සුනන්ද දේශප්‍රිය
අලුත් ඇමති මංඩලයක් පත් වූ කළ විවෘත ලිපියක් ලිවීමට මා මෙයට පෙර හැමදාම තෝරා ගත්තේ ප්‍රවාහණ ඇමැතිවරයා ය. මන්ද යත් ලංගමය සහ සී.ජී.ආර්. එක පාසැල් කාලයේ සිටම 71 කැරැල්ල හරහා ශ්‍රී ලංකාවේ සිටි අවසාන දවස් දක්වාම මගේ ජීවිතය හා බැදී තිබූ නිසා ය. එමෙන්ම එය මහජන ජීවිතයට යහපතක් වන පරිදි යම් සාධනීය වර්ධනයක් පෙන්විය හැකි අමාත්‍යාංශයක් යැයි මා කල්පනා කළ නිසා ය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් කරන ලද පුද්ගලිකකරණ අපරාධ අතර මහත්ම හෙණයක් වූයේ විධිමත් පොදු ප්‍රවාහණ සැළැස්මකින් තොරව ලංගමය විනාශ කිරීම ය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ලංගමය යළි පිහිටුවන බවට පොරොන්දු විය. ඉන් ඇතිවූ එකම ප්‍රයෝජනය නම් යළි යළි වෙනත් දේශපාලන නායකයින්ට ද ඒ ගායනාව ම මගින් තවත් ජන්ද ටිකක් ගරා ගැනීමට ලැබීම පමණය. අද ශ්‍රී ලංකාවෙහි පුද්ගලික මගී බස් සේවාව යනු දමනය කළ නොහැකි මාෆියාවකි. සේවාවක් නොවේ. යහපත් මගී ප්‍රවාහණ සේවාවක් අප රටෙහි ඇතිවනු ඇතැයි මහා ජනයා කල්පනා කරන්නේ ද නැත. ලංගමය තිබූ යුගයේ පැවැති බස්මගී සංගම් සිවිල් සංවිධාන ජාලය අද ඇත්තේ ද නැත. පුරවැසි මහා ජනයා කෑලි ලෙස සළකමින් ලාභය එකම පරමාර්ථය කරගත් පුද්ගලික බස් රථ ජාවාරම සමඟ ජීවත් වීම දැන් අප හැම දෙනොගේම දෛනික ජීවිතය අවසානයක් නැති වේදනාවක් බවට පත් කරන පිළිකාවකි. මෙම පිළිකාව ඉවත් කිරීමට අමාත්‍ය වෙල්ගම සමත් වනු ඇතැයි විශ්වාස කිරීමට හේතුවක් නැත.
මා මේ ලිපිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිවීමට අදහස් කළේ මැයි 09 වන ඉරිදා සන්ඩේ ඔබ්සෝවර් පුවත්පත පළකර ඇති සම්මුඛ සාකච්ඡාව කියැවීමෙන් පසු ය. එම සාකච්ඡාවෙහි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල දක්වා ඇති අදහස් අපේ අවධානයට යොමු කිරීම වැදගත් ය. මා වැදගත් ලෙස දකින අමාත්‍යවරයා එහි දක්වා ඇති අදහස් මෙසේ ගොනු කළ හැකි ය:
පශ්චාත් යුද්ධ සමයේ සමාජය හිතන්නේ අලුත් විදියකට යි. මා සම්පූර්නයෙන්ම නව ප්‍රවිශ්ඨයක් අනුගමනය කරනවා. මාධ්‍ය නිදහස සම්බන්දයෙන් දියුණූ විය යුතු අංශ තියෙනවා. අප ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමය සමඟ ඉදිරියට යා යුතු යි. පසුගිය දේවල් ගැන කතාකරමින් සිටිනවාට වඩා විවෘත මනසකින් යුතුව වැඩ ආරම්භ කරනවා.
පුද්ගලික සහ අන්තර් ජාතික ජනමාධ්‍ය දශක ගනන් පැවැතී තිබෙනවා. වගකීම් මෙන්ම සමාජය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ඔවුන් විසින් හරියාකාරව තේරුම් ගත යුතුයැයි මා කල්පනා කරනවා.
පුද්ගලික මාධ්‍ය සහ ආණ්ඩුව අතර සබඳතාවය සම්බන්ධයෙන් එකට වාඩි වී කතාකර කලින් කලට පැන නගින ප්‍රශ්ණ විසඳාගැනීමට අපට පුළුවන් විය යුතුයි. මාධ්‍ය එකතැන තියෙන්නේ නැහැ. අලුත් ප්‍රශ්ණ පැන නගිනවා. ඒ නිසයි විවෘත මනසක් අවශ්‍ය. පූර්ව නිගමනයන් මත වැඩ කරන්න බැහැ.”
ජනමාධ්‍ය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අමාත්‍යවරයා දක්වා ඇති මේ අදහස් අලුත් ආරම්භයක් සඳහා ඇත්ත අවස්ථාවක් ලබා දෙනු ඇතැයි අප අපේක්ෂා කළ යුතුය. එනමුත් ඒ අපේක්ෂාවන් ඉටුවනු ඇත් ද යන්න තීරණය කරනු ඇත්තේ කාලය විසිනි. අලුත් අමාත්‍ය මංඩලය මෙන්ම මාධ්‍ය ඇමැතිවරයා ද සම්බන්ධයෙන් දින සියයේ ස්වර්ණමය නීතිය අදාළ වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එනම් සාධනීය වෙනසක් වෙන්නට යන්නේ නම් එම වෙනසෙහි පදනම ප්‍රථම දින සියය තුළ දැක්ක හැකි වීමය.
අද අවශ්‍ය කරන හදිසි සහ වැදගත්ම වෙනස නම් ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට තමන් කැමැති පරිදි තහංචි පැණවීමට හැකි යැයි රජයේ විවිධ පාර්ශවයන් පෙන්වන ආකල්පය වෙනස් කිරීමයි. එනම් ජනමාධ්‍ය පාලනයේ සංස්කෘතිය වෙනස් කිරීම යි. පසුගිය සතිය තුළ දී පමණක් එවැනි සිදුවීම් තුනක් වාර්තා විය. ඩේලි මිරර් ජනමාධ්‍යවේදී සදුන් ජයසේකරට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් මහරගම දී පහර දීම, කොම්පඤ්ඤ වීදිය අනවසර ඉදිකිරීම් කඩාබිඳ දැමීමට එරෙහි මහජන විරෝධතා රූ ගත කළ ජනමාධ්‍යවේදීන්ගේ ජායාරූප යුද හමුදා පිරිස් විසින් බලයෙන් මකා දැමීම සහ යාපනයේ ජනමාධ්‍ය පුහුණු වැඩ මුළුවක් සඳහා යාමට සිටි ඉන්ටර් නිව්ස් පුහුණුකරුට අවසර නොදීම ඒවා ය. මෙවැනි සිදුවීම් දිගින් දිගට සිදුවීම වැළැක්වීමට හොදම ක්‍රමය නම් ඒවා සිදුවන අවස්ථාවේදී ම ප්‍රතිකර්ම යෙදීම ය. ජනමාධ්‍යවේදීන් සතුරු පිරිසක් ලෙස සැළකීමේ ප්‍රවණතාවයට තිතක් තැබීම නව ජනමාධ්‍ය ඇමැතිවරයාගේ මූලිකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමු.
එමෙන්ම ජනමාධ්‍යවේදී ඝාතනයන් සහ පහරදීම් අරභයා දැන් කෙරීගෙන යන පරීක්ෂණ ඉක්මන් කිරීමත් වරදකරුන්ට දඩුවම් දීමේ සම්ප්රදායක් ඇති කිරීමත් ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සහ විශ්වාසය ගොඩ නැගීම පිණිස අවශ්‍ය ය.
ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් 1990 දශකයේ ආරම්භයේ සිටම අප බොහෝ දෙනෙකු කටයුතු කර ඇත්තෙමු. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ සිට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හරහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දක්වා අප දිගටම ඉදිරිපත් කර ඇත්තේ එකම ඉල්ලීම් සමූහයකි. ඒ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම පිණිස අවශ්‍ය කරන මූලික ප්‍රතිසංස්කරණයන් ය.
නීති කෙටුම්පත් දෙපාර්ථමේන්තුවේ පුස්කමින් පවතින තොරතුරු නිදහසේ පණත නීතියක් බවට පත් කිරීම, 1994 සිට සෑම ආණ්ඩුවක්ම විසින් පොරොන්දු වී ඇති පරිදි රාජ්‍ය මාධ්‍ය ප්රජාත්රන්ත්රීයකරණය මේ අතර ප්‍රධානය. ජනමාධ්‍ය ස්වයං පාලනය පිණිස මාධ්‍ය ප්‍රජාව විසින් පිහිටුවා ඇති පුවත්පත් පැමිණිළි කොමිසම පිළිගනිමින් ආණ්ඩුවේ පුවත්පත් මංඩලය ඉවත්කර ගැනීම වැදගත් සංකේතාත්මක පියවරක් විය හැකි ය. ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම පිණිස අවශ්‍ය නීතිමය රාමුව 1995 ආර්.කේ.ඩබ්. ගුණසේකර වාර්තාවේ ද මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිලිබඳ කොළඹ ප්‍රකාශණයේ ද ඉතා පැහැදිලිව සඳහන් වී තිබේ. මෙම වාර්තා මත පදනම් වූ නව සංවාදයක් ගොඩ නැගීම මාධ්‍ය ප්‍රජාව විසින් සතුටින් පිළිගනු නොඅනුමානය.
ඇත්ත වශයෙන්ම නම් මහා ජනයාගේ තොරතුරු දැන ගැනීමේ නිදහස මත පදනම් වූ ජනමාධ්‍ය නිදහස තහවුරුවීම පිණිස නිදහස සහ වගකීම යන්නට තවත් එක් ගුණයක් එක් විය යුතු ය. එනම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ය. අද ශ්‍රී ලංකාවේ වෘත්තීය අයිතිවාසිකම් නැති එක් වැඩකරන ජන කොට්ඨාශයක් වන්නේ ජනමාධ්‍යවේදීන් ය. බොහෝ ජනමාධ්‍ය ආයතනයන්හි ජනමාධ්‍යවේදීන්ට රටෙහි පිළිගත් වෘත්තීය අයිතිවාසිකම් ලැබෙන්නේ නැත. දකුණු ආසියාවේ මාලදිවයින හැර අන් සියළුම රටවල වෘත්තීය ජනමාධ්‍යවේදී පනත් තිබේ. ජනමාධ්‍යවේදීන්ගේ වැටුප් සහ සේවා කොන්දේසි තීරණය වන්නේ ඒ අනුව ය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වැටුප් සහ සේවා කොන්දේසි තීරණය වන්නේ ආයතනය, භාෂා මාධ්‍යය සහ කීකරුකම අනුව ය. රාජ්‍ය ජනමාධ්‍ය ආයතනවල හැර අන් කිසිදු මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය අයිතීන් සඳහා වෘත්තීය සංගම් නැත. භාෂා මාධ්‍ය අනුව හොදම වැටුප් ඉංග්‍රිසි මාධ්‍යටද අඩුම වැටුප් දෙමළ මාධ්‍යට ද හිමි ය. මෙම තත්ත්වය වෙනස් කිරීම පිණිස ශ්‍රී ලංකාවට බල සහිත වෘත්තීය ජනමාධ්‍ය පනතක් ද අවශ්‍ය ය. එය ජනමාධ්‍ය හිමිකරුවනට තර්ජනයක් නොව ප්රජාතන්ත්රවාදී අංගයක් ලෙස ඉදිරියට ගැනීමට ද නව මාධ්‍ය ඇමැතිවරයා ලෙස ඔබට වගකීමක් තිබේ.
ජනමාධ්‍යවේදීන් සිය වගකීම් ඉටු කළ යුතු ය. ඉන් එක් වැදගත්ම වගකීමක් වන්නේ රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යබව සහ වගවීම සම්බන්ධයෙන් නිත්‍ය සෙවිල්ලක් පවත්වා ගැනීමත් එම කරුනු මහජන සංවාදයට යොමු කිරීමත් ය. මා මේ සටහන ලීවේ ඒ අරමුණිනි. දින සියය – මා හිත්නනේ ඉතාම වැදගත් කඩඉම එය කියා ය.