Image: asianmirror/UPFA, UNP Field Strong Candidates For Kurunegala
තම අම්මා ළග දරුවෙක් නිදා ගත්විට ‘ඒඩ්ස්‘ වැනි රෝගයක් බෝ වන බැවින් දරුවා අම්මාගෙන් වෙන් කළ යුතුයැයි කියන ‘ඇඟ‘ විතරක් තිබෙන තැනැත්තෙකුට එම රටේ අධ්‍යාපන ඇමතිකම දීම කොතරම් බියජනකදැයි මේ සිදුවීමෙන් පමණක් සිතා ගත හැකිය.
කුලියාපිටියේ ‘ඒඩ්ස්‘ නැති දරුවා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයා බීබීසිය ට මෙසේ පවසා ඇත.
”මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය. ඒ නිසා තමයි අපි බැලුවේ දරුවාව පරිවාසය භාරයට ගන්න. නමුත් මව ඉඩ දීලා නැහැ.”
මේ ප්‍රකාශයෙන් පැහැදිලිවම පෙනෙන කරුණක් නම්, පසුගියදා එච්.අයි.වී මර්දන වැඩසටහනේ නිළධාරීන්, ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන්, අධ්‍යාපන අංශයේ නිළධාරින් ඇතුලු පිරිසක් කුලියාපිටියට ගොස් ‘ඒඩ්ස්‘ සහ ‘ඒඩ්ස්‘ බෝවෙන ක්‍රම පිළිබද දැනුවත් කිරීමට යාමේ දී රැස්ව සිටි පිරිස හැසිරුනේද, මේ ඇමතිවරයා දැන් හැසිරෙන ආකාරයටය. විශ්වාසයන් මත පදනම්ව විද්‍යාව බැහැරකරමින් ඔවුන් හැසිරුණේ නූතන ලෝකය ඉදිරියේ ගෝත්‍රිකයන් ලෙසිනි.
දැන් අධ්‍යාපන ඇමති අකිල විරාජ් ගේ මේ කියවිල්ලෙනුත් පෙන්නුම් කරන්නේ ඊට වැඩි දෙයක් නොවේ. එහි ඛේදවාචකය නම්, කුලියාපිටියේ ජනතාව මෙන් නොව, අකිල විරාජ් කාරියවසම් යනු මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයාය. අධ්‍යාපන ඇමතිගේ දැනුමේ ප්‍රමාණය මෙය නමි නූතන ලෝකයේ අධ්‍යාපනයත් සමග අප ඉදිරියට යන්නෙ කෙසේද? මෙවැනි සාමාන්‍ය දැනුමක්වත් නැති අයෙක් ‘අධ්‍යාපන ඇමතිකමක්‘ දැරීම යනු රටේ අනාගතය වේගයෙන් පසුපසට තල්ලුකිරීමක් නොවන්නේ ද?
ඒ නිසා අකිල බබාට කියන්නේ කරුණාකර හදාරන්න! ඒක ඔයාගේ ආරක්ෂාවටත් හොදයි!
ඒ වගේම රටේ අධ්‍යාපනයේ ආරක්ෂාවට, කරුණාකර අධ්‍යාපන ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න. එය මේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ ජීවිතයේ ගත් හොදම තීරණයක් වේවි.
අනෙක නම්, තව ටික දවසකින් මේ අකිල අමාත්‍යවරයා කියන්න බැරි නෑ, ‘රංජන්ටත් ඒඩ්ස්‘ කියලා. මොකද රංජන් පසුගියදා ඒ ‘ඒඩ්ස්‘ නැති බවට විද්‍යාත්මකව තහවරු වී ඇති ඒ දරුවා සුරතල් කරමින්, දරුවා කන චොකලට් කෑල්ලක් රංජනුත් කන නිසා, අකිල ගේ තිබෙන දැනුමේ ප්‍රමාණය අනුව ඒසේ කියන්නට බැරි නැත.(කුමන පරමාර්තයකින් වුවුත්, මෙවන් ගෝත්‍රික අදහස් ඇති ඇමතිවරු අතර රංජන් වැනි ඇමතිවරයෙක් විසින් සිදුකල ක්‍රියාව අගය කළ යුත්තකි. එය ගෝත්‍රික ශරීරවලට ආදර්ශයකි.)
තවත් විශේෂ කරුණක් අකිල අමාත්‍යවරයා කියයි.
”මොකද අපේ ප්‍රදේශයේ, විශේෂයෙන්ම මට වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනකට වැඩිය මනාප අරගෙන මාව පාර්ලිමේන්තු ඇරියේ ඒ ප්‍රදේශයේ ජනතාව ගැන සිතන නිසා”
මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ දරුවාගේ අනාගයතවත්, අයිතිවාසිකම්වත් නොව ‘මොකාට මොනව උනත් මගේ ඡන්ද ටික වටිනවා‘ යැයි සිතන නරුම අදහසය. ඔහු නොකියා කියන්නේ, දරුවාගේ අනාගතයට හෝ රටේ අනාගතයට වඩා තමන්ගේ මනාප ලක්ෂ 3 වටින බව නොවේ ද?.
එහෙව් ඇමතිවරයෙක් අධ්‍යාපන ඇමතිකමට නොව නූතනත්වය පිළිබද සාකච්ඡා කරන සමාජයකට කිසිදු අකාරයකට වැදගත් කමක් නැති ‘ශරීරයක්ම‘ පමණය.
මේ කරුණු කිහිපයෙන් පමණක් අපට අවබෝධ වන්නේ රට ගමන් කරන්නේ තවදුරටත් නූතනත්වය දෙසට නොව විචාරයක් නැති ගෝත්‍රික යුගයක් කරා ආපස්සට බවය.
එබැවින් පාර්ලිමේන්තුවේ සිටින මෙවැනි ශරීර පිළිබද පාලනය ‘යහපාලන‘ නම් මෙයට වඩා සැලකිලිමත්විය යුතු වන්නේ ය. ඒ පාර්ලිමේන්තුවේ අනාගතය සදහා නොව රටේ ‘ශීෂ්ඨ සම්පන්න අනාගතයක්‘ වෙනුවෙනි.