නේ මේක” යනුවෙනි. එම පුවතේ වගකීම අදාළ මාධ්‍යය භාරගත යුතුය.
දැන් අපට බැලූ බැල්මටම පෙනී යන්නේ එම පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුමෙහි ලියා තැබුවා යැයි කිය සටහනින් මහා පරිමාණ අපහාසයක් පොලීසියට සිදුව නැති බවයි. ඇත්තෙන්ම, දිනපතා සමාජ මාධ්‍ය ආශ්‍රිතව මීට වඩා පෞද්ගලික මට්ටමේ මඩ ගැසීම් කොතෙකුත් ඇස ගැටෙන අතර ලංකාවේ සෑම පොලිස් ස්ථානයක්ම මේ තරම් බොළඳ තත්ත්වයකට ඇද වැටුණහොත් උසාවි ගානේ ගොස් ඒවාට කන්කෙඳිරි ගෑම හැර වෙන වැඩක් කර ගැනීමට නොහැකි වනු නොඅනුමානය. මෙහිම තවත් පැත්තක් වන්නේ පසුගිය කාලය පුරාවටම පොලීසිය පුරවැසියාගේ ක්‍රියාකලාපයන් වෙත දැක්වූ චණ්ඩි ප්‍රතිචාරාත්මකභාවයයි. සකලාර්ථයෙන්ම සාධාරණ හා නීතිගරුක පුරවැසියන් සිටී යැයි අපේක්ෂා කරන්නේ නම් පොලීසි වැනි ආයතන පිහිටුවීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය. මේ නිසා, සිදුවීම් වෙත ප්‍රතිචාර දැක්වීමේදී පොලීසිය අනුගමනය කළ යුත්තේ වඩා මහත්මා ප්‍රතිපත්තියකි. ඉතාම සරලවම කියනවා නම්, පොලීසියද අවිචාරවත් චණ්ඩියාගේ තත්ත්වයට ඇද වැටී ‘ගේමට ගේම ඉල්ලීම’ කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. ඉහත ප්‍රකාශයෙන් අදාළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරීන් අසීරුතාවට පත් වන බව පොලීසිය කල්පනා කරනවා නම් සමස්ථයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවම පළමුව තමන් කිසි විටෙක අල්ලස් ගැනීම්, තම අභිරුචිය පරිදි නීති විකෘති කිරීම් ආදිය සිදු නොකරන පරමාදර්ශී එකක් බව සහතික කළ යුතු සේම පුරවැසියාට ඒ බව ඔප්පු කර පෙන්විය යුතුය. මන්ද, මෙම තර්කයම පොලීසිය අතින් පුරවැසියා අසීරුතාවට ලක් වන අනේකවිධ අවස්ථාවලටද එක හා සමානවම අදාළ කළ හැකි හෙයිනි.
මෙම සිදුවීමෙහි අප අවධානය යොමු කළ යුතු තවත් පැත්තක් වන්නේ සාමාන්‍ය පුරවැසියා සම්බන්ධයෙන් මෙතරම් ‘අවංකව’ ක්‍රියාත්මක වන නීතිය දේශපාලඥයන් සම්බන්ධයෙන් නිහඬ සහ/හෝ මන්දගාමී ඇයි? යන්නයි. මෑතකදී යෝෂිත රාජපක්ෂ, ව්‍යාජ ආගමිකත්වයක් මවා පාමින් ජනතාව කුපිත කර ඉතාම පටු දේශපාලනික අරඹුණු හඹා යෑමට උඩගෙඩි දෙන ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු මැර නඩය වැනි අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ පසුව එම සිදුවීම්වලට අදාළව රාජපක්ෂවාදීන් සමාජ මාධ්‍යයන්හි පළ කළ ප්‍රතිචාර ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඒවාට පිවිසීමෙන් බලාගත හැක. එසේම, ඔය කියන සංවේදී නෛතික ආයතන ඒවායෙහි අන්තිම පහත් තත්ත්වයට ඇද දමා අපවාදාත්මක ලෙස විවේචනය කර ඇති බවද අමුම අමු සත්‍යයකි. මින්ද නොනැවතුණු ඔවුන්ගේ හිතවාදීහු අධිකරණයෙහි නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියා පිළිවෙත පවා බරපතල ලෙස උපහාසායටත් අපවාදයටත් ලක් කරමින් අදහස් ප්‍රකාශ කළහ. මේ සියල්ලම පසෙක තැබූවද මෑතකදී සීනිගම දේවාලය වෙත ගිය රාජපක්ෂ ගැත්තන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වසා දමන ලෙස දෙවියන්ගෙන් ඉල්ලමින් සිදු කළ හොර පොල් පූජාවම පැහැදිලි වශයෙන්ම සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම සිදු කළ අපහාසයක් බවද මේ කියන මහත්වරුන් වටහා නොගන්නේ ඇයි? යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ සාධාරණ හේතු මත වන අතර තවමත් ඔහුව වරදකරුවෙකු බවට පත් කරද නැත. මේ කාරණයම ඥානසාර සම්බන්ධයෙන්ද අදාළය. අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතරේ එහි කඩා පැන යකා නැටීම සාමාන්‍යයෙන් නම ගිය පාතාලකාරයෙකුවක් නොකරන ක්‍රියාවක් වුවද ඥානසාර එයද සිදු කළේය. මේ සියල්ලම මාධ්‍යවලින් පුරවැසියා සියැසින් දුටු සත්‍යයන්ය. මෙම පසුබිම තුළ අධිකරණය විසින් නියම කරන ලද රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ තීන්දු අභියෝගයට ලක් කරන කවර හෝ ප්‍රකාශනයක්ද මේ තර්ක පද්ධතියටම අදාළව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අසීරුතාවට පත් කරන උත්සාහයන් ලෙස සලකා ඒවාට එරෙහිව අධිකරණයට නොයන්නේ ඒවා මෙහෙයවන අය බලවත් අය නිසාද?
පොලීසිය විසින් දඩ කොළයක් ලබා දීම විවේචනය කරමින් සාමාන්‍ය පුරවැසියෙකු තම ෆේස්බුක් ගිණුමෙහි ලියා තැබූ ඉහත සටහනින් සිත රිදෙන තරමට මේ පොලීසිය ලාමක හා ‘බබා ටයිප්’ දැයි අපි නොදනිමු. එහෙත්, එවැනි සුළු සිදුවීමකින් පවා ලංකාවේ පොලීසියේ නිලධාරීන් අසීරුතාවට පත් වේ නම්, එසේම ඒවා නීතිය අභියෝගයට ලක් කිරීමේ වැරදි ලෙස අධිකරණයද පිළිගන්නේ නම්, බැලූ බැල්මටම විවිධ වැරදි සම්බන්ධයෙන් සැක පහළ වන දේශපාලඥයන්ගේ ගැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන විට ඒවා විවේචනය කරමින් හා කරුණු විකෘති කරමින් ඔවුන්ගේ හංචයියන් මාධ්‍ය හමුවේ එළිපිටම ගසන පම්පෝරිද රාජකාරිය අසීරුතාවට පත් කරන හා නීතිය අභියෝගයට ලක් කරන සිදුවීම් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක විය යුතුය.
එහෙත්, ඒ තැනට එන්නට අපගේ සමස්ථ නෛතික ව්‍යුහය තවම පරිණත නැති බවද කණගාටුවෙන් වුවද අපි දැන සිටිමු! කෙසේවෙතත්, පුරවැසියන් පළ කරන අදහස්වලින් පොලීසිය අසීරුතාවට පත් වන්නේ නම්, වහාම එසේ වන්නේ කවර අවස්ථාවලදීද, කෙබඳු ස්වභාවයක් ගන්නා ප්‍රකාශවලින්ද යන්න පොලීසිය ප්‍රසිද්ධ කළ යුතුය. එවැනි අනර්ථක වැඩක් වෙනුවෙන් මහත් ආයාසයක් දැරීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒවා ප්‍රසිද්ධ කළ හොත් අප ඒ ගැන පුදුම වන්නේ නැති බවද කිව යුතුය.
අශාන් වීරසිංහ | Ashan Weerasinghe